පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, June 28, 2013

Prince Geum in Abheetha Diyani - ‘අභීත දියණිය’ හි කිරුළ හිමි කුමරු ගැනයි මේ


අභීත දියණිය ටෙලි නාට්‍යයේ දොංග් යි ගේ පුතු වන ගුමන් හෙවත් යිවෝනින්ග් කුමරු ලෙස පෙනී සිටින ලී හ්‍යුන්ග්-සුක් පිළිබඳ අපි පසුගිය සතියක කතා කළෙමු. අද අප කතා කරන්නට සූදානම් වන්නේත් එහි පෙනී සිටින තවත් ළමා නළුවකු පිළිබඳවය. ඔහු අභීත දියණිය ටෙලි නාට්‍යයේ පණ ‍පොවන්නේ ඔක්ජොන්ග් බිසවගේ පුතු වූ ග්යොන්ග්ජොන්ග් කුමරුගේ චරිතයයි. මෙය ටෙලි නාට්‍යයේ දිග හැරෙනුයේ කිරුළ හිමි කුමරු යනුවෙනි.

ඔබ අභීත දියණිය නාට්‍යයේ රසිකයෙකු නම් ඔක්ජෝන්ග් බිසව යනු කුමනාකාර තැනැත්තියකද යන්න අමුතුවෙන් කිව යුතු නොවෙ. ඇය ඉතා නපුරු ගතිගුණ ඇති කාන්තාවකි. නපුරු ගතිගුණ නිසාම ඇයට අගබිසව තනතුර නොදී දොංග් යිට අග බිසව තනතුර ලබාදීමට සුක්ජොන්ග් රජු අදහස් කරයි. තම පුතුට රජකම හිමි නොවී දොංග් යිගේ පුතු වූ ගුමන් කුමරුට රජකම හිමිවේය යන සැකයෙන් යුක්ත වීම නිසා ඔක්ජොන්ග් බිසව දොංග් යි ටත් ඇගේ පුතුටත් වෛර කරයි. ඔවුන් මරා දමන්නට උත්සාහ කරයි. නමුත් ග්යොන්ග්ජොන්ග් කුමරුගේ ගතිගුණ සිය මවගේ ගති ගුණවලට ඉඳුරාම වෙනස්ය.

පෙනුමින් අහිංසක එම කුමරුවා හැසිරීම් ආදියෙන් ද අතිශය සංවරය. ඔහු කිසිවකුට වෛර නොකරන අතර සිය සොහොයුරු වූ ගුමන් කුමරු සමග දැඩි බැඳීමකින් ද පසුවෙයි.
‘අභීත දියණිය’ ටෙලි නාට්‍යයට අනුව මෙම කුමරුන්ට රජකම ලැබේදැයි සැක සහිතය.
සැබෑ කොරියානු ඉතිහාස කතාවට අනුව පළමුව රජ වන්නේ ග්යොන්ග්ජොන්ග් කුමරුය. ඒ ජෝසන් රාජවංශයේ විසිවැනි රජු ලෙසිනි. ගුමන් කුමරු රජ වන්නේ ඉන් පසුවය. ඒ ජෝසන් රාජ වංශයේ විසි එක්වැනි රජු ලෙසය.

මේ ඉතිහාස කතාව ඉදිරිපත් කළේ ඔබ අතරින් යමෙකු අභීත දියණිය නාට්‍යය නිතර නරඹන්නකු නොවේ නම් ඒ පිළිබඳව යම් අදහසක් ඇති කර ගැනීම සඳහාය.
ග්යොන්ග්ජොන්ග් කුමරුගේ චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ කොරියාවේ තවත් දක්ෂ ළමා නළුවකුවන යූන් චෑන්ය. 1996 නොවැම්බර් 26 වැනිදා උපන් ඔහු මේ වන විට ‘බන්ට්’ හා ‘ලිව් ඕ ඩයි’ නම් සිනමා පට දෙක සඳහා රංගනයෙන් දායක වී තිබේ. ඔහුගේ මුල්ම රූපවාහිනී මාලා නාටකය වන්නේ අභීත දියණියයි. ඉන් පසු ‘ප්‍රින්සස් ජා-ම්‍යුන්ග්’ සහ ‘අයර්ලන්ඩ්’ යන මාලා නාටක දෙක සඳහා රංගනයෙන් දායක වී තිබේ.

2013 Mrs. Aisa form Sri Lanka - 2013 ආසියානු විවාහක රූ රැජින ශ්‍රී ලංකාවෙන්

  
වසරක් පසා ලෝකයේ විවිධ ස්ථානවල විවිධ වර්ගයේ රූ රැජිනන් තේරීමේ තරග පැවැත්වේ. අප රටින්ද රූමත් තරුණියන් මේවා සඳහා සහභාගිවෙනු අපි දැක ඇත්තෙමු. නමුත් සහභාගීවන තරමට ජයග්‍රහණ ලැබෙන්නේ කලාතුරකිනි. නමුත් සෑම විටම එය එසේ නොවන බැව් පෙනෙන්නේ විවාහක රූ රැජිනන් තේරීමේ තරග දකිනා විටය. එයට හේතුව නම් විවාහක රූ රැජින තේරීමේ තරගවලදී අප රටට ඉඳහිට හෝ ජයග්‍රහණයන් හිමිවීමය.

අප රටට මුළින්ම ජයග්‍රහණයක් හිමිවන්නේ 1985 දී රෝසි සේනානයක ලෝක විවාහක රූ රැජින වීමත් සමගය. ඉන් පසුව පසුගිය වසරේ, එනම් 2012 වසරේදී ශ්‍රීමාලී ෆොන්සේකා ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජින බවට පත්වූවාය. මෙහි අලුත්ම ජයගහණය අප ලබාගන්නේ මේ වසරේදීද එම තරගයෙන් අප රට ජයග්‍රහණය කිරීම නිසාය. ඒ පසුගිය 16 වැනිදා රාත්‍රියේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ පැවති ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජින තේරීමේ තරගයට අප රටෙන් සහභාගී වූ 32 හැවිරිදි නිලංගා තිසරණී සේනානායක කිරුළු පැළඳීමත් සමඟිනි. ඇය මේ ජයග්‍රහණය ලබාගත්තේ රටවල් 30ක තරගකාරියන් සමග කරට කර පැවති තරගයකින් පසුවය. 


සෑම වසරකම මෙම තරගය සංවිධානය කරනු ලබන්නේ මැලේසියාවේ ERM Marketing Sdn. Bhd. සමාගම විසිනි. විවාහක කාන්තාවන්ගේ විවිධ දක්ෂතා උරගා බලමින් මෙම තරගය පැවැත්වේ. මෙයට සහභාගීවන තරගකාරියන් තුළ විවාහ ජීවිතය සහ ලෝකයේ එදිනෙදා සිදුවීම් පිළිබඳ මනා වැටහීමක් ඇතිදැයි පරීක්ෂා කරනු ලබයි. සියලු ආසියානු ජාතීන් අතර සන්නිවේදනය, සංස්කෘතිය, මිත්‍රත්තවය හා අන්‍යෝන්‍ය අවබෝධය වර්ධණය කිරීම මෙම තරගයේ අරමුණයි.

මෙම තරගය සංවිධානය කරනු ලබනERM Marketing Sdn. Bhd. සමාගම ලෝකය පුරා විවිධ රූ රැජි තරග සංවිධානය කිරීම පිළිබඳ මනා අත්දැකීම් රැසක් ඇති ආයතනයකි. ලෝකයේ බොහෝ ස්ථානවල මෝස්තර නිරූපණ වැඩසටහන් සංවිධානය පිළිබදව ද මෙය ඉහළ නමක් දිනාගෙන තිබේ.

2013 වසරේ ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජින තරගයෙන් ජයග්‍රහණය ලබාගත් නිලංගා සේනානයක විවාහ දිවියට පා තබා ඇත්තේ 2000 වසරේදී වන අතර ඇගේ ගම් ප්‍රදේශය වන කලුතර ‛සැලොන් නිලූ’ නමින් රූපලාව්‍යගාරයක් ද පවත්වාගෙන යයි. ඇය මෙවර පැවති තරගයෙන් ආසියානු විවාහක රූ රැජින ලෙස පමණක් නොව ‛හොඳම පෙනුම සහිත නිරූපණ ශිල්පිනිය’ (Best Model Look) අංශයෙන් ද ජයග්‍රහණය කරන්නට සමත වූවාය.

පසුගිය වසරේ මෙම තරගයෙන් ජයග්‍රහණය හිමිකරගත් ශ්‍රීමාලී ෆොන්සේකා මෙවර තරගයේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.


Thursday, June 20, 2013

Foot Ball Player and the Dog - අසරණ සුනඛයකුට පීඩා කළ පාපන්දු ක්‍රීඩකයාට මතක හිටින පාඩමක්

  
ආර්ජන්ටිනාව යනු පාපන්දුවලට ඉතා ප්‍රසිද්ධ රටකි. අතිදක්ෂ පාපන්දු ක්‍රීඩකයකු වූ දියෙගෝ මැරඩෝනා සිටියේ ද ආර්ජන්ටිනාවේය. මෙතරමට පාපන්දුවලට ප්‍රකට එහි පසුගිය දිනයක බුවනෝර්ස් අයර්ස් අගනුවර පාපන්දු තරගයක් පැවැත්වෙමින් තිබිණි. එය පවත්වනු ලැබුයේ බුවනෝර්ස් අයර්ස් සිට සැතපුම් අටසීයක් පමණ දුරින් පිහිටි පළාත් දෙකක් වූ බෙලා විස්ටා හා සැන් ජුවාන් කණ්ඩායම් දෙක අතරය.

  
හදිසියේම පාපන්දු පිටියේ දක්නට ලැබුණේ කේඩෑරි වී ගිය සුනඛයෙකි. ඌ දඩාවතේ යන සුනඛයකු වූ අතර කෙසේ පිටියට පැමිණියේදැයි කිසිවකු දැන සිටියේ ද නැත. සුනඛයා පිටියෙන් ඉවත් කරන්නට ද කිසිවකු හෝ උනන්දුවක් දක්වන බවක්ද පෙනෙන්නට තිබුණේ නැත.
 
  
මේ අවස්ථාවේදී බෙලා විස්ටා කණ්ඩායමේ ජෝස් ගිමෙන්ස් නමැති පාපන්දු ක්‍රීඩාකයා හනික ක්‍රියාත්මක විය. ඔහු වහා පෙරට පැමිණ සුනඛයාගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය. අනතුරු බෙල්ලෙන් ඔසවා ගෙන පිටිය අද්දරට දිව ගියේය. පිටිය අද්දරට පැමිණි ඔහු පාපන්දුවක් වීසිකරන්නා වැනි හැඟීමෙන් සුනඛයාව පිටියෙන් පිටතට වීසිකරන්නට උත්සාහ කළේය. නමුත් ඔහුගේ ප්‍රයත්නය සාර්ථක වූයේ නැත. සුනඛයා පාපන්දු පිටිය වටා ඉදිකොට තිබූ උස් කටු කම්බි වැටේ ගැටී යළිත් පාපන්දු පිටිය මතටම පතිත විය. ඒ සියලු දෙනාටම ඇසෙන්නට තරම් සෑහෙන වේදනාකාරී හඬක් ද නංවමිනි. එය සුනඛයාට වේදනාකාරි අත්දැකීමක් වන්නට ඇත. 


එහෙත්, ඉන් ඒ සතාට අනතුරක් සිදු වූ බවක් පෙනෙන්ට නොතිබුණේ ඌ එකවර නැගී සිට පාපන්දු පිටිය හරහා යළි දුවන්නට පටන් ගත් නිසාය. සිදුවීම එතැනින් අවසන් වූයේ නැත. ජෝස් කළ ක්‍රියාවට එරෙහිව ක්ෂණිකව ප්‍රතිචාර ලැබෙන්නට විය. ප්‍රේක්ෂකයෝ මෙම ක්‍රියාව හෙළා දකිමින් කෑකෝ ගසන්නට වූහ.

  
ඔහුගේ කණ්ඩායමේ මෙන්ම ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයින් ද පැමිණ ඔහුගේ මේ ක්‍රියාව හෙළා දකිමින් ඔහුට පහර දෙන්නට පවා උත්සාහ කළහ. ඒ ගිමෙන්ස්ගේ ක්‍රියාවට ඔවුන්ගේ සිත් තුළ පැවැති දැඩි විරෝධය නිසාය. එසැනින් තරග විනිසුරුවරයා ඔහුට රතු කාඩ් පතක් නිකුත් කරමින් තරග බිමෙන් ඉවත් කළේය. මේ සියල්ල ලෝකයේ බොහෝ ප්‍රකට මාධ්‍යවලින් ලොව පුරා ප්‍රචාරය කළේය. ගිමෙන්ස් පසුව පවසා සිටියේ මේ සිදුකළ ක්‍රියාව පිළිබඳ තමන් දැන් ලජ්ජා වන බවකි. ඒ හේතුව මත  තමන් කණ්ඩායමෙන් ඉවත් කොට ඇති බව ද ඔහු කීය. සියල්ලටම වඩා ඔහු අපහසුවට පත්ව සිටින්නේ තමා කළ මෙම නොමනා ක්‍රියාව තම තුන් හැවිරිදි පුතු රූපවාහිනියෙන් දැක තිබිම නිසාය. සුනඛයාගේ ගෙලින් ඔසවාගෙන විසිකළේ ඇයිදැයි තම පුතු අසන ප්‍රශ්නවලට දෙන්නට පිළිතුරු නැතිබව ද ඔහු සුසුම්ලමින් කියයි. 


“ඇත්තටම ඒ සතාට හිංසාවක් කරන්නට මට ඕනෑකමක් තිබුණේ නැහැ. අනික ඒ වෙලාවේ මම හිටියේ තරගය ගැන උද්දාමයෙන්. කවුරුවත් ඌව එළවන්නට උත්සාහ නොකළ නිසයි මම එහෙම කළේ. මට දැන් මේ කළ දේ නිසා සමාජයට මුහුණ දෙන්නට බැරි තත්ත්වයකට පත්වෙලා ඉන්නේ.”

  
ආර්ජන්ටිනාව යනු බුදු දහම අදහන්නවුන් අල්ප මාත්‍රයක් පමණක් හිඳින රටකි. ඒ ද 1980න් පසුව ය. එහෙත් අයාලයේ යන කෙසඟ සුනඛයකු හට සිදු කළ ඒ නොමනා ක්‍රියාව සම්බන්ධයෙන් එහි සිටි සැවොම උරණ වීමට හේතුව ඔවුන් සියලු දෙනාම බෞද්ධයන් වීම නොවේ. බොහෝ විට එම ස්ථානයේ එකම බෞද්ධයකුවත් නොසිටින්නට පුළුවන.


මෙම මිහිතලය මිනිසුන් වන අපට පමණක් නොව සතා සීපාවාගේත් උරුමය බව අවබෝධ කර ගැනීමට තරම් එහි වැසියන් ප්‍රඥා සම්පන්න වී තිබේ. එහෙත්, බුදු සමය ‍ලේබලයක් වශයෙන් ගෙල පැළඳ සිටින අප රටේ බොහෝ දෙනකු තුළ මෙම ආර්ජන්ටිනා ජාතිකයන්ගේ සිත් තුළ රජයන අව්‍යාජ සත්ව කරුණාවෙන් දහයෙන් පංගුවක්වත් තිබෙනවාදැයි අප සිතා බැලිය යුතුය. මෙවන් කරුණුවලින් අපට පසක් වන විශේෂිත කරුණක් තිබේ. එනම් නාමික බෞද්ධයන් වන අප තුළ නොමැති සැබෑ බෞද්ධකමක් බුදු සමය අංශු මාත්‍රිකව පවතින ආර්ජන්ටිනාවක් තුළ තිබෙන බවය.

රැජින 2013-06-21


Park Ha-Sun, the Queen Inhyeon of Abheetha Diyani - සැබෑ දිවියේ කටකතා රැසකට මැදි වූ අභීත දියණියහි ඉන්හියොන් බිසව

 “ඔබ ‘අභීත දියණි’ ටෙලි නාට්‍යයේ රසිකයකු නම් පසුගියදා අකල් මරණයකට පත් වූ එහි ඉන්හියොන් බිසව ආගන්තුක චරිතයක් විය නොහැක. එමෙන්ම ඉන්හියොන් යනු ඓතිහාසික චරිතයකි. ඉතිහාසයේ අපට හමුවන ඉන්හියොන් බිසව, සුක්ජොන්ග් රජුගේ දෙවැනි පාද පරිචාරිකාවය. ජෝසන් රාජ වංශයේ සිටි එක් ඉතා යහපත් බිසවක ලෙසින් ද ඇය ප්‍රකටය. එබැවින් කොරියානු ඓතිහාසික නාට්‍යවල ඉන්හියොන් බිසවගේ චරිතය දක්නට ලැබේ. අභීත දියණිය යනු ඉන් එක් ටෙලි නාට්‍යයක් පමණි. එහි ඉන්හියොන් බිසවගේ චරිතයට පණ දෙන්නේ කොරියාවේ ජනප්‍රිය නිළියක වන පාර්ක් හා සුන්ය. සුරතල් අහිංසක පෙනුම ඇගේ නිළි ජීවිතයේ සාර්ථකත්වයේ සාධකය බව බොහෝ දෙනා පවසති. 
 
1987 ඔක්තෝබර් 22 වැනිදා උපත ලද පාර්ක් හා සුන් කොරියාවේ සිටින දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇය මුලින්ම රංගනයට දායකවන්නේ 2005 වසරේදී රූපවාහිනියෙන් විකාශනය වූ මාලා නාටකයක් වන ‘ලව් නීඩ්ස් මිරකල්’ හි ය. පසුව ඇය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට පත්වන්නේ දොංග්යි හෙවත් අභීත දියණි හි චරිත නිරූපණය කිරීමෙන් අනතුරුවය. අභීත දියණිය හි ඉන්හියොන් චරිතයෙන් සමුගත්තද ඇය මේ වන විට චිත්‍රපට හා රූපවාහිනී නාටක විසිපහකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබේ. ඇය සිය රංගනය වෙනුවෙන් මේ වන විට සම්මාන හතරක් හිමිකර ගෙන සිටින්නීය.

 
මෑත දිනකදී පාර්ක් හා සුන් හා කොරියාවේ ජනප්‍රිය නළුවකු වන ලී ග්වෑන්ග් සූ පිළිබඳ විවිධ කතා පැතිර යන්නට විය. එයට හේතුව වූයේ ඔවුන් දෙදෙනා එක්ව රංගනයෙන් දායක වූ බෑන්ඩ් ඒඩ් සිනමා නිර්මාණය හේතුවෙනි. ඔවුන් මේ සිනමා පටය එළිදැක්වීම වෙනුවෙන් පැවැත් වූ සාදයට පැමිණි අවස්ථාවේ එක් මාධ්‍යයකින් ඒ පිළිබඳව පවසා තිබුණේ ඒ දෙන්නා හරියට මාමයි ‍ලේලියි වගේ නේ’ යනුවෙනි.

 
පාර්ක් හා සුන්ගේ අන්තර්ජාලයට මුදා හැර තිබූ තවත් ඡායාරූප කිහිපයක් පිළිබඳ බොහෝ දෙනා අදහස් දක්වා තිබුණේ ඇය ඒවායේ බොහෝ සුරතල් පෙනුමකින් යුක්ත වන බවය. ඇය එම ඡායාරූපවල හැඳ සිටින්නේ කොට ගවුමකි. එම ඡායාරූපවලින් ඇගේ ස්ත්‍රිත්වය වඩාත් ඉස්මතුවී තිබෙන බව සඳහන් කොට තිබිණි.

 
පාර්ක් හා සුන් පිළිබඳව කොරියානු මාධ්‍ය වැඩි වශයෙන්  ලුහුබඳින බැව් පෙනෙන්නේ එහි අනෙක් නිළියන්ට වඩා ඇය පිළිබඳ ඕපාදූප මතුවන බැවිනි. කොරියනු නළුවකු වන රියු ඩුක් හ්වෑන් සහ පාර්ක් හා සුන් සිංගප්පූරුවේ නිවාඩුවකට ගොස් සිටියදී ජනප්‍රිය පුද්ගලයන්ගේ ඕපාදූප ලුහුබඳින පැපරාසීන්ට හසුවී තිබේ. ඔවුන් දෙදෙනා අතර යම් පටලැවිල්ලක් ඇති බවට කනින් කොනින් අසන්නට ලැබුණ ද මෙම සිදුවීම නිසා එය ඇත්තක් බවට පත් විය. ඔවුන් පිළිබඳ කට කතා පැතිර ගිය සෑම අවස්ථාවකම එවැන්නක් නැතැයි දෙදෙනාම පැවැසුව ද මේ පිළිබඳව ඔවුනට වැඩිපුර පවසන්නට කිසිවක් නැති බැව් පෙනේ. සිංගප්පූරුවේ සිටිනා පාර්ක් හා සුන්ගේ ඥාතීන් මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නකි.

 
“එයා අපිව බලන්න එයාගේ යාළුවෙක් එක්ක ආවා. ඉතිං ඒකේ ඇති වරද මොකක්ද? අනෙක මේ වාගේ ෆොටෝ අද කා‍ලේ කොහොම හදන්න බැරිද?”

 
සියල්ල පැහැදිලිව පෙනෙන්නට තිබුණ ද ඔවුන් දෙදෙනාම තවමත් ප්‍රකාශ කර සිටින්නේ තමන් අතර එවැනි සම්බන්ධයක් නැතැයි කියාය.

 
“අපි දෙන්නා හොඳම හොඳ යාළුවෝ විතරයි” ඔවුන් පවසන්නේ එවැන්නකි. නමුත් මාධ්‍ය පවසන්නේ ඔවුන් දෙදෙනා පෙමින් වෙලී සිටින  අවස්ථා ගණනාවක්ම ඔවුන් දැක ඇති මුත් ඡායාරූපයකට හසුකරගන්නට ලැබුණු හොඳම අවස්ථාව මෙය බවය. නමුත් මෙම සිදුවීමෙන් පසුව ඇය මාධ්‍ය මග හරින බැව් නම් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. නව ටෙලි නාට්‍යයක් සම්බන්ධව මෑතකදී සෝල් නුවර කොන්රාඩ් හෝටලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී එක් මාධ්‍යවේදියකු ඇයගෙන් මෙම සිංගප්පූරු සිදුවීම පිළිබඳ අසා තිබේ. එවිට ඇය එම ප්‍රශ්නය නොඇසුණු ආකාරයෙන් හිඳ මෙසේ පවසා තිබේ.

 
“මම නාට්‍යයේ මගේ චරිතය ඉතාම හොඳින් කරන්නට බලා‍පොරොත්තු වෙනවා.” ඇයගේ මෙම ගුප්ත ස්වභාවය නිසා මාධ්‍ය ඇයගේ ඕපාදූප වැඩි වශයෙන් සොයන්නට පටන් ගෙන ඇති බව ද පැවැසේ.


Wednesday, June 19, 2013

Sandakadapahana at Anuradhapura - අනුරාධපුරයේ සඳකඩපහණ

සඳකඩපහ‍ණේ ඓතිහාසික පසුබිම

කැටයම් කලාව යනු මහින්දාගමනයෙන් පසුව ලංකාවට ලැබුනු දායාදයකි. ලාංකේය කැටයම් කලාව පිළිබඳ හැදෑරීමේදී වාහල්කඩ, කොරවක්ගල,මුරගල, පියගැටපෙළ මෙන්ම සඳකඩපහණට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

ථූපාරාම රෝහල් සංකීර්ණයේ තවමත් නිරුපද්‍රිතව ඇති සදකඩපහණ


පැරණි විහාර දොරටුවක අංගයක් වන සඳකඩපහණ පසුකාලීනව රජමාලිගා වැනි ප්‍රභූ ගොඩනැගිලි ආශ්‍රිතවද දක්නට ලැබේ. විහාරයකට ඇතුලු වීමේදී පළමුව පයගැටෙන කැටයම් සහිත වූ අර්ධ කවාකාර ගල් පඩිය "සඳකඩපහණ" ලෙස හදුනාගැනේ. සශ්‍රීකත්වය සහ අභිවෘද්ධිය පිළිබඳ විශ්වාසයන් සමඟ බැදී ඇති සංකේතයක් ලෙස එය මුලදී ගොඩනැගිලි දෙරටු අලංකාරකයක් විය.

මුල් යුගයේ නිර්මාණය වූ සඳකඩපහණ් කැටයමින් තොර වූ අතර පසු කාලීනව හෙළ කලාකරුවාගේ විස්මිත හැකියාවන් මෙම ශෛලමය නිර්මාණය හැඩකරන්නට ඇත. කෙසේවෙතත් සඳකඩපහණ ආශ්‍රිතව සිදුකල පුරාවිද්‍යාත්මක පර්යේෂණ වලට අනුව එය බෞද්ධ පදනමක් සහිතවූත්දාර්ශනික අගයකින් යුක්තවූත්විශිෂ්ට නිර්මාණයක් හා ලෝක උරුමයක් ලෙස ද නම්කර ඇත.

"අඩ්ඩචන්දකපද ගණ්ඨිකා" යන පාලි පදයෙන් බිදී මුල් යුගයේදී "අඩසඳ පහණ" ලෙස හැදින්වූ අතර පසුකාලීනව සඳකඩපහණ ලෙස භාවිතා වී ඇත. සඳකඩපහණේ විකාසනය යුග තුනක් ඔස්සේ දැක්විය හැකිය.
එනම් අනුරාධපුර යුගයපොළොන්නරු යුගය හා පොළොන්නරු යුගයේ සිට මහනුවර දක්වා වූ යුගය වශයෙනි.
අනුරාධපුර යුගයේ සඳකඩපහණ

අනුරාධපුර යුගය යනු බුදු දහමේ ආලෝකය ලංකාවට ලැබුණු හා සීග්‍ර වර්ධනයක් ඇති වූ රජරට කේන්ද්‍ර කරගත් පළමු රාජ යුගයගි. කැටයම් කලාව ඇතුළු අනෙකුත් ශිල්ප ක්‍රම බොහෝමයක වාගේම සඳකඩපහණේ ආරම්භයද මෙම යුගයේ දී සිදුවේ. තවද එහි වර්ධනයේ උපරිම අවස්ථාවද මෙම යුගයේදීම සිදුවීම වි‍ශෙෂ ලක්‍ෂණයකි. 

අනුරපුර බිසෝ මාලිගයේ ඇති සුප්‍රකට සදකඩ පහණ



විහරදොරටුවක් ආශ්‍රිතව පියගැ‍ට පෙළට යාබදව කැටයම් රහිත වූ හතරැස් පාටිකාව සඳකඩපහණේ ආරම්භක අවස්ථාවයි. අභයගිරියේ සන්නිපාත ශාලාවේ පිහිටි පාටිකාව මෙන්ම ‍ජේතවන විහාර භූමියේ ඇති පාටිකාව ඉහත කරුණට නිදසුන් සපයයි. පසුව මෙහි හතරුස් හැඩය වෙනස්වී අර්ධ කවාකාර කැටයමි රහිත ගල් පුවරුවක් ලෙස සකස් වී ඇත. එවැනි සඳකඩපහණ් ජේතවන විහාර භූමියේ ස්ථාන කීපයකම දක්නට ඇත. එහෙත් තවත් නොබෝ කලක් ගත වනවිට ක්‍රම ක්‍රමයෙන් සඳකඩපහණ කැටයම් කර තිබේ. පළමුව අර්ධ පද්මයදපසුව සත්ව රූපාවලියදඉන් පසුව ලියවැල් ආදී අනෙක් කැටයම් මෙයට ආරෝපනය වී තිබේ.සඳකඩපහණ හා ඒ ආශ්‍රිත කැටයම් පිළිබඳ අධ්‍යනය කිරීමේ දී අනුරාධපුර යුගයේ කැටයම් කරුවාට අද්විතීය ස්ථානයක් හිමි වේ. ඉතා සරල ලෙසත්චාම් ලෙසත් කැටයම් කිරීම නිසා සඳකඩපහණ මෙම යුගයේදී දැකුම්කළු උසස් නිර්මාණයක් බවට පත් වී තිබේ. තවද ඇත්අස්සිංහගවහංස ආදී සත්ව රූප පිටතට නෙරා එන පරිදි ජීවමාන ස්වරූපයෙන් නිමවා ඇත.

අනුරාධපුර යුගයේ විශිෂ්ටතම සඳකඩපහණ ලෙස සලකනු ලබන්නේ බිසෝමාලිගයේ ඇති සඳකඩපහණයි. එහි කැටයම් ඉතා ගැඹුරින් හා සියුම්ව නිර්මාණය කර ඇත. ඒවායේ ප්‍රාණවත් බවක්දසතුන්ගේ ගමන් විලාසයෙන් සංසාර ගමන වේගවත් කර පෙන්වයි. එතරම් තාත්වික වෙනත් සඳකඩපහණක් දැකිය නොහැක. අනුරාධපුර යුගයේ සදකඩපහණ විශිෂ්ට කලා නිර්මාණයක් වීමට බලපෑ කරුණු අතර කැටයම් සීමිත කිරීමත් ඒවාට ජීවමාන ස්වරූපයක් හා ප්‍රාණවත් බවක් ආරෝපණය කිරීමත් දැක්විය හැකිය.


Saturday, June 1, 2013

Queen Ok Jeong of Dong Yi - අභීත දියණි හි ඔක් ජොන්ග් බිසව


අභීත දියණි ටෙලිනාට්‍යය ජනප්‍රියවත්ම ප්‍රේක්ෂකයන් එහි ප්‍රධාන චරිත පිළිබඳව පමණක් නොව අනෙකුත් චරිත පිළිබඳවද තොරතුරු සොයා බලන්නට කැමැත්තෙන් සිටිනා බව පෙනෙන්නට තිබේ. ඒ නිසාම එහි අනෙකුත් ප්‍රධාන චරිත ද වරින් වර ඔබ හමුවට ගෙන එන්නට අපි අදහස් කළෙමු. 

මෙවර ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ ‛හියු-බින් ජෑන්ග්’ හෙවත් ’ඔක්ජොන්ග්’ බිසව පිළිබඳවය. අභීත දියණිය නාට්‍යයේත් ඉතිහාසයේත් ඇය පිළිබඳ ලියැවී ඇත්තේ ඉතා නපුරු චරිතයක් ලෙසිනි. මේ නපුරු බිසවගේ චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය කොරියානු රංගන ශිල්පිනියක් වන ‛ලී සෝ යිවොන්’ ය. මෙම නපුරු බිසවගේ චරිතය නිරූපනය කිරීමෙන් අනතුරුව බොහෝ දෙනා ඇය පිළිබඳව සිතන්නට වූයේ ද මේ ආකාරයෙන්මය. ඇය සැබැවින්ම නපුරුද? 

1982 අප්‍රේල් 16 වැනිදා උපන් ලී සෝ යිවොන් කොරියානු ජාතික කලා සරසවියේ උසස් අධ්‍යාපනය ලබා රංගන ක්ෂේත්‍රයට පිවිසනු ශිල්පිනියකි. ඇය එහිදී සිනමාව, වේදිකාව හා ටෙලි නාට්‍ය පිළිබඳ උසස් අධ්‍යාපනයක් ලබා ගත්තාය. ඇගේ මුල්ම රංගනය සිදු වූයේ 2002 වසරේදී තිරගත වූ සංත්‍රාස චිත්‍රපටයක් වූ ‛අන්බෝර්න් බට් ෆොගොට්න්’ සඳහාය. අනතුරුව ඇය 2004 වන විට තවත් චිත්‍රපට 4ක් සඳහා පෙනී සිටියාය. ඒ අතුරින් ‛ෆෙදර්ස් ඉන් ද වින්ඩ්’ ඉතාමත් ජනප්‍රියත්වයට පත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට තව තවත් චිත්‍රපට ලැබෙන්නට විය. 

2005 දී ඇය සිය ප්‍රථම රූපවාහිනි මාලා නාටකය  වූ ‛ස්ප්‍රින්ග් ඩේස්’ සඳහා පෙනී සිටියාය. මෙය ජනප්‍රියවීමත් සමඟ ඇයට තවත් ටෙලිනාට්‍ය කිහිපයක්ම ලැබිණි. ඇගේ රසික පිරිස ද මේ සමගම සීඝ්‍ර ලෙස ඉහළ නැගුණි. ඇයට දොංග් යි හෙවත් අභීත දියණිය හි චරිතයක් නිරූපනය කරන්නට ලැබෙන්නේ මේ සා ලබාගත් ජනප්‍රියත්වයේ ප්‍රතිඵලයක් ලෙසිනි. 

තවමත් අවිවාහකව පසුවන ඇය කොරියානු ජනප්‍රිය නළුවකු වන ‛කිම් ජේ ජූන්ග්’ සමග ආදරයෙන් පසුවන බැව් ආරංචි පැතිරගොස් තිබිණි. මේ පිළිබඳ එක් පුවත්පත් සාකච්ඡාවක් අතරතුරදී ඇගෙන් අසනු ලැබිණි. 
“ඔහුව  මුළින්ම දැකපු අවස්ථාවකදී තමයි මට දැනුණේ ඔහු කොයිතරම් නම් ජනප්‍රිය ද කියලා. ඒත් ඔහුත් එක්ක රඟපානකොට මට දැනුණේ වෙන දෙයක්. ඒ ඔහු කොයි තරම් නම් ආදරවන්තද කියලා. ඔහුගේ ඇස්වලින් කියන දේවල්වලට මම ගොඩක් ආසයි. ඔහුට තිබෙන්නේ වශීකරන සුළු ඇස් දෙකක්.” 

දොංග් යි නාට්‍යය රූපගතකරන අතරතුරදී ඇය සමග පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවලදී ඇය පවසා සිටියේ ඔක්ජොන්ග් බිසවගේ චරිතය තමාට ලැබුණු විට තරමක චකිතයක් දැනුණු බවයි. ඔක්ජොන්ග් බිසවගේ නපුරු ස්වභාවය තමාට ද ආරෝපණය කරමින් රසිකයින් තමාගෙන් ඈත්ව යනු ඇතැයි සැකයක් ද පහළ වූ බැව් ඇය පවසා සිටියාය. 

“නමුත් මම හිතුවාට වඩා තත්වය වෙනස් වුණා. මගේ රසිකයින් පැවසුයේ මම ඒ චරිතය වඩාත් හොඳින් නිරූපනය කරනා බවයි. මට මේ නාට්‍යයේ වැඩකටයුතු සඳහා දැඩිසේ වෙහෙස වන්නට සිදුවුණා. අනෙක මම මීට පෙර ‛ටෙම්ප්ටේෂන් ඔෆ් ඇන් ඒන්ජල් ’ හි දුෂ්ට චරිතයක් රඟපා තිබුණා. එයින් පසුව වුවත් රසිකයින් මගේ රංගනය අගය කළා මිස මාව ප්‍රතික්ෂේප කළේ නැහැ. ඔක්ජොන්ග් බිසවගේ චරිතය බයක් නැතිව තෝරාගන්නට මට ශක්තියක් වුණේ එයයි. ඒත් එය මම හිතුවාටත් වඩා දුෂ්ට චරිතයක් වුණා. හුඟ දෙනෙක් ඇහුවා ඒක මට ගැළපෙයිද කියලා. ඒත් මම හිතුවේ මම සාම්ප්‍රදායික විදියට පෙම්වතියගේ චරිතයට කොටුවී ඉන්නේ නැතිව වෙනස් ආකාරයේ චරිත රඟපෑ යුතුයි කියලයි. මම මේ ගැන නාට්‍යයේ නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරයා සමග කතා කළා. ඔවුන් පැවසූවේත් මේ චරිතය මට අලුත් අත්දැකීමක් ලබාදේවි කියලයි. අනෙක මේ වාගේ දුෂ්ට චරිතයක් මට මීට පෙර කොහිවත් හමුවී තිබුණේ නැහැ. ඒත් මට හිතුණා මට මේක කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසයි මම මේ චරිතය තෝරාගත්තේ. මේ නාට්‍යයේ රඟපෑ අනෙක් සියලු රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් දක්ෂ අය. හැබැයි ඒ කිසිවෙක් තමන් උසස් යැයි, තමාගේ රංගනය උසස් යැයි පෙන්වන්නට උත්සාහ කළේ නැහැ.  අපි සියලු දෙනා ඉතා සහයෝගයෙන්, සතුටින් මේ නාට්‍යයේ වැඩකටයුතු කළා.” 

සාමාන්‍ය චිත්‍රපට හා ටෙලිනාට්‍ය අතරේ ඓතිහාසික පසුබිමක් ඇති නිර්මාණවල රඟපාන්නට ඇය වැඩි කැමැත්තක් දක්වන බව ඇය පවසයි. මෙවැනි නාට්‍ය සඳහා හැන්බොක් ඇඳුම අඳින්නට සිදුවීම පිළිබඳ වරක් ඇය මෙසේ ප්‍රකාශ කොට සිටියාය. 

“මම හිතුවේ හැන්බොක් එකක් ඇන්දාම මාව ලස්සනට පෙනෙයි කියලයි. ඒත් ඒක ඇන්දාම මාගේ වයස තවත් වැඩිවෙලා පෙනුණු එක විතරයි වුණේ. අනෙක මට ඒක ඇඳලා ඇවිදින්නත් අමාරුයි. පැරණි ආකාරයේ කොණ්ඩා මෝසතරත් හිසට අපහසුවක් දැනේනවා. ඒ මොනවා වුණත් මම ඓතිහාසික නාට්‍යවල රඟපාන්න මම කැමතියි.”