පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, March 5, 2014

අයථා ලිංගික බලපෑමක් කළ බව කියන අධ්‍යක්ෂට නිළියකගෙන් කන හරහා පහරක් - A Slap by an Actress to an Indian Director

කලාව යනු සරසවි දේවියගේ වරම් ලබා ඇගේ ආශීර්වාදයෙන් ඉදිරියට යායුතු දෙයකැයි අප අනාදිමත් කාලයක සිට අසා ඇත්තෙමු. පොතපතවල සඳහන්ව ඇත්තේද කලාවට අධිපති දෙවඟන වන්නේ සරසවි දේවියකියාය.  කලාව උතුරා පිටාර ගළන්නා වූ අපට අසල්වැසි භාරතයේ සිනමා පටයක් ආරම්භ කරන බොහෝ අවස්ථාවලදී සරසවි දේවියගේ පිංතූරයක් දමනවා ඇත්තේ ද මේ නිසාමය. මේ අප දන්නා තරම වුව ද සැබෑ ලෝකයේ නම් කලාවේ ඉදිරියට යන්නට වරම් හා ආශීර්වාද ගත යුත්තේ සරසවි දේවියගෙන් පමණක් නොවේ යැයි පෙනේ. විශේෂයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නට පෙරුම් පුරනා කාන්තාවන්ට නම් සරසවි දේවියගෙන් වැඩක්ම නැත. ඔවුනට සරසවි දේවිය වඳින්නට පෙර තවත් වැඳිය යුතු දෙවිවරු සිටිති. උදාහරණයක් ලෙස සිනමා ක්ෂේත්‍රය ගතහොත් බොහෝ අවස්ථාවලදී රංගන ශිල්පිනියක ලෙස ඉදිරියට යාමට නම් නිෂ්පාදකවරයාට හා අධ්‍යක්ෂවරයාට සිරුරු පූජාවක්’ සිදුකළ යුතු වේ. තේරෙන බසින් පවසන්නේ නම් ලිංගික අල්ලස්’ ලබාදිය යුතුවේ. එවැනි පූජාවන් කරන තරමට ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට හැකියාව ලැබේ. මේ දිනවල අපේ රටේ එක්තරා ජනප්‍රිය ටෙලි නාට්‍යයක්ද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මේ ලිංගික අල්ලස් ගැනීම පිළිබඳ කතාබහ කරයි. එම ටෙලි නාට්‍යයට අපේ රටේ ටෙලි නාට්‍ය ප්‍රබලයන් කැමැති නැත. එයට හේතුව අපට වැඩක් නැත. මාධ්‍යවලින් අපට ඇසෙන පරිදි සෑම නිෂ්පාදකවරයෙක්මඅධ්‍යක්ෂවරයෙක්ම මෙසේ නැතැයි පැවසේ. ඇතැම් රංගන ශිල්පිනියන්ද පවසන්නේ තමන් ඒවාට අකැමැති බැවින් අන් අය ද එවැනි පූජාවන් තමාගෙන් අපේක්ෂා නොකරන බවය. ඒ පිළිබඳ අප කිසික් නොදන්නා නිසා වැඩිදුර කතාකළ යුතු නැත. කෙසේ හෝ මේ ලිංගික අල්ලස් පුරුද්ද නිසා අප රටේ පමණක් නොව ලෝකයේ සෙසු රටවල ද නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂවරු නවක නිළියන්ගෙන් මෙම පූජාවන් අපේක්ෂාකරනු දැකිය හැක. බටහිර රටවල නම් නිළියන්ට මෙවැනි දේ අරුමයන් නොවේ. නමුත් ආසියානු රටවල තත්වය තරමක් වෙනස්ය. මෙහි ද කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට ඕනෑම දෙයක් කරන්නට පෙළඹෙන කාන්තාවන් නැතිවා නොවේ. නමුත් ඇතැමුන් එසේ නොවෙති. මෙවැනි එක් අපූරු සිදුවීමක් පිළිබඳ මෑතකදී ඉන්දියාවෙන් වාර්තා විය.

සුභාෂ් කපූර්
ඇය නමින් ගීතිකා ත්‍යාගි’ ය. කලක් රූපවාහිනී නිවේදිකාවක ලෙස කටයුතු කළ ඇය පසුව නිළියක් බවට පත්විය. ආත්මා’ සහ What The Fish and One By Two යන සිනමා නිර්මාණවලද පෙනී සිටින ඇය තමාගෙන් ලිංගික අල්ලසක් ඉල්ලුවේ යැයි චෝදනා එල්ළ කරන්නේ සුප්‍රකට සිනමා අධ්‍යක්වරයකු වූ  සුභාෂ් කපූර්’ හටය. සුභාෂ් කපූර් යනු හින්දි බස පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහිතව දේශපාලන මාධ්‍ය කලාවට පිවිසි පුද්ගලයෙකි. 2001 වසරේදී කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසි ඔහු වාර්තා චිත්‍රපට බොහෝ ගණනක් නිර්මාණය කොට තිබේ. 2007 දී ඔහු සිය ප්‍රථම සිනමා නිර්මාණය Say Salaam India නමින් එළිදැක්වූයේය. ඉන් අනතුරුව ජොලි එල්.එල්.බී.’, පාස් ගායේ රේ ඔබාමා’, මුන්නා බායි චාලේ ඇමරිකාවශයෙන් සිනමා නිර්මාණ කිහිපයක්ම ඉදිරිපත් කොට ඇත.
ගීතිකා ත්‍යාගි පවසන්නේ දැනට වසරකට පමණ පෙර සාදයක් අවස්ථාවේදී ඔහු තමාව බලෙන් ඇදගෙන ගොස් ලිංගික අතවරයක් සිදුකරන්නට උත්සාහ කළ බවය. මේ පිළිබඳව හොඳින්ම තොරතුර දත්සිනමා පිටපත් රචිකාවක වන ඩැනිෂ් රාසා පවසන්නේ වෙනස් කතාවකි. ඇය පවසන පරිදි ත්‍යාගිව දැලේ දමාගන්නට’ සුභාෂ් ඇගේ සහාය පතා ඇත. මෙම සාදය අවස්ථාවේ මුළින්ම ත්‍යාගි නිදන කාමරයට ගොස් ඇත්තේ ඇගේම කැමැත්තෙන් වුවත් සුභාෂ් විසින්ම තමාව බලෙන් ඇදගෙන ආ බව පසුව ගීතිකා පැවසූ බැව් ඩැනිෂ් රාසා පවසයි.  ගීතිකා මෙම කතාව ප්‍රතික්ෂේප කරයි.

ගීතිකා


මෙය සුභාෂ් කපූර්ගේ බිරිඳ ද දැන සිටි බැව් ඇය පවසයි. සුභාෂ්ගේ බිරිඳ ත්‍යාගිගෙන් ඉල්ලා සිට ඇත්තේ තමාට පුතකු සිටින බැවින් ඔහු ගැන සිතා මෙය ප්‍රසිද්ධ නොකොට සමථයකට පත්කරගන්නා ලෙසය. මෙසේ වසරක් පමණ ගෙවුණු පසු කිසිවක් සිදුනොවූ ශුද්ධවන්තයකු ලෙස සුභාෂ් කපූර් සිටිනවා දැක උරණ වූ ත්‍යාගි මිනිත්තු 31 ක ධාවන කාලයක් සහිත අපූරු වීඩියෝවක් යූ ටියුබ් අඩවියට එක් කළේය. මෙම වීඩියෝවේ සුභාෂ් කපූර්, ඔහුගේ බිරිඳ, මෙම චෝදනාව කරන ගීතිකා ත්‍යාගි හා තවත් චිත්‍රපට අධ්‍යක්වරයකු වූ  අතුල් ශබ්‍රවාල් ද සිටී. තමාට සුභාෂ් කළ බලපෑම් පිළිබඳ ත්‍යාගි මෙම වීඩියෝ පටය පුරාම චෝදනා කරන අතර ඒ සියල්ලක්ම බැහැර නොකරන බව සුභාෂ්ගේ ඉරියව්වලින් පෙනෙනන්ට තිබේ. නමුත් තමා ඇයට ලිංගික බලපෑමක් සිදුකළ බව පමණක් ඔහු ප්‍රතික්ෂේප කරයි. මේ පිළිබඳ උරණ වන ත්‍යාගි සුභාෂ්ගේ කම්මුලට වැරෙන් පහරක් එල්ල කරයි. මෙය වඩාත් උද්දීපනය කරනු පිණිස එම පහර කිහිප වතාවක්ම පුනරූපනය කොට දැක්වීමට ද ත්‍යාගි අමතක කොට නැත. පහර වැදුණු විගසම නිසොල්මන්ව සිටියත් එහි වේදනාව ඉක්මණින් පහව නොයන බව දැනුණු සුභාෂ් තරමක් වේලාවකට පසුව සිය කම්මුල අතින් පිරිමදී. ඔහුගේ බිරිඳ කරකියාගත නොහැකිව බලා සිටී. තමා ඉදිරියේදීම තම සැමියා කුණු ගොඩක් කරේ දමාගැනීම පිළිබඳ ඇය හඬා වැළපෙන අයුරු ද මෙම රූප රාමුවේම පැහැදිලිව සටහන් වී තිබේ. මේ වන විට මෙම වීඩියෝව බොහෝ රූපවාහිනි නාලිකාවන්හිදී ද විකාශනය කෙරී හමාරය.  මෙම අවස්ථාවේ සිටි අනෙක් සිනමා අධ්‍යක්ෂවරයා පැමිණ ඇත්තේ ත්‍යාගිට ධෛර්යය දීම පිණිස මිස සුබාෂ් වෙනුවෙන් නොවේ. මේ වන විට මෙම වීඩියෝව 70,000කට අධික පිරිසක් නරඹා ඇති බැව් පෙනන්නට තිබේ.



ත්‍යාගි මෙම වීඩියෝ පටය ෆේසුබුක් හා ට්විටර් යන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ද ප්‍රචාරය කොට ඇත. බොහෝ දෙනෙකු පවසන්නේ ඇය මෙසේ කරන්නට ඇත්තේ ලෝකයේ බොහෝ දෙනෙකු කරනවා සේ වැඩි දෙනෙකුගේ අනුකම්පාව දිනාගැනීම සඳහාය. වැඩිදෙනෙකුගේ අනුකම්පාව දිනාගනු වස් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිය දුක පැවසීම වර්තමානයේ විලාසිතාවක් බවට පත්ව ඇත. ත්‍යාගිට සුභාෂ් කපූර්ගෙන් සිදුවූ අසාධාරණයට එරෙහිව බොහෝ දෙනෙකු මෙම සමාජ වෙබ් අඩවි ඔස්සේ සිය අදහස් දක්ව තිබේ.

මට දැන් එක මිනිහෙක්වත් විශ්වාස කරන්න බැහැ. මට මගේ තාත්තට, මස්සිනාට, මාත් එක්ක කෝපි එකක් බොන්න කැමතියි කියන දන්න හඳුනන කෙනෙක්ටවත් මට දැන් මුහුණ දෙන්න බැහැ.ත්‍යාගි මෙවැනි වදන් කියමින් කෑගසනු දැකිය හැකිය. ඇයට බොහෝ දෙනෙක් අනුකම්පාව දක්වමින් අදහස් පළකරන්නට මෙය ද හේතුවක් යැයි බොහෝ දෙනෙකු පවසති.

මේ අතරේ ත්‍යාගි ද හැම අතින්ම යහපත් කාන්තාවක් නොවන බවට ද පුවතක් අන්තර්ජාලය හරා වේගයෙන් පැතිර යන්නට පටන්ගෙන තිබේ. ඇය කලින් සේවය කරමින් සිටි රූපවාහිනි නාලිකාවේ සේවයෙන් ඇයට ඉවත්වන්නට සිදුව ඇත්තේ සොරකමක් සම්බන්ධවය. ඇය එහි සේවය කළ ශාසියා ඉල්මිට අයත් බැංකු කාඩ්පත සොරකම්කොට එයින් මුදල් ගත් බවට චෝදනාවක් එල්ලවී තිබේ. ඇය මුළින්ම තමා නිර්දෝෂ බව පැවසූව ද සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂාවෙන් ඇය මෙම සොරකම කළ බැව් තහවුරු විය. ඉන්පසු ඇය තමා කළ වරද පිළිගත්තාය.

නමුත් මේ සිදුවීම සුභාෂ් කපූර් නම් අධ්‍යක්ෂවරයාගෙන් එල්ල වූ ලිංගික බලපෑම සමඟ සසඳා ඔහුට නිර්දෝෂවන්නට හේතුවක් කරගන්නට හැකියාවක් නැත. මුදල් සොරකම වෙනම වරදක් වන අතර ලිංගික අල්ලස් ඉල්ලීම වෙනම වරදකි. ඉදිරියෙදී නව සිනමා නිර්මාණයකට අතගසන්නට සිටින සුභාෂ් කපූර් දැන් මුහුණ පා ඇත්තේ සෑහෙන අර්බුදයකටය. ඔහු තමාට ලෝකයා ඉදිරියේ සිදුවූ අවනම්බුව කෙසේ හෝ දරාගත්තේ යැයි අනුමාන කළ ද ඔහුගේ බිරිඳට හෝ පුතුට මෙම තත්වය දරාගන්නට නොහැකි වනු ඇත. සුභාෂ් කපූර්ගේ නිර්මාණ ජීවිතයට මෙය සෑහෙන පහරක් වනු ඇත. එමෙන්ම ත්‍යාගිගේ මෙම ක්‍රියාව නිසා ඇතැම්විට ඉන්දියාවේ නවක රංගන ශිල්පිනියන් ද ලිංගික අල්ලස් බලාපොරොත්තුවන්නවුන්ට ඉදිරියේදී යම් යම් තර්ජනාංගුලි එල්ල කරන්නට ඉදිරිපත්වන්නට ඇතැම්විට ඉඩ ඇති බැව් ද සමහරෙක් පවසති.

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න