අපේ රට කොයි තරම් කුඩා වුනත් අපට ජීවිත කාලේටම දැක බලා ගන්න බැරි තැන් ඕනෑ තරම් තියෙනවා. ලෝකයක් විදියට ගත්තොත් අපට ඒ වගේ තැන් ගැන හිතාගන්නවත් බෑ. අතේ මිටේ මුදල් හදල් තියෙන අය වෙනත් රටවලට ගිහින් මේ වගේ විවිධ ස්ථාන දැක බලා ගන්නවා. ඒ කතාව එහෙම වුනත්, කොයි තරම් මුදලක් තිබුණත් දැක බලා ගන්න බැරි ස්ථානත් තියෙනවා. මේවා විවිධ රටවල රජයයන් විසින් මහජනයා සඳහා තහනම් කරනු ලැබූ ස්ථාන. ඒවාට යන්නට හැකියාව තියෙන්නේ ඒ රජයයන් විසින් තෝරා ගත් කිහිප දෙනෙකුට විශේෂතම හේතු කාරණා සඳහා පමණයි. ඒ නිසා අපට ඒවා අන්තර්ජාලයෙන් පමණයි දැක බලා ගත හැකි වෙන්නේ. මේ කියන්න යන්නේ දැක බලා ගන්නට තරම් වටිනාකමක් තිබුණත්, මහජනතාවට තහනම් කළ එවැනි ස්ථාන කිහිපයක් ගැනයි.
බ්‍රසීලයේ සර්ප දුපත
Ilha da Queimada Grande හෙවත් බ්‍රසීලයේ ‛සර්ප දූපත’ කියන්නේ බ්‍රසීල වෙරළ තීරයට කිට්ටුවෙන් සැතපුම් 20 ක් පමණ දිගට ඇදී යන හෙක්ටයාර 43 ක පමණ විශාලත්වයකින් යුත් මුහුදෙන් වටවුණු භූමි භාගයක්. මේ දූපතේ තමයි ලෝකයේ අධිකතම විෂ තියෙනවා යැයි සැලකෙන ‛රන් ලෑන්ස්හෙඩ් පොළඟා’ ජීවත් වෙන්නේ. මේ පොළඟාගේ විෂට මස් දියවී යන බව පැවසෙනවා. දැනට ගණන් බලා ඇති පරිදි මේ දූපතේ මේ වර්ගයේ සර්පයන් 4000ක් පමණ සිටිනවා. තවත් පිරිසක් කියන්නේ සෑම වර්ග මීටර් පහකටම එක් සර්පයා බැගින් ඉන්නා බවයි. කුමක් වුවත් බ්‍රසීල රජය මේ දූපතට කිසිදු පුද්ගලයකුට ගොඩ බසින්නට අවසර දෙන්නේ නැහැ. නමුත් සෑම වසර කිහිපයකටම වරක් විද්‍යාඥයන් අතලොස්සකට පමණක් සිය පර්යේෂණ කටයුතු සඳහා මේ දූපතට ගොඩ බසින්නට රජයෙන් අවසරයක් නිකුත් කරනවා.
ප්‍රංශයේ ලැස්කෝ ගුහා සංකීර්ණය
වයඹදිග ප්‍රංශයේ පිහිටා ඇති ලැස්කෝ ගුහා සංකීර්ණය ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පේලියෝලිතික ලෙන් සිතුවම් සඳහායි. දැනට සොයා ගෙන ඇති එවැනි හොඳම සිතුවම් තිබෙන්නේ මේ ගුහා සංකීර්ණයේයි. මේ පින්තූරයේ දැක්වෙන සුප්‍රකට ලෙන් සිත්තම අදින් වසර 17,000 පෙර අඳිනු ලැබුවක් බව පැවසෙනවා. පොසිල කැණීම් මගින් අනුමාන කරන ලද දැවැන්ත සතුන් දැනට වසර ගණනාවකට පෙර සැබවින්ම ජීවත්ව සිටි බවට සාධක මේ සිතුවම් නිසා තහවුරු වෙනවා. මෙය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවටද ඇතුළත්ව තිබෙනවා. කෙසේ නමුත් දිලීර වර්ගයක් මෙය තුළ පැතිර යාම නිසා 2008 වසරේ සිට මෙය මහජනතාව සඳහා සම්පූර්ණයෙන්ම වසා දැමුවා. මෙම සිතුවම් අධ්‍යයනය සඳහා වසර කිහිපයකට වරක් විද්‍යාඥයන් කිහිප දෙනෙකුට පමණක් මෙයට ඇතුළුවන්නට අවසරය ලැබෙනවා.
ඉතාලියේ පොවෙග්ලියා
‛පොවෙග්ලියා’ කියන්නේ උතුරු ඉතාලි කලපුවේ වැනීසිය සහ ලිඩෝ අතර පිහිටි කුඩා දූපතක නමක්. ඉතිහාසය මුළුලේලම මෙය ප්‍රයෝජනයට ගැනුණේ තොටුපලක් සහ මුර කපොල්ලක් ලෙසයි. එක්දහස් තුන්සිය ගණන්වල යුරෝපය පුරා ‛බුබොනික්’ නමින් මහා වසංගතයක් පැතිර ගියා. මෙය ‛කළු උණ’ නමින් ද ප්‍රසිද්ධියට පත්ව තිබුණා. මේ රෝගය වැළඳුණු පුද්ගලයන් ඉතාලියට ගොඩබැසීම වැළැක්වීම සඳහා පරීක්ෂා කෙරුණේ මේ තොටුපලේ. එයින් පසුව පසුගිය සියවස ආරම්භ වෙද්දී මෙය උන්මත්තකාගරයක් ලෙස යොදා ගැනුණා. 1968 වසරේ දී මේ උන්මත්තකාගාරය වසා දමා දූපත අතහැර දැමුණා. ඉන්පසු මෙය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ හොල්මන් අවතාර ඇති ස්ථානයක් ලෙසයි. මේ දූපතේ සිටි වසංගතය වැළඳීමෙන්, යුද්ධයෙන් මිය ගිය පුද්ගලයන්, උන්මත්තකාගාරයේ සිටි මිනීමරු වෛද්‍යවරුන් ආදීන්ගේ මළ ගිය ආත්ම සැරිසරන බව ඉතාලි වැසියන් පවසනවා. මේ නිසා මෙයට කිසිවකුට ගොඩ බැසීමට ඉතාලි රජය අවසර දෙන්නේ නැහැ. මෙය 99 අවුරුදු බද්දක් යටතේ සංවර්ධනය කරන්නට 2014 වසරේ දී ඉතාලි රජය ප්‍රසිද්ධියේ යෝජනාවක් ගෙනාවා. නමුත් තවමත් කිසිවෙකුත් එය පිළිගෙන නැහැ.
bbc world on poveglia 4 all from lemon on Vimeo.
වතිකානු රහස් ලේඛණාගාරය
වතිකානු රහස් ලේඛණාගාරය ඉතාලියේ වතිකානු නගරයේ පොළොව යටයි පිහිටා තිබෙන්නේ. මෙහි ආගමික, ඓතිහාසික සහ රාජ්‍ය ලියකියවිලි ගණනාවක් තැන්පත් කොට තිබෙනවා. ඒ වගේම අට වැනි සියවස තරම් පැරණි කාලයට අයත් ලියකියවිලි ද පවතිනවා. ලෝක ප්‍රකට සිතුවම් ශිල්පියකු වූ මයිකල් ආන්ජලෝ විසින් ලියන ලද ලියුම්, සිය මරණ දණ්ඩනය ලැබෙන තුරු බලා සිටි ස්කොට් හි මේරි රැජින විසින් ලියන ලද ලියුම්, විවාහය නිෂ්ප්‍රභා කරමින් අටවැනි හෙන්රි රජු විසින් කරන ලද ඉල්ලීම ඇතුළත් ලියුම් ආදිය ද මෙහි තිබෙනවා. මේවායේ අයිතිය පාප් වහන්සේ යටතේ පවතිනවා. මේවා මාර්ගයක් දිගේ එක් පේළියට තැබුවොත් සම්පූර්ණ දිග සැතපුම් 52ක් පමණ වන බවයි පැවසෙන්නේ. මේ ලේඛණාගාරයට කුමන හේතුවක් යටතේවත් කිසිදු බාහිර පුද්ගලයකුට ඇතුළු වන්නට අවසරයක් නැහැ. මෙහි වැඩකටයුතු කරන්නේ කුඩා කාර්ය මණ්ඩලයක් පමණයි. ඉමහත් පරිශ්‍රමයක් දරා, බොහෝ ආයතනවලින් අවසර ලබා ගෙන වුවත් යම් කිසි පර්යේෂණ කටයුත්තක් සඳහා අවසරයක් ලබාදෙන්නේ රජය විසින් ද අනුමත කරන ලද ඉහළම ගණයේ විද්වතුන් කිහිප දෙනෙකුට පමණයි.
ජපානයේ ඉසේ මහා දේවාලය
ජපානයේ උජි-ටාචි නගරයේ පිහිටා ඇති මෙය හිරු දෙවියන් සඳහා කැප වූ ‛ෂින්තෝ’ දේවස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. නරඹන්නන්ට පැමිණිය හැක්කේ මෙහි ප්‍රධාන දොරටුව අසලට පමණයි. ඔවුන් එතැන සිට පූජාවන් පැවැත්විය යුතු වෙනවා. ඉන් ඔබ්බට යන්නට අවසරයක් නැහැ. මෙහි ඉතිහාසය තුන්වැනි සියවස දක්වා දිව යන බවයි පැවසෙන්නේ. මෙය වටා ඇති ගොඩනැගිලි සෑම වසර විස්සකට වරක්ම ගළවා අලුත් ඒවා සවි කරනු ලබනවා. අවසන් වරට අලුත්වැඩියා කරන ලද්දේ 2013 වසරේ දියි. එවැන්නක් කරන්නට හේතුව ෂින්තෝ ධර්මයට අනුව මරණය සහ එයින් නැගී සිටීමේ විශ්වාසයක් පවතින නිසයි. මෙය තුළ ප්‍රධාන දේවාල දෙකක් පවතින අතර ඉන් එකක් තුළ පූජනීය කැඩපතක් තිබෙන බව ජපන් වැසියන් පවසනවා. නමුත් එය දුටු කිසිවෙක් හෝ නැහැ. ‛යාටා නෝ කගාමි’ නමින් හඳුන්වනු ලබන එය අයත් වන්නේ ජපන් රජ පවුලටයි. පිටත සිට බැලූවත් කිසිවක් පෙනෙන්නේ නැහැ. මෙය පාලනය කරනු ලබන පූජකයන් අනිවාර්යයෙන්ම ජපන් රජ පවුලේ ඥාතියකු විය යුතු අතර ඇතුළු වන්නට අවසර ඇත්තේ රජ පවුලට පමණයි.
චීනයේ කින් ෂි හුවාන්ග් සොහොන
මෙය චීනයේ පළමු අධිරාජයා වූ කින් ෂි හුවාන්ග්ගේ සොහොනයි. ඔහු ක්‍රිස්තු පූර්ව 210 දී මිය ගිය අතර මධ්‍යම චීනයේ කන්දක් පාමුළ ඔහු භූමදානය කරනු ලැබුවා. මේ සොහොන සාමාන්‍ය එකක් නොව පොළොව යට පිහිටි ගුහා පද්ධතියක් ලෙස පවතිනවා. මේ අධිරාජයගේ මරණින් මතු ජීවිතයට අවශ්‍ය කරන සියලු දේ මේ ගුහා පද්ධතියේ තැන්පත් කොට තිබෙනවා. ඔහුට අයත් හමුදාව, පවුලේ සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලය මැටිවලින් අඹා මෙහි ප්‍රතිමා ලෙස තැන්පත් කොට තිබෙනු දැකිය හැකියි. ඔහුගේ මේ හමුදාව ලොව පුරා ප්‍රසිද්ධියට පත් ව ඇත්තේ ‛ටෙරකෝටා’ හමුදාව නමින්. 1974 වසරේ දී මෙය මුලින්ම සොයා ගනු ලැබූ අවස්ථාවේ දී මෙතැන තිබී ප්‍රතිමා 2000කටත් වඩා සොයා ගනු ලැබුවා. මේ කිසිදු ප්‍රතිමාවක් එක හා සමානත්වයක් පෙන්වන්නේ නැහැ. සෑම එකකම කුමක් හෝ වෙනසක් තිබෙනවා. විශේෂඥයන් පවසන්නේ මෙහි ප්‍රතිමා 8000 කටත් වඩා තිබූ බවයි. තවත් ප්‍රතිමා පොළොව යට තැන්පත්ව තිබෙන බව දන්නා මුත් පැරණි සොහොන් ගැබ්වලට කරන ගෞරවයක් වශයෙන් චීන රජය තවදුරටත් මෙහි කැණීම් සඳහා අවසර ලබා දෙන්නේ නැහැ. සංචාරකයන් සඳහා මේ ටෙරකෝටා හමුදාව නරඹන්නට අවසර ඇතත්, අධිරාජයාගේ සොහොන නරඹන්නට කිසිවකුට හෝ රජයෙන් අවසර දෙන්නේ නැහැ.
නෝර්වේ හි ස්වාල්බාර්ඩ් ලෝක බීජ සුරක්ෂිතාගාරය
උත්තර ධ්‍රුවයේ සිට සැතපුම් 800 ක් දුරින් පිහිටි නෝර්වේ රාජ්‍යයට අයත් ‛ස්පිට්ස්බර්ගන්’ නම් දූපතේ පිහිටා ඇති මෙය 2008 වසරේ දී නිල වශයෙන් විවෘත කරනු ලැබුවා. ලොව වටා සෑම රටකින් සොයා ගන්නා ලද එකිනෙකට වෙනස් බීජ වර්ග 4000 කට අයත් නියැදි 840,000 ක් පමණ මෙහි තැන්පත් කොට තිබෙනවා. ලෝකයේ කුමක් හෝ විනාශකාරී සිදුවීමකින් යම් කිසි බීජ විශේෂයක් වඳවී ගියහොත්, නැවත එය බෝ කරගැනීම සඳහා අවස්ථාවක් හිමි කරගැනීම මේ බීජ සුරක්ෂිතාගාරයේ අරමුණයි. ඕනෑම අවස්ථාවක ඕනෑම රජයකට හෝ වෙනත් පිළිගත් සංවිධානයකට මෙහි බීජ තැන්පත් කරන්නට හැකියාව තිබෙනවා. මෙය පවතින්නේ දැඩි ආරක්ෂාවක් යටතේ. මෙයට ඇතුළු විය හැක්කේ මෙහි සේවය කරන අතලොස්සක් තරම් වූ සේවකයන්ට පමණයි.
interesting...
ReplyDeleteThank you
DeleteThank you
ReplyDeleteThanx for the comment
Deleteඅපේ ගෙවල් ළඟ ගෙදරකුත් තියෙනවා මේ ලිස්ට් එකට වැටෙන්න ඕනි.. ඒ ගෙදරට කිසිම මනුස්සයෙක් යන්නේ එන්නේ නෑ.. උන් කා එක්කවත් ආශ්‍රයක් ඇත්තෙත් නෑ.. ඒ ගෙදර ගේට්ටුවෙන් එහාට යන්නේ උන් විතරමයි මගේ හිතේ.. හෙහ්.. විහිලුවට කොමෙන්ට් කරත් පෝස්ට් එකනම් පට්ට ඈ!
ReplyDeleteඑහෙම ගෙවල් හැම ගමකම වගේ තියෙනවා. ඒ වගේ එකක් වෙනම ලියන්නත් පුළුවන්. කොහොම වුනත් ඔබේ අදහස් දැක්වීම ගැන ස්තූතියි.
Deleteස්තූතියි. අහලා තිබ්බට මෙච්චර විස්තරයක් දැනං හිටියෙ නෑ ඔය කිසිම එකක් ගැන. සමහර ඒව ගැන අහලවත් තිබ්බෙ නෑ. අපූරුයි.
ReplyDeleteඔබේ අදහස් දැක්වීම ගැන බොහෝ තුති.
DeleteGOOD
ReplyDelete