පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, March 6, 2014

සතකුප්ප මුසු සූදුරු භාවිතයෙන් කතුන් වඳ බවට හා ගබ්සාවන්ට ලක්වේද? - Dil Weed (Satakuppa) causes the Infertility in Women?

සතකුප්ප යනු ගබ්සා වීමටත්, කාන්තාවන් වදභාවයට පත් කරන්නටත් හේතු වන ඖෂධයක් බවට ආයුර්වේදයේ ප්‍රචලිත මතයක් ඇතැයි අපි අසා ඇත්තෙමු. එබැවින් මේ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය මතය දැනගනු පිණිස කොළඹ විශ්වවිද්‍යාලයීය දේශීය වෛද්‍ය ආයතනයේ ප්‍රසූති තන්ත්‍ර සහ කෞමාර භෘත්‍ය අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ කොළඹ 08, බොරැල්ල ආයුර්වේද මහ (ශික්ෂණ) රෝහ‍ලේ සහකාර උපදේශක කාන්තා රෝග සහ ප්‍රසව තන්ත්‍ර විශේෂඥ කෞමදි කරුණාගොඩ මහත්මියගෙන් කරුණු විමසා සිටියෙමු. 

සතකුප්ප, සූදුරු, මහදුරු, දෙව්දුරු හා කලුදුරු කියන්නේ එකම කුලයකට අයත් ශාක වර්ග. මේවා වැවෙන්නේ කුඩා පැළෑටි හැටියට; ආහාර හා ඖෂධ වශයෙන් මේවායේ බිජ යොදා ගැනෙනවා. අදින් අවුරුදු 6000කට පමණ පෙර ලියැවුණු ආයුර්වේද ග්‍රන්ථවල මේවා පිළිබඳ කරුණු සඳහන් වෙනවා. ආයුර්වේද ග්‍රන්ථවල සූදුරු ශ්වේත ජීරකවශයෙනුත්, කලුදුරු කෘෂ්ණ ජීරකවශයෙනුත් හැඳින්වෙනවා. සතකුප්ප හැඳින්වෙන්නේ ශතපුෂ්පනමින්. පැරණි ආයුර්වේද ග්‍රන්ථවල සතකුප්ප ගැන පැහැදිලි විස්තර අඩංගු වෙනවා. සතකුප්පවල ඖෂධීය ප්‍රයෝජනයන් පහත ආකාරයට සඳහන් කළ හැකියි.

1. පුරුෂ හා කාන්තා භේදයකින් තොරව ආහාර මාර්ග පද්ධතියේ ඇති වන විවිධ රෝග සඳහා.

2. විශේෂයෙන් කාන්තා රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙසද සතකුප්ප යොදා ගන්නවා. යම්කිසි කාන්තාවකගේ ඔසප් ක්‍රියාවලිය අක්‍රමවත් නම්, ඒ සඳහා ප්‍රතිකාරයක් ලෙස සතකුප්ප යොදා ගැනෙනවා. ඒ වාගේම වඳභාවයට පත්වූ කාන්තාවන් සඳහා ප්‍රතිකාර කිරීමේදීද සතකුප්ප යොදා ගන්නවා.

3. ගර්භාෂයේ මාංශ පේෂී සංකෝචනය කිරීම සඳහා සතකුප්ප මගින් කෙරෙන විශේෂ කාර්යභාරයක් ඉටු කෙරෙනවා.
සතකුප්පවලින් ඖෂධ භාවිතයේදී චූර්ණ, නස්න, කෂාය, වස්ති ආදී වශයෙන් පිළියෙළ කරගනු ලබනවා.

සතකුප්ප ඖෂධය මගින් කාන්තාවන්ගේ ආර්ථවය, එහෙමත් නැත්නම් මාසික ඔසප්වීම පිළිබඳ යම් යම් වෙනස්කම් ඇති කරන නිසා මෙය ගැබ්ගත් කාන්තාවන් සඳහා ආයුර්වේදයේදී නිර්දේශ කරන්නේ නැහැ. එයට හේතුව සතකුප්ප නිසා ගැබ් හෙළීම, එහෙත් නැත්නම් ගබ්සාවක් සිදුවන්නට ඇති හැකියාවයි.

බටහිර හෝ ආයුර්වේද හෝ මේ කුමන ඖෂධයක් වුවත්, ඒවා ලබා ගන්නා යම්කිසි නිශ්චිත මාත්‍රාවක් තිබෙනවා. ආයුර්වේදයේදී සතකුප්ප සඳහා නියම කරන මාත්‍රාව අනෙක් ඖෂධවලට සාපේක්ෂව වැඩි බව සඳහන් කළ හැකියි. ආයුර්වේදයට අනුව සතකුප්ප නැළියක්දක්වා ගැනීමට නියම කරනු ලබන අවස්ථාත් තිබෙනවා. නැළියක් යන්න වර්තමාන ඒකකයකට පරිවර්තනය කළොත් අපට එය ගැලුම් කාලක් හෝ ලීටර් 1.1ක් ලෙස සඳහන් කරන්නට පුළුවන්.
සතකුප්ප ගැන සාමාන්‍ය ජනතාව කතා කරන්නට පටන් ගත්තේ මෑතකදී. ඒ ඒවා සූදුරු සමග මිශ්‍රකොට අලෙවි කරන්නට තිබිම නිසයි. කෙසේ නමුත් සූදුරුවලට විශාල ප්‍රමාණයකින් සතකුප්ප මිශ්‍ර කරන්නට හැකියාවක් නැහැ. දැන් සොයාගෙන ඇති ආකාරයට අප රටට ගෙනැවිත් ඇති සූදුරුවල 15ක් පමණ සතකුප්ප ඇති බව සොයාගෙන තිබෙනවා. අනෙක සතකුප්පවල රසයද සූදුරුවලට වඩා වෙනස් නිසා මිශ්‍ර කළ හැක්කේද සුළු ප්‍රමාණයන්ගෙන් පමණයි.

අප නිවෙස්වල සූදුරු බොහෝ විට භාවිත වන්නේ කුළු බඩුවක් ලෙසටයි. සාමාන්‍යයෙන් ආහාරපාන සඳහා කුළුබඩු අධික ලෙස යොදා ගන්නේද නැහැ. ඇතැම් පුද්ගලයන් සූදුරු භාවිත කරන්නේම නැති තරම්. මේ සුළු ප්‍රමාණය තුළ අඩංගු සතකුප්පවලින් සිරුරට යම්කිසි අහිතකර බලපෑමක් එල්ල වන්නට ඉඩ ඇත්තේ නැහැ.


අනෙක අප ගන්නා වෙනයම් ආහාරවලද ගබ්සාකාරක රසායන යම් යම් මාත්‍රාවන්ගෙන් තිබිය හැකියි. නමුත් එවැනි ආහාර වර්ග පරිභෝජනය කළ පමණින්ම කාන්තාවක් ගබ්සා වන්නේ නැහැ. සූදුරුවලට මිශ්‍රකොට ඇත්තේද ඉතාම ස්වල්පයක් වූ සතකුප්ප ප්‍රමාණයක් නිසා ප්‍රායෝගික ලෙස කල්පනා කළොත් එයින් කිසිසේත්ම ගබ්සාවක් ඇතිවන්නට ඉඩක් නැහැ. නමුත් සූදුරුවලට සතකුප්ප මිශ්‍රකිරීම යනු නීති විරෝධී ක්‍රියාවක්. එබැවින් මෙම ක්‍රියාවට අදළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ හැරුණු විට මේ ආකාරයෙන් සුළු මාත්‍රාවක් සූදුරු සමග මිශ්‍ර කළ සතකුප්ප ආහාරයට ගැනීමෙන් දරු ගැබක් විනාශ වේ යැයි ආයුර්වේදයට අනුව සඳහන් කළ නොහැකියි.

වැඩිදුර කියැවීම්

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න