පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, March 4, 2014

ජංගම දුරකතන වෙළෙඳපල දෙදරවන ඇපල් - සැම්සුන්ග් යුද්ධය - War - Apple Vs. Samsung



ලෝකයේ ජංගම දුරකතන කර්මාන්තයේ දැවැන්තයෝ කිහිප දෙනෙකුම වෙති. මේ අතුරින් මෑතක සිට ව්‍යාපාරික ලෝකයේ වැඩි වශයෙන්ම කතාබහට බඳුන්වන සමාගම් දෙකක් ද පවතී. ඒ ස්මාර්ට්වර්ගයේ ජංගම දුරකතන ලොවට හඳුන්වාදීමේ ගෞරවයට හිමිකම් කියනා ඇමරිකාවේ  ඇපල්සමාගම හා ආසියානු ජංගම දුරකතන සමාගමක් වූ සැම්සුන්ග් සමාගමයි. ඇපල් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන මුල් සමයේ වෙළෙඳ පොළ ඉදිරියෙන්ම සිටිය ද දැන් එය සැම්සුන්ග් හමුවේ පසුබැස තිබේ. සංඛ්‍යාත්මකව ගත්කල ලෝකයේ ජංගම දුරකතන වෙළෙඳ පොළෙන් 29%ක් අත්පත් කරගෙන සිටින්නේ සැම්සුන්ග් සමාගමය. ඇපල් සමාගමට හිමිව ඇත්තේ 22%ක් පමණි.

සැම්සුන්ග් සමාගම වෙළෙඳ පළේ ඉදිරියටම ගමන් කරමින් පසුවුවද ඇපල් සමාගම පවසන්නේ බොහෝ  සැම්සුන්ග් දුරකතන යනු ඇපල් දුරකතනවලම කොපියක්බවය. එබැවින් ඔවුහු සිය නිර්මාණාත්මක අයිතිය ඉල්ලා නඩුමගට පිවිසියහ. ඔවුන් චෝදනාකොට සිටියේ සැම්සුන්ග් සමාගමේ ගැලැක්සි වර්ගයේ දුරකතනවල පෙනුම, අභ්‍යන්තර සැලසුම් සියල්ලක්ම පාහේ සිය අයිෆෝන් හා අයිපෑඩ්වලින් අමු අමුවේම අනුකරණය කොට ඇති බවය. එපමණක් නොව දුරකතන ඇසුරුම පවා අනුකරණ කිරීම කණගාටුවට කරුණක් බවත් ඔවුහු පෙන්වා දෙති. මෙය බුද්ධිමය දේපළ කොල්ලකෑමේ නවතම ප්‍රවණතාවයක් බව ද පේටන්ට් බලපත්‍ර නීතිය උල්ලංඝනය කිරීමක් බව ද ඇපල් සමාගම පවසයි.

තමන්ටම ආවේණික ශෛලියක් නිර්මාණය කරගන්නවා වෙනුවට සැම්සුන්ග් සමාගම සිදුකර ඇත්තේ සිය ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන හා ටැබ්ලට් සඳහා ඇපල් තාක්ෂණය අනුකරණය කිරීමය. පෙනුම පමණක් නොව පරිශීලක අතුරු මුහුණත (user interface) පවා ඔවුන් අනුකරණ කොට තිබේ.මෙවැනි කරුණු සඳහන් කරමින් ඇපල් සමාගම සකසා ඇති චෝදනා පත්‍රය පමණක් පිටු 38කින් සමන්විතය. මෙම නඩුව මගින් 2009 වසරේ ඇපල් සමාගම වෙළෙඳ පළට නිකුත් කළ ඇපල් අයිෆෝන් ත්‍රී ජී එස්’ (AppleiPhone 3GS) මාදිලිය සහ සැම්සුන්ග් සමාගම 2010 දී වෙළෙඳ පළට නිකුත් කළ ගැලැක්සි එස් අයි 9000’ (Galaxy S i9000) මාදිලි දෙක අතර පූර්ණ සංසන්ධනයක් කොට තිබේ. මෙම මාදිලි දෙකෙහි සමානකම් තහවුරු කිරීමට නඩු වාර්තාව තුළ ඡායාරූප පවා ඇතුළත් කොට ඇත. ඇසුරුම, සංගීතය, කෙටි පණිවිඩ හා දුරකතන නාමාවලිය වැනි දේ සඳහා ජංගම දුරකතනවල ඇති අයිකනවල ඇති සමානකම් පුළුල්ව විස්තර කොට තිබේ.


මේ ලැජ්ජා නැති විදියේ අනුකරණය කිරීම ඇත්තටම වැරදි දෙයක්.” 

මෙසේ පවසන්නේ ඇපල් සමාගමේ නියෝජිතයකු වන ක්‍රිස්ටින් හුගට්ය.
සැම්සුන්ග් සමාගම පවසා සිටියේ මෙම නඩුවට තමන් සක්‍රියව ප්‍රතිචාර දක්වන බවය. 

සැම්සුන්ග් සමාගම වෙළෙඳපළ ජයග්‍රහණය කරමින් මෙවැනි දුරක් පැමිණ තිබෙන්නේ එහි ඇති තමන්ටම ආවේණික ශෛලිය නිසයි. අපි දවසින් දවස අපේ ආවේණික ක්‍රමෝපයයන් ශක්තිමත් කරනවා.” 
සැම්සුන්ග් සමාගමේ නියෝජිතයා පවසන්නේ එවැනි කතාවකි.


මෙම ජංගම දුරකතන යෝධයන්ගේ හැප්පීම වෙළෙඳ පළේ යම් යම් ගැටලු ඇතිකිරීමට ද හේතුවී තිබෙනව බැව් වාර්තා වේ. ඇපල් අයිෆෝන්, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන වෙළෙඳ පොළේ වසර කිහිපයක් ආධිපත්‍යයක් රඳවාගෙන සිටිය ද ඔවුන්ගේ ප්‍රධාන තරගකරුවා මෙන්ම තරහකරුවා ද වන’, ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය භාවිතා කෙරෙන සැම්සුන්ග් සමාගමේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනවල ඒකක අළෙවිය 49%කින් පමණ ඉහළ ගියේය. ඇපල් සමාගම 2015 වසර මුළුල්ලේ ජංගමද දුරකතන වෙළෙඳ පළෙහි ආධිපත්‍යයක් රඳවා තබාගැනීමට මීට පෙර ඉළක්කකොට ගෙන සිටිය ද දැන් මුහුණ දී ඇත්තේ විසඳාගත නොහැකි ගැටලුවකටය.


අනෙක් අතට ඇපල් සමාගම නඩුවල පැටලී ඇත්තේ සැම්සුන්ග් සමාගම සමඟ පමණක් නොවේ. ඔවුහු එච්.ටී.සී සමාගම (HTC Corp), මෝටරෝල් සමාගම, ඇමසන් වෙබ් අඩවිය, නොකියා සමාගම, ඊස්ට්මන් කොඩැක් සමාගම යන ඒවා සමඟ ද ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන හා මෘදුකාංග ගැටලු මත විවිධ නඩුවල පැටලී සිටිති. ඒවායෙන් ඇතැම් නඩු ඇපල් සමාගම විසින් පැවරූ ඒවා වන අතර ඇපල් සමාගමට එරෙහිව අනෙක් පාර්ශවයන් විසින් පැවරූ නඩු ද මේ අතර වෙයි.

ඇපල් සමාගම මයික්‍රොසොෆ්ට් සමාගම සමඟ ද නඩුවක පැටලී සිටියි. ඇපල් සමාගම සිය පාරිභෝගියන් සඳහා අවශ්‍ය විවිධ මෘදුකාංග ලබාගැනීම පිණිස පිහිටුවා ඇති ඇප් ස්ටෝර්’ (app store) හි වෙළෙඳ සළකුණ අභියෝගයට ලක්කරමින් මයික්‍රෝසොප්ට් සමාගම ගත් ක්‍රියාමාර්ග මෙයට හේතු වී තිබේ.

ඇපල් සමාගමට සිය තරගකරුවන් සමඟ හොඳින් තරගවැදීමට නොහැකි වී ඇත්තේ මේ නඩුහබ නිසා යැයි සැන්ෆ්‍රුන්සින්කෝහි වෙළෙඳපළ විශලේෂකයකු වන එඩ්වර්ඩ් ස්නයිඩර් පෙන්වා දෙයි. ඔහු පවසන්නේ ඇපල් හා සැම්සුන්ග් සමාගම නඩුවලින් තරගකරගන්නවා වෙනුවට මෙම ගැටලු සාකච්ඡා මාර්ගයෙන් සමථයකට පත්කරගත යුතු බවය.

මෙම නඩුව නිසා ඉලෙක්ට්‍රොනික වෙළෙඳ පළේ යෝධයන්ගේ වෙනත් සබඳතා සඳහා ද ගැටලු  පැනනැගී තිබේ. සැම්සුන්ග් සමාගම නිෂ්පාදනය කරන ක්ෂුද්‍ර චිප (microchips) ඇතැම් ඇපල් නිෂ්පාදන සඳහා භාවිතා කෙරේ. සැම්සුන්ග් සමාගමේ මතක චිප’ (memory chips) ඇපල් සමාගමේ මැක්බුක් ප්‍රෝ’ (MacBook Pro) පරිගණක සඳහා යොදාගනු ලබයි. නමුත් මෙවැනි සහයෝගයක් පවතින ඔවුහු ජංගම දුරකතන වෙළෙඳ පොළෙහි නයි වෛරක්කාරයන් වෙමින් සිටිති.

2010 වසරේ සැම්සුන් සමාගමේ සමස්ථ ආදායම වූ ඇමරිකානු ඩොලර් බිලයන 142 ක පිරිවටුමෙන් 4%කට දායක වූයේ ඇපල් සමාගමය. මෙයින් කියැවෙන්නේ දැනට පවතින විනිමය අනුපාතිකය අනුව  සැම්සුන්ග් සමාගම වෙනුවෙන් ඇපල් සමාගම ඇමරකානු ඩොලර් බිලියන 6ක් වැය කොට ඇති බවය. මෙය දෙවැනි වන්නේ සෝනි සමාගමට පමණි. සෝනි සමාගම චිප සහ ජංගම දුරකතන සඳහා භාවිතාකරනු ලබන ද්‍රව ස්ඵටික තිර’ (Display) මිලදී ගනු ලබන්නේ සැම්සුන්ග් සමාගමෙනි.

පරිශීලක අතුරු මුහුණත සහ පුද්ගල පරිගණක සැළසුම්කිරීම සම්බන්ධව ඇපල් සමාගම සමඟ මයික්‍රොසොෆ්ට් හා ෂෙරක්ස් සමාගම නීතිමය ගැටලුවලට මුහුණ පා සිටියි. මුළින්ම බුද්ධිමය හිමිකම් සම්බන්ධව පැවති ගැටලු මේ වන විට වෙළෙඳ සළකුණු හා පේටන්ට් බලපත්‍ර දක්වා දුරදිග ගොස් තිබේ. ඇපල් සමාගම මෙසේ චෝදනා එල්ළ කරන අතරේ සැම්සුන්ග් සමාගම මේ වන විට තමන්ටම ආවේණික මොස්තරයන්ගෙන් රූපවාහිනි හා ජංගම දුරකතන නිෂ්පාදනය කරන්නට පටන්ගෙන තිබේ.
සැම්සුන්ග් සමාගම ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන නිෂ්පාදනය කළද 2009 වනතුරු දකුණු කොරියාව තුළ එවැනි දුරකතන භාවිතයට අවසර දී තිබුණේ නැත. එබැවින් ස්මාර්ට් වර්ගයේ දුරකතන සඳහා දේශීය වෙළෙඳ පොළෙහි පසුබෑමක් දක්නට හැකිවිය.

සැම්සුන්ග් සමාගමේ ඇසුරුම් පවා තම නිෂ්පාදනවලට හැම අතින්ම සමාන බැව් ඇපල් සමාගම දිගින් දිගටම චෝදනා කරයි. ඡායාරූප සහිත කොටස නිරූපණය කිරීම සඳහා ඇපල් සමාගම භාවිතාකොට ඇති සූරියකාන්ත පුෂ්පයම වෙනසක් නැතිව සැම්සුන්ග් දුරකතනවලද භාවිතා කෙරෙන බැව් කෙරෙන එක් චෝදනාවකි.

ඇපල් සමාගම මෙවැනි දේ සඳහා ගොනුකොට ඇති ඇතැම් නඩුවල තීන්දුවලින් ජයලබා ඇත්තේ ඇපල් සමාගමය. එවැනි එක් නඩුතීන්දුවකට අනුව සැම්සුන්ග් සමාගමට ඇපල් සමාගම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් ගෙවීමට සිදුවිය. නමුත් මේ මුදල ගෙවිය යුත්තේ කුමනාකාරයෙන්දැයි නඩුතීන්දුවේ කිසිත් සඳහන් නොවූ බැවින් එයින් ප්‍රයෝජන ගන්නට සැම්සුන්ග් සමාගම තීරණය කළේය. ඔවුන් කළේ ඇමරිකානු ශත 5 කාසි පිරවූ ට්‍රක් 30ක් ඇපල් සමාගමට යැවීමය. කැලිෆෝර්නියාවේ ඇපල් මූලස්ථානය වෙත මෙම ට්‍රක් රථ ළඟා වූ විට ඇපල් සමාගමේ බලධාරීන් සිතුවේ වැරදීමකින් එහි පැමිණි වාහන පෙළක් ලෙසිනි. නමුත් මොහොතකින් සැම්සුන්ග් සමාගමේ ප්‍රධාන විධායක නිලධරයා ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධරයා වූ ටිම් කුක් අමතමින් පැවසූයේ ඇමරිකානු ඩොලර් බිලියන එකේ වන්දිය ට්‍රක් රථවලින් එවා ඇති බවය.  මෙම ක්‍රියාව ජරා වැඩක්ලෙස ඇතැමුන් හැඳින්වුවද ඇතැමෙක් එය නියම වැඩක්ලෙස ද පවසති. මෙම වන්දි මුදල දැන් ඇපල් සමාගමටම හිසරදයක් වී තිබේ. ඒ මෙය ගණන් කරන්නට ගතවන කාලයයි. අනෙක මේ කාසි සියල්ල භාරගන්නට බැංකු කැමති වේද යන්නයි.

සැම්සුන්ග් සමාගම ඇමරිකන් ඩොලර් මිලියන එකක් කාසිවලින් වූ අවස්ථාව

සැම්සුන්ග් සමාගමේ සභාපති ලී කුන්-හී මාධ්‍ය හමුවේ පවසා සිටියේ තමන්ට අභූත චෝදනා කරමින් තමන් සමඟ කැත සෙල්ලම්පෙන්වන්නට එන ඕනෑම අයෙකුට තමා ද ඒ අවියෙන්ම පිළිතුරු දෙන බවය. තමා ඇපල් සමාගමට යැවූ කාසි සිසිල් බීම පානයට යොදා ගත්තද, ඒවා උණුකොට ලැබෙන ලෝහවලින් පරිගණක නිෂ්පාදනය කළ ද තමාට ගැටලුවක් නොවන බවය. ඔවුන් ඉල්ලූ මුදල තමා ලබාදුන් බව ඔහු පවසයි.


ඇපල්  - සැම්සුන්ග් සමාගම් අතර පවතින මේ මහා සංග්‍රාමය කවදා කෙසේ නිමවේදැයි බොහෝ දෙනෙකු බලාසිටිති. නඩුහබ සමඟ පොරබදිමින් දිගින් දිගටම මෙසේ ඉදිරියට ගමන් කරන්නට වීමෙන් මෙම සමාගම්වල නිෂ්පාදනවලට ද බලපෑම් එල්ලවන්නට පුලුවන. එවිට නව නිෂ්පාදන කරන්නට යෙදිය යුතු මුදල් නිකරුනේ නඩුහබවලට යෙදවීමෙන් සිදුවන්නේ ලෝකය හමුවේ එලිදක්වන්නට ඇති නවතම තක්ෂණික උපාංගවල ඉදිරිගමන තවත් කාලයකට ආපස්සට යාම පමණි.

1 comment:

  1. අර තරම් මුදලක් කාසි වලින් ගෙවපු බවක් ඇහුවමයි..

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න