පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, June 28, 2013

2013 Mrs. Aisa form Sri Lanka - 2013 ආසියානු විවාහක රූ රැජින ශ්‍රී ලංකාවෙන්

  
වසරක් පසා ලෝකයේ විවිධ ස්ථානවල විවිධ වර්ගයේ රූ රැජිනන් තේරීමේ තරග පැවැත්වේ. අප රටින්ද රූමත් තරුණියන් මේවා සඳහා සහභාගිවෙනු අපි දැක ඇත්තෙමු. නමුත් සහභාගීවන තරමට ජයග්‍රහණ ලැබෙන්නේ කලාතුරකිනි. නමුත් සෑම විටම එය එසේ නොවන බැව් පෙනෙන්නේ විවාහක රූ රැජිනන් තේරීමේ තරග දකිනා විටය. එයට හේතුව නම් විවාහක රූ රැජින තේරීමේ තරගවලදී අප රටට ඉඳහිට හෝ ජයග්‍රහණයන් හිමිවීමය.

අප රටට මුළින්ම ජයග්‍රහණයක් හිමිවන්නේ 1985 දී රෝසි සේනානයක ලෝක විවාහක රූ රැජින වීමත් සමගය. ඉන් පසුව පසුගිය වසරේ, එනම් 2012 වසරේදී ශ්‍රීමාලී ෆොන්සේකා ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජින බවට පත්වූවාය. මෙහි අලුත්ම ජයගහණය අප ලබාගන්නේ මේ වසරේදීද එම තරගයෙන් අප රට ජයග්‍රහණය කිරීම නිසාය. ඒ පසුගිය 16 වැනිදා රාත්‍රියේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ පැවති ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජින තේරීමේ තරගයට අප රටෙන් සහභාගී වූ 32 හැවිරිදි නිලංගා තිසරණී සේනානායක කිරුළු පැළඳීමත් සමඟිනි. ඇය මේ ජයග්‍රහණය ලබාගත්තේ රටවල් 30ක තරගකාරියන් සමග කරට කර පැවති තරගයකින් පසුවය. 


සෑම වසරකම මෙම තරගය සංවිධානය කරනු ලබන්නේ මැලේසියාවේ ERM Marketing Sdn. Bhd. සමාගම විසිනි. විවාහක කාන්තාවන්ගේ විවිධ දක්ෂතා උරගා බලමින් මෙම තරගය පැවැත්වේ. මෙයට සහභාගීවන තරගකාරියන් තුළ විවාහ ජීවිතය සහ ලෝකයේ එදිනෙදා සිදුවීම් පිළිබඳ මනා වැටහීමක් ඇතිදැයි පරීක්ෂා කරනු ලබයි. සියලු ආසියානු ජාතීන් අතර සන්නිවේදනය, සංස්කෘතිය, මිත්‍රත්තවය හා අන්‍යෝන්‍ය අවබෝධය වර්ධණය කිරීම මෙම තරගයේ අරමුණයි.

මෙම තරගය සංවිධානය කරනු ලබනERM Marketing Sdn. Bhd. සමාගම ලෝකය පුරා විවිධ රූ රැජි තරග සංවිධානය කිරීම පිළිබඳ මනා අත්දැකීම් රැසක් ඇති ආයතනයකි. ලෝකයේ බොහෝ ස්ථානවල මෝස්තර නිරූපණ වැඩසටහන් සංවිධානය පිළිබදව ද මෙය ඉහළ නමක් දිනාගෙන තිබේ.

2013 වසරේ ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජින තරගයෙන් ජයග්‍රහණය ලබාගත් නිලංගා සේනානයක විවාහ දිවියට පා තබා ඇත්තේ 2000 වසරේදී වන අතර ඇගේ ගම් ප්‍රදේශය වන කලුතර ‛සැලොන් නිලූ’ නමින් රූපලාව්‍යගාරයක් ද පවත්වාගෙන යයි. ඇය මෙවර පැවති තරගයෙන් ආසියානු විවාහක රූ රැජින ලෙස පමණක් නොව ‛හොඳම පෙනුම සහිත නිරූපණ ශිල්පිනිය’ (Best Model Look) අංශයෙන් ද ජයග්‍රහණය කරන්නට සමත වූවාය.

පසුගිය වසරේ මෙම තරගයෙන් ජයග්‍රහණය හිමිකරගත් ශ්‍රීමාලී ෆොන්සේකා මෙවර තරගයේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න