පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, December 24, 2018

ශීතකරණ දෝෂයක් පහසුවෙන් නිවැරදි කර ගනිමු - 2 - Refrigerator Compressor Relay Problem Solving


ශීතකරණ දෝෂයක් පහසුවෙන් නිවැරදි කර ගනිමු - 2 කියා මෙය හඳුන්වා දී තිබෙන්නේ ශීතකරණයක් මුහුණ දෙන එක දෝෂයක් ගැන කලකට පෙර මා බ්ලොග් සටහන් ලියූ නිසයි. එය මෙතැන ක්ලික් කිරීමෙන් කියවන්නට පුළුවන්.

මා ශීතකරණ අලුත්වැඩියා කරන්නෙකු නොවුනත්, අපේ නිවසේ ඇති ශීතකරණයේ දෝෂයක් ඇති වූ විට කාර්මිකයකු කැඳවන්නට ඉක්මන් නොවී එය මටම විසඳාගන්නට හැකිදැයි සොයා බැලීමට මා පුරුදුව සිටින නිසා මා සොයා ගත් ක්‍රම මෙසේ ලියා තබන්නට සිතුවා.

පසුගිය දවසක අපේ නිවසේ ශීතකරණය හදිසියේ අක්‍රියාකාරී වුණා. එය තුල ඇති විදුලි බුබුල දැල්වුනත් එය ක්‍රියා කරන හඬක් ඇසුණේ නැහැ. සිසිල්වන බවක් පෙනුනේ ද නැහැ.  අන්තර්ජාලය පීරා මේ ගැන සොයා බැලූ විට මෙවැනි තත්වයක් ඇති වන්නට හේතුවන කාරණා දෙකක් ගැන දැනගන්නට ලැබුණා.

1. කොම්ප්‍රෙෂරය අබලන් වීම
2. කොම්ප්‍රෙෂරයට සවි කොට ඇති රිලේ සහ ඕවර්ලෝඩ් කොටස අබලන් වීම

මේ නිසා මා කළේ ශීතකරණයේ විදුලිය විසන්ධි කොට පරීක්ෂා කරන්නට පටන් ගැනීමයි. මේ සඳහා මල්ටි මීටරයක් තිබෙනවා නම් එය ඉතා ප්‍රයෝජනවත්.



කොම්ප්‍රෙෂරය හොඳදැයි බැලීම සඳහා මුලින්ම එයට බලය සැපයෙන රිලේ සහ ඕවර් ලෝඩ් කොටස ගැලවිය යුතුයි. පහළ පින්තූරයේ තියෙන්නේ කොම්ප්‍රෙෂරයට රිලේ සහ ඕවර්ලෝඩ් කොටස සවි වී ඇති ආකාරයයි. එය බොහෝ විට තියෙන්නේ කුඩා පෙට්ටියක් වැනි දෙයකින් ආවරණය වෙලා. මෙය සෙමින් ගැලවීමෙන් පසු කොම්ප්‍රෙෂරය හොඳින් තිබේදැයි පරීක්ෂා කරන්නට පුළුවන්.




කොම්ප්‍රෙෂරයේ කූරු 3 ක් තිබෙනවා. ඒවා Run, Common සහ Start යන නම්වවලින් හඳුන්වනවා. ඇතැම් කොම්ප්‍රෙෂර්වල Common කූර තිබෙන්නේ උඩින්. මේ කූරු දෙක බැගින් මල්ටිමීටරයේ  ඕම්ස් පරිමාණයෙන් පරීක්ෂාවක් කළ යුතු වෙනවා. 





මෙහි Common සහ Run අතර පරීක්ෂා කිරීමේ දී ඕම්ස් 5 - 6 අතර ආසන්න අගයක් පෙන්විය යුතුයි. Run සහ Start අතර පරීක්ෂාවේදී ඕම්ස් අගය 11 - 12 අතර ආසන්න අගයක් පෙන්විය යුතුයි. Common සහ Start පරීක්ෂාවේදී ඕම්ස්  5 - 6 අතර ආසන්න අගයක් පෙන්විය යුතුයි. Common/Run සහ Common/Start වලදී ලැබුණු අගයයන්වල එකතුව Run/Start පරීක්ෂාවේදී ලද අගයට ආසන්න වශයෙන් සමාන විය යුතුයි.

මෙවැනි පරීක්ෂාවක් කරන ආකාරය පහත වීඩියෝවෙන් දැක්වෙනවා.




ඒ වගේම මෙම කූරු එකින් එක් කොම්ප්‍රෙෂරයේ බඳ කොටස සමග ද පරීක්ෂා කළ යුතු වෙනවා. එසේ කරන්නේ පරිපථ ලඝුවීමක් (Short Circuit) වී තිබේද කියා බැලීමටයි. මේ සඳහා මල්ටිමීටරයේ Continuity පරීක්ෂාවක් කළ යුතුයි. එහි  Continuity තෝරාගන්න. කොම්ප්‍රෙෂරයේ බඳෙහි තීන්ත ඉවත්වන සේ සූරා කූරු එකින් එක බඳ සමග පිරික්සන්න. යම් අවස්ථාවක දී මල්ටිමීටරයේ බසරය නාද වූයේ නම් ගැටලුවක් පවතින බව සඳහන් කළ යුතුයි. එය සාමාන්‍ය දැනුමකින් විසඳිය හැකි ගැටලුවක් නොවේ. කොම්ප්‍රෙෂරයේ දෝෂයක් නම් එය අපට තනිව නිවසේදී අලුත්වැඩියා කරගන්නට නොහැකි අන්දමේ  බරපතල ගැටලුවක් නිසා ශීතකරණ කාර්මිකයකු කැඳවීම වඩාත් සුදුසුයි.

කොම්ප්‍රෙෂරයේ ගැටලුවක් නැත්නම් ඊළඟට ගැටලුව ඇත්තේ රිලේ සහ ඕවර්ලෝඩ් කොටසේ විය යුතුයි. මේ කොටස අතින් අල්ලා සෙලවූ විට සෙලවෙන හඩක් ඇසේ නම් එයින් කියවෙන්නේ එහි දෝෂයක් ඇති බවයි. මෙය මල්ටි මීටරයෙන් ද පරීක්ෂා කළ හැකියි. එවැනි පරීක්ෂාවක් කරන ආකාරය පහත වීඩියෝවෙන් දැක්වෙනවා.





මේ කොටසේ දෝෂයක් ඇත්නම් එය ගලවා ගෙන ගොස් එම වර්යේම එකක් සවි කිරීමෙන් මේ දෝෂය නිවාරණය කර ගත හැකියි. එම කොටස් ශීතකරණ අමතර කොටස් විකිණීමට ඇති වෙළෙඳ සල්වලින් මිලට ගන්නට පුලුවන්. කොළඹ නම් මේවා නවලෝක රෝහල අවට බොහෝ වෙළෙඳ සල්වලින් මිලට ගන්නට පුළුවන්.

මෙවැනි දෝෂ කාර්මිකයකුගේ සහායක් නැතිව ඔබටම නිවාරණය කර ගත හැකියි. කාර්මිකයකුගේ සහාය ලබාගන්නේ නම් ඔබට ඒ සඳහා සෑහෙන මුදලක් ගෙවන්නට වෙනවාට සැකයක් නැහැ.




Thursday, December 20, 2018

බුදුන් වහන්සේගෙන් ලද කාන්තා අයිතිය සුරකින්නට කැපවුණු ශාක්‍යධිතා සංවිධානය - Sakyaditha International



බුදු දහම යනු සියලු ආගම් අතුරින් සැබෑ නිදහසකින් යුක්තව පිළිපැදිය හැකි ආගමකි. විශේෂයෙන් කාන්තා විමුක්තිය පිළිබඳ කතා කිරීමේදී මෙය හොඳින් පෙනෙන්නට තිබේ. එය බුදු දහමේ ආරම්භයේ සිට අද දක්වාම නොනැසී පවතින්නාවූ සුවිශේෂී ලක්ෂණයකි. මේ නිසාම බුදු දහම සිය ජීවන දර්ශනය ලෙස තබාගනිමින් විවිධ සංවිධාන ලෝකයේ විවිධ ස්ථානවල බෞද්ධ කාන්තා සංවිධාන බිහිවී තිබේ. අප දැන කතා කරන්නට සැරසෙන්නේ මේවා අතුරින් වඩාත් සුවිශේෂී බෞද්ධ කාන්තා සංවිධානයක් පිළිබඳවය.  ‛ශාක්‍යධිතා’ (Sakyadhita) යනුවෙන් හඳුන්වනු ලබන එය ජාත්‍යන්තර වශයෙන් ඉතා ශක්තිමත් සංවිධානයක් ලෙස බෞද්ධ ලෝකය තුළ ඉදිරියට එමින් පවතී. ‛ශාක්‍යධිතා’ යන්නෙහි අරුත ද ඉතාමත් සුවිශේෂීය. ‛බුදුන් වහන්සේගේ දියණියෝ’ යන්න එහි අරුතයි. කෙසේ නමුත් බුදුමග ගමන් කරනා මේ දියණියන් පිළිබඳ දන්නා පිරිස අල්ප බැව් හොඳින්ම පෙනෙන්නට තිබේ. 

ශාක්‍යධිතා යනු ලෝකයේ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ප්‍රමුඛ පෙළේ බෞද්ධ සංවිධානයකි. 1987 වසරේදී බුද්ධගයාවේ පැවැති මුල්ම ජාත්‍යන්තර බෞද්ධ කාන්තා සංවිධානයේ ඒකමතික තීරණයක් ලෙස මෙම සංවිධානය ලොවට බිහි විය. ලෝකයේ විවිධ රටවල වෙසෙන බෞද්ධ කාන්තාවන්ගේ ජීවිත වඩා යහපත් කිරීම මෙම සංවිධානයේ අරමුණය. 

පිරිමින් හා සමානවම කාන්තාවට ද මේ ලෝකය වෙනුවෙන් සමාන සේවයක් සැළසිය හැකි බැව් ලොවට පෙන්වා දුන් මුල්වැන්නා වූයේ අප බුදුන් වහන්සේය. කාන්තා විමුක්තිය පිළිබඳ අද කතා බහ කරනා සියලු සංවිධාන අමතක කරදමා ඇත්තේද මෙයයි. බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ පිරිමියාගේ හා කාන්තාවගේ ජීව විද්‍යාත්මක වෙනස්කම් පැවතිය ද එය ලෝකයට සමාන සේවයක් සැළසීමට බාධාවක් වන්නේ නැති බවයි. පිරිමියාගේ හා කාන්තාවගේ මෙම එක හා සමාන හැකියාව පිළිගත් එකම දර්ශනය වන්නේ ද බෞද්ධ දර්ශනය පමණි. නමුත් අවාසනාව වන්නේ මෙම දර්ශනය තුළම උපන් බොහෝ බෞද්ධ කාන්තාවන් සිය ශක්තිය යොදා ලෝකයට සේවයක් කිරීමට පසුගාමී වීමය. 

ලෝකයේ රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති මෙම සංවිධානය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 1993 දීය. ඒ එම වසරේ අප රටේ පවත්වන ලද ජාත්‍යන්තර බෞද්ධ කාන්තා සම්මේලනය පවත්වන ලද ඓතිහාසික අවස්ථාවෙන් අනතුරුවය. අප රටේ ක්‍රියාත්මක වන ශාක්‍යධිතා සංවිධානයේ මූලික අරමුණ වන්නේ බෞද්ධ භික්ෂූණීන් හා මෙහෙණින් වහන්සේ අතර උසස් අධ්‍යාපන තත්වයක් ඇති කිරීමය. අතීතයේ අප රටේ බෞද්ධ භික්ෂුණින් හා මෙහෙණින් වහන්සේ බොහෝ විට සිදු කළේ ආගමික වතාවත් සිදුකිරීම පමණි. නමුත් ශාක්‍ය ධිතා සංවිධානය පවසන්නේ උන් වහන්සේලාගෙන් සමාජයට වඩාත් යහපත් සේවයක් ලබාගත හැකි බවය. විවිධ සමාජ හා ආර්ථික ගැටළුවලින් පෙළෙන බෞද්ධ කාන්තාවන්ට පිහිට වන්නට භික්ෂූණීන් වහන්සේලාට වඩාත් වැඩි මෙහෙයක් කළහැකි බැව් මෙම සංවිධානය පෙන්වා දෙයි. ඒ අතරතුර බෞද්ධ කාන්තාවන් තුළින් ගිළිහී යන බෞද්ධ සම්ප්‍රදායයන් යළි ඇති කිරීමට ද මේ තුළින් හැකි වෙතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. 

අප රටේ භික්ෂූණී ශාසනය නිවැරදි ලෙස පිහිටුවන ලද්දේ දැනට වසර 10 කට පමණ පෙරය. ඒ වනතුරු අප රටේහි සිටියේ දසසිල් මාතාවන් පමණි. මේවන විට භික්ෂූණී ශාසනය කෙමෙන් කෙමෙන් ව්‍යාප්ත වන්නට පටන්ගෙන තිබේ.  ශාක්‍ය ඩීටා සංවිධානය මේ පිළිබඳ දක්වන්නේ යහපත් ආකල්පයකි. අප රටෙහි බෞද්ධ කාන්තාවන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට මෙය මහත් රුකුළක්වනු ඇතැයි මෙම සංවිධානය බලාපොරොත්තු වෙයි. 

දැනට ගණනය කොට ඇති පරිදි ලෝකයේ බෞද්ධ කාන්තාවෝ මිලියන 300ක් පමණ සිටිති. මෙයට භික්ෂුණීන් හා මෙහෙණින් වහන්සේලා 130,000 ක් ඇතුළත්ය. බොහෝ කාන්තාවෝ බෞද්ධ වතාවත් අනුගමනය කරමින් බෞද්ධ දර්ශනයට අනුව ජීවිතය හැඩගස්වා ගන්නට හැකියාවක් නැති කරමටම දුප්පත්කමින් පිරුණු ජීවිත ගත කරති. බුදුන් වහන්සේ පිරිමි හා කාන්තාවන් අතර සමතැන් ඇති කළ ද අද බුද්ධ ශාසනය තුළම ඒ තත්වය තුරන්ව යමින් පවතින බැව් පෙනේ. භික්ෂූන් වහන්සේ හා සමාන උපසම්පදාවකට අද හිමිකම් කිව හැක්කේ චීන, කොරියානු හා වියට්නාම් බෞද්ධ සම්ප්‍රදායයන් තුළ පමණක් බැව් පෙනේ. ශාක්‍යධිතා සංවිධානයේ අරමුණ වන්නේ මෙසේ අහිමිවී ගිය කාන්තා හැකියාව යළි ඇතිකර ගැනීමය. ඔවුහු මේ අරමුණ වෙනුවෙන් ලොව වටා වූ බෞද්ධ කාන්තාවන්ට අධ්‍යාපනය හා පුහුණුව ලබාදෙමින් සිටිති. 

ඔවුහු සිය අරමුණු මෙසේ දක්වති. 

1. බෞද්ධ කාන්තාවන්ගේ ජාත්‍යන්තර එකමුතුවක් ඇතිකිරීම 
2. බෞද්ධ කාන්තාවන් තුළ අධ්‍යාත්මික ගුණ වගාවන් දියුණු කිරීම 
3. බෞද්ධ භික්ෂුණීන් වහන්සේලාට ද භික්ෂූණ් වහන්සේලා හා සමානවම උපසම්පදාව ලබාගැනීමට ක්‍රියාකිරීම 
4. බෞද්ධ සම්ප්‍රදායයන් හා අනෙකුත් ආගම් අතර සංහිඳියාවක් ඇතිකිරීම 
5. බෞද්ධ කාන්තාවන්ට වැදගත්වන ආකාරයේ පර්යේෂණ හා ප්‍රකාශන ඇතිකිරීම 
6. බුද්ධ දේශනාව ඔස්සේ ලෝක සාමය ඇතිකිරීම සඳහා දායකත්වය සැළසීම 

බෞද්ධ සම්ප්‍රදායයන් බහුලව පැතිර පවතින ආසියානු රටවල පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපියානු රටවල්, ඕස්ට්‍රේලියාව ආදී බෞද්ධ සම්ප්‍රදාය ක්‍රියාත්මක නොවන තවත් බොහෝ රටවල් ප්‍රබල සංවිධානයක් ලෙස ඉස්මතුවෙමින් වෙමින් පවතී. එය ලෝකවාසී බෞද්ධ කාන්තාවන්ට පමණක් නොව සමස්ථ බෞද්ධ ජනතාවටම සතුටට කරුණකි. ලොව පුරා බුදු වදන පතුරුවන්නට මෙය ඉමහත් පිටිවහලක් වනු ඇත.

වැඩිදුර කියවීම්

Wednesday, December 19, 2018

රවි ෂංකර්ගේ සුරූපී දියණිය අනුෂ්කා - Anoushka Shankar, the Daughter of Ravi Shankar


ලොව ප්‍රකට චරිත බවට පත්වන්නට විවිධ ක්‍රම තිබේ. කලාකරුවකු වීම මෙවැනි එක් ක්‍රමයකි. කලාකරුවකුගේ දරුවකු වීම තවත් ක්‍රමයකි.


අනුෂ්කා ෂංකර් (Anoushka Shankar) මේ හේතු දෙක නිසාම අද වන විට ලෝක ප්‍රකට චරිතයක් බවට පත්ව තිබේ. ඇය ලෝක සංගීත ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ කලාකාරියකි. ඒ ඇය අතිදක්ෂ සිතාර් වාදන ශිල්පිනියක් වීම නිසාය. මේ ජනප්‍රියතාවය තවත් වැඩිවන්නේ ඇය ලොව ශ්‍රේෂ්ඨතම මෙන්ම අතිදක්ෂ සිතාර් වාදන ශිල්පියකු වූ පණ්ඩිත් රවි ෂංකර්ගේ දියණියක වීම ද නිසා ය. 1981 ජුනි 9 වැනිදා අනුෂ්කා මෙලොව එළිය දකිද්දී ඇගේ පියා වන 1920 අප්‍රේල් 7 වැනිදා උපන් රවි ෂංකර් 60 වැනි වියෙහි විය. ඇයගේ මව වූ සුකන්‍යා රාජන් රවි ෂංකර්ගේ දෙවැනි බිරිඳ ය. උපතේ සිටම සිතාර් නදට හුරුව සිටි ඇයගේ ජීවිතයේ සදාකාලික සහකරුවා වූයේ ද සිතාරයමය. ඒ සිතාර් වාදනයෙහි කෙළපැමිණියකු වීමෙන් හා සංගීත සංයෝජනයෙන් ඇය අද වන විට මහත් ධනස්කන්ධයක් උපයන බැවිනි.

අනුෂ්කා සිතාරයට අත‍පොත තැබුවේ කුඩා දැරියකට සිටින සමයේදීම ය. මුල් සමයේ සිතාර් වාදනය පුහුණුවීමේ කාලය කෙටි වුවත් වයස දහතුන වන විට එය දිනකට පැය දෙක දක්වා වැඩිවිය. සති අන්තවල දී එය පැය හතරක් විය. තවත් කාලයක් ගතවද්දී එය පැයකට දින 8ක් බවට පත්විය. ඇය මුලින්ම සිය පියා සමග මහජනයා ඉදිරියේ පෙනී සිටින විට වයස අවුරුදු 14ක් විය.


1988 දී ඇය සිය මුල්ම ඇල්බමය නිකුත් කළ අතර එය ‘අනුෂ්කා’ විය. 2000දී ඇය ‘අනුරාග්’ නමින් තවත් ඇල්බමයක් නිකුත් කළාය.
ඇමෙරිකා එක්සත් ජනපදයේත්, එක්සත් රාජධානියේත්, ඉන්දියාවේත් වරින් වර පදිංචිව සිටින අනුෂ්කා සෑම සංගීත ෙශෙලියක් කෙරෙහිම දක්ෂතාවයක් උසුලන්නීය. සංගීතය සඳහා ලොව පිරිනැමෙන ඉහළම ග්‍රැමි සම්මානයට ඇය දෙවරක්ම යෝජනා වූ අතර ග්‍රැමි සම්මාන උළෙලකදී සංගීතමය ඉදිරිපත් කිරීමක් සඳහා භාග්‍යය හිමිකරගත් ප්‍රථම ඉන්දීය ජාතිකයා ද ඇය විය. වර්ෂ 2004 දී ටයිම් සඟරාව මගින් තෝරන ලද ආසියානු වීරයන් 20 දෙනා අතර ඇය ද වූවාය.


2002 දී ඈ Bapi:The Love of My Life නමින් ‍පොතක් එළිදැක්වූවාය. එහි ඇත්තේ ඇගේ පියාණන් වන රවි සංකර්ගේ ජීවිත කතාවයි. සිය ස්ථිර වාසස්ථානය ලෙස ඇය තෝරාගෙන ඇත්තේ එක්සත් රාජධානියයි. සිය සැමියා වන බ්‍රිතාන්‍ය සංගීත අධ්‍යක්ෂවරයකු වන ජෝ රයිට් හා එකම පුතු Anoushka-Shankar4වන සුබින් සංකර් රයිට් සමග ඈ එක්සත් රාජධානියේ දිවි ගෙවයි.

සියල්ල එසේවුවත් ඇගෙන් නිරතුරු දිස්වන්නේ හුදෙකලා ගැහැනියකගේ පැතිකඩකි. බොහෝ සිතාරයකින් නැගෙන සංගීත මාධූර්යයක් තරම් සුන්දර අනුෂ්කා බොහෝ මාධ්‍යයන් දකින්නේ සුන්දර භාරත දේශයට පිවිසෙන්නට බටහිර කලාකරුවන්ට දොර හැර දෙන අපූරු සංකේතයක් ලෙසය. බටහිර ලෝකය තුළ ඇගෙන් සංකේතවත් වන්නේ ඇගේ පියා ඇතුළු සියලු කලාකරුවන් නිර්මාණය කළ සුන්දර ඉන්දියාවමය.


මිනිස් ආධ්‍යාත්මයට ඉන්දීය සුවඳ කැටිකොට බටහිර ජාතීන්ට ඉදිරිපත් කරන්නට ඇය තරම් සමත් වූ වෙනත් අයකු නැති තරම් බැව් බොහෝ දෙනෙකුගේ පිළිගැනීමය. ඒ අන්කිසිවක් නිසා නොව සිය පියාගෙන් ඇය ලද උරුමයයි.




Wednesday, December 12, 2018

මගේ සූර්ය විදුලිබල පද්ධතිය - My Solar Power Electricity System



මේ දවස්වල සූර්ය බල ශක්තිය ගැන කවුරුත් කතා කරන නිසා යම් ප්‍රමාණයකින් විදුලි බිල අඩු කර ගැනීමටත්, හදිසි විදුලි බල ඇණහිටීමකදී අඳුරේ සිටීමෙන් වැලකී සිටින්නටත් හිතලා මමත් කුඩා පරිමාණයෙන් සූර්ය විදුලි බල පද්ධතියක් හදාගන්න කල්පනා කළේ සෑහෙන කාලෙකට කලින්. කොහොම හරි සුළුවෙන් වුනත් මේ වැඩේට යම්කිසි මුදලක් වැය වෙන නිසා වැඩේ පස්සට දම දමා හිටියා. කොහොම හරි දැනට අවුරුද්දකට විතර කලින් මම මෙහෙම එකක් නිවසේ ස්ථාපිත කළා. අන්තර්ජාලයට පින් සිද්ධ වෙන්න තමයි මේ සම්බන්ධව දැනුම ලබා ගත්තේ. ඉතිං මේ වැඩේ යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරන නිසා මමත් හිතුවා සද්ද නැතිව ඉන්නවාට වඩා මගේ කතාවත් බ්ලොග් එකට දාන්න.

මම මේ සඳහා වෝල්ට් 12 - වොට් 100 සූර්ය පැනලයක්, ඇම්පියර් 30 සූර්ය ආරෝපණ පාලකයක් (solar charge controller) මිලට ගත්තා.







ඇම්පියර් 30 ක එකක් ගත්තේ ඉදිරියේ මේ පද්ධතිය වැඩිදියුණු කරන බලාපොරොත්තුව තියෙන නිසා. ඒ වගේම පාවිච්චි කළ කාර් බැටරියකුත් ගත්තා. ඉන්වර්ටර් මිලදී ගැනීමෙදි තමයි ගැටලුවක් ආවේ. මොකද අඩු මුදලට තියෙන්නේ Modified Sine wave ඉන්වර්ටර්. නමුත් ඒවා ඇතැම් විදුලි උපකරණවලට අහිතකරයි. ඒත් Pure Sine wave ඒවා ගණන් වැඩියි. මිලට ගන්න අමාරුයි. කොහොම වුනත් එකවර වැඩි වියදමක් දරන්න බැරි නිසා ඉවත දමා තිබුණු UPS එකක් යාළුවෙකුගෙන් ඉල්ලා ගත්තා. මේකත් Modified Sine wave තමයි. මෙය ඉවත් දමා තිබුණේ බැටරි ආරෝපණ වන කොටස වැඩ නොකළ නිසා. (මෙහි ආරෝපණය නොවීමේ ගැටලුව මම පසුව විසඳාගත්තා. දැන් මෙයින් ඇම්පියර් 15 ක විතර බැටරියක් ආරෝපණය කරගන්න පුළුවන්. නමුත් මම සූර්ය කෝෂයෙන් තමයි මගේ බැටරිය ආරෝපණය කරන්නේ). මම බැටරිය ආරෝපණය කරන්නේ සූර්ය පැනලයෙන් නිසා මට ඒක ගැටලුවක් වුණේ නැහැ. මට මුලින්ම අවශ්‍ය වුණේ නිවසේ විදුලිය දැල්වීම පමණයි. ඒ වැඩේට මේක ඇති. මේක Prolink 1200S කියන එක. මෙයින් වොට් 800 – 900 ක විතර බලයක් ලබාගන්න පුළුවන්. මම මේක ටිකක් වෙනස් කළා. ඒ කියන්නේ බැටරි සම්බන්ධතා සඳහා ගේජ් 6 විතර අලුත් වයර් දාලා කූලින් ෆෑන් එකකුත් සවි කළා.




කාර් බැටරිය ඇම්පියර් 65 එකක්. සූර්ය පැනලයෙන් ඇම්පියර් 8 ක් විතර එනවා. අපතේ යාම අයින් කළොත් ඇම්පියර් 6ක් විතර ගන්න පුළුවන්. හොඳින් හිරු එලිය තිබුණොත් බැටරිය හොඳ මට්ටමකට ආරෝපණය කරගන්න පුළුවන්. (පස්සේ මට තව ඇම්පියර් 45 ක හොඳ තත්වයේ බැටරියකුත් ලැබුණා. හැබැයි ඒක ආරෝපණය කරන්න මේ සෝලා පැනල් එක විතරක් මදි. තව එකක් දාන්න වෙනවා.)

මේ යූපීඑස් එකෙන් දවසකට පැය 3 ක් විතර ගෙදර විදුලිය දල්වා තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් මගේ නිවසේ රාත්‍රියට විදුලි බල්බ 8 -9 ක් විතර නිතරම දැල්වෙනවා. වරින් වර තව 3 -4 ක දැල්වෙනවා. මේ ප්‍රමාණය පැය 3ක් පමණ දල්වා තියන්න මෙයින් නිපදවෙන විදුලියට පුළුවන්. මෙය එක දිගට මේ ආකාරයෙන් වැඩ කරනවා නම් විදුලි බිලෙන් යම්කිසි ප්‍රමාණයක් අඩු වෙන බව පැහැදිලිව ම පෙනෙනවා.


මේ තියෙන්නේ පාලක පුවරුව. 


මෙය මැනුවල් මෙන්ම ස්වයංක්‍රීය කියන ක්‍රම දෙකින්ම ක්‍රියා කරන ආකාරයට සකස්කොට තිබෙනවා. ඒ කියන්නේ හදිසි විදුලි ඇණ හිටීමකදී ස්වයංක්‍රීයව නිවසේ විදුලි බල්බ දැල්වෙන ආකාරයට. මේ සඳහා මම DPDT Relay Switch එකක් සවි කළා. එයින් පුළුවන් මේ ස්වයංක්‍රීය ක්‍රියාව පහසුවෙන් ඇති කරගන්න.


මෙතනට තමයි DPDT Relay Switch එක සවි කළේ.




DPDT Relay Switch