පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, June 1, 2013

Queen Ok Jeong of Dong Yi - අභීත දියණි හි ඔක් ජොන්ග් බිසව


අභීත දියණි ටෙලිනාට්‍යය ජනප්‍රියවත්ම ප්‍රේක්ෂකයන් එහි ප්‍රධාන චරිත පිළිබඳව පමණක් නොව අනෙකුත් චරිත පිළිබඳවද තොරතුරු සොයා බලන්නට කැමැත්තෙන් සිටිනා බව පෙනෙන්නට තිබේ. ඒ නිසාම එහි අනෙකුත් ප්‍රධාන චරිත ද වරින් වර ඔබ හමුවට ගෙන එන්නට අපි අදහස් කළෙමු. 

මෙවර ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ ‛හියු-බින් ජෑන්ග්’ හෙවත් ’ඔක්ජොන්ග්’ බිසව පිළිබඳවය. අභීත දියණිය නාට්‍යයේත් ඉතිහාසයේත් ඇය පිළිබඳ ලියැවී ඇත්තේ ඉතා නපුරු චරිතයක් ලෙසිනි. මේ නපුරු බිසවගේ චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය කොරියානු රංගන ශිල්පිනියක් වන ‛ලී සෝ යිවොන්’ ය. මෙම නපුරු බිසවගේ චරිතය නිරූපනය කිරීමෙන් අනතුරුව බොහෝ දෙනා ඇය පිළිබඳව සිතන්නට වූයේ ද මේ ආකාරයෙන්මය. ඇය සැබැවින්ම නපුරුද? 

1982 අප්‍රේල් 16 වැනිදා උපන් ලී සෝ යිවොන් කොරියානු ජාතික කලා සරසවියේ උසස් අධ්‍යාපනය ලබා රංගන ක්ෂේත්‍රයට පිවිසනු ශිල්පිනියකි. ඇය එහිදී සිනමාව, වේදිකාව හා ටෙලි නාට්‍ය පිළිබඳ උසස් අධ්‍යාපනයක් ලබා ගත්තාය. ඇගේ මුල්ම රංගනය සිදු වූයේ 2002 වසරේදී තිරගත වූ සංත්‍රාස චිත්‍රපටයක් වූ ‛අන්බෝර්න් බට් ෆොගොට්න්’ සඳහාය. අනතුරුව ඇය 2004 වන විට තවත් චිත්‍රපට 4ක් සඳහා පෙනී සිටියාය. ඒ අතුරින් ‛ෆෙදර්ස් ඉන් ද වින්ඩ්’ ඉතාමත් ජනප්‍රියත්වයට පත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට තව තවත් චිත්‍රපට ලැබෙන්නට විය. 

2005 දී ඇය සිය ප්‍රථම රූපවාහිනි මාලා නාටකය  වූ ‛ස්ප්‍රින්ග් ඩේස්’ සඳහා පෙනී සිටියාය. මෙය ජනප්‍රියවීමත් සමඟ ඇයට තවත් ටෙලිනාට්‍ය කිහිපයක්ම ලැබිණි. ඇගේ රසික පිරිස ද මේ සමගම සීඝ්‍ර ලෙස ඉහළ නැගුණි. ඇයට දොංග් යි හෙවත් අභීත දියණිය හි චරිතයක් නිරූපනය කරන්නට ලැබෙන්නේ මේ සා ලබාගත් ජනප්‍රියත්වයේ ප්‍රතිඵලයක් ලෙසිනි. 

තවමත් අවිවාහකව පසුවන ඇය කොරියානු ජනප්‍රිය නළුවකු වන ‛කිම් ජේ ජූන්ග්’ සමග ආදරයෙන් පසුවන බැව් ආරංචි පැතිරගොස් තිබිණි. මේ පිළිබඳ එක් පුවත්පත් සාකච්ඡාවක් අතරතුරදී ඇගෙන් අසනු ලැබිණි. 
“ඔහුව  මුළින්ම දැකපු අවස්ථාවකදී තමයි මට දැනුණේ ඔහු කොයිතරම් නම් ජනප්‍රිය ද කියලා. ඒත් ඔහුත් එක්ක රඟපානකොට මට දැනුණේ වෙන දෙයක්. ඒ ඔහු කොයි තරම් නම් ආදරවන්තද කියලා. ඔහුගේ ඇස්වලින් කියන දේවල්වලට මම ගොඩක් ආසයි. ඔහුට තිබෙන්නේ වශීකරන සුළු ඇස් දෙකක්.” 

දොංග් යි නාට්‍යය රූපගතකරන අතරතුරදී ඇය සමග පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවලදී ඇය පවසා සිටියේ ඔක්ජොන්ග් බිසවගේ චරිතය තමාට ලැබුණු විට තරමක චකිතයක් දැනුණු බවයි. ඔක්ජොන්ග් බිසවගේ නපුරු ස්වභාවය තමාට ද ආරෝපණය කරමින් රසිකයින් තමාගෙන් ඈත්ව යනු ඇතැයි සැකයක් ද පහළ වූ බැව් ඇය පවසා සිටියාය. 

“නමුත් මම හිතුවාට වඩා තත්වය වෙනස් වුණා. මගේ රසිකයින් පැවසුයේ මම ඒ චරිතය වඩාත් හොඳින් නිරූපනය කරනා බවයි. මට මේ නාට්‍යයේ වැඩකටයුතු සඳහා දැඩිසේ වෙහෙස වන්නට සිදුවුණා. අනෙක මම මීට පෙර ‛ටෙම්ප්ටේෂන් ඔෆ් ඇන් ඒන්ජල් ’ හි දුෂ්ට චරිතයක් රඟපා තිබුණා. එයින් පසුව වුවත් රසිකයින් මගේ රංගනය අගය කළා මිස මාව ප්‍රතික්ෂේප කළේ නැහැ. ඔක්ජොන්ග් බිසවගේ චරිතය බයක් නැතිව තෝරාගන්නට මට ශක්තියක් වුණේ එයයි. ඒත් එය මම හිතුවාටත් වඩා දුෂ්ට චරිතයක් වුණා. හුඟ දෙනෙක් ඇහුවා ඒක මට ගැළපෙයිද කියලා. ඒත් මම හිතුවේ මම සාම්ප්‍රදායික විදියට පෙම්වතියගේ චරිතයට කොටුවී ඉන්නේ නැතිව වෙනස් ආකාරයේ චරිත රඟපෑ යුතුයි කියලයි. මම මේ ගැන නාට්‍යයේ නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරයා සමග කතා කළා. ඔවුන් පැවසූවේත් මේ චරිතය මට අලුත් අත්දැකීමක් ලබාදේවි කියලයි. අනෙක මේ වාගේ දුෂ්ට චරිතයක් මට මීට පෙර කොහිවත් හමුවී තිබුණේ නැහැ. ඒත් මට හිතුණා මට මේක කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසයි මම මේ චරිතය තෝරාගත්තේ. මේ නාට්‍යයේ රඟපෑ අනෙක් සියලු රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් දක්ෂ අය. හැබැයි ඒ කිසිවෙක් තමන් උසස් යැයි, තමාගේ රංගනය උසස් යැයි පෙන්වන්නට උත්සාහ කළේ නැහැ.  අපි සියලු දෙනා ඉතා සහයෝගයෙන්, සතුටින් මේ නාට්‍යයේ වැඩකටයුතු කළා.” 

සාමාන්‍ය චිත්‍රපට හා ටෙලිනාට්‍ය අතරේ ඓතිහාසික පසුබිමක් ඇති නිර්මාණවල රඟපාන්නට ඇය වැඩි කැමැත්තක් දක්වන බව ඇය පවසයි. මෙවැනි නාට්‍ය සඳහා හැන්බොක් ඇඳුම අඳින්නට සිදුවීම පිළිබඳ වරක් ඇය මෙසේ ප්‍රකාශ කොට සිටියාය. 

“මම හිතුවේ හැන්බොක් එකක් ඇන්දාම මාව ලස්සනට පෙනෙයි කියලයි. ඒත් ඒක ඇන්දාම මාගේ වයස තවත් වැඩිවෙලා පෙනුණු එක විතරයි වුණේ. අනෙක මට ඒක ඇඳලා ඇවිදින්නත් අමාරුයි. පැරණි ආකාරයේ කොණ්ඩා මෝසතරත් හිසට අපහසුවක් දැනේනවා. ඒ මොනවා වුණත් මම ඓතිහාසික නාට්‍යවල රඟපාන්න මම කැමතියි.” 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න