අපේ රටේ සුනඛයෙක් |
ලෝකයේ සුනඛ විශේෂ 178 ක් පමණ නිල වශයෙන් හඳුනාගෙන ඇත. නමුත් ලොව
පුරා මෙසේ හඳුනාගත් සහ නොගත් සුනඛ විශේෂ සමස්තයක් ලෙස 400ක් පමණ දැකිය හැකිය. මොවුන් හැඳින්වීම සඳහා විවිධ නම් තිබේ. නමුත් අප
රටේ දේශීයව වසර දහස් ගණනක් තිස්සේ පැවැත
එන සුනඛයන් හැඳින්වීම සඳහා එවැනි සුවිශේෂී නමක් නැත. නමුත් එවැනි සුනඛයන් සඳහා ‛ගම් බල්ලා’, ‛වල් බල්ලා’ වැනි යෙදුම් යොදනු ද දක්නට ලැබේ. නමුත් මේ යෙදුම් කිසිවක් නිවැරදි ඒවා නොවේ.
විශේෂයෙන් ‛වල් බල්ලා’ යන්න මෙම සුනඛයන් සඳහා කිසිසේත්ම සුදුසු යෙදුමක් නොවේ. එයට හේතුව ‛වල් බල්ලන්’ හෙවත් ‛වන සුනඛයන්’ (Wild Dogs) නමින් හඳුන්වන සුනඛ විශේෂ
කිහිපයක්ම ලෝකයේ විවිධ රටවල දක්නට ලැබීමයි. මෙම සියලුම වන සුනඛයන් ඉතා ප්‍රචණ්ඩකාරී
වන අතර හීලෑ කරගැනීම අතිශය දුෂ්කර කාර්යයක් ද වේ.
වන සුනඛයන් අතුරින් Lycaon
pictus නමින් සත්ව විද්‍යාත්මකව හඳුන්වනු ලබන අප්‍රිකානු වන සුනඛයා
අතිශයින්ම ප්‍රචණ්ඩකාරීය. ඔවුන් වල් ඌරන් වැනි සතුන්ගේ සිට අලි වැනි දැවැන්තයන්
පවා දඩයම් කිරීමට පෙළඹෙන සත්ව විශේෂයකි.
මෙම වන සුනඛයන් ආහාර සොයා ගන්නේ ‛සමූහ දඩයම්’ (Pack
Hunting) මගිනි. සමූහ දඩයම යනු වන සතුන් අතර
පවතින එක් භයානක චර්යා රටාවකි. බොහෝ වන සතුන් දඩයම්වල නිරත වන්නේ තනි තනිවය. නමුත්
වන සුනඛයන් ඇතුළුව ඇතැම් සතුන් සමූහ දඩයම් ඔස්සේ ආහාර සොයා ගනු දැකිය හැකිය.
මෙහිදී සිදුවන්නේ සැළසුම් සහගතව වටකොට පහරදීමක් වන අතර ගොදුරුවන සතා මරණයට පත්කොට
හෝ මරණයට ආසන්නව සිටියදී අනුභවයට ගැනීම සිදු වේ. අනෙක මොවුන් අප ගම් බල්ලන් ලෙස
හඳුන්වන සුනඛ විශේෂ කෙරෙහි පළකරන්නේ ස්වභාවිකවම සතුරුකමකි. කෙසේ නමුත් ශ්‍රී
ලංකාවේ මෙම වන සුනඛ විශේෂ දක්නට නැත.
අප්‍රිකානු වන සුනඛයන්ගේ සමූහ දඩයමක් |
උප විශේෂය කුමක් වුවත් පොදුවේ ගෘහස්ථ
සුනඛයන් හැඳින්වීමට යෙදෙන සත්ව විද්‍යාත්මක නාමය වන්නේ Canis lupus familiaris යන්නය. මේ වර්ගයට අයත් සියලුම සුනඛ
විශේෂ ගෘහාශ්‍රිතව හෙවත් මිනිස් වාසභූමි ආශ්‍රිතව ජීවත් වේ. නමුත් වන සුනඛයන් යනු
එසේ ජීවත්වන සත්ව විශේෂයක් නොවේ. අනෙක අප ගම් බල්ලන් හෝ වල් බල්ලන් ලෙස හඳුන්වන
ස්වදේශීය සුනඛයන් මිනිසාගේ හොඳම මිතුරා වුව ද වන සුනඛයකුට මිනිසකු අසුවුවහොත් ඇටකටුවක්
හෝ ඉතිරි නොකරන තරමට ඔවුන් බිහිසුණුය.
ඕස්ට්‍රේලියානු ඩිංගෝ |
අප මුලින් සඳහන් කළ අප රටේ බහුලව දක්නට
ලැබෙන ස්වදේශීය සුනඛයන් ලෝකයේ වෙනත් රටවල ද දක්නට ලැබේ. මොවුන් ඕස්ට්‍රේලියාවේදී
හඳුන්වනු ලබන්නේ ‛ඩිංගෝ’ (Canis lupus dingo) නමිනි. නමුත් ඩිංගෝ නමින් වන සුනඛ විශේෂයක් (Wild Dingo) ද දක්නට ලැබේ. මෙම නමින් වන සුනඛයන් මෙන්ම
ගෘහස්ථ සුනඛයෝ ද වෙති. ඇමරිකා එක්සත් ජනපදයේ මෙම ස්වදේශීය සුනඛයන් හඳුන්වනු ලබන්නේ
‛කැරොලිනා’ හෙවත් ‛ඇමරිකානු ඩිංගෝ’ වශයෙනි.
ඉන්දියාවේදී මෙම සුනඛයන් කලක් හඳුන්වනු
ලැබුවේ ‛ඉන්දීය ස්වදේශීය සුනඛයා’ (Indian Native Dogs)නමින් වුවත් මෑතක සිට ඔවුන්ව හැඳින්වීම සඳහා ‛ඉන්ඩෝග්’ (InDog)
යන්න යොදා ගැනේ. මෙයින් පැහැදිලි වන එක් කරුණක් නම් සතුන් කෙරෙහි ඉන්දියානුවන් දරන
චින්තනයේ සිදුව ඇති ප්‍රබෝධයයි. මෙම අසරණ සතුන් සම්බන්ධයෙන් අප රටේ එවැනි චින්තන
ප්‍රබෝධයක් සිදුනොවීම කණගාටුවට කරුණකි.
ඉන්ඩෝග් |
නමුත් කලින් සඳහන් කළා සේ අපේ රටේ
මොවුන් හැඳින්වීම සඳහා විශේෂිත නමක් නැත. එහෙත්
අපේ රටේ ශිෂ්ටාචාරය ඇතිවීමට පෙර, එනම් අදින් වසර 12,700කට
පමණ පෙර පූර්ව ඓතිහාසික යුගයේ අපේ ආදී මානවයන් සමග මොවුන් ඉතා සමීපව ජීවත් වූ බවට
පුරා විද්‍යාත්මක සාධක උඩවලව අභයභූමියේ ‛බෙල්ලන් බැඳි පැලැස්ස’ නමින්
හඳුන්වනු ලබන එලිමහන් මානව ජනාවාසයකින් හමුවී තිබේ. එහි තිබී මෙවැනි සුනඛයකුගේ
දතක් හමුවී ඇති අතර කාබන් 14 කාල නිර්ණයට අනුව හෙලිවී ඇත්තේ එය
අදින් වසර 12,700කට පමණ පෙර ජීවත් වූ සතකුට අයත් දතක්
බවය. මේ නිසා මොවුන් ‛දේශීය සුනඛයන්’ නමින් හැදින්වීම සඳහා ඉතා පැහැදිලි නිර්ණායකයක්
තිබේ. මෙයට පෙර හමුවී ඇති පැරණිතම ගෘහාශ්‍රිත සුනඛ දතක් හමු වී ඇත්තේ ඕස්ට්‍රේලියාවෙනි. එය වසර 8000ක් පමණ පැරණිය. ලොව පුරා ගෘහාශ්‍රිත සුනඛයන් ව්‍යාප්ත වූයේ තම රටින් බව ඔවුන් මෑතක් වනතුරුම පුරසාරම් දෙඩුව ද අප රටෙන් මෙම දත හමුවීමත් සමග එම පුරසාරම නැවතී තිබේ. නමුත් මෙවැනි සොයා ගැනීම් සදහා අප රටෙන් සැළකිය යුතු තරමේ ප්‍රචාරණයක් සිදුවී නැත.
බෙල්ලන් බැඳි පැලැස්සෙන් හමු වූ සුනඛ දත |
අපේ ශ්‍රී ලාංකීය ලිඛිත ඉතිහාසය මීට වසර 3000කට මෙපිට කාලයකට පමණක් සීමා වී තිබේ. සිංහල ජාතියේ පැවැත්ම ඉන්දියාවේ
සිට පැමිණි විජය කුමරුන් නිසා ඇති වූවක් බව වංශ කතා සාහිත්‍යයෙන් පැවසේ. එහිදී ද
ඔවුන් ලක්බිමට පා තැබූ සැනින් බැල්ලක නෙත
ගැටුණු බව වංශ කතාවන් හි සඳහන් ය. එහෙත්
එයට පෙර ජීවත් වූ අපගේ ආදි මානවයන් සමග මෙම ස්වදේශීය සුනඛයන් ඉතා මිත්‍රශීලීව
සිටි බව ඒකාන්ත සත්‍යයකි. ඒ අනුව අපේ මව්බිමේ අපටත් වැඩි ඉපැරණි ඉතිහාසයකට උරුමකම්
කියන මෙම දේශීය සුනඛයන් වල් බල්ලන් හෝ ගම් බල්ලන් ලෙස හැඳින්වීම විද්‍යාත්මක,
ශාස්ත්‍රීය සහ සදාචාරාත්මක සීමා මායිම් බරපතල
ලෙස උල්ලංඝනය කරවන්නක් බව නොකියාම බැරිය.
පහත දැක්වෙන්නේ අප්‍රිකානු වන සුනඛයනගේ සාමූහික දඩයමකි
ඒ කියන්නේ වාර්තා ගත පළමු බල්ලා හදලා තියෙන්නේ ලාංකිකයෙක්
ReplyDeleteමට පේන්නෙත් ඒ වගේ තමයි
Deleteමමනම් කියන්නෙ අපේ බල්ලො කියල. අපේ බල්ලො හතර දෙනෙක් හදනව. උන් පිටරට බල්ලන්ට වඩා මිත්‍රශීලීබව වැඩියි. ස්වාමියට දැඩි ආදරයක් දක්වනව. ඒ වගේම හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනව.
ReplyDeleteදැනට හොයාගෙන තියෙන තොරතුරුවල හැටියට අපි උසස් යැයි කියන සුනඛයන්ට වඩා මේ සුනඛයන්ට තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ වටපිටාව ඉගෙනගෙන එයට අනුගතවීමේ හැකියාව තිබෙනවා.
Deleteඅන්න බල්ලෝ...............
ReplyDeleteමේානවද මේ කතා. මේ තමයි බල්ලෝ
Deleteපට්ට බලු බල්ලෝනේ :P
ReplyDeleteනැතුව නැතුව
Deleteබල්ල කියන්නේ අවුරැදු දහස් ගානක් තිස්සේ මිනිසාත් එක්කකම ජිවත් වෙචිච සතෙක්
ReplyDeleteමම අහල තියෙන විදිහට මිසර යුගයේ ඉදල
කොහොම උනත් බල්ලා විශ්වාස වන්තයි මිනිස්සුන්ට වඩා
ඒක ඇත්ත. බල්ලා කාට හරි ආදරේ නම් ඇත්තටම ආදරේ. බොරු ආදරයක් උන් ළග නැහැ.
Deleteකොහොම උනත් අර උඩ ඉදල දෙවෙනියට තියෙන පින්තුරේ දැක්කට පස්සේ
ReplyDeleteමගේ බඩ දගලන්න වගේ පටන් ගත්ත
ආ ඒ ඉන්නේ අප්‍රිකානු වල් බල්ලෙක්. නැත්නම් වන සුනඛයෙක්. උන් දරුණුයි.
Deleteමම අහල නොතිබුන අපූරු තොරතුරු ටිකක්. නිරන්ජන්, මේ තොරතුරු ලබාගත්ත මූලාශ්‍රත් ලිපියේ යට සඳහන් කරා නම් තමයි ලිපියටත් ලේඛකයටත් නියම වටිනාකමක් ලැබෙන්නේ.
ReplyDeleteමුළින්ම ඔබේ අදහස් දැක්වීම ගැන ස්තූතියි. ඇත්තටම මූලාශ්‍ර බොහොමයකින් ගත් තොරතුරු එක් කිරීමෙන් තමයි මේ ලිපිය සකස් කළේ. ඇතැම් ඒවා විකිපීඩියාවෙන්. ඇතැම් ඒවා කලින් දැන සිටි තොරතුරු. නමුත් ඒවා නිවැරදිද යන්න බලාගැනීම සදහා අන්තර්ජාලය භාවිත කළා.
Delete