ආර්ජන්ටිනාව යනු පාපන්දුවලට ඉතා ප්‍රසිද්ධ රටකි. අතිදක්ෂ පාපන්දු ක්‍රීඩකයකු වූ දියෙගෝ මැරඩෝනා සිටියේ ද ආර්ජන්ටිනාවේය. මෙතරමට පාපන්දුවලට ප්‍රකට එහි පසුගිය දිනයක බුවනෝර්ස් අයර්ස් අගනුවර පාපන්දු තරගයක් පැවැත්වෙමින් තිබිණි. එය පවත්වනු ලැබුයේ බුවනෝර්ස් අයර්ස් සිට සැතපුම් අටසීයක් පමණ දුරින් පිහිටි පළාත් දෙකක් වූ බෙලා විස්ටා හා සැන් ජුවාන් කණ්ඩායම් දෙක අතරය.
හදිසියේම පාපන්දු පිටියේ දක්නට ලැබුණේ කේඩෑරි වී ගිය සුනඛයෙකි. ඌ දඩාවතේ යන සුනඛයකු වූ අතර කෙසේ පිටියට පැමිණියේදැයි කිසිවකු දැන සිටියේ ද නැත. සුනඛයා පිටියෙන් ඉවත් කරන්නට ද කිසිවකු හෝ උනන්දුවක් දක්වන බවක්ද පෙනෙන්නට තිබුණේ නැත.
මේ අවස්ථාවේදී බෙලා විස්ටා කණ්ඩායමේ ජෝස් ගිමෙන්ස් නමැති පාපන්දු ක්‍රීඩාකයා හනික ක්‍රියාත්මක විය. ඔහු වහා පෙරට පැමිණ සුනඛයාගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය. අනතුරු බෙල්ලෙන් ඔසවා ගෙන පිටිය අද්දරට දිව ගියේය. පිටිය අද්දරට පැමිණි ඔහු පාපන්දුවක් වීසිකරන්නා වැනි හැඟීමෙන් සුනඛයාව පිටියෙන් පිටතට වීසිකරන්නට උත්සාහ කළේය. නමුත් ඔහුගේ ප්‍රයත්නය සාර්ථක වූයේ නැත. සුනඛයා පාපන්දු පිටිය වටා ඉදිකොට තිබූ උස් කටු කම්බි වැටේ ගැටී යළිත් පාපන්දු පිටිය මතටම පතිත විය. ඒ සියලු දෙනාටම ඇසෙන්නට තරම් සෑහෙන වේදනාකාරී හඬක් ද නංවමිනි. එය සුනඛයාට වේදනාකාරි අත්දැකීමක් වන්නට ඇත.
එහෙත්, ඉන් ඒ සතාට අනතුරක් සිදු වූ බවක් පෙනෙන්ට නොතිබුණේ ඌ එකවර නැගී සිට පාපන්දු පිටිය හරහා යළි දුවන්නට පටන් ගත් නිසාය. සිදුවීම එතැනින් අවසන් වූයේ නැත. ජෝස් කළ ක්‍රියාවට එරෙහිව ක්ෂණිකව ප්‍රතිචාර ලැබෙන්නට විය. ප්‍රේක්ෂකයෝ මෙම ක්‍රියාව හෙළා දකිමින් කෑකෝ ගසන්නට වූහ.
ඔහුගේ කණ්ඩායමේ මෙන්ම ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයින් ද පැමිණ ඔහුගේ මේ ක්‍රියාව හෙළා දකිමින් ඔහුට පහර දෙන්නට පවා උත්සාහ කළහ. ඒ ගිමෙන්ස්ගේ ක්‍රියාවට ඔවුන්ගේ සිත් තුළ පැවැති දැඩි විරෝධය නිසාය. එසැනින් තරග විනිසුරුවරයා ඔහුට රතු කාඩ් පතක් නිකුත් කරමින් තරග බිමෙන් ඉවත් කළේය. මේ සියල්ල ලෝකයේ බොහෝ ප්‍රකට මාධ්‍යවලින් ලොව පුරා ප්‍රචාරය කළේය. ගිමෙන්ස් පසුව පවසා සිටියේ මේ සිදුකළ ක්‍රියාව පිළිබඳ තමන් දැන් ලජ්ජා වන බවකි. ඒ හේතුව මත තමන් කණ්ඩායමෙන් ඉවත් කොට ඇති බව ද ඔහු කීය. සියල්ලටම වඩා ඔහු අපහසුවට පත්ව සිටින්නේ තමා කළ මෙම නොමනා ක්‍රියාව තම තුන් හැවිරිදි පුතු රූපවාහිනියෙන් දැක තිබිම නිසාය. සුනඛයාගේ ගෙලින් ඔසවාගෙන විසිකළේ ඇයිදැයි තම පුතු අසන ප්‍රශ්නවලට දෙන්නට පිළිතුරු නැතිබව ද ඔහු සුසුම්ලමින් කියයි.
“ඇත්තටම ඒ සතාට හිංසාවක් කරන්නට මට ඕනෑකමක් තිබුණේ නැහැ. අනික ඒ වෙලාවේ මම හිටියේ තරගය ගැන උද්දාමයෙන්. කවුරුවත් ඌව එළවන්නට උත්සාහ නොකළ නිසයි මම එහෙම කළේ. මට දැන් මේ කළ දේ නිසා සමාජයට මුහුණ දෙන්නට බැරි තත්ත්වයකට පත්වෙලා ඉන්නේ.”
ආර්ජන්ටිනාව යනු බුදු දහම අදහන්නවුන් අල්ප මාත්‍රයක් පමණක් හිඳින රටකි. ඒ ද 1980න් පසුව ය. එහෙත් අයාලයේ යන කෙසඟ සුනඛයකු හට සිදු කළ ඒ නොමනා ක්‍රියාව සම්බන්ධයෙන් එහි සිටි සැවොම උරණ වීමට හේතුව ඔවුන් සියලු දෙනාම බෞද්ධයන් වීම නොවේ. බොහෝ විට එම ස්ථානයේ එකම බෞද්ධයකුවත් නොසිටින්නට පුළුවන.
මෙම මිහිතලය මිනිසුන් වන අපට පමණක් නොව සතා සීපාවාගේත් උරුමය බව අවබෝධ කර ගැනීමට තරම් එහි වැසියන් ප්‍රඥා සම්පන්න වී තිබේ. එහෙත්, බුදු සමය ලේබලයක් වශයෙන් ගෙල පැළඳ සිටින අප රටේ බොහෝ දෙනකු තුළ මෙම ආර්ජන්ටිනා ජාතිකයන්ගේ සිත් තුළ රජයන අව්‍යාජ සත්ව කරුණාවෙන් දහයෙන් පංගුවක්වත් තිබෙනවාදැයි අප සිතා බැලිය යුතුය. මෙවන් කරුණුවලින් අපට පසක් වන විශේෂිත කරුණක් තිබේ. එනම් නාමික බෞද්ධයන් වන අප තුළ නොමැති සැබෑ බෞද්ධකමක් බුදු සමය අංශු මාත්‍රිකව පවතින ආර්ජන්ටිනාවක් තුළ තිබෙන බවය.
රැජින 2013-06-21 |
No comments:
Post a Comment
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න