2025 වසරේ ජූලි මාසයේදී, ලොව පුරා සිටි තාරකා විද්‍යාඥයෝ තම දුරේක්ෂ චිලී රාජ්‍යයේ ATLAS (Asteroid Terrestrial-impact Last Alert System) පද්ධතිය මගින් සොයාගත්, නොවැදගත් බවක් පෙනුනත් වේගයෙන් ගමන් කරන අඳුරු වස්තුවක් වෙත යොමු කළහ. දින කිහිපයක් ඇතුළත එහි කක්ෂය ගණනය කිරීමේදී අතිශය විස්මිත කරුණක් හෙළි විය. එනම් මෙම වස්තුව සූර්යයාගේ ගුරුත්වාකර්ෂණයට හසු වී නොමැති බව හා එය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ කක්ෂයකට සිර නොවී එයින් ඔබ්බට යැ හැකි තරම් වේගයෙන් හා විවෘත ගමන් පථයක ගමන් කරමින් තිබුණු බවය. මෙම සොයාගැනීම 3I/ATLAS නම් වස්තුවේ පැමිණීම සනිටුහන් කළේය. එය 2017 දී 'ඕමුවාමුවා' (ʻOumuamua) සහ 2019 දී 'බොරිසොව්' (Borisov) සොයාගැනීම්වලින් පසුව, අපගේ අසල්වැසි අභ්‍යවකාශ සීමාවට පැමිණි තෙවැනි ස්ථිර අන්තර් තාරකා වස්තුව ලෙස නිල වශයෙන් නම් කරන ලදී.
![]()  | 
| ඕමුවාමුවා | 
![]()  | 
| බොරිසොව් | 
"3I"
යන නාමකරණයෙන් එහි අන්තර්
තාරකා (Interstellar) සම්භවය හඟවන අතර,
"ATLAS" යන්නෙන් එය මුලින්ම නිරීක්ෂණය කළ දුරේක්ෂ ජාලයට ගෞරව දැක්වීම හැඟවෙයි.
මෙම නව අමුත්තා සූර්යයාගේ සීමාවෙන් ඔබ්බට පැමිණි තවත් විශ්වීය සැරිසරන්නෙකු පමණක්
නොව, මෙතෙක් සොයාගත් ඒවා
අතරින් විශ්වය පිළිබඳ වැඩිම තොරතුරු හෙළි කරන්නා වීමට ඉඩ ඇති බව තාරකා විද්‍යාඥයෝ ඉක්මනින් අවබෝධ කර ගත්හ. පැහැදිලි
ක්‍රියාකාරීත්වයක් නොපෙන්වූ අද්භූත 'ඕමුවාමුවා' හෝ සාම්ප්‍රදායික ධූමකේතුවකට සමාන වූ 'බොරිසොව්' මෙන්
නොව, ATLAS හුරුපුරුදුබව හා අතිශය අද්භූත බව
ලක්ෂණ දෙකම පෙන්නුම් කළ අතර, එය දැඩි විද්‍යාත්මක කුතුහලයක් සහ දාර්ශනික වශයෙන් විමතියක් ඇතිකරන්නට
හේතු විය. 
2025 ජූලි
අග වන විට, වැඩිදුර නිරීක්ෂණ මගින් 3I/ATLAS බහුවලයික (hyperbolic) කක්ෂයක ගමන් කරන බව තහවුරු විය. මෙය, සූර්යයා වටා එක් වරක් ගමන් කිරීමෙන් පසු සදහටම අන්තර් තාරකා අවකාශයට අතුරුදහන් වීමට නියමිත විවෘත ගමන් මාර්ගයකි. එහි වේගය, පැයට සැතපුම් 130,000 (පැයට
කිලෝමීටර 210,000 කට අධික) පමණ වූ අතර, එය සාමාන්‍ය ධූමකේතූන්ගේ වේගයට වඩා බෙහෙවින් වැඩිය. මෙම අතිවිශාල
වේගය නිසා එය සූර්යයාගේ ගුරුත්වාකර්ෂණයට හසු නොවන බවට තහවුරු වූ අතර, එය විශ්වයේ
දූතයෙකු ලෙස වෙනත් තාරකා
පද්ධතියකින් පැමිණි බවට සැකයක් නැත.
තාරකා විද්‍යාඥයෝ එහි පැමිණීමේ දිශාව ධනු රාශිය ලෙස සලකුණු කළ අතර, එය
ක්ෂීරපථ කේන්ද්‍රය ආසන්නයේ ඝන ලෙස තාරකාවලින් පිරුණු ප්‍රදේශයකි. එහි නිශ්චිත
සම්භවය තීරණය කළ නොහැකි වුවද, යෝධ ග්‍රහලෝකයක
ගුරුත්වාකර්ෂණ බලපෑමක් හෝ සමීප තාරකා ගැටුමක් හේතුවෙන් වසර මිලියන ගණනකට, ඇතැම්
විට බිලියන ගණනකට පෙර 3I/ATLAS සිය මව් පද්ධතියෙන් ඉවතට විසි වී තිබෙන්නට ඇතැයි අනුමාන කරයි.
එතැන් පටන්, දෛවය විසින් එය මිනිස්
අවධානයට ලක්වන තුරු තාරකා අතර අඳුරේ නිහඬව සැරිසැරූ බව සිතිය හැක.
![]()  | 
| 3I/ATLAS බහුවලයික (hyperbolic) කක්ෂයක ගමන් කරන බව තහවුරු විය | 
භෞතිකව,
3I/ATLAS යනු දන්නා
සහ නොදන්නා දේවල සිත් ඇදගන්නාසුළු දෙමුහුමකි. හබල්
අභ්‍යවකාශ දුරේක්ෂය සහ වෙනත් නිරීක්ෂණාගාර මගින් ලබාගත් ඡායාරූපවලින් පෙනී යන්නේ, ධූමකේතු ක්‍රියාකාරීත්වයේ ලක්ෂණයක් වන දූවිලි හා වායුවලින් යුත් අඳුරු කෝමාවකින් (coma) වට
වූ දීප්තිමත් මධ්‍ය න්‍යෂ්ටියකි. මෙය පෙන්නුම් කරන්නේ සූර්යාලෝකයෙන් උණුසුම් වූ
විට වාෂ්ප වී යන (වායු බවට පත්වන) වාෂ්පශීලී
ද්‍රව්‍ය එහි අඩංගු බවයි. එහෙත්
මෙම වායු විමෝචනයේ සීඝ්‍රතාවය සහ සංයුතිය මීට පෙර දැක ඇති කිසිදු ධූමකේතුවකට සමාන නොවේ. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ දත්ත ඇතුළු
වර්ණාවලීක්ෂ අධ්‍යයනයන් මගින් ජල
වාෂ්පයට සාපේක්ෂව කාබන් ඩයොක්සයිඩ් අසාමාන්‍ය ලෙස ඉහළ අනුපාතයකින් ඇති බව හෙළි වූ අතර, එය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ බොහෝ ධූමකේතූන්ට වඩා තරමක් වෙනස් රසායනික
සංයුතියක් යෝජනා කරයි. මෙම සංයුතියේ අසාමාන්‍යතාවයෙන් ඉඟි කරන්නේ 3I/ATLAS එහි මුල් තාරකා පද්ධතියේ වඩාත් සීතල, කාබන් බහුල තත්ත්වයන් යටතේ නිර්මාණය වන්නට ඇති බවයි.
2025 ඔක්තෝබර්
අග වන විට ධූමකේතුව සූර්යයාට ආසන්නම ස්ථානයට ළඟා වන විට, එහි දීප්තිය පුදුමාකාර
ලෙස ඉහළ ගියේය, එය මෙහි ක්‍රියාකාරීත්වය
අවබෝධ කරගන්නට ගොඩනගන ලද සම්මත ආදර්ශවලින් පෙන්නුම් කරන ලද අනාවැකි ඉක්මවා ගියේය.
එහි දූවිලි නිපදවීම පුදුම සහගත ලෙස ප්‍රබල වූ අතර,
තත්පරයකට ජල
වාෂ්ප කිලෝග්‍රෑම් 40 ක් පමණ මුදා හරින බවට ගණන් බලා ඇත. එනම් එහි පෘෂ්ඨයේ සැලකිය යුතු
කොටසක් සක්‍රීයව ද්‍රව්‍ය පිට කරමින් තිබුණි. නිරීක්ෂකයින් අමුතු "ප්‍රති-වලිගයක්" (anti-tail) ද
සටහන් කළහ. එය සූර්යයාගෙන් ඈතට යොමු නොවී, සූර්යයා
දෙසට යොමු වන බවක් පෙනෙන දූවිලි ධාරාවකි. එවැනි සැකැස්මක් ප්‍රකාශ දෘෂ්ටි කෝණ හෝ
අද්විතීය අංශු හැසිරීම් හේතුවෙන් ඇති විය හැකි නමුත්, මෙම අවස්ථාවේදී, එය
වස්තුවේ දැනටමත් පවතින අද්භූත ස්වභාවය තවත් ඉහළ දමන්නට හේතුවක් විය.
3I/ATLAS
යනු ස්වාභාවික අන්තර් තාරකා ධූමකේතුවක් බව විද්‍යාත්මක ප්‍රජාව
බොහෝ දුරට එකඟ වුවද, සරල පැහැදිලි කිරීම්වලින්
සියලු දෙනා සෑහීමකට පත් නොවෙති. 'ඕමුවාමුවා' පිළිබඳ සිය විවාදාත්මක අදහස් සඳහා ප්‍රසිද්ධ හාවර්ඩ් තාරකා භෞතික
විද්‍යාඥ ඒවී
ලෝබ් (Avi Loeb), ATLAS හි
ත්වරණයේ සහ ආලෝකය පරාවර්තනයේ පවතින විශේෂතා නිසා මෙය ස්වාභාවික වස්තුවක් නොව කෘත්‍රිමව
නිපදවන ලද්දක් වන්නට ද ඉඩ ඇති නිසා ඒ සම්බන්ධව ද සොයා බැලිය යුතු බව උදක්ව පවසා සිටියි.
බොහෝ විශේෂඥයින් නිගමනවලට එළඹීමට එරෙහිව අනතුරු ඇඟවුවද, එවැනි උපකල්පන මගින් මෙම අන්තර් තාරකා අමුත්තන් විශ්ව ගතිකත්වය සහ
පෘථිවියෙන් ඔබ්බට බුද්ධිමත් සැලසුම්වල විභවය පිළිබඳ අපගේ අවබෝධයට අභියෝග කරන ආකාරය
අවධාරණය කරයි.
එහි ස්වභාවය කුමක් වුවත්, 3I/ATLAS යනු
දුර්ලභ හා ක්ෂණිකව නිරීක්ෂණය වූ අවස්ථාවකි. නිරීක්ෂණය කරන ලද වෙනත් තාරකා පද්ධතියකින් පැමිණි තෙවැනි වස්තුව
පමණක් වන අතර, සෑම සොයාගැනීමක්ම විශ්වයේ
ඇති විය හැකි දේ පිළිබඳ අපගේ දැක්ම පුළුල් කර ඇත. 'ඕමුවාමුවා' අපට ඉගැන්වූයේ අන්තර් තාරකා සුන්බුන් අප දන්නා ඕනෑම දෙයකට වඩා
වෙනස් විය හැකි බවයි. 'බොරිසොව්' පෙන්නුම් කළේ ඇතැම් අන්තර් තාරකා ධූමකේතු අපගේ සෞරග්‍රහ මණ්ඩලයේම
ඒවා මෙන් හැසිරෙන බවයි. දැන්, ATLAS මෙම
ලෝකයන් යා කරන්නේ අප දන්නා දේ වුවත් පිටස්තර, ධූමකේතුමය වුවත් අනපේක්ෂිත ලෙසිනි.
3I/ATLAS
අධ්‍යයනය කිරීම විද්‍යාඥයින් දකින්නේ ඈත වෙරළකින් විසි කරන ලද බෝතලයක පණිවිඩයක් ලැබීමට සමාන ය. එහි දූවිලි හා වායු තුළ, තවත් ග්‍රහලෝක පද්ධතියක උපත, පරිණාමය
සහ විනාශයේ රසායනික ඇඟිලි සලකුණු සැඟවී තිබිය හැකිය. ඒවා විකේතනය කිරීමෙන්, පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ ATLAS
ගැන පමණක් නොව, මන්දාකිනියේ
පවතින ගණන් කළ නොහැකි නොපෙනෙන පද්ධති ගැනද ඉගෙන ගැනීමටය.
ඉදිරි මාස කිහිපය තුළ, එය සූර්යයා පසුකර නැවත අන්තර් තාරකා අඳුරට වේගයෙන් දිව යන විට, 3I/ATLAS හබල් අභ්‍යවකාශ දුරේක්ෂය, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සහ භූගත නිරීක්ෂණාගාර ජාලයක් මගින් අඛණ්ඩව නිරීක්ෂණය කරනු ඇත. එය
පරාවර්තනය කරන සෑම ෆෝටෝනයක්ම, එය
මුදා හරින සෑම අණුවක්ම, අපගේම
ලෝකයෙන් ඔබ්බට ඇති විවිධත්වයන් පිළිබඳ හෝඩුවාවන් සපයයි. එය අවසානයේදී පෙනීමෙන්
අතුරුදහන් වන විට, මානව ශිෂ්ටාචාරය වෙත දත්ත
සම්භාරයක් ඉතිරි වනු ඇති අතර සහ, සෑමවිටම
මෙන්, පිළිතුරුවලට වඩා ප්‍රශ්න
ඉතිරි වනු ඇත.
3I/ATLAS සොයාගැනීම අපට මතක් කර දෙන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලය හුදකලා වූවක් නොවන බවයි. අභ්‍යවකාශය යනු හිස් අවකාශයක් නොව, නිතර වෙනස්වන විශාල සාගරයක් වන අතර, එහිදී ඈත ලෝකවල කොටස් ඉඳහිට අප අතරට ගසාගෙන එයි. සෑම අන්තර් තාරකා සංචාරකයෙක්ම විශ්වීය කාලය තුළ ලියැවුණු කතාවක් රැගෙන එන අතර, සෑම නව අමුත්තෙකු සමඟම, අපට එම නිමක් නැති, විශ්වීය පොතෙන් වටිනා පිටු කිහිපයක් කියවීමට තවත් අවස්ථාවක් ලැබේ.




No comments:
Post a Comment
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න