පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, March 28, 2014

හැම සබන් කැටයක්ම එක වගේ සමට ගැළපෙන්නේ නැති බව දන්නවාද? - Select a soap according to your skin type


සිරුර පිරිසිදුව තබාගැනීම සදහා අප දිනපතා ස්නානය කළ යුතුය. නමුත් ස්නානය කිරීමේදී සිරුරේ ඇති කුණු ඉවත්කිරීම සඳහා අප අනිවාර්යයෙන්ම කුමක් හෝ සබන් වර්ගයක් සිරුරේ ගැල්විය යුතුය. කොයි සබන් ගෑවත් වෙන්නේ එකම දේ නේකියා සිතුණු කාලයක් පැවතියත්, රූපලාවන්‍ය කටයුතු පිළිබඳ මාධ්‍ය ඔස්සේ අප දැනගන්නා විවිධ කරුණු නිසා එය එසේ නොවේ යැයි දැන් අවබෝධ වේ. අප අතර සිටින ඇතැමෙක් රුව වඩනසබන් වර්ගවලට කැමැත්තක් දක්වති. ඇතැමෙක් සුවඳ සබන්වලට කැමතිවෙති. තවෙකෙක් ඖෂධීය සබන් වර්ගම තෝරාගනිති. නමුත් මේ සියල්ලටම වඩා අප අවධානය යොමුකළ යුත්තේ තමාගේ සමේ ස්වභාවයට ගැළපෙන සබන් වර්ගයක් තෝරාගැනීමය. නොඑසේ නම් විවිධ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. උදාහරණයක් ලෙස සමේ ඇති තෙල්ගතිය ඉවත්කරන සබන් වර්ගයක් වියළි සමක් ඇති අයෙක් තෝරාගතහොත් එය ගැටලුවකි. මේ නිසා අප සබන් තෝරාගැනීමේදී මේ සියල්ල පිළිබඳ සැළකිලිමත් විය යුතුය.

සබන් බොහෝ විට නිෂ්පාදනය කරනු ලබන්නේ මූලික් වශයෙන්ම සත්ව හෝ ශාක මේදය සහ කෝස්ටික් සෝඩා මිශ්‍ර කිරීමෙනි. මෙයට සුවඳ ද්‍රව්‍ය, වර්ණකාරක සහ විවිධ ස්වභාවික සාරයන් ද එක්කරනු ලබයි. අප සමෙහි ඇති අනවශ්‍ය තෙල් හා කුණු ඉවත්කරන්නට සබන් ඉවහල් වුවද, සම වියළි බවට පත්කරන්නට ද සබන් හේතුවක් වේ. අප සමේ යම්තාක් තරමකට ආම්ලික් තත්වයකින් පවතින අතර සබන්වල ඇත්තේ භාෂ්මික තත්වයකි. ගැටලුව ඇත්තේ එතැනය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අප සබන් යොදා සම සේදූ වහාම, සමෙහි ආරක්ෂක වැස්මට බාධා ඇතිවේ. මේ හේතුවෙන් සමෙහි තද හා වියළි ස්වභාවයක් දැනෙන්නට පටන් ගනී.
මේ නිසා ඇතැම්හු සබන් වෙනුවට වෙනත් පිරිසිදුකාරක භාවිත කරන්නට පෙළඹෙති. ෂවර් ජෙල්, ක්‍රීම් ක්ලෙන්සර් වැනි ඒවා ඒ අතර වෙයි. නමුත් මේවා ද සෑම අතින්ම සර්ව සම්පූර්ණ නැත. එසේ හෙයින් කළ යුතු හොඳම දේ වන්නේ සිය සමෙහි ස්වභාවයට ගැළපෙන නිවැරදි සබන් වර්ගයක් තෝරාගැනීමය.

වියළි සම

තෙල් සහිත සමක සීබම්නම් ස්වභාවික තෙල් කොටස් වැඩි වශයෙන් අඩංගු වේ. එය දිදුලන බවකින් යුක්තවන අතර සමෙහි ලප හා කැළැල් ඇතිවන්නට ද මෙය හේතුවිය හැකිය. එබැවින් මෙවැනි සමක් නිතර පිරිසිදු කළ යුතුය. ඔබ නිතරම සම සෝදන්නට පුරුදුව සිටී නම් සැර සබන් වර්ග භාවිතයෙන් ඈත්විය යුතුය. මේ සඳහා මෘදු සබන් වර්ගයක් යොදාගත යුතුය. ඒවා මගින් සමෙහි ඇති තෙල් හා කුණු ඉවත්කරන අතර සමට හානිවීම ද වැළකෙයි. මෘදු සබන් වර්ගවල බොහෝවිට ඕට්නම් ධාන්‍ය වර්ගය, මුහුදු ලුණු, පීච් නම් පලතුරු වර්ගයේ ඇට සහ දුඹුරු සීනි ආදිය අඩංගු වේ. ඒවා සම මත මෘදුව ක්‍රියාකරන ස්වභාවික ද්‍රව්‍යයන් වේ. සමට හානි කරන ග්ලයිකොලික් අම්ල වැනි රසායනික ද්‍රව්‍යවලට වඩා මෙවැනි ස්වභාවික ද්‍රව්‍ය සියලු අතින් හිතකරය. ඔබගේ සම සංවේදී බවින් අඩුනම් සමෙහි මතුපිට ස්ථරය ඉවත්කළ හැකි සබන් වර්ගයක් සතියකට දෙතුන් වතාවක් යොදාගත හැකිය. සංවේදී නම් මෙවැනි සබන් වර්ගයක් භාවිත කළ යුත්තේ සති දෙක තුනකට වරක් පමණි. මෙවැනි සබන් වර්ග සමෙහි වැසුණු සිදුරු හොඳින් පිරිසිදු කරයි.
මුහුණ පිරිසිදු කිරීමට යොදාගන්නා විවිධ දියර වර්ග ද මේ සඳහා යෝග්‍යය.

ඔබට සමෙහි තෙල් ගතියක් දැනෙන්නේ නම් එය ටිෂූ කඩදාසියකින් පිසදමන්ට ද පුළුවන.

වියළි සම

වියළි සමෙහි ප්‍රමාණවත් තරම් සීබම් අඩංගු නැත. මෙවැනි සමක් සඳහා ග්ලිසරින් වැනි ද්‍රව්‍ය අඩංගු, තෙතමනය ඇතිකරන  සබන් වර්ගයක් තෝරාගත යුතුය. ග්ලිසරින් යනු තෙතමනය ඇතිකරන්නට සමත්කම් දක්වන අවර්ණ සංයෝගයකි. එය ජලයේ හොඳින් දියවේ. එය ඉතා හොඳ ද්‍රාවකයකි. එය වාතයේ ඇති ජලය උරාගෙන සම මත තෙතමනය ඇති කරයි. මෙවැනි සබන්වල පොල් හෝ  ජොජෝබා තෙල්, කෝමාරික්, කොකෝවා බටර්, අලිපේර හෝ එළවලු තෙල් ආදිය අඩංගු විය හැකි අතර මේ සියල්ලම වියළි සමට ගුණදායක වේ. සැර සබන් වර්ග භාවිත කිරීමෙන් වළකින්න. ඔබේ සම ඉතා වියළි නම් ටෝනර් වර්ගයකින් සම පිසදැමීම හෝ උණුසුම් ජලයෙන් මුහුණ සෝදාගැනීම පමණක් කළ හැකිය. සබන්  යොදාගත යුත්තේ රාත්‍රියේදී ය. තෙල් සහිත සමකට වඩා සබන්වලින් හානි සිදුවන්නේ වියළි සමකටය.

සංවේදී සම

සංවේදී සමක් සඳහා නිෂ්පාදනය කළ බොහෝ සබන් වර්ග වෙළෙඳ පළෙහි දක්නට ලැබේ. සම මත උද්දීපක තත්වයක් ඇති කරන සුවඳ වර්ග හා වර්ණකාරක මේවායේ අඩංගු නොවේ. අනෙක මෙවැනි සබන් සමබර පී.එච්. (pH ) අගයකින් යුක්තවන අතර සමෙහි ඇති ආම්ලිකතාවය සමඟ ගැළපෙයි. සමෙහි ඇති මෘදු බව තුරන් කරන්නට මෙම වර්ගයේ සබන්වල ඇත්තේ අඩු ඉඩකඩකි.

ලප, කැළැල් සහිත සම

අධික වශයෙන් පවතින තෙල් ස්වභාවය සමඟ විෂ බීජ ද මිශ්‍රවීමේ ප්‍රතිඵලයක් ලෙස ලප ඇතිවේ. විෂබීජ නාශක ගුණයෙන් යුක්ත ඖෂධ සහිත සබන් වර්ග භාවිතයෙන් මෙම තත්වය මගහරවාගත හැකිය. ඖෂධීය සබන් වර්ග අතර සැර සබන් පවතින බැවින් එවැනි ඒවා තෝරාගැනීමෙන්ද වැළකිය යුතුය. සැර සබන් වර්ගවලින් අහිතකර බැක්ටීරියා පමණක් නොව සම නිරෝගීව තබන්නට හේතුවන හිතකර බැක්ටීරියාවන් ද ඉවත්ව යයි. මුලින්ම මෘදු සබන් වර්ගයක් භාවිත කොට බලන්න. ඖෂධීය සබන්වලින් නිතර මුහුණ සේදීමෙන් වැළකෙන්න. මන්ද එයින් ඇතැම්විට යහපතට වඩා අහිතකර තත්වයන් උදාකරන්නට හේතුවිය හැකි බැවිනි.

සම්මිශ්‍රිත සම

තෙල් සහ වියළි යන ස්වභාවයන්ගේ සම්මිශ්‍රණය සහිත සම මෙසේ හඳුන්වනු ලබයි. මෙවැනි සමක් සහිත පුද්ගලයින්  වියළි හෝ තෙල් සහිත සම සඳහා විශේෂයෙන්ම නිෂ්පාදනය කළ සබන් වර්ගවලින් වැළකී සිටිය යුතුය. වියළි සමක් වෙනුවෙන් නිෂ්පාදනය කළ සබන් සම්මිශ්‍රිත සමක් සඳහා භාවිත කළහොත් සිදුවන්නේ තෙල් සහිත කොටස් තව තවත් තෙල් සහිත වීමය. තෙල් සහිත සමක් වෙනුවෙන් නිෂ්පාදනය කළ සබන් භාවිත කළහොත් සිදුවන්නේ වියළි කොටස් තව තවත් වියළි තත්වයටම පත්වීමය. මෙවැනි අය භාවිත කළ යුත්තේ සාමාන්‍ය සමක් වෙනුවෙන් නිෂ්පාදනය කළ සබන්ය. ග්ලිසරින් සහිත සබන් මෙවැනි සමක් සහිත පුද්ගලයන් සඳහා වඩාත් සුදුසුය.

සාමාන්‍ය සම

අධික ලෙස වියළි හෝ අධික ලෙස තෙල් ස්වභාවය නොමැති නම් එය සාමාන්‍ය සමක් ලෙස හැඳින්විය හැකිය. තෙල් හෝ වියළි සම සහිත පුද්ගලයින් වෙනුවෙන් නිෂ්පාදිත සබන් මෙවැනි අය භාවිත කිරීම සුදුසු නැත. යම් හෙයකින් එවැනි සබන් භාවිත කිරීමෙන් සිදුවන්නේ අනපේක්ෂිත අහිතකර ප්‍රතිඵල ලැබීම පමණි. සාමාන්‍ය සමක් වෙනුවෙන් වෙළෙඳ පළේ බොහෝ සබන් වර්ග දක්නට ලැබේ. ඖෂධීය ශාක සාර සබන් ද මෙවැනි සමකට වඩා සුදුසුය.

ස්වභාවික හෝ ඖෂධීය සබන්

අධික රසායනික සංයුතියක් ඇති සබන් සමට හිතකර නැත. ඔබේ සමට හිතකරවීම, මෘදු බවින් යුක්තවීම, සමට හානිවන ස්වභාවය බොහෝ සෙයින් අඩුවීම ආදිය නිසා ස්වභාවික හෝ ඖෂධීය ශාක සාර යනුවෙන් හඳුන්වන සබන් භාවිතය සෑම අතින්ම සුදුසු වේ. සාමාන්‍යයෙන් වෙළෙඳපළේ ඇති බොහෝ සබන්වල ග්ලිසරින් රහිතවන මුත් ස්වභාවික ද්‍රව්‍ය යොදා නිපදවනු ලබන ඒවායේ ග්ලිසරින් අන්තර්ග කෙරේ. සමෙහි තෙතමනය රඳා පැවතීමට ග්ලිසරින් අත්‍යවශ්‍යය.

සමෙහි ගැටලු සහිත පුද්ගලයන් සඳහා ස්වභාවික ද්‍රව්‍යවලින් නිපදවනු ලබන සබන් මගින් ප්‍රතිකාරයමය ගුණයක් ලැබෙනවා සේම සම පෝෂණය කිරීම ද සිදු කරයි. ස්වභාවික ද්‍රව්‍යවලින් නිපදවා ඇති යැයි පැවසෙන සබන් වර්ග මිලදී ගැනීමට පෙර එහි ඇත්තේ සැබෑ ස්වභාවික ද්‍රව්‍යයන් ද යන්න තහවුරු කරගැනීම ඉතා වැදගත්ය. අතැම් සබන් වර්ග ස්වභාවික යැයි පැවසුන ද සැබැවින්ම ඒවායේ ඇත්තේ සමට අහිතකර රසායනික ද්‍රව්‍යයන්ය. ඇතැම් සබන් වර්ගවල වෙනිවැල්ගැට අඩංගු යැයි පැවසෙන මුත් සැබැවින්ම ඇත්තේ රසායනික ද්‍රව්‍යයන් පමණි. ඇතැම් ඒවායේ ලැවෙන්ඩර් අඩංගු පැවසුනද ඇත්තේ එම සුවඳ සහිත රසායනිකයක් පමණි. එයින් ලැබෙන්නේ අහිතකර ප්‍රතිපල පමණි.

භාවිත නොකළ යුතු වර්ගයේ සබන්

පහත සඳහන් ආකාරයේ සබන් ඕනෑම සමකට සුදුසු නොවේ. විශේෂයෙන් මුහුණේ සමට හානි සිදුවිය හැකි බැවින් ඒවා භාවිතයෙන් වැළකී සිටීම සුදුසුය.
- අධික රසායනික සංයුතියක් සහිත සබන්
- ඉහළ පී.එච්. අගයක (pH ) හෝ අම්ල සංයුතියක් සහිත සබන්
- අඩු මිලට ඇති බාල වර්ගයේ සබන්

- ඔබේ සමේ වර්ගයට නොගැළපෙන සබන් වර්ග 

Monday, March 24, 2014

අහසින් අතුරුදහන් වුවද ඉතිහාසයෙන් අතුරුදහන් නොවුණු ගුවන් යානා - Stories of the Missing Flights

මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්.370 මගී ගුවන් යානය හිටිහැටියේ අතුරුදහන්විය. මේ ලිපිය ලියන මොහොතවනවිට හෝ ඒ පිළිබඳව විශ්වාසකටයුතු කිසිදු තොරතුරක් හෙළිකරගැනීමට නොහැකි වී තිබේ. ඇතැම් මගීන්ගේ ජංගම දුරකතන නාදවන බවට ද පුවත් ලැබේ. වියට්නාම නාවික හමුදාව විසින් සැතපුම් 12ක් පමණ දිගට පැතිරී ගිය තෙල් පැල්ලමක් මුහුදේ දුටු බව වාර්තා කරයි. නමුත් අදාළ ප්‍රදේශයේ ගුවන් යානය කඩාවැටී ඇත බවට සාධක නැත. එය ආපසු හරවා ඇති බවට ද කරුණු හෙළි වෙයි. තව නොබෝ දිනකින් අපට මේ පිළිබඳ සැබෑ තොරතුරු දැනගන්නට ලැබෙනු ඇත. මැලේසියානු ගුවන් යානය අතුරුදහන්වීමේ සිදුවීමත් සමග සිහියට නැගෙන්නේ ලෝකයේ මෙසේ හිටිහැටියේ අතුරුදහන් වූ වෙනත් ගුවන් යානා පිළිබඳ තොරතුරුය. එවැනි බොහෝ ඒවා ඇති අතර අපි ඔබ වෙනුවෙන් ප්‍රධන පෙළේ සිදුවීම් දහයක් තෝරාගත්තෙමු. මැලේසියානු යානය හමුවනතුරු අපට මේ තොරතුරු කියවන්නට පුළුවන.

ප.ලි.
2014-03-25
මෙම ගුවන් යානය අනතුරට ලක්වී සියලු මගීන් මියගොස් ඇති බැව් මේ වන විට තහවුරු කොට තිබේ. ඒ ගැන තොරතුරු පහත සබැඳිවලින් ඔබට දැනගත හැකිය.

1. අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය සොයා ගනී (Video)

2. Missing Malaysia Airlines flight MH370: Relatives told by TEXT that the plane was lost 23,000ft under the sea


1.ලොව වටා සරද්දී අතුරුදහන් වූ ඇමෙලියා ඉයර්හාර්ට්


ඇමෙලියා ඉයර්හාර්ට්


ඇමෙලියා ඉයර්හාර්ට්යනු ඇමරිකානු කාන්තා ගුවන් නියමුවරියකි. ඇය ගුවන් යානයකින් ලොව වටා සැරිසරද්දී එය හිටිහැටියේ අතුරුදහන් වූයේ වර්ෂ 1937 ජූලි 2 වැනිදාය. අත්ලාන්තික් සාගරය හරහා තනිව ගුවන් යානයක් ප්‍රථමවරට පදවාගෙන ගිය කාන්තාව වන්නේ ද ඇය ය. පැසිෆික් සාගරය මධ්‍යයේ හෝල්න්ඩ් දූපත් ප්‍රදේශයේදී මෙම යානය හැටිහැටියේ අතුරුදහන් විය. බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ මෙහි ඉන්ධන අවසන් වී මුහුදට කඩාවැටෙන්නට ඇති බවය. තවත් අදහසක් වන්නේ ඇමෙලියා ඇමරිකානු ජනපතිවරයකු වූ ෆ්‍රූන්ක්ලින් ඩී රූස්වෙල්ට් වෙනුවෙන් ඔත්තුබැලීමෙහි නිරත වූ බැවින් ජපනුන් විසින් අල්ලාගන්නට ඇති බවය. තවත් අදහසක් වන්නේ යානය ජපාන දූපතකට කඩා වැටී ඇමෙලියා එහිදී මිය යන්නට ඇති බවය. ඇය මෙම අනතුරින් ජීවිතය ගළවාගත් බවත් පසුව නිව්ජර්සියට ගොස් නම වෙනස්කොට රහසේ ජීවත් වූ බවට අදහසක් ද ඇති අතර පිටසක්වලයන් විසින් පැහැරගත් බවටත් ඇතැමෙක් අදහස් දක්වති.



2. ඉංග්‍රීසි ඕඩයට ඉහළ අහසේදී අතුරුදහන් වූ ග්ලෙන් මිලර්ගේ යානය


 ග්ලෙන් මිලර්

ග්ලෙන් මිලර් යනු දෙවැනි ලෝක යුද සමයේ මිත්‍ර හමුදා වෙනුවෙන් සටන් වැදුණු අත්දක්ෂ බ්‍රිතාන්‍ය ජාතික ගුවන් හමුදාවට අයත් නියමුවෙකි. ඔහු මෙලොව ජීවත්ව සිටි අවසන් රාත්‍රිය ලෙස සටහන් වන්නේ 1944 දෙසැම්බර් 14 වැනිදාය. ඒ බ්‍රිතාන්‍යයේ බෙඩ්ෆෝර්ඩ්වලට අයත් මිල්ටන් අර්නස්ට් හිදීය. පසුදා ඔහුට ප්‍රංශය බලා පියාසර කරන්නට නියමිතව තිබිණි. ඔහු ඇතුළු පිරිස රැගත් යානය ආර්.ඒ.එෆ්. ටින්වුඩ් ගොවිපළ භූමියෙන් පිටත්ව ගිය අතර ඉංග්‍රීසි ඕඩයට ඉහළ අයසේදී එය අතුරුදහන් විය. අතුරුදහන්වීම පිළිබඳ ඉදිරිපත් වූ එක් මතයක් වූයේ තනි එංජිමක් සහිත මෙම යානයේ ඇති වූ ගින්නක් නිසා කඩා වැටෙන්නට ඇතිබවය. ජර්මනියට අයත් පුවත්පතකින් පැවසුනේ ඔහු ප්‍රංශයට ගිය බවත් එහි ගණිකා නිවාසයකදී හෘදයාබාධයකින් මියගිය බැවින් එම සිදුවීම බ්‍රිතාන්‍යය වසන්කරන බවත්ය.




3. බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස උපත ලබමින් අතුරුදහන් වූ ගුවන් යානා


පුහුණු සැරියට සහභාගී වූ ගුවන් නියමුවෝ

1945 දෙසැම්බර් 5 වැනිදා වර්තමාන බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් වූ අහසේ දී ගුවන්යානා හයක් හිටිහැටියේ අතුරුදහන් විය. බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස් කතන්තර ද ඒ සමගම උපත ලැබුවේය. දක්ෂ පළපුරුදු ගුවන් නියමුවකු වූ චාර්ල්ස් ටේලර්ගේ මූලිකත්වයෙන් පුහුණුවීමේ ගුවන් සැරියක් සඳහා මෙම යානා හය ෆ්ලොරිඩාවේ ෆෝර්ට් ලෝර්ඩඩේල් වෙතින් අහසට නැගුණි.  පැය එකහමාරකට පමණ පසු නියමුවන් වාර්තාකළේ තම ගමන් මාර්ගය හිටිහැටියේ වෙනස්වූ බවත් පහළින් ඇති කිසිදු භුමි ලක්ෂණයක් හඳුනාගන්නට හැකියාවක් නොමැති බවත්ය.  ටේලර් වැඩිදුරටත් පවසා තිබුණේ තම මාළිමා යන්ත්‍ර නිවැරදිව ක්‍රියානොකරන බවය. ගුවන් යානා මෙහෙයුම් කුටියේ කාර්ය මණ්ඩලය කොතෙක් උත්සාහ ගත්ත ද මෙම යානා පිහිටි ඛණ්ඩාංකයන් සොයාගන්නට හැකියාවක් ලැබුණේ නැත. කාලගුණය ද අයහපත් වූ අතර යානා සියල්ලම මුහුදට කඩාවැටෙන්නට ඇතැයි අනුමාන කෙරිණි.
තවත් කණගාටුදායක සිදුවීමක් වන්නේ මෙම යානා අතුරුදහන්වීම පිළිබඳ සොයාබලන්නට පිටත්ව ගිය යානය ද අතුරුදහන්වීමය. එම යානය රාත්‍රී 7.30ට පිටත්ව ගොස් තිබූ අතර නැවත එයින් කිසිදු පණිවුඩයක් ලැබුණේ නැත. එහි සිටි 13 දෙනෙකුගෙන් යුකත් කාර්ය මණ්ඩලය ද මියගිය බවට සැක කෙරේ.



4. ස්ටාර් ඩස්ට් යානය සහ අභිරහස් මෝර්ස් කේත


අන්දීස් කඳු


ලැන්කැස්ටර් වර්ගයේ බෝම්බ හෙළීමේ යානා මාදිලයට අයත් සාමාන්‍ය මගී ගුවන් යානයක් වූ බී.එස්.ඒ.ඒ. ස්ටාර් ඩස්ට්ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් සිට චිලියේ සන්තියාගෝ බලා පියාසර කරමින් තිබියදී අතුරුදහන් විය. එම අතුරුදහන්වීමත් සමග අභිරහස් රැසක්ව ලොව හමුවේ ඉතිරි විය.

මෙම ගුවන්යානය අයත්ව තිබුණේ බ්‍රිටිෂ් සවුත් ඇමරිකා එයාර්වේස් සමාගමට වූ අතර එහි පැදවූයේ පළපුරුදු ගුවන්හමුදා නියමුවකු වූ රෙජිනෝල්ඩ් කුක් ය. ඔහු 1947 අගෝස්තු 2 වැනිදා ප.ව. 1.46ට බුවනෝර්ස් අයර්ස් කෙරෙන් පිටත්ව අන්දීස් කඳු මතින් යානය ධාවනය කොට ඇත. යානය ගමනාන්තයට ළඟා නොවූ මුත් එය අතුරුදහන් වන්නට පෙර එහි සිටි ගුවන් විදුලි සංඥා මෙහෙයවන්නා මෝර්ස් කේතයකින් පණිවුඩයක් එවා තිබිණි. එහි STENDEC ලෙස සටහන්විය.

ගුවන් යානයට සිදුවූයේ කුමක්ද යන්න සහ මෙම මෝර්ස් සංඥාවෙහි අරුත පිළිබඳ වසර ගණනාවක් තිස්සේ විවිධ පුද්ගලයෝ විවිධ මත ඉදිරිපත් කළහ. ඇතැමෙකු පැවසූයේ එය පිටසක්වල යානයක ප්‍රහාරයකට ලක්වූ බවය. එහි ගමන්ගත් මගියකු සතුව තිබූ රාජ්‍ය තාන්ත්‍රික ලියකියවිලි විනාශ කිරීමේ අරමුණින් යමෙකු විසින් මෙය පුපුරුවා හැරි බවට ද මතයක් ද පළ විය.

වඩාත් පිළිගත හැකි මතයක් වූයේ මෙම යානය අත්වැරදීමකින් සිරස් හිම ක්ෂේත්‍රයක් අසළින් ගමන් කරද්දී ඇතිවූ හිම නායයාමකට අසුව කඩාවැටී මුළු යානයම හිමෙන් වැසී යන්නට ඇති බවය.

වසර 50ක් ගතවුන තුරු ද ස්ටාර් ඩස්ට් යානය සොයාගත නොහැකි විය. අවසානයේ එය සොයාගනු ලැබූයේ කඳුතරණය කළ ආර්ජන්ටිනානුවන් දෙදෙනකු විසිනි. ඔවුනට මෙහි ඇංජිමේ කොටස් සහ රෙදි කැබලි කිහිපයක් සොයාගන්නට හැකි විය.




5. බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදහන් වූ ස්ටාර් ටයිගර්



ඇසෝරස් හි සැන්ටා මාරියාවල සිට බර්මියුඩාව දක්වා ගමන් ගත් බ්‍රිටිෂ් සවුත් ඇමරිකා එයාර්වේස් සමාගමට අයත් ස්ටාර් ටයිගර්යානය 1948 ජනවාරි 30 වැනිදා හදිසියේම අතුරුදහන් විය.

මෙම යානය ගුවනට නංවන ලද්දේ අධික සුළං සහිත අවස්ථාවක වන අතර එහි මගීහු 25 දෙනෙකු සිටියහ. ඔවුන් අතර දෙවැනි ලෝක යුද සමයේ යුධ වීරයකු වූ එයාර් මාර්ෂල් ශ්‍රීමත් ආතර් කොනින්ග්හැම් ද සිටියේය. අධික සුළඟ හේතුවෙන් යානය ගමන් කළේ බොහෝ පහළිනි. අයහපත් කාලගුණය නිසා මෙම මගී යානය සඳහා මගපෙන්වීමට ලැන්කැස්ට්‍රියානු යානයක් ද ඉදිරියෙන් ගමන් කළේය.

යානය හදිසියේම මාර්ගයෙන් ඉවතට ගිය අතර බර්මියුඩාව අසළදී කුණාටුවකට මැදිවිය. එහි යහමින් ඉන්ධන ද තිබිණි. අලුයම 4න් පසු මගපෙන්වන යානය සුරක්ෂිතව ගමනාන්තයට පැමිණිය ද ස්ටාර් ටයිගර් යානය පැමිණියේ නැත.

මෙහිදී පළවූ අදහසක් වූයේ මෙය බොහෝ පහළින් ගමන් කළ බැවින් ප්‍රබල කුණාටුවකට හසුව මෙය මුහුදට ගසාගෙන යන්නට ඇති බවය. එසේත් නැත්නම් උන්නතාංශමානයේ වැරදි සටහන් හේතුවෙන් මෙය සාගරය මතට ධාවනය කරන්නට ඇති බවය.

6. ෆ්ලයිට් 191 යානාවල අභිරහස

එක්තරා අංකයක් නිසා යම් අනතුරක් වූයේ යැයි පැවසුවහොත් එය අතැම් විට යමෙකු විහිළුවකට ගනු ඇත. නමුත් ඒ අංකය නිසා අනතුරු කිහිපයක්ම සිදුවූයේ නම් එහි යම්කිසි දෙයක් තිබිය හැකිය. මේ එවැනි කතාවකි.

ඇමරිකානු ගුවන් ගමන් ඉතිහාසයේ බිහිසුණුතම අනතුර වාර්තාවන්නේ 1979 වසරෙනි. ඒ ෆ්ලයිට් 191 යානයේ අනතුරයි. එය චිකාගෝ හි ඕහෙයාර් ගුවන් තොටුපළෙන් අහසට නංවා මිනිත්තු කිහිපයක් ඇතුළත එහි සිටි මගීන් 258 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනාගේ ජීවිත බිළිගනිමින් අනතුරට ලක්විය.

ෆ්ලයිට් 191 වර්ගයේ තවත් ගුවන් යානයක අනතුරක් වාර්තා වන්නේ 1967 වසරෙනි. එක්ස් - 15 ලෙස නම්කොට තිබූ එය අත්හදාබැලීමේ ධාවනයකදී අනතුරකට ලක්විය. එහිදී ගුවන් නියමුවා මිය ගියේය. අනතුරුව 2012 වසරේදී ජෙට් බ්ලූ එයාර්වේස් සේවයට අයත් ෆ්ලයිට් 191ක යානයක නියමුවෙක් ගුවන් ගමන අතරතුර උමතුවෙන් මෙන් හැසිරී මගියකුගේ පහර කෑමට ලක්වූ බැවින් යානයේ ගමන අතරමගදී නවතන්නට සිදුවී හදිසි ගොඩබෑමකට ලක්විය.

ෆ්ලයිට් 191 යානා සම්බන්ධව මෙබඳු අභිරහස් බොහෝ පවතී.

7. ස්ටාර් ඒරියල් යානය අතුරුදන්වීමේ අභිරහස


අතුරුදහන් වූයේ මෙයට සමාන යානයකි


බ්‍රිටිෂ් සවුත් ඇමරිකා එයාර්වේස් සමාගමට අයත් ස්ටාර් ඒරියල්යානය බර්මියුඩාවේ සිට ජැමෙයිකාව කරා ගමන් කරමින් තිබියදී 1949 ජනවාරි 17 වැනිදා අතුරුදහන් විය.

මෙය ද කලින් සඳහන් කළ ස්ටාර් ටයිගර්යානය මෙන් ගුවන්ගත වූයේ පැහැදිලි අහස්තලයක් පවතින විටය. නමුත් ගමන්ගත් මොහොතේ සිට සන්නිවේදන ගැටලුවලට ලක්විය.

මෙය ගමනාන්තයට ළඟා නොවූ අතර එහි සිටි මගීන් 25 දෙනා සහ කාර්ය මණ්ඩලය සෙවීමේ මෙහෙයුමක් දියත් කළ අතර ජනවාරි 25 වැනිදා එම මෙහෙයුම අතහැර දමනු ලැබිණි.
මෙම විමර්ශනයේ නිගමනය වූයේ අනතුරට හේතුව නොදන්නා බවත්, එසේ වුව ද බ්‍රිටිෂ් සවුත් ඇමරිකා එයාර්වේස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ ඩොන් බෙනට් පැවසූයේ ස්ටාර් ටයිගර්සහ ස්ටාර් ඒරියල්යානා දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධ කඩාකප්පල්කරුවකුගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵල ලෙස විනාශ වූ බවය.
ඔහු තවදුරටත් පවසා සිටියේ එවකට සිටි අගමැති ක්ලෙමන්ට් ඇට්ලී මෙම යානා පිළිබඳ විමර්ශන නවතා දමන ලෙස පෞද්ලිකවම විධාන දුන් බවය.




8. ෆ්ලියිට් 571 - අන්දීස් අනතුර


ගුවන් අනතුරින් දිවි ගළාවගත් පිරිස අතර රග්බි කණ්ඩායමේ කිහිප දෙනෙකු ද විය


උරුගුවේ රාජ්‍යයට අයත් ගුවන් හමුදා යානයකින් 45 දෙනෙකුගෙන් යුක්ත පිරිසක් ප්‍රවාහනය කරමින් තිබිණි. මෙම පිරිස අතර මොන්ටිවීඩියෝවට අයත් රග්බි කණ්ඩයෙමක් ද සිටියහ. මෙම යානය අයහපත් කාලගුණය නිසා අන්දීස් කඳු අතර අනතුරට ලක්විය.

මෙහිදී යානයේ ගමන්ගත් මගීන් 45 දෙනොගෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඉන්පසුව ගතවූ දිනකිහිපයේදී තවත් 6 දෙනෙකු මිය ගියේය. තවත් දින කිහිපයක් ඇතුළත සිදුවූ හිම නායයාමක් නිසා යානයේ සුන්බුන් අතර රැකවරණයෙහි සිටි 8 දෙනෙකු මරුමුවයට පත්විය. ඉතිරි 16 දෙනා කුසගිනි නිවාගනිමින් ජීවිත ආරක්ෂාකරගනු වස් මියගිය මගීන්ගේ මාංශ අනුභවය කළහ.

අනතුරින් දින 72ක් ගෙවීයන තුරු මොවුන්ම සොයාගත නොහැකි විය. මගීන් දෙනෙකු දින දහයක් තිස්සේ කඳු ශිඛර මැදින් උදව් සොයා ගමන් කළහ. අවසානයේ ඔවුනට චිලී ජාතික වෙළෙන්දකු හමුවිය. ඔහු මොවුනට ආහාර දී බලධාරීන්ට මේ බව දන්වා යැවීය.

මෙම සිදුවීම අනුස්මරණය කරමින් 1993 දී එලයිව්’ (Alive) නමින් චිත්‍රපටයක් ද නිර්මාණය කෙරිණි.




9. ඊජිප්තු එයාර් ෆ්ලයිට් 990 අනතුර


අනතුරට පත් යානයේ කොටස්

ඊජිප්තුවට අයත් එයාර් ෆ්ලයිට් 990’ අනතුර වටා අභිරහස් සිදුවීම් කිහිපයක්ම පවතී. එය 1999 ඔක්තෝබර් 31 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ගුවන්තෙටුපළින් කයිරෝ බලා ගමන් ඇරඹීය.

බෝයිං 767 යානයක් වූ මෙය මැසචුසෙට්ස් ප්‍රාන්තයට දකුණින් අත්ලාන්තික් සාගරයේදී මගීන් 217 දෙනො සහ කාර්ය මණ්ඩලය සමඟ අනතුරට ලක්විය.

මෙහි සහාය නියමුවා වූ ගැමියෙල් එල්-බටොවුටි එම යානයේම ගුවන් සේවිකාවක සමග ලිංගික ඇසුරක් පැවැත්වීම නිසා දැඩි අවවාදයකට ලක්වීමක් මෙම ගමන ආරම්භයට ආසන්න අවස්ථාවක සිදුවිය.
ගුවන්සේවයේ නියමු කණ්ඩායමේ ප්‍රධානී හාතෙම් රුෂ්ඩි, එල්-බටොවුටි ට පැවසූයේ, මේක ඔහේගේ අන්තිම ගුවන් ගමන කියාය. එයට පිළිතුරු ලෙස එල්-බටොවුටි පැවසූයේ, “ඔහේගේ අන්තිම ගුවන් ගමනත් මේක තමයියනුවෙනි.

පසුව ප්‍රධාන නියමුවා නාන කාමරයට යාම පිණිස සිය අසුනින් ඉවත්වුණු අතර එල්-බටොවුටි සෙමින් මට දෙවියන් ගැන විශ්වාසය තබමියනුවෙන්  පවසනු පටිගතකිරීමේ යන්ත්‍රයේ සටහන් වී තිබිණි. ඔහු එසේ පවසා ස්වයංක්‍රීය නියමු ක්‍රියාවලියෙහි පැවැති යානය ඉන් මුදා එය සයුර දෙසට ධාවනයවන්නට සළස්වා ඇත.

ගුවන් යානය පහළට ගමන් කරන අතරේ කිහිප වතාවක්ම ඔහු මෙය පවසා  ඇත. ප්‍රධාන නියමුවා යළි නියමු කුටියට පැමිණිය ද යානය මහ සයුරට ඇදවැටීමෙන් වළක්වාගන්නට ඔහුය හැකියාවක් ලැබී නැත.
එක්සත් ජනපද ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා මණ්ඩලය නිගමනය කළේ මෙම අනතුර එල්-බටොවුටිගේ ක්‍රියාව නිසා සිදුවූවක් බවය.



10. ප්‍රංශයට අයත් ෆ්ලයිට් 447 අනතුර


අනතුරට පත් යානයේ කොටස් 


2009 වර්ෂයේදී බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ සිට පැරීසිය දක්වා මගීන් 288ක් ද රැගෙන ගමන්කරමින් තිබූ මෙම ගුවන් බස්රිය අත්ලාන්තික් සාගරයට ඉහළ අහසේදී අතුරුදහන් විය.

මේ අතුරුදහන්වීම පිළිබඳ කළ විමර්ශනයේ අවසන් වාර්තාවේ සඳහන් වූයේ යානයේ නල තුළ අයිස් කැට සිරවීම නිසා ස්වයංක්‍රීය නියමු ක්‍රියාවලිය බිඳවැටී මෙය අනතුරට ලක්වූ බවය.

මෙහි කාර්ය මණ්ඩලය වරද නිවරද කරගන්නට උත්සාහ දරා ඇති අතර එය ව්‍යර්ථවීමේ ප්‍රතිඵලයක් ලෙස යානය මුහුදට කඩාවැටී තිබේ. අනතුරින් පසුව ගෙවුණු මාසා කිහිපයේදී මළ සිරුරු 50ක් සොයාගන්නට හැකිවිය.

තවත් මළ සිරුරු 104 ක් සමඟ මෙම යානයට අයත් කලු පෙට්ටිය 2011 මැයි මාසයේදී සොයාගන්නට හැකිවිය. මගීන් 74 දෙනෙකුගේ මළ සිරුරු මෙතෙක් හමුවී නැත.