පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, December 24, 2018

ශීතකරණ දෝෂයක් පහසුවෙන් නිවැරදි කර ගනිමු - 2 - Refrigerator Compressor Relay Problem Solving


ශීතකරණ දෝෂයක් පහසුවෙන් නිවැරදි කර ගනිමු - 2 කියා මෙය හඳුන්වා දී තිබෙන්නේ ශීතකරණයක් මුහුණ දෙන එක දෝෂයක් ගැන කලකට පෙර මා බ්ලොග් සටහන් ලියූ නිසයි. එය මෙතැන ක්ලික් කිරීමෙන් කියවන්නට පුළුවන්.

මා ශීතකරණ අලුත්වැඩියා කරන්නෙකු නොවුනත්, අපේ නිවසේ ඇති ශීතකරණයේ දෝෂයක් ඇති වූ විට කාර්මිකයකු කැඳවන්නට ඉක්මන් නොවී එය මටම විසඳාගන්නට හැකිදැයි සොයා බැලීමට මා පුරුදුව සිටින නිසා මා සොයා ගත් ක්‍රම මෙසේ ලියා තබන්නට සිතුවා.

පසුගිය දවසක අපේ නිවසේ ශීතකරණය හදිසියේ අක්‍රියාකාරී වුණා. එය තුල ඇති විදුලි බුබුල දැල්වුනත් එය ක්‍රියා කරන හඬක් ඇසුණේ නැහැ. සිසිල්වන බවක් පෙනුනේ ද නැහැ.  අන්තර්ජාලය පීරා මේ ගැන සොයා බැලූ විට මෙවැනි තත්වයක් ඇති වන්නට හේතුවන කාරණා දෙකක් ගැන දැනගන්නට ලැබුණා.

1. කොම්ප්‍රෙෂරය අබලන් වීම
2. කොම්ප්‍රෙෂරයට සවි කොට ඇති රිලේ සහ ඕවර්ලෝඩ් කොටස අබලන් වීම

මේ නිසා මා කළේ ශීතකරණයේ විදුලිය විසන්ධි කොට පරීක්ෂා කරන්නට පටන් ගැනීමයි. මේ සඳහා මල්ටි මීටරයක් තිබෙනවා නම් එය ඉතා ප්‍රයෝජනවත්.



කොම්ප්‍රෙෂරය හොඳදැයි බැලීම සඳහා මුලින්ම එයට බලය සැපයෙන රිලේ සහ ඕවර් ලෝඩ් කොටස ගැලවිය යුතුයි. පහළ පින්තූරයේ තියෙන්නේ කොම්ප්‍රෙෂරයට රිලේ සහ ඕවර්ලෝඩ් කොටස සවි වී ඇති ආකාරයයි. එය බොහෝ විට තියෙන්නේ කුඩා පෙට්ටියක් වැනි දෙයකින් ආවරණය වෙලා. මෙය සෙමින් ගැලවීමෙන් පසු කොම්ප්‍රෙෂරය හොඳින් තිබේදැයි පරීක්ෂා කරන්නට පුළුවන්.




කොම්ප්‍රෙෂරයේ කූරු 3 ක් තිබෙනවා. ඒවා Run, Common සහ Start යන නම්වවලින් හඳුන්වනවා. ඇතැම් කොම්ප්‍රෙෂර්වල Common කූර තිබෙන්නේ උඩින්. මේ කූරු දෙක බැගින් මල්ටිමීටරයේ  ඕම්ස් පරිමාණයෙන් පරීක්ෂාවක් කළ යුතු වෙනවා. 





මෙහි Common සහ Run අතර පරීක්ෂා කිරීමේ දී ඕම්ස් 5 - 6 අතර ආසන්න අගයක් පෙන්විය යුතුයි. Run සහ Start අතර පරීක්ෂාවේදී ඕම්ස් අගය 11 - 12 අතර ආසන්න අගයක් පෙන්විය යුතුයි. Common සහ Start පරීක්ෂාවේදී ඕම්ස්  5 - 6 අතර ආසන්න අගයක් පෙන්විය යුතුයි. Common/Run සහ Common/Start වලදී ලැබුණු අගයයන්වල එකතුව Run/Start පරීක්ෂාවේදී ලද අගයට ආසන්න වශයෙන් සමාන විය යුතුයි.

මෙවැනි පරීක්ෂාවක් කරන ආකාරය පහත වීඩියෝවෙන් දැක්වෙනවා.




ඒ වගේම මෙම කූරු එකින් එක් කොම්ප්‍රෙෂරයේ බඳ කොටස සමග ද පරීක්ෂා කළ යුතු වෙනවා. එසේ කරන්නේ පරිපථ ලඝුවීමක් (Short Circuit) වී තිබේද කියා බැලීමටයි. මේ සඳහා මල්ටිමීටරයේ Continuity පරීක්ෂාවක් කළ යුතුයි. එහි  Continuity තෝරාගන්න. කොම්ප්‍රෙෂරයේ බඳෙහි තීන්ත ඉවත්වන සේ සූරා කූරු එකින් එක බඳ සමග පිරික්සන්න. යම් අවස්ථාවක දී මල්ටිමීටරයේ බසරය නාද වූයේ නම් ගැටලුවක් පවතින බව සඳහන් කළ යුතුයි. එය සාමාන්‍ය දැනුමකින් විසඳිය හැකි ගැටලුවක් නොවේ. කොම්ප්‍රෙෂරයේ දෝෂයක් නම් එය අපට තනිව නිවසේදී අලුත්වැඩියා කරගන්නට නොහැකි අන්දමේ  බරපතල ගැටලුවක් නිසා ශීතකරණ කාර්මිකයකු කැඳවීම වඩාත් සුදුසුයි.

කොම්ප්‍රෙෂරයේ ගැටලුවක් නැත්නම් ඊළඟට ගැටලුව ඇත්තේ රිලේ සහ ඕවර්ලෝඩ් කොටසේ විය යුතුයි. මේ කොටස අතින් අල්ලා සෙලවූ විට සෙලවෙන හඩක් ඇසේ නම් එයින් කියවෙන්නේ එහි දෝෂයක් ඇති බවයි. මෙය මල්ටි මීටරයෙන් ද පරීක්ෂා කළ හැකියි. එවැනි පරීක්ෂාවක් කරන ආකාරය පහත වීඩියෝවෙන් දැක්වෙනවා.





මේ කොටසේ දෝෂයක් ඇත්නම් එය ගලවා ගෙන ගොස් එම වර්යේම එකක් සවි කිරීමෙන් මේ දෝෂය නිවාරණය කර ගත හැකියි. එම කොටස් ශීතකරණ අමතර කොටස් විකිණීමට ඇති වෙළෙඳ සල්වලින් මිලට ගන්නට පුලුවන්. කොළඹ නම් මේවා නවලෝක රෝහල අවට බොහෝ වෙළෙඳ සල්වලින් මිලට ගන්නට පුළුවන්.

මෙවැනි දෝෂ කාර්මිකයකුගේ සහායක් නැතිව ඔබටම නිවාරණය කර ගත හැකියි. කාර්මිකයකුගේ සහාය ලබාගන්නේ නම් ඔබට ඒ සඳහා සෑහෙන මුදලක් ගෙවන්නට වෙනවාට සැකයක් නැහැ.




No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න