පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, February 14, 2019

දුරකතනයට අලුත් බැටරියක් ගන්නට පෙර මේ ගැනත් හිතන්න - Before you buy a new battery for your Android



අද කාලේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයක් නැති කෙනෙක් නැති තරම්. මේවායෙන් කරගන්නට පුළුවන් වැඩ බොහොමයි. ලෝකෙම අත උඩ තියාගෙන ඉන්නවා වගෙයි දැනෙන්නේ. කොහොම වුනත් ස්මාර්ට් දුරකතන බොහොමයක, විශේෂයෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇති දුරකතනවල  තියෙන ගැටලුව තමයි ඉක්මනින් බැටරි බැස යාම. සාමාන්‍යයෙන් ස්මාර්ට් දුරකතනයක් තියෙන කෙනෙකුගෙන් අහන ප්‍රශ්නයක් තමයි,

කොයි තරම් කාලයක් බැටරිය අල්ලලා හිටිනවාද?”

කියන එක. වැඩි දෙනෙක් දෙන උත්තරය තමයි දවසක් වගේ තමයිකියන එක. මොකද මේවායෙන් කරන වැඩවල හැටියට ඉක්මනින් බැටරි බැස යාම ගැන විවාදයක් නැහැ. කොහොම වුනත් දුරකතනය ක්‍රියාත්මක කරලා පැය කිහිපයක් ඇතුළත් 50%ක් විතර කිසිම හේතුවක් නැතිව බැටරි බැස යනවා නම් එතන ගැටලුවක් තියෙනවා. ඒ වෙලාවට බොහෝ දෙනෙක් හිතන්නේ අලුත් බැටරියක් ගන්න එක ගැනයි. නමුත් අලුත් බැටරියක් ගන්න කලින් සොයා බලන්න ඕන කාරණයක් තියෙනවා. ඒ ගැන තමයි  මේ කතා කරන්න යන්නේ.

ජංගම දුරකතනයක බැටරි ඉක්මනින් බැස යනවා නම් ඒකට බැටරියේ තත්වය වගේම ජංගම දුරකතනයේ මෙහෙයුම් පද්ධතියේ ඇති වන ගැටලුත් හේතු වෙනවා. මෙහෙයුම් පද්ධතියේ ගැටලුවක් නිසා බැටරි බැස යනවා ද කියා බලන්න ජංගම දුරකතන ගැන විශේෂඥයෙක්ම විය යුතු නැහැ. ඔබ කළ යුත්තේ ජංගම දුරකතනයේ Settings  ඔස්සේ ගොස් බැටරියේ තත්වය පරීක්ෂා කිරීමයි. එවිට අපට පහත ආකාරයෙන් එය පෙන්නුම් කරනවා. ඉහළින්ම බැටරියේ ඉතිරිව ඇති ප්‍රතිශතය සහ බැටරිය පවතින උපරිම කාලය පෙන්වනවා.  ඉන් පසුව ප්‍රස්තාරයක් මගින් ද බැටරියේ තත්වය පෙන්නුම් කරනවා.



ඊට පහළින් ඇති කොටසේ තමයි බැටරිය ගැන අපට පැහැදිලි අදහසක් ලබාදෙන විස්තර තිබෙන්නේ. එහි බොහෝ විට උඩින්ම ඇත්තේ Android System කියන එක. ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම්කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය. මේ පද්ධතිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා නම් ඒ සඳහා 10%කට වඩා බැටරිය භාවිත වෙන්නේ නැහැ. 5%ක් පමණ භාවිත වෙනවා වඩාත්ම හොඳයි. යම් විදියකින් මේ ප්‍රමාණය 20% ක් හෝ ඊට වැඩි නම් බැටරිය ඉතා ඉක්මනින් බැස යනවා. ඇතැම් අවස්ථාවල එය 30 -  40 % දක්වා පවතිනවා දැක ගන්නට පුළුවන්.

ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය සඳහා මේ තරම් බැටරි ප්‍රමාණයක් භාවිත වන්නේ දුරකතනයේ තිරය වැසී නිද්‍රාගත අවස්ථාවේ පවතින විටත් මේ පද්ධතිය මගින් අනවශ්‍ය පරිදි බැටරිය භාවිත කිරීමයි. මේ ගැන තොරතුරු දැනගැනීමට නම් මෙහි ඇති ප්‍රස්තාර කොටස ස්පර්ශ කල යුතුයි. එවිට පහත ආකාරයේ තිරයක් පෙන්නුම් කරනවා. එතැන Awake  කියන තීරුව එක දිගට කොල හෝ නිල් පැහැයෙන් දිස්වනවා නම් එයින් අදහස් කරන්නේ දුරකතන නිද්‍රාගත අවස්ථාවේ දී ද ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය අනවශ්‍ය පරිදි බැටරිය භාවිත කොට ඇති බවයි.

Awake තීරුව නිල් හෝ කොල පැහැයෙන් යුක්ත නැත


Awake තීරුව නිල් පැහැයෙන් යුක්තයි



ඔබේ දුරකතනයේ මෙවැනි තත්වයක් පවතිනවා නම් ඉතා ඉක්මනින් බැටරිය බැස යාම වළක්වන්නට බැහැ. මෙවැනි අවස්ථාවක අලුත් බැටරියක් මිල දී ගත්තත් තත්වය වෙනස් වෙන්නේ නැහැ. එවිට බොහෝ දෙනෙක් සිතන්නේ අලුත් බැටරිය හොඳ තත්වයේ එකක් නොවන නිසා බැටරි බැස යන බවයි. නමුත් සැබැවින්ම ගැටලුව ඇත්තේ බැටරියේ නොව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ.

මේ සඳහා කළ යුත්තේ කුමක්ද?

ඇත්තටම මෙය ගොඩින් බේරා ගැනීම ටිකක් සංකීර්ණ කාර්යයක්. බොහෝ විට මේ සඳහා හේතු විය හැක්කේ ඔබ ස්ථාපනය කොට ඇති කුමක් හෝ ඇප් එකක් සඳහා අධික ලෙස බැටරිය වැය වීමයි. යම් ඇප් එකක් ස්ථාපනය කළාට පසු මෙවැනි තත්වයක් ඇති වූවා කියා ඔබට මතකයක් ඇත්නම්, එය ඉවත් කිරීමෙන් මේ තත්වය සමනය කරගන්නට හැකියාව තිබෙනවා. නමුත් එවැන්නක් මතකයේ නැත්නම් කළ යුත්තේ ජංගම දුරකතනය Reset කිරීමයි. Reset කරන්නට පෙර ඔබේ ඇමතුම් නාමාවලිය, පණිවිඩ සහ අනෙකුත් දෑවල උපස්ථයක් හෙවත් Backup එකක් අරගත යුතු වෙනවා. එසේ කිරීමෙන් පසු Settings වල Backup and Reset ඔස්සේ ගොස් Factory Data Reset හි  ඇති Reset Device මගින් මේ කාර්යය ඉටු කරගන්නට පුළුවන්.





මේ ක්‍රියාවලියට අනුගමනය කළ යුතු කාර්යය දුරකතනයෙන් දුරකතනයට යම් යම් වෙනස් කම් තිබිය හැකියි. ඔබේ දුරකතන මාදිලිය සඳහන් කර Reset කරන ආකාරය අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයා ගන්නට පුළුවන්. මෙසේ කිරීමෙන් ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය නිසා බැටරි වේගයෙන් බැස යාමේ ගැටලුව නිරාකරණය කරගන්නට ඔබට පහසුවෙන්ම හැකියාව ලැබෙනවා.

2 comments:

  1. බොහොම ස්තූතියි. කියපු විදියට චෙක් කරා. මගේ වැඩියෙන්ම වය වෙලා තියෙන්නේ 10%ක් Screen cell වලට.. standby, device idle, Android System ඔක්කොටම 1% ගානේ.. Awake එක පාට වැටිලත් නෑ.. ඒ කියන්නේ ෆෝන් එකේ අවුලක් නෑ නේද? එත් පහුගිය අවුරුදු 3 වගේ ඇතුලත දෙපාරක් බැටරිය මාරු කරන්න උනා.. මොකද, බලනකොට බැටරිය ඉදිමිලා.. ඒක දැකපු ගමන් මාරු කරා.. කඩෙන් කියුවේ රෑ එලි වෙනකම් චාර්ජ් එකට ගහල තිබ්බම එහෙම වෙන්නේ කියල. ඒ වුනාට තාමත් චාර්ජ් කරන්නේ රෑටම තමයි ඒ විදියටම.. ඒකට හේතුවක් පිලියමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකේ අවුලක් පැහැ. හැබැයි රෑ එලිවෙනකල් චාර්ජ් වෙන්න ගහලා තිබුණාට බැටරිය ඉදිමෙන්නේ නෑ. ෆෝන් කඩවල අය කියන්නේ එහෙම තමයි. ඒත් ෆෝන් එකේ චාර්ජ් කොන්ට්‍රෝල් එකක් තියෙනවා. නියමිත වෝල්ට් ගණනට චාර්ජ් වුනාට පස්සේ එතැනින් එහාට චාර්ජ් වෙන්නේ නෑ. ඉන් පස්සේ වෙන්නේ ට්‍රිකල් චාර්ජ් කියන විතරයි. ් කියන්නේ චාර්ජර් එකෙන් ෆෝන් එක ගලවන කල්ම ෆුල් චාර්ජ් තත්වයේ කියාගන්න අවශ්‍ය වෝල්ට් ප්‍රමාණය විතරක් දෙනවා. පමණට වඩා චාර්ජ් වෙන්නේ නෑ. පමණට වඩා චාර්ජ් වුනොත් විතරයි බැටරිය ඉදිමෙන්නේ. කොහොම වුනත් ෆෝන් එකේ බැටරිය ඉදිමෙන්නේ නිතර ෆෝන් එක රත් වෙන දේවල් කිරීමෙන්. විශේෂයෙන් ඉන්ටර්නෙට් යාම, ගේම් ගැසීම වගේ දේවල් නිසා ෆෝන් එක රත්වෙනවා. එවිට බැටරිය ඉදිමෙනවා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න