පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, December 19, 2017

කුරුමිණි මළකුණු සමග තේ බොන පුටින්


ලෝකයේ හොඳම තේ අපේය. අපේ රටේ ප්‍රධාන අපනයන භෝගවලින් එකක් වන්නේ තේ ය. මේ අපි පොඩි කාලේ උගත් දේවල් ය. නමුත් ටික ටික අපනයන භෝගවල තැන නැති වුණේය. ඒ තැනට ගාර්මන්ට්වල හදන ඇඳුම් ආවේ ය. තැන නැති වුනත් අපනයන භෝග නැති වුණේ නැති ය. අඩුම ගානේ හොඳම අපනයන භෝග පිටරට යවා අපට රොඩ්ඩ හෝ තියා ගත්තේ ය. මේ නිසා අපනයන භෝගවලින් එකක් වන තේවල රොඩ්ඩ අපි පානය කළ අතර හොඳම තේ පානය කළේය පිටරටවුන්ය. ඒත් කමත් නැත, අපේ රටට ආදායමක්වත් එනවා යැයි කියා අපි හිත හදාගෙන රොඩුම බීවෙමුය. රටේ නැති නම් කියමින්, දිලිසෙන පැකට්වල අසුරමින්, කෝටි ගණන් වියදම් කරමින් ඇඩ් දමා අපට මහා කොම්පැනි පොවන්නේ රොඩු බව දැන දැනම සද්ද නැතිව රොඩුම බීවෙමුය. 



මෙසේ සිටින අතරේ හිටි ගමන් රුසියාව අපේ රටෙන් එන තේ බොන්නට බෑ කීවේය. බෑ ම කීවේ ය. යකෝ හොඳම තේ දීලත් මුන්ට මදි වෙලානේ යැයි කියා සිතමින් නිවුස් බැලුවිට තරු විසි වුණේය. ව්ලැදිමීර් පුටින්ගේ තේ කෝප්පයෙන් Khapra beetle කියා කුරුමිණියෙක් මතුවෙලා යැයි නිව්ස්වල තිබුණේය. 



අනේ අනිච්චං කියා කියැවෙන්නේ දැන් ය. යකෝ පිටරට එවුන්ට හොඳම තේ කියා කුරුමිණි මළකුණු සමග තේ දෙනවා නම් අපි බොන රොඩ්ඩේ මොන මළ ජරාවක් ඇතිද කියා සිතමින් තවත් තේ උගුරක් බොන්නට හිත හදා ගත්තේමි ය.

Thursday, December 14, 2017

අභිරහස් ලෙස මිය ගිය සුප්‍රකට මිනිසුන් - Mysterious deaths of famous people

Source - https://i.ytimg.com/vi/5EjhGf-HfzE/maxresdefault.jpg

ඉපදෙන සියලු දෙනාම මිය ගියත්, මේවා අතුරින් ඇතැම් මරණ පසුපස විස්තර කළ නොහැකි අභිරහස් ස්වභාවයක් පවතින බැව් පෙනේ. එයට හේතුව ඒ මරණ සිදු වූ ආකාරය පිළිබඳ පැහැදිලි තොරතුරක් ඉදිරිපත් කිරීම දුෂ්කර බැවිනි. මෙවැනි අභිරහස් මරණවලට බොහෝ දෙනෙක් බඳුන් වෙති. ඒ අතර සිටින අප්‍රකට පුද්ගලයන්ගේ මරණ නොබෝ දිනකින් මිනිසුන්ගේ මතකයෙන් මැකී ගිය ද සුප්‍රකට පුද්ගලයන්ගේ මරණ පසුපස පවතින අභිරහස් එසේ මැකී යන්නේ නැත. යම් යම් හේතූන් නිසා ඒවා වරින් වර මේවා ඉස්මතු වේ. මේ කතා  කරන්නට සැරසන්නේ ද එසේ වරින් වර ඉස්මතු වන සුප්‍රකට අභිරහස් මරණයන් කිහිපයක් පිළිබඳවය.

බෲස් ලී

බෲස්ලී ගේ මරණය 

බෲස් ලී යනු අද දවසේ සමාජයට පිය මනින දරුවාගේ සිට මහල්ලා දක්වා වූ සියල්ලන් අසා ඇති නමකි. සටන් කලාව තුළ ඔහු තරමට ලෝකයේ කතා බහට ලක් වූ වෙනත් පුද්ගලයකු නොමැති තරම්ය. 1940 නොවැම්බර් 27 වැනිදා උපන් බෲස් ලී කුඩා කාලයේ සිටම සටන් කලාව ප්‍රගුණ කළ අයෙකි. එමෙන්ම නළුවෙකි. ග්‍රීන් හෝර්න්ට්නම් ඇමරිකානු රූපවාහිනී කතා මාලාවෙන් සහ ද චයිනීස් කනෙක්ෂන්හා ෆිස්ට් ඇන්ඩ් ෆියුරියන චිත්‍රපට ඔස්සේ ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. රංගන ශිල්පියකු සහ සටන් කරුවකු ලෙස සාර්ථකව ඉදිරි ගමනක් යමින් සිටි ඔහු 1973 ජූලි 20 වැනිදා හොංකොං හි දී හදිසියේ මරණයට පත් විය. ඔහුගේ මරණයට හේතුව ලෙස නිල වශයෙන් ඉදිරිපත් කළ කාරණය වූයේ මොළයේ ජල සාන්ද්‍රණය වැඩි වීම බව ය. එසේ ජල සාන්ද්‍රණය වැඩී වී ඇත්තේ පිට කොන්දේ අසනීප තත්වයක් නිසා ඔහු ලබා ගත් වේදනා නාශක ඖෂධ බව ද මරණ පරීක්ෂණයේ දී සඳහන් කෙරිණි. කෙසේ නමුත් ඔහු මරණයට පත් වූ ආකාරය පිළිබඳ මුල සිටම සැක සහිත විය. ඇතැමුන් පවසන ලද්දේ එම මරණය ඝාතනයක් බවය. ඇතැමුන් පැවසූයේ ඔහුට සාපයක් වැදුණු බවය. 1993 වසරේ දී බෲස්ලීගේ පුතු බ්‍රැන්ඩන් ලී රූගත කිරීමක් අතරේ දී අභිරහස් ලෙස මරණයට පත් වීමත් සමග නැවත බෲස්ලීගේ අභිරහස් මරණය ද කතාබහට ලක්වන්නට විය. බෲස්ලීගේ පුතු මරණයට පත් වූයේ රූගත කිරීමක සඳහා ගෙනැවිත් තිබූ තුවක්කුවක අහම්බෙන් ජීව උණ්ඩයක් තිබීම නිසාය. එය පසුපස ඇත්තේ ද තවමත් නොවිසඳුණු අභිරහසකි.

මැරිලින් මොන්රෝ

මැරිලින් මොන්රෝගේ මරණය 

මැරිලින් මොන්රෝගේ මරණය 

1926 ජූනි 1 උපන් නෝර්මා ජේන් මෝර්ටෙන්සන් පසුව මැරිලින් මොන්රෝ බවට පත් වූවා ය. එකල ලෝකයේ අතිශය ලිංගික ආකර්ෂණයක් පැවැති කාන්තාව ඇය වූවා ය. ඇය කිසිදා සිය පියා දැක නොතිබුණු අතර මව වූ ග්ලේඩිස් සිය ජීවිතයේ අවසාන කාලයේ මානසික රෝගියකු බවට පත් වූවාය. 1962 අගෝස්තු 5 වැනිදා ඇය ලොස් ඇන්ජලීස් හි පිහිටි සිය නිවසේ දී මරණයට පත් වූවා ය. ඇගේ යහනට පසෙකින් හිස් නිදි පෙති බෝතලයක් විය. නමුත් වැඩි දිනක් ගත වන්නට පෙර පැතිර ගිය රාවය වූයේ මෙය ඝාතනයක් බවය. නමුත් ඇගේ මරණයට හේතුව වශයෙන් නිල වශයෙන් සඳහන් කොට තිබුණේ නිදි පෙති අධික ලෙස ගැනීම ය. ඇය එවක ඇමරිකානු ජනපති වූ ජෝන් එෆ්. කෙනඩි සහ ඔහුගේ සොයුරා වූ රොබට් කෙනඩි සමග එකවර ආදර සබඳතා පැවැත් වූ බවට ද රාවයක් පැති තිබිණි. කෙසේ නමුත් මේ 2017 වසරේ කරන ලද හෙළිදරව්වකින් දැනගන්නට ලැබී ඇත්තේ මාරක එන්නතක් මගින් මැරිලින් මොන්රෝව ඝාතනය කිරීම සඳහා රොබට් කෙනඩි අණ දුන් බව ය.

ජෝන් එෆ්. කෙනඩි

කෙනඩි ඝාතනය සිදුවූ ආකාරය 

ලී හාවේ ඔස්වල්ඩ් ඝාතනය වූ අවස්ථාව 


1917 ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ උපත ලද ජෝන් එෆ්. කෙනඩි ඇමරිකාවේ 35 වැනි ජනපතිවරයා විය. සිය පාලන තන්ත්‍රයේ දී බොහෝ අර්බුදවලට මුහුණ දුන්න ද ඔහු එරට සැලකිය යුතු තරමේ ජනප්‍රියත්වයක් ඉසිලූ ජනපතිවරයෙකු විය. 1963 නොවැම්බර් 22 වැනිදා ඔහු මෝටර් රථ පෙළපාලියක් අතරතුරේ දී වෙඩි පහරකින් ඝාතනයට ලක් විය. ඔහුගේ ඝාතකයා ලෙසට සැක කෙරුණේ ලී හාවේ ඔස්වල්ඩ් ය. පසුව ඔහු අත්අඩංගුවට ගෙන සිර භාරයට ගෙන යමින් සිටින අවස්ථාවේ දී ඩලාස් හි රාත්‍රී සමාජ ශාලා හිමිකරුවකු වූ ජැක් රූබි අතින් ඝාතනයට ලක් විය. ඒ සමගම කෙනඩිගේ මරණය පිළිබඳ සැක පහළ වන්නට විය. ඔස්වල්ඩ් ඝාතනය වීම නිසා කෙනඩි ඝාතනය පසුපස පවතින තොරතුරු දැන ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය. බොහෝ දෙනෙකු පැවසූයේ කෙනඩිගේ ඝාතනය ඔස්වල්ඩ්ගේ තනි ක්‍රියාවක් නොවන බව ය.  නමුත් නිල වශයෙන් ප්‍රකාශ කෙරුණේ එය හුදෙක්ම ඔහුගේ තනි උත්සාහයක් පමණක් බව ය.

කෙනඩි ඝාතනය

මක්සිම් ගෝර්කි

ගෝර්කි සහ ස්ටාලින් හමු වූ අවස්ථාවක් 

ලෙනින් චෙස් අදිද්දී සිටගෙන ඡායාරූපයට මුහුණ දී සිටින්නේ ගෝර්කි ය

මක්සිම් ගෝර්කි පිළිබඳ නොදන්නා අයකු නොමැති තරම් ය. 1868 මාර්තු 28 වැනිදා රුසියාවේ නිෂ්නි නොව්ගොරොද්වල උපන් ඔහු කුඩා කල සිටම ජීවත් වන්නට ඉමහත් අරගලයක් යෙදුණු පුද්ගලයකු විය. ඔහුගේ නිර්මාණවල පන්නරයට මේ අරගල බොහෝ දායකත්වයක් සැපයූ බැව් බොහෝ දෙනෙකු පවසති. මුල් කාලයේ දී බොල්ෂෙවික් විප්ලවයට පක්ෂපාතී අදහස් දැක් වූ ගෝර්කි, ලෙනින් බලයට පත් වීමත් සමග එය විවේචනය කරන්නට පටන් ගත්තේය. ඔහු 1936 ජූනි 18 වැනිදා මරණයට පත් වූ අතර බොහෝ දෙනෙකු අදටත් ඔහුගේ මරණය දෙස බලන්නේ සැක මුසු බැල්මකිනි. ලෙනින් සිදු කළ ඇතැම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් විවේචනය කරමින් ගෝර්කි පුවත්පත්වලට ලිපි ලීවේය. මේ පුවත්පත වසා දමන්නට සිදු වූ නිසා ගෝර්කි හඬ යටපත් විය. බොල්ෂෙවික් පාලනයට පහර දීම නිසා ඔහුට රුසියාවෙන් යාමට සිදු විය. ඔහු විදෙස් රටවලදී රුසියානු පාලන තන්ත්‍රය විවේචනය කරන නිසා සිය රටට ගෙන්වා ගැනීම වඩාත් සුදුසු යැයි කල්පනා කළ රුසියානු පාලකයෝ ඔහුගේ 60 වැනි ජන්ම දිනය සැමරීම සඳහා ඔහුව නැවත රුසියාවට කැඳවා ගන්නා ලදී. එවකට රුසියාවේ පාලකයා වූයේ ස්ටාලින් ය. ඉන්පසුව ඔහුට රටින් පිටවීම තහනම් කෙරිණි. 1936 ජූනි 18 වැනිදා සිදු වූ ඔහුගේ මරණය ස්වාභාවික එකක් බැව් රුසියානු පාලකයන් දැනුම් දුන්නත් ඔහුගේ මරණය සහමුලින්ම ස්ටාලින් විසින් සැලසුම් කරන ලද්දක් බවට කටකතා පැතිර යන්නට විය. මේ මරණයේ අභිරහස් බව නැවත පුන රූපණය කිරීමක ලෙස 2006 වසරේ දී The Murder of Maxim Gorky: A Secret Execution නමින් චිත්‍රපටයක් ද නිර්මාණය විය.



මක්සිම් ගෝර්කිගේ අවමංගල්‍යය

Friday, December 8, 2017

PhotoScan - ඡායාරූප පිටපත් කරන්නටම හදපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක


අද කාලේ ඡායාරූප අර ගන්නේ එක්කෝ ජංගම දුරකතනයෙන්. එහෙමත් නැත්නම් ඩිජිටල් කැමරාවෙන්. මේ නිසා හැම ඡායාරූපයක් ම තියෙන්නේ ඩිජිටල් ආකාරයටයි. නමුත් කාලෙකට පෙර ඡායාරූප ගත්තේ දළ සේයා පටල (Film Roll) දාන්න පුළුවන් කැමරාවලින්. ඒවා වර්ණ රසායනාගාරයකට ගිහින් මුද්‍රණය කළාට පසුවයි ඡායාරූපය බලන්න ලැබෙන්නේ. අද වගේ ගත්තු ගමන්, තමන් ගත්තේ මොකක්ද කියලා බලා ගන්න ලැබෙන්නේ නැහැ. මෙහෙම ගත්තු ඡායාරූප ඩිජිටල් ආකාරයෙන් ගබඩා කරලා තියා ගන්න නම් ඒවා ස්කෑන් (Scan) කරන්න වෙනවා. ඒ සඳහා ස්කැනර් යන්ත්‍රයක් අවශ්‍ය වෙනවා. කොහොම වුනත් අපට යන යන හැම තැනකම ස්කැනර් එකක් රැගෙන යන්න අමාරුයි. මේ නිසා අපේ ඥාති නිවසකට, මිතුරකුගේ නිවසකට ගිය විට අපට සම්බන්ධයක් තියෙන මෙවැනි පැරණි ඡායාරූපයක් දුටු විට කරන්නේ තමන්ගේ අතේ තියෙන ජංගම දුරකතන කැමරාවෙන් එහි ඡායාරූපයක් අර ගන්න එක. නමුත් මෙසේ ගන්නා ඡායාරූප සෑම විටම හොඳ තත්වයෙන් පවතින්නේ නැහැ. ජංගම දුරකතන කැමරාවේ තිබෙන ෆ්ලෑෂ් ආලෝකය නිසා පැරණි ඡායාරූපය දිලිසෙන්න පුළුවන්. එවිට එහි පැහැදිලි කම නැතිව යනවා. දහවල් කාලයේ නම් ෆ්ලෑෂ් ආලෝකය නොමැතිව හොඳින් ආලෝකය පතිත වන ස්ථානයකට ගිහින් ඒ ඡායාරූපය පිටපත් කර ගන්න පුළුවන්. නමුත් එහි ද බොහෝ විට අඩුපාඩු පවතිනවා. අනෙක රාත්‍රි කාලයේ නම් ෆ්ලෑෂ් ආලෝකය හැරෙන්න වෙන ආලෝක ක්‍රමයක් හොයා ගන්නත් අමාරුයි.
මෙවැනි අවස්ථාවල දී ප්‍රයෝජනයට ගැනීම සඳහා බොහෝ ඇන්ඩ්‍රොයිඩ් ඇප් බාගත කර ගන්නට තිබෙනවා. මේ ඇතැම් ඒවා යම් යම් මට්ටම්වලින් සාර්ථක වුනත් සෑම විටම සාර්ථක වන්නේ නැහැ. නමුත් ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද PhotoScan ඇප් එක වඩාත් ඉදිරියෙන් තිබෙන බව පැවසිය හැකියි. මෙය ඇපල් දුරකතන සඳහා ද වෙනමම සංස්කරණයක් පවතිනවා.
මේ ඇප් එකෙන් ඡායාරූපයක් ස්කෑන් කළ විට ෆ්ලෑෂ් ආලෝකය දැල්වුනත්, අවසන් ඡායාරූපයේ එය ඇතුළත් වන්නේ නැහැ. ඒ වගේම උසස් තත්වයෙන් අවසන් ප්‍රතිඵලය ලබාගන්නටත් පුළුවන්. ඔබට නිකමට මෙය අත්හදා බලන්න.






Tuesday, December 5, 2017

ශෂී කපූර්ගේ නික්ම යාම ගැන සටහනක් . . .


අග්‍රගණ්‍ය බොලිවුඩ් රංගන ශිල්පියකු වන ශෂී කපූර් මේ දෙසැම්බර් 04 වැනිදා පස්වරු 5. 20 ට වසර 79 ක ජීවන ගමනකින් පසු සිනමා රසිකයන්ට සමු දී මෙලොවින් සදහටම සමුගත්තේය. ඒ බටහිර මුම්බායි හි කෝකිලබෙන් ධිරුභායි අම්භානි රෝහලේ දී ය. ඔහු වසර කිහිපයක් මුළුල්ලේ දරුණු වකුගඩු රෝගයකින් පෙළුණු බැව් පැවසෙන අතර ඔහුගේ මරණය දැනුම් දෙමින් ඔහුගේ බෑණනුවන් වන රන්දීර් කපූර් ද ඒ බව නිවේදනය කලේ ය. ඔහු දශක ගණනාවක් පුරා බොලිවුඩ් සිනමාවේ පතාක යෝධයන් ව සිටින කපූර් පවුලේ ආරම්භ සාමාජිකයෙකි.

ප්‍රීතිවිරාජ් කපූර්

1938 මාර්තු 18 වැනිදාවක ඉන්දියාවේ කල්කටා හි දී (වර්තමාන කොල්කොටා) උපත ලද ශෂී කපූර්ගේ මුල් නම වූයේ බල්බීර් ප්‍රීතිවිරාජ් කපූර් ය. රංගන ශිල්පියකු පමණක් නොව චිත්‍රපට නිෂ්පාදකයකු ද වූ ඔහු අති විශාල හින්දි සිනමා පට ගණනාවක මෙන්ම සුප්‍රකට ඉංග්‍රීසි චිත්‍රපට කිහිපයක ද චරිත නිරූපණය කළේ ය. ඔහුගේ පියා ප්‍රීතිවිරාජ් කපූර් වූ අතර මව රම්සර්නි කපූර් වූවා ය.  පවුලේ තෙවැන්නා මෙන්ම බඩපිස්සා ද වූ ශෂී බොලිවුඩ් සිනමාවේම පතාක යෝධයන්ව සිටි රාජ් කපූර්ගේ සහ ෂම්මි කපූර්ගේ බාල සොයුරා ද වූයේය.

රාජ් කපූර්

ෂම්මි කපූර්

1958 දී ඔහු ඉංග්‍රීසි ජාතික රංගන ශිල්පිනියක වන ජෙනිෆර් කෙන්ඩාල් සමග විවාහ වූයේය. ප්‍රීතිවිරාජ් පදනම පිහිටුවන්නට මුල් වූයේ ඇය ය. ඔවුන්ට මෙම විවාහයෙන් දරුවන් තිදෙනෙකු ලැබුණි. ඒ කුනාල් සහ කරන් යන පුතුන් දෙදෙනා සහ සන්ජන් නම් දියණිය යි. ඔවුන් ද විශාල ප්‍රසිද්ධියක් නොලැබුවා වුව ද බොලිවුඩ් සිනමාවේ රංගන ශිල්පීන් ය.


ශෂී සහ ජෙනිෆර්



ශසී කපූර්, බිරිඳ සහ දරුවන්



ශෂී කපූර් මුලින්ම රංගනයෙහි යෙදුණේ සිය පියා වූ ප්‍රීතිවිරාජ්ගේ ප්‍රීතිවිරාජ් තියටර්ස්විසින් නිෂ්පාදනය කරන ලද නාට්‍යවල ළමා නළුවකු වශයෙනි. ඔහු මුලින්ම චිත්‍රපටයක චරිතයක් නිරූපණය කළේ 1940 දශකයේ ය. ඒ වන විට ප්‍රීතිවිරාජ් නමින් වෙනත් ළමා නළුවකු සිටි බැවින් ඔහු පෙනී සිටියේ ශෂීරාජ්යන නමිනි. ඔහු ළමා නළුවකු ලෙස වඩාත්ම ජනාදරයට පත් වූ චරිතවල රංගනයෙහි යෙදුණේ ආග්’ (1948)  සහ ආවාරා’ (1951) යන චිත්‍රපටවලය. එම චිත්‍රපට දෙකෙහි ඔහු පෙනී සිටියේ සිය වැඩිමහලු සොයුරා වූ රාජ් කපූර්ගේ ළමා කාලය නිරූපණය කිරීම සඳහා ය. එමෙන්ම 1950 වසරේ තිරගත වූ සංග්‍රම්චිත්‍රපටයේ ද ඔහු කැපී පෙනෙන චරිත නිරූපණයක යෙදුණේ ය. ඔහු එහි නිරූපණය කළේ එවක සුප්‍රකට නළුවකු වූ අශෝක් කුමාර්ගේ ළමා කාලයේ චරිතය යි.

ශෂී කපූර් ට සුනිල් දත්ගේ මුල්ම චිත්‍රපටය වූ පෝස්ට් බොක්ස් 999’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා ලෙස වැඩකටයුතු කරන්නට ද අවස්ථාව ලැබිණි. ඔහු ප්‍රධාන චරිතය සඳහා පෙනී සිටි මුල්ම චිත්‍රපටය වූයේ 1961 වසරේ තිරගත වූ ධර්මපුත්‍රයි. එතැනින් ආරම්භ කළ සිනමා චාරිකාවේ දී ඔහු හින්දි චිත්‍රපට 116ක රංගනයෙහි යෙදුණේ ය. 60, 70 සහ 80 දශකවල දී ඔහු බොලිවුඩ් සිනමාවේ ඉමහත් ජනාදරයක් දිනාගත් නළුවකු විය. 1961 වසරේ සිට ඔහු ඉංග්‍රීසි චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායක වූයේය. ඒවා අතර ද හවුස් හෝල්ඩර්’, ‛ශේක්ෂ්පියර් වාලායන චිත්‍රපට විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. ඔහු සමග වැඩිම චිත්‍රපට ගණනාවක රංගනයෙහි යෙදුණු රංගන ශිල්පිනිය වූයේ නන්දා ය. එම චිත්‍රපට අතිශය ජනප්‍රියත්වයට ද පත් විය. ඒවා අතර මොහාබත් ඉස්කෝ කාහේතේ හේන්’, චාර් දිවාරි’, ‛මෙහෙන්දි ලගී මේරේ හාත්’, ‛ජබ් ජබ් ෆූල් ඛීලේ’, ‛නීන්ද් හමාරි ඛාවබ් තුම්හාරේවැනි තවත් බොහෝ සිනමා නිර්මාණ විය.



පසු කාලයේ ඔහු රාඛී, ෂර්මිලා ථාගෝර් සහ සීනාත් අම්මාන් යන රංගන ශිල්පිනියන් සමග ද සාර්ථක චිත්‍රපට ගණනාවකම රංගනයෙහි යෙදුණේ ය. එමෙන්ම හේමමාලිනී, ප්‍රවීන් බාබි සහ මවුෂුමි චැටර්ජි යන රංගන ශිල්පිනියන් සමග ද චිත්‍රපට ගණනාවක් සඳහාම පෙනී සිටියේය.

ඔහු ද්විත්ව රංගනයෙහි යෙදුණු චිත්‍රපට දෙකක්  විය. ඒ හසීනා මාන් ජයේගිසහ ශන්කර් දාදාවිය. ඒ චිත්‍රපට දෙකම අතිශය සාර්ථකත්වයට පත් වූ ඒවා ය. ශන්කර් දාදා හි ඔහු එක් චරිතයක් සඳහා පෙනී සිටියේ ගැහැනියක ලෙස ය.

ඔහු මර්චන්ට් අයිවරි’, ‛ද හවුස් කීපර්’, ‛ශේක්ෂ්පියර් වාලා’, ‛බොම්බේ ටෝකි’, ‛හීට් ඇන්ඩ් ඩස්ට්’  ආදී තවත් බොහෝ ඉංග්‍රීසි සිනමා නිර්මාණවල රංගනයෙහි යෙදීමෙන් ජාත්‍යන්තර වශයෙන් ද කීර්තියට පත් වූයේය. මේ බොහෝ ඉංග්‍රීසි චිත්‍රපටවල ඔහු රංගනයෙහි යෙදුණේ සිය බිරිඳ වූ ජෙනිෆර් කෙන්ඩාල් සමගිනි.




ඔහු කලෙක බොලිවුඩ් සිනමාවේ වැඩිම ගෙවීමක් ලද රංගන ශිල්පියා ද වූයේ ය.

1984 වසරේ දී සිය බිරිඳ පිළිකාවක් වැළඳී මෙලොව හැර යාමත් සමග ශෂී කෙමෙන් සිනමාවෙන් දුරස් වන්නට පටන් ගත්තේය. ශෂී සිනමාව වෙනුවෙන් කළ ඉමහත් කැපවීම නිසා ඉන්දියානු රජය 2011 දී ඔහුට පද්ම භූෂන්සම්මානය පිරිනැමුවේ ය. 2014 දී ඔහුට සිනමාවෙ වෙනුවෙන් පිරිනැමෙන දදාෂාහෙබ් ෆල්කීසම්මානය ද හිමි විය. මෙම සම්මානය ඔහුගේ පියා වූ ප්‍රීතිවිරාජ් සහ සොයුරා වූ රාජ් කපූර් ද මෙයට පෙර හිමි කරගෙන තිබිණි.



ඔහුගේ මරණය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ ජනපති රාම් නාත් සිය ට්විටර් පණිවිඩවල ශෝකය පළ කොට තිබිණි.

සුප්‍රකට සිනමා කරුවකු වූ මහේෂ් භාත්ගේ ට්විටර් පණිවිඩය තුළ ශෂී කපූර්ගේ වෙන්ව යාම ඉමහත් සංවේදීව සටහන් කරයි. ඒ මෙසේය.


අහස ගගුරා මුම්බායි නගරයේ එක් පෙදෙසකට වැසි ඇද හැලෙන්නට විය. මගේ හදවත කෘතඥතාවෙන් පිරී ගියේය. මහත්මයාණෙනි, ඔබට මාගේ හද පිරි කෘතගුණය පිරිනමමි. ඔබ අපගේ හදවත් ස්පර්ශ කළේය. එසේ ස්පර්ශ කළ හැක්කේ ඔබටම පමණි.”