පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, December 14, 2017

අභිරහස් ලෙස මිය ගිය සුප්‍රකට මිනිසුන් - Mysterious deaths of famous people

Source - https://i.ytimg.com/vi/5EjhGf-HfzE/maxresdefault.jpg

ඉපදෙන සියලු දෙනාම මිය ගියත්, මේවා අතුරින් ඇතැම් මරණ පසුපස විස්තර කළ නොහැකි අභිරහස් ස්වභාවයක් පවතින බැව් පෙනේ. එයට හේතුව ඒ මරණ සිදු වූ ආකාරය පිළිබඳ පැහැදිලි තොරතුරක් ඉදිරිපත් කිරීම දුෂ්කර බැවිනි. මෙවැනි අභිරහස් මරණවලට බොහෝ දෙනෙක් බඳුන් වෙති. ඒ අතර සිටින අප්‍රකට පුද්ගලයන්ගේ මරණ නොබෝ දිනකින් මිනිසුන්ගේ මතකයෙන් මැකී ගිය ද සුප්‍රකට පුද්ගලයන්ගේ මරණ පසුපස පවතින අභිරහස් එසේ මැකී යන්නේ නැත. යම් යම් හේතූන් නිසා ඒවා වරින් වර මේවා ඉස්මතු වේ. මේ කතා  කරන්නට සැරසන්නේ ද එසේ වරින් වර ඉස්මතු වන සුප්‍රකට අභිරහස් මරණයන් කිහිපයක් පිළිබඳවය.

බෲස් ලී

බෲස්ලී ගේ මරණය 

බෲස් ලී යනු අද දවසේ සමාජයට පිය මනින දරුවාගේ සිට මහල්ලා දක්වා වූ සියල්ලන් අසා ඇති නමකි. සටන් කලාව තුළ ඔහු තරමට ලෝකයේ කතා බහට ලක් වූ වෙනත් පුද්ගලයකු නොමැති තරම්ය. 1940 නොවැම්බර් 27 වැනිදා උපන් බෲස් ලී කුඩා කාලයේ සිටම සටන් කලාව ප්‍රගුණ කළ අයෙකි. එමෙන්ම නළුවෙකි. ග්‍රීන් හෝර්න්ට්නම් ඇමරිකානු රූපවාහිනී කතා මාලාවෙන් සහ ද චයිනීස් කනෙක්ෂන්හා ෆිස්ට් ඇන්ඩ් ෆියුරියන චිත්‍රපට ඔස්සේ ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. රංගන ශිල්පියකු සහ සටන් කරුවකු ලෙස සාර්ථකව ඉදිරි ගමනක් යමින් සිටි ඔහු 1973 ජූලි 20 වැනිදා හොංකොං හි දී හදිසියේ මරණයට පත් විය. ඔහුගේ මරණයට හේතුව ලෙස නිල වශයෙන් ඉදිරිපත් කළ කාරණය වූයේ මොළයේ ජල සාන්ද්‍රණය වැඩි වීම බව ය. එසේ ජල සාන්ද්‍රණය වැඩී වී ඇත්තේ පිට කොන්දේ අසනීප තත්වයක් නිසා ඔහු ලබා ගත් වේදනා නාශක ඖෂධ බව ද මරණ පරීක්ෂණයේ දී සඳහන් කෙරිණි. කෙසේ නමුත් ඔහු මරණයට පත් වූ ආකාරය පිළිබඳ මුල සිටම සැක සහිත විය. ඇතැමුන් පවසන ලද්දේ එම මරණය ඝාතනයක් බවය. ඇතැමුන් පැවසූයේ ඔහුට සාපයක් වැදුණු බවය. 1993 වසරේ දී බෲස්ලීගේ පුතු බ්‍රැන්ඩන් ලී රූගත කිරීමක් අතරේ දී අභිරහස් ලෙස මරණයට පත් වීමත් සමග නැවත බෲස්ලීගේ අභිරහස් මරණය ද කතාබහට ලක්වන්නට විය. බෲස්ලීගේ පුතු මරණයට පත් වූයේ රූගත කිරීමක සඳහා ගෙනැවිත් තිබූ තුවක්කුවක අහම්බෙන් ජීව උණ්ඩයක් තිබීම නිසාය. එය පසුපස ඇත්තේ ද තවමත් නොවිසඳුණු අභිරහසකි.

මැරිලින් මොන්රෝ

මැරිලින් මොන්රෝගේ මරණය 

මැරිලින් මොන්රෝගේ මරණය 

1926 ජූනි 1 උපන් නෝර්මා ජේන් මෝර්ටෙන්සන් පසුව මැරිලින් මොන්රෝ බවට පත් වූවා ය. එකල ලෝකයේ අතිශය ලිංගික ආකර්ෂණයක් පැවැති කාන්තාව ඇය වූවා ය. ඇය කිසිදා සිය පියා දැක නොතිබුණු අතර මව වූ ග්ලේඩිස් සිය ජීවිතයේ අවසාන කාලයේ මානසික රෝගියකු බවට පත් වූවාය. 1962 අගෝස්තු 5 වැනිදා ඇය ලොස් ඇන්ජලීස් හි පිහිටි සිය නිවසේ දී මරණයට පත් වූවා ය. ඇගේ යහනට පසෙකින් හිස් නිදි පෙති බෝතලයක් විය. නමුත් වැඩි දිනක් ගත වන්නට පෙර පැතිර ගිය රාවය වූයේ මෙය ඝාතනයක් බවය. නමුත් ඇගේ මරණයට හේතුව වශයෙන් නිල වශයෙන් සඳහන් කොට තිබුණේ නිදි පෙති අධික ලෙස ගැනීම ය. ඇය එවක ඇමරිකානු ජනපති වූ ජෝන් එෆ්. කෙනඩි සහ ඔහුගේ සොයුරා වූ රොබට් කෙනඩි සමග එකවර ආදර සබඳතා පැවැත් වූ බවට ද රාවයක් පැති තිබිණි. කෙසේ නමුත් මේ 2017 වසරේ කරන ලද හෙළිදරව්වකින් දැනගන්නට ලැබී ඇත්තේ මාරක එන්නතක් මගින් මැරිලින් මොන්රෝව ඝාතනය කිරීම සඳහා රොබට් කෙනඩි අණ දුන් බව ය.

ජෝන් එෆ්. කෙනඩි

කෙනඩි ඝාතනය සිදුවූ ආකාරය 

ලී හාවේ ඔස්වල්ඩ් ඝාතනය වූ අවස්ථාව 


1917 ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ උපත ලද ජෝන් එෆ්. කෙනඩි ඇමරිකාවේ 35 වැනි ජනපතිවරයා විය. සිය පාලන තන්ත්‍රයේ දී බොහෝ අර්බුදවලට මුහුණ දුන්න ද ඔහු එරට සැලකිය යුතු තරමේ ජනප්‍රියත්වයක් ඉසිලූ ජනපතිවරයෙකු විය. 1963 නොවැම්බර් 22 වැනිදා ඔහු මෝටර් රථ පෙළපාලියක් අතරතුරේ දී වෙඩි පහරකින් ඝාතනයට ලක් විය. ඔහුගේ ඝාතකයා ලෙසට සැක කෙරුණේ ලී හාවේ ඔස්වල්ඩ් ය. පසුව ඔහු අත්අඩංගුවට ගෙන සිර භාරයට ගෙන යමින් සිටින අවස්ථාවේ දී ඩලාස් හි රාත්‍රී සමාජ ශාලා හිමිකරුවකු වූ ජැක් රූබි අතින් ඝාතනයට ලක් විය. ඒ සමගම කෙනඩිගේ මරණය පිළිබඳ සැක පහළ වන්නට විය. ඔස්වල්ඩ් ඝාතනය වීම නිසා කෙනඩි ඝාතනය පසුපස පවතින තොරතුරු දැන ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය. බොහෝ දෙනෙකු පැවසූයේ කෙනඩිගේ ඝාතනය ඔස්වල්ඩ්ගේ තනි ක්‍රියාවක් නොවන බව ය.  නමුත් නිල වශයෙන් ප්‍රකාශ කෙරුණේ එය හුදෙක්ම ඔහුගේ තනි උත්සාහයක් පමණක් බව ය.

කෙනඩි ඝාතනය

මක්සිම් ගෝර්කි

ගෝර්කි සහ ස්ටාලින් හමු වූ අවස්ථාවක් 

ලෙනින් චෙස් අදිද්දී සිටගෙන ඡායාරූපයට මුහුණ දී සිටින්නේ ගෝර්කි ය

මක්සිම් ගෝර්කි පිළිබඳ නොදන්නා අයකු නොමැති තරම් ය. 1868 මාර්තු 28 වැනිදා රුසියාවේ නිෂ්නි නොව්ගොරොද්වල උපන් ඔහු කුඩා කල සිටම ජීවත් වන්නට ඉමහත් අරගලයක් යෙදුණු පුද්ගලයකු විය. ඔහුගේ නිර්මාණවල පන්නරයට මේ අරගල බොහෝ දායකත්වයක් සැපයූ බැව් බොහෝ දෙනෙකු පවසති. මුල් කාලයේ දී බොල්ෂෙවික් විප්ලවයට පක්ෂපාතී අදහස් දැක් වූ ගෝර්කි, ලෙනින් බලයට පත් වීමත් සමග එය විවේචනය කරන්නට පටන් ගත්තේය. ඔහු 1936 ජූනි 18 වැනිදා මරණයට පත් වූ අතර බොහෝ දෙනෙකු අදටත් ඔහුගේ මරණය දෙස බලන්නේ සැක මුසු බැල්මකිනි. ලෙනින් සිදු කළ ඇතැම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් විවේචනය කරමින් ගෝර්කි පුවත්පත්වලට ලිපි ලීවේය. මේ පුවත්පත වසා දමන්නට සිදු වූ නිසා ගෝර්කි හඬ යටපත් විය. බොල්ෂෙවික් පාලනයට පහර දීම නිසා ඔහුට රුසියාවෙන් යාමට සිදු විය. ඔහු විදෙස් රටවලදී රුසියානු පාලන තන්ත්‍රය විවේචනය කරන නිසා සිය රටට ගෙන්වා ගැනීම වඩාත් සුදුසු යැයි කල්පනා කළ රුසියානු පාලකයෝ ඔහුගේ 60 වැනි ජන්ම දිනය සැමරීම සඳහා ඔහුව නැවත රුසියාවට කැඳවා ගන්නා ලදී. එවකට රුසියාවේ පාලකයා වූයේ ස්ටාලින් ය. ඉන්පසුව ඔහුට රටින් පිටවීම තහනම් කෙරිණි. 1936 ජූනි 18 වැනිදා සිදු වූ ඔහුගේ මරණය ස්වාභාවික එකක් බැව් රුසියානු පාලකයන් දැනුම් දුන්නත් ඔහුගේ මරණය සහමුලින්ම ස්ටාලින් විසින් සැලසුම් කරන ලද්දක් බවට කටකතා පැතිර යන්නට විය. මේ මරණයේ අභිරහස් බව නැවත පුන රූපණය කිරීමක ලෙස 2006 වසරේ දී The Murder of Maxim Gorky: A Secret Execution නමින් චිත්‍රපටයක් ද නිර්මාණය විය.



මක්සිම් ගෝර්කිගේ අවමංගල්‍යය

11 comments:

  1. Replies
    1. ඔබේ අදහසටත් ස්තූතියි.

      Delete
  2. බොහෝ සිදුවීම් තුල දුක,කණගාටුව සහ සාහසිකත්වය කදිමට පෙනෙන්න ඇත.ඔබගේ ලිපිය අපට දෙපාරක් සිතන්න කදිමට කියා දෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රකට පුද්ගලයන් බොහොමයකගේ මරණය පසුපස එවැනි සිදුවීම පවතින බව පේනවා.

      Delete
  3. හොඳ පර්යේෂණ ලිපියක්. කිසිවෙකුගේ අවධානයක් යොමු නොවුණු
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete
  4. පුදුම අභිරහස් තමයි මේවා නම් .....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කියන්නේ. . .

      Delete
  5. Replies
    1. A typing error in Monroe's date of death.

      Delete
    2. Thanx for the comment and thanx for showing the error. I corrected it. Thanx again.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න