පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, September 4, 2024

කෘත්‍රිම බුද්ධිය, මැතිවරණ සහ කොම්පියුටර් ජිල්මාට් - Artificial Intelligence and Elections



කෘත්‍රිම බුද්ධියත්, 2022 වසර අවසානයේ ලෝකයට එක් වූ, කෘත්‍රිම බුද්ධිය මත ක්‍රියාත්මක වන ChatGPT වේදිකාවත් නිසා මැතිවරණයකට පෙනී සිටින අපේක්ෂකයන්ට බොහෝ වාසි සහගත තත්ත්වයක් උදා වී තිබෙන බැව් මේ වන විටත් මේ සම්බන්ධව සිදුවන විවිධ කතාබහ තුළින් පැහැදිලි වෙමින් පවතී. එය යහපතක් සේම අයහපතක් බවට ද පත් වෙයි.

ඔබ අන්තර්ජාලය නිතර භාවිත කරන්නකු නම් ගූග්ල් සෙවුම් යන්ත්‍රයට මෑතක සිට කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් ද සෙවුම් ප්‍රතිඵල ලබා දෙන බව දැක තිබෙනවා විය හැකිය. මෙයට පෙර ගූග්ල් සෙවුම් යන්ත්‍රයෙන් යම් සෙවීමක් කළ විට අදාළ මාතෘකාවට අදාළ ව ලොව පුරා සම්පාදනය වුණු සියලු දෙයම තත්පර කිහිපයක් ඇතුළත තිරයේ දිස්වනවා මිස එම මාතෘකාව යම්කිසි විශ්ලේෂණයකට ලක් කළ තොරතුරක් ලබා දීම සිදු වන්නේ නැත. නමුත් මෑතක සිට පෙර පරිදි ලැබෙන ප්‍රතිඵලවලට අමතරව, එම කාරණය කෘත්‍රිම බුද්ධිය මගින් විශ්ලේෂණයකට ලක් කොට ලබා දෙන ප්‍රතිඵලයක් ද පරිශීලකයාට වෙතට ලබා දෙයි. එහිදී කෙරෙන්නේ ලොව පුරා මේ සම්බන්ධව ඇති සියලු කරුණු කෘත්‍රිම බුද්ධිය මගින් ක්ෂණිකව විශ්ලේෂණය කොට කොට ප්‍රතිඵලයක් ලබා දීමය. මෙය මැතිවරණ කටයුතුවලට බෙහෙවින් වැදගත් වන බවත්, එය පවතින ජනමතයට ඉතා පහසුවෙන් අවබෝධ කරගන්නට ඡන්ද අපේක්ෂකයන්ට මහඟු අවස්ථාවක් ලබා දෙන බවත් පැහැදිලි වෙමින් පවතින බව ලොව පුරා විවිධ දේශපාලන විශ්ලේෂකයන් විසින් අදහස් දක්වා තිබේ.

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව සලකා බැලුවහොත් ගූග්ල් සෙවුම් යන්ත්‍රයෙන් දැනට අප රටේ ජනතා මතය පිළිබඳ සෙවුමක් කළ හොත් සාමාන්‍ය ප්‍රතිඵලවලට අමතරව කෘත්‍රිම බුද්ධියේ විශ්ලේෂණය ද දැක ගත හැකිය. පරිගණක විශේෂඥයන්ට සිය දැනුම භාවිත කරමින් මෙය තවදුරටත් විශ්ලේෂණය කළ හැකිය. මෙයට පෙර මෙවැනි ක්ෂණික විශ්ලේෂණයක් ලබාගන්නට හැකියාවක් තිබුණේ නැත. නමුත් දැන් ලැබී තිබෙන වාසි සහගත තත්ත්වය නිසා ඕනෑම අපේක්ෂකයකුට ජනතාව සිතන පතන ආකාරය පිළිබඳ පෙරට වඩා පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකියාව තිබේ. එය මත සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කරන්නට හැකියාව තිබේ. අදාළ අපේක්ෂකයාගේ මතවාදය වන්නේ සැබෑ ජනමතය ජයග්‍රහණය කරවීම නොවීම විය හැකි වන නමුත්, ඔහු එය ක්‍රියාත්මක කරවන්නේ එය ජයග්‍රහණය කරවනවා යැයි පෙනෙන පරිදිය. මේ අතරේ සැබෑ ජනමතය වෙනුවෙන් අවංකවම වැඩකටයුතු කරන අපේක්ෂකයකු ද සිටිය හැකිය. ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නේ ද ඒ වෙනුවෙනි. මෙහිදී පරිගණක තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කළ හැකි අපේක්ෂකයාට වාසි සහගත තත්ත්වක් හිමි වෙයි.

කොම්පියුටර් ජිල්මාට් පිළිබඳ කතාව කරළියට පැමිණි 2010 වසර මෙන් නොව මේ වන විට බහුතරයක් සමාජ ජාල භාවිත කරන්නන් බවට පත්ව තිබේ. යම්කිසි මැතිවරණයක ප්‍රතිඵලය මත බලපෑම් කරනුයේ අලුතින්ම ඡන්දය භාවිත කරන්නට පැමිණෙන තරුණ ඡන්ද දායකයන් සහ පාවෙන ඡන්ද දායකයන්ය. මේ අතරින් බහුතරයක් සමාජ ජාල භාවිත කරති. එබැවින් ඔවුන් කරා සිය මතය පතුරවන්නට ඡන්ද අපේක්ෂකයන්ට අවස්ථාව තිබේ. මූල්‍ය ශක්තිය වැඩියෙන් ඇති අපේක්ෂකයන්ට පරිගණක කණ්ඩායම් යොදවා ඡන්ද දායකයන්ගේ සමාජ ජාල පිටු විශ්ලේෂණය කරමින් ඔවුන්ගේ මතය පිළිබඳ කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ක්ෂණික, පහසු විශ්ලේෂණයන් සිදු කළ හැකිය. ඉන්පසුව සිදුවන්නේ තමාට එරෙහිව මතයක් දරණ ඡන්ද දායකයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ අදහස වෙනස් වන ආකාරයේ මත පතුරුවා හැරීමය. මෙවැනි විශ්ලේෂණාත්මක අදහස් පමණක් නොව, තමාට ප්‍රතිවාදී අපේක්ෂකයන්ට අවාසි සහගත වන අන්දමේ ඡායාරූප, වීඩියෝ ආදිය පවා නිර්මාණය කර ගත හැකි තරමට කෘත්‍රිම බුද්ධිය මේ වන විට දියුණු තත්ත්වයක පවතින බව අමතක නොකළ යුතුය. ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිරි මැතිවරණ ක්‍රියාවලියේ දී මෙම තත්ත්වය වඩාත් හොඳින් දැක ගත හැකි වනු ඇති බව එරට පරිගණක විශේෂඥයන් මේ වන විටත් පවසා තිබේ. ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණය ඇමරිකා එක්සත් ජනපදයේ තරම් දියුණු මට්ටමක නොමැති වුව ද, දැනට පවතින තාක්ෂණය සමග කෘත්‍රිම බුද්ධිය එක්කොට ජනතා මතය වෙනතකට හැරවීම සඳහා ව්‍යාපාරයන් ක්‍රියාත්මක කරවීම දුෂ්කර කාර්යයක් නොවේ. එය 2010 වසරේ එල්ල වූ කොම්පියුටර් ජිල්මාට් චෝදනාව වඩා ඉදිරි පියවරක් වන අතර එයට එරෙහිව නඩු පැවරීම වැනි කටයුතු පවා කළ නොහැකි දෙයක් වනු ඇත. මන්ද කොම්පියුටර් ජිල්මාට් චෝදනාවෙන් සිදුවූයේ ජනමතය අනුව ඡන්ද ලැබුණු පසු, එය පාලක පක්ෂයට අවාසි සහගත වෙමින් පවතින්නේ යැයි පෙනෙන්නට පටන් ගත් අවස්ථාවේ සිට,  පරිගණක ඇසුරෙන් ප්‍රතිඵල වෙනස් කළේය යන කාරණයයි. ඇතැම් විට නිවැරදි විමර්ශනයක් කළේ නම් එය ඔප්පු කරගන්නට වුව හැකියාව තිබෙන්නට පුළුවන නමුත් වර්තමානයේ පරිගණක තාක්ෂණයත්, කෘත්‍රිම බුද්ධියත් එකතුව සිදුකරන්නේ ඡන්දය භාවිතයෙන් පසුව එම ප්‍රතිඵලය වෙනස් කිරීමකට වඩා ඡන්දය භාවිත කරන්නට පෙර සිටම ඡන්ද දායකයන්ගේ ජනමතය වෙනස් කිරීමය. ඒ අතරේ කෘත්‍රිම බුද්ධිය මගින් කිසිවකුට නොදැනෙන අයුරින් ලැබී ඇති ප්‍රතිඵල පවා වෙනස් කරන්නට හැකියාවක් නැතැයි පැවසිය නොහැකිය. එබැවින් එලැඹෙන මැතිවරණයක දී අප දැනුම්වත්ව හෝ එසේ නොමැතිව හෝ අප කෘත්‍රිම බුද්ධියේ බලපෑමට හසුවනු ඇත. එය එසේ නොවේ යැයි පවසන්නට හැකියාවක් නැත.


4 comments:

  1. ලංකාවේ අන්තර් ජාලය භාවිත කරන අයගේ ප්‍රතිශතය බැලූවිට එයට කළ හැකි බලපෑම නොසලකා හැරිය හැකි තරම් කියලයි හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. 2023 වසර වෙද්දි අපේ රටේ පරිගණක ඇසුරෙන් අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ ප්‍රමාණය මිලියන 11.72ක්. ඒ කියන්නේ මිලියන 22 ක මුළු ජනගහනයෙන් 53% ක් වෙනවා. ජංගම දුරකතන ඔස්සේ අන්තර්ජාලයට පිවිසෙන ප්‍රමාණය 2023 වසර වෙද්දි මිලියන 15 ක් පමණ වෙනවා. රටේ බහුතරයක් අන්තර්ජාලයට පිවිසෙන්නේ ජංගම දුරකතන ඇසුරෙන්. 2023 වසර වන විට සමාජ ජාල භාවිත කරන්නන්ගේ ප්‍රමාණය මිලියන 8.3 ක් වෙනවා. ඒ කියන්නේ මුළු ජනගහනයෙන් 38% ක්. මේ අතරින් බහුතරයක් ඡන්ද හිමිකම තියෙන අය. මේ අයට බලපෑම් කිරීමෙන් ඡන්ද ප්‍රතිඵලවල වෙනසක් ඇති කරන්න බැරි වෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නේ. අනෙක මැතිවරණ ව්‍යාපාරවල යෙදී ඉන්න අයට කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් ලබා ගන්නා තොරතුරු විශ්ලේෂණය තිරීම ඔස්සේ තම අපෙක්ෂකයා කුමන ආකාරයෙන් ප්‍රවර්ධනය කරන්න අවශ්‍යද කියන එක ගැන වැටහීමක් ලබා ගන්න පුළුවන්. ඒ ප්‍රවර්ධනයේ බලපෑමට හසුවෙන්න අන්තර්ජාලය භාවිත කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් ඒ විශ්ලේෂණ ඔස්සේ ලබා ගන්නා තොරතුරු බිම් මට්ටම දක්වා සාම්ප්‍රදායික ක්‍රම ඔස්සේ විහිදුවනවා.

      Delete
  2. 2010 ජනාධිපතිවරනේ අහපු ආතල්ම කතාව ඔය කොම්පියුර් ජිල්මාට් කතාව තමා

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න