පසුගිය මාර්තු 14 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අප රටේ තලේමන්නාරම් දුම්රිය මාර්ගය විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ගමන් බිමන් යාම පිළිබඳ කතා බහ යළි කරළියට පැමිණි බැව් පෙනෙන්නට තිබිණි. අතීතයේ අප රටේ තලේමන්නාරම් දුම්රිය ස්ථානයේ සිට ඉන්දියාවේ රාමේෂ්වරම් තුඩුවේ කෙළවරෙහි ඇති ධනුෂ්කොඩි දක්වා ගමනාගමන සේවයක් පැවතියේය. අධ්‍යාපනික, ව්‍යාපාරික හා සංචාරක කටයුතුවල යෙදුණු අප රටේ ඇතැම් පුද්ගලයෝ අද ද මෙම ගමනාගමන සේවය පිළිබඳ කතා කරති. එම අතීතය නැවත ජීවය ලබනු ඇති බවට අදහස් පසුගිය දිනවල විවිධ මාධ්‍යවල දක්නට හැකිවිය.
පැරණි මන්නාරම් ජැටිය |
ශ්‍රී ලංකාවේ තලේමන්නාරම සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා දුම්රිය ගමනාගමනය පැවති සමයේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල වී ඇත්තේ රුපියල් 75ක් වැනි මුදලකි. මෙහිදී අප රටෙහි දුම්රිය ගමන් කළේ තලේමන්නාරම් ජැටිය දක්වා පමණි. එතැන් පටන් ධනුෂ්කොඩි දක්වා ගමන් කළ යුතු වූයේ පාළම් පාරුවක් මගිනි. අතීතයේ ධනුෂ්කොඩිවල දුම්රිය ස්ථානයක් පැවති අතර ශ්‍රී ලංකාවේදී ලබාගත් දුම්රිය ප්‍රවේශ පත්‍රයෙන්ම මෙතැන් සිට ගමන් කළ හැකිව තිබිණි. වර්තමානයේ ධනුෂ්කොඩිවල ඇත්තේ ගරාවැටුණු දුම්රිය ස්ථානයක නටබුන් පමණි. එයට දැන් දුම්රියක් පැමිණෙන්නේ නැත. කෙසේ මුත් එකල මෙම දුම්රිය ධනුෂ්කොඩි සිට රමේෂ්වරම් හරහා පම්බාන් අර්ධද්වීපයෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ප්‍රවිෂ්ඨ වන්නේ පම්බාන් පාළම ඔස්සේය. රාමේෂ්වරම් දක්වා වර්තමානයේ ද දුම්රිය සේවයක් පවතින බැවින් පම්බාන් පාළම අද ද දක්නට ලැබේ.
පම්බාන් පාළම |
පම්බාන් පාළම |
පම්බාන් පාළම පිළිබඳව යමක් සඳහන් කළ යුතු වේ. 1914 දී ඉදිකරන ලද මෙම පාළමේ ඇති විශේෂත්වය වන්නේ මෙය මැදින් එසැවිය හැකි ලෙස සකස් කොට තිබීමය. මෙසේ එසැවිය හැකි ලෙස සකස්කොට ඇත්තේ මුහුදේ මෙම ප්‍රදේශයෙන් නෞකා ගමන් කරන බැවිනි. නෞකා ගමන් කරන අවස්ථාවේදී පාළම දෙපසින් ඔසවා එයට ඉඩ සළසන අතර දුම්රිය පැමිණෙන විට පමණක් යළි දෙපස එක්කොට එහි ධාවනය සඳහා ඉඩකඩ සළසයි. කෙසේ වෙතත් මෙතැන් ගමන් ගන්නා නෞකා දුර සිටම සිය නලා හඬක් නගමින් පැමිණෙන්නේ යම් හෙයකින් පාළම ඔසවා නොමැති නම් එය එසැවීම සඳහා ලබාදෙන පණිවිඩයක් ලෙසිනි.
දෙරට අතර භෞතික සම්බන්ධතාවය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක් |
අප රටේ තලේමන්නාරම සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි යනු දෙරටේ දුරින් අඩුම ස්ථාන දෙක වේ. තවත් ආකාරයකින් පැවසුවහොත් ශ්‍රී ලංකාවටම ආසන්නයෙහිම පවතින ඉන්දියානු ගම්මානය වන්නේ ධනුෂ්කොඩි ය. එය කිලෝමීටර් 29 (සැතපුම් 18) කි. මෙය බෝට්ටුවකින් නම් අඩ පැයක තරම් දුරකි. දෙරට අතර විවිධ හොර ජාවාරම් ද මේ ස්ථාන දෙක ආශ්‍රිතව සිදුවන බැව් විවිධ අවස්ථාවලදී අසන්නට ලැබිණි. කෙසේ වෙතත් අතීතයේ පැවති ගමන් බිමන් යළි ජීවය ලබන්නට නම් බොහෝ දේ වෙනස් විය යුතුය. ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් වන්නේ ධනුෂ්කොඩි නගරයයි. ධනුෂ්කොඩි යනු වර්තමනයේ පාළු, හොල්මන් නගරයක් බවට පත් වූ ස්ථානයකි. එහි ඇත්තේ ගරා වැටුණු, අද්භූත පෙනුමැති පැරණි ගොඩනැගිලි හා ඉදිකිරීම් පමණි. මෙය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පම්බාන් අර්ධද්වීපයේ කෙළවරටම වන්නට පිහිටි නගරය වේ.
පම්බාන් අර්ධද්වීපය යනු අප රටේ තලේමාන්නාරම වැනි දූපතකි. 1964 වසරේ සිදුවූ දරුණු සුළි සුළඟක් හේතුවෙන් නගරය සහමුළින්ම විනාශ විය. මෙම අවස්ථාවේදී පම්බන් දුම්රිය ස්ථානයේ සිට ආරම්භ වන ධනුෂ්කොඩි දුම්රිය මාර්ගය විනාශ වී ගිය අතර එම අවස්ථාවේදී පම්බාන් පාළම මතින් ගමන් කරමිනු තිබූ දුම්රිය ද සිය දෙනෙකු පමණ මහසයුරේ ගිල්වා මරණයට පත්කරමින් සයුර මත පතිත විය. එම සුළි සුළඟට හසුව මිය ගිය මුළු සංඛ්‍යාව 1,800ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. අද ධනුෂ්කොඩිවල ඉතිරිව ඇත්තේ අතීත ගොඩනැගිලිවල නටබුන් පමණි. මේ අතර ධනුෂ්කොඩි දුම්රිය ස්ථානය, පැරණි කතෝලික දේවස්ථානයක්, කුඩා කෝවිල් ආදිය දක්නට ලැබේ. කිසිදු පහසුකමක් නොමැති අතර එහි ධීවර පවුල් 300ක් පමණ ජීවත් වෙති. අවම පහසුකම් ඇති ඔවුහු ජලය ලබාගන්නේ වැලි සෑරීමෙන් මතු කරගන්නා වලවල්වලිනි. මේ ජලයේ ඇති විශේෂත්වය වන්නේ ආසන්නයේම මහ මුහුද පිහිටියත් ජලයෙහි මිහිරි රසකින් යුක්ත වීමය.
ස්ථානීය වශයෙන් මෙහි අලංකාර භූමි දර්ශන ඇති මුත් ඉන්දීය රජය මෙම නගරයේ රාත්‍රිය ගතිකිරීම නිර්දේශ කරන්නේ නැත. ඇතැම් පිරිස් පවසන්නේ රාත්‍රියේදී යම් යම් අද්භූත හඬ පවා ඇසෙන බවකි. මෙවැනි කරුණුත්, පහසුකම් කිසිවක් නොතිබීම ආදියත් සළකා බලා දිවා කාලයේ මෙම ප්‍රදේශයේ සංචාරය කොට රාත්‍රිය ගත කිරීම සඳහා මෙහි සිට කිලෝමීටර් 18ක් පමණ දුරින් පිහිටි රාමේෂ්වරම් සුදුසු බැව් සංචාරක ආයතන උපදෙස් දී තිබේ. වර්තමානයේ මේ ආකාරයෙන් හොල්මන් අවතාරවලින් පිරුණු පාළු නගරයක් වුව ද ධනුෂ්කොඩි යනු අතීතයේ ජනාකීර්ණව පැවති දීර්ඝ ඉතිහාසයක් ඇති ඓතිහාසික නගරයකි.
පාවෙන ගල් |
ධනුෂ්කොඩි නගරයේ ඉතිහාසය රාම - සීතා වෘතාන්තය දක්වා අතීතයකට දිව යයි. හින්දු පූජනීය ග්‍රන්ථයක් වන රාමායනයට අනුව රාම දෙවියන් හනුමාන් ලවා ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලේමන්නාරම දක්වා මහ සයුර ඔස්සේ පාළමක් ඉදිකරවා තිබේ. එය ‛රාම් සේතු’ හෙවත් ‛රාම පාළම’ නම් වේ. එවැන්නක් ගොඩනංවන්නට හේතුව වූයේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව කරා හමුදා රැගෙන ඒමේ පහසුව තකා ය. මෙම පාළම ගොඩ නැංවූයේ පාවෙන ගල්වලින් බව පැරණි කතාවල සඳහන් වේ. එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් අද ද රාමේෂ්වරම් හි පාවෙන ගල් දැක ගත හැකිය. මේවා ජලයට දැමූ විට ගිළී නොයයි. මෙවැනි ගල් රාමේෂ්වරම් මුහුදු තීරය හැර ලෝකයේ වෙනත් කිසිඳු ස්ථානයකින් හමු නොවේ. මේවායේ සංයුතිය ද අප දතික සාමාන්‍ය ගලකට වඩා වෙනසක් නැත. විද්‍යාඥයින් පවසන්නෙ සාමාන්‍ය ගල් ලෙස පෙනුනත් මේවා නිර්මාණය වී ඇත්තේ කොරල් ආකාරයෙන් බවය. නමුත් කොරල් පාෂාණ පාවෙන්නේ නැති බැවින් එම මතය ප්‍රතික්ෂේප වි ඇත. ඇතැමුන් පැවසූයේ මේවා යමහල් පාෂාණ ලෙස වුවත් මේ අවට කිසිදු යමහලක් නැති බැවින් එය ද ප්‍රතික්ෂේප විය. කෙසේ නමුත් මේවා පාවිමට හේතුව තවමත් විද්‍යාත්මකව විස්තර කොට නැත.
කොත්නඩරාමාස්වාමි කෝවිල |
රාමේෂ්වරම් හි දක්නට ලැබෙන එකම ආගමික සිද්ධස්ථානය වන්නේ ‛කොත්නඩරාමාස්වාමි’ කෝවිලයි. ශ්‍රී ලංකාව පාලනය කළ රාවණ රජු රාම අතින් පරාජය වීමෙන් අනතුරුව රාම කුමරු විසින් අප රටෙහි පාලකයා ලෙස විභීෂණ පත්කරනු ලැබිණි. විභීෂණ යනු රාවණ රජුගේ සොහොයුරකු ලෙස සැළකෙන අතර රාවණා හා රාම අතර පැවති යුද්ධයේදී ඔහු සිය සොයුරු රාවණට විරුද්ධ වී රාම කුමරුට සහාය පළකරන්නට තීරණය කළේය. රාම කෙතරම් ප්‍රබලයකු වුව ද වසර දොලසක් තිස්සේ කළ යුද්ධය ජයගත හැකි වූයේ විභීෂණ විසින් රාවණ රජුගේ දුර්වලකම් රාම හමුවේ හෙළිදරව් කිරීමෙන් පසුවය. මෙවැනි අාධාරයක් කළ විභීෂණ ශ්‍රී ලංකාවේ නව රජු ලෙස කිරුළු පළඳවන්නට රාම කුමරු පෙළඹීම මේ අනුව පුදුමයකට කරුණක් නොවේ. මෙම කිරුළු පැළඳවීම ‛පත්තාභිෂේකම්’ නම් වූ අතර එය සිදුකරන ලද්දේ ද මෙම කෝවිලෙහි බව පැවසේ. එම සිදුවිම්වලට අදාළ සිතුවම් ද කෝවිලෙහි බිත්ති මත දක්ට ලැබේ. විභීෂණ යනු රාමාගේ කෙතරම් සමීප හිතෛෂිවන්තයෙක් ද යත් රාමේෂ්වරම් හි පිහිටි ‛කොතන්ඩරාමාස්වාමි’ කෝවිලට ගොඩ වැදීමෙන් දැකගත හැකිය. එහි රාම, සීතා, ලක්ෂ්මණ, හනුමාන් හැරුණු විට විභීෂණ වෙනුවෙන් ද ප්‍රතිමාවක් ඉදිකොට තිබේ. මෙය වූ කලී 1964 දී සුළි සුළඟෙන් ගැළවුණු එකම ඓතිහාසික ගොඩනැගිල්ල මෙය වන අතර මුහුදෙන් වට වූ මෙය සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් පවට පත්ව තිබේ. රාම කුමරු ශ්‍රී ලංකාව කරා වූ ගමන ආරම්භ කළේ මෙම කෝවිල පවතින ස්ථානයේ සිට බැව් පැවසේ.
විභීෂණ ශ්‍රී ලංකාවේ පාලනයට පත්වීමෙන් පසු ඔහු ‛රාම පාළම’ බිඳ දමන ලෙස රාමගෙන් ඉල්ලා සිටියේය. රාමා සිය දුන්නෙහි එක් කොණකින් පහර දී පාළම බිඳ දැමුවේය. මේ ආකාරයට මෙම නගරය ‛ධනුෂ්කොඩි’ නම් විය. එහි අරුත වන්නේ ‛දුන්නෙහි කෙළවර’ යන්නයි. එනම් ‛ධනුෂ්’ යනු ‛දුන්න’ වන අතර ‛කොඩි’ යනු ‛කෙළවර’ යි. කෙසේ මුත් දෙරට අතර භෞමික වශයෙන් සම්බන්ධයක් පැවති බැව් දැක්වෙන භූ ලක්ෂණ වර්තමානයේ පවා දැකිය හැකිය. මෙම කිලෝ මීටර් 18ක මුහුදු මාර්ගය හරහා පාළමක් සේ වැටුණු පර්වත වැනි භූමි ලක්ෂණ අදටත් දැකිය හැකිය. ඓතිහාසික කතා පුවතට අනුව මෙය රාම පාළමේ ශේෂයන් වන අතර භූ විද්‍යාත්මක විග්‍රහයට අනුය මෙය වසර දහස් ගණනකට පෙර දෙරට අතර පැවති භූමි සබඳතාවය පෙන්නුම් කරමින් ශේෂව ඇති ‛මුහුදු දඹ’ ය. මෙම දඹ ඇතැම් ස්ථානවලදී මුහුදින් මතුව පවතින අතර, ඇතැම් ස්ථානවල නොගැඹුරු මුහුදේ ගිලී ඇති ආකාරය පෙනේ. වර්තමානයේ අප රටෙහි දක්නට නෙැලැබෙන සිංහයන්, රයිනෝසිරස් වැනි සතුන්ගේ පොසිල හමුවන්නට හේතුව නම් අදින් වසර දහස් ගණනකට පෙර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති මෙම භෞමික සම්බන්ධතාවය නිසා සතුන් සංක්‍රමණය වීමේ ප්‍රතිඵලයයි. සතුන් සංක්‍රමණය වූයේ නම් මිනිසුන් ද මේ ආකාරයෙන් සංක්‍රමණය වන්නට ඇත.
අප රටෙහි සංචාරකයන් දඹදිව හැරුණු විට ඉන්දියාවේ තවත් බොහෝ ස්ථාන වෙත සංචරණය කළ ද රාමේෂ්වරම් හා ධනුෂ්කොඩි ඔවුන් බොහොමයකගේ ගමනාන්තවල නැති බැව් පෙනෙන්නට තිබේ. ධනුෂ්කොඩි යනු පාළු, හොල්මන් නගරයක් ලෙස ප්‍රකටව ඇතත් එය වර්තමානයේ සුප්‍රකට සංචාරක ස්ථානයකි. නගරය මිය ගිය ද එහි තවමත් ජීවත්වන මිනිස්සු සිටිති. ස්ථානීය ලක්ෂණ නිසා එය ඡායාරූප ශිල්පීන්ගේ ද ආකර්ෂණීය ස්ථානයක් බවට පත්ව තිබේ.
ධනුෂ්කොඩි කරා අප රටෙහි සිට ගමන් ගන්නේ නම් තෝරාගත යුත්තේ මදුරෙයි ගුවන් තොටුපළයි. ශ්‍රී ලංකාවේ සිට මදුරෙයි බලා ගමන් කිරීම සඳහා අඩුවියදම් ගාස්තු පිළිබඳ සොයා බලා එවැන්නක් තෝරාගත හැකිය. සාමාන්‍ය තොරතුරුවලට අනුව ඉන්දියාවට අයත් ‛ස්පයිස් ජෙට්’ නම් සංචාරක සමාගමේ ගාස්තු වෙනත් ඒවාට වඩා අඩු බැව් පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය රු. 18,000ක් ද, මිහින් ලංකා සේවය රු. 10,900ක් පමණ අයකරද්දී ස්පයිස් ජෙට් හි ගාස්තුව වන්නේ 8,600 ක් වැනි මුදලකි. අප රටෙහි සිට මදුරෙයි දක්වා ගමන් කිරීමට පැයකට ආසන්න කාලයක් ගතවේ.
රාමේෂ්වරම් සිට ධනුෂ්කොඩි දක්වා ගමන් කළ යුතු වන්නේ මෙවැනි ට්‍රක් රථ මගිනි |
එහි සිට රාමේෂ්වරම් දක්වා කිලෝ මීටර් 169ක් පමණ පවතින අතර වාහන තදබදයක් නැති අවස්ථාවක නම් පැය තුනහමාරකින් පමණ රාමේෂ්වරම් දක්වා මහා මාර්ගයේ පොදු ප්‍රවාහන සේවයකින් ගමන් කළ හැකිය. එමෙන්ම මදුරෙයි සිට රාමේෂ්වරම් දක්වා දුම්රියෙන් ද ගමන් කළ හැකි අතර මදුරෙයි ප්‍රධාන දුම්රිය නැවතුම් ස්ථානයෙන් මේ පිළිබඳ තොරතුරු සහ දුම්රිය කාලසටහන් ලබාගත හැකිය. මේ සඳහා ද පැය තුනක පමණ කාලයක් ගත වේ. රාමේෂ්වරම් සිට ධනුෂ්කොඩි දක්වා පොදු ප්‍රවාහන සේවයක් නොමැති අතර ගමන් කළ යුත්තේ කුළී වාහනයකිනි. වඩදිය සමයේදී රමේෂවරම් සිට ධනුෂ්කොඩි දක්වා ගමන් ගන්නා මාර්ගය සුළු වශයෙන් ජලයෙන් යටවේ. දුර සිට දකින්නකුට මෙහිදී පෙනෙන්නේ මුහුද මැදින් වාහනයක් ගමන් කරන ආකාරයකිනි. බාදිය සමයේදී මෙම මාර්ගය වැල්ලෙන් වැසී යයි. ධනුෂ්කොඩි දක්වා ගමන්කිරීමට අවශ්‍ය වාහන රාමේෂ්වරම් හිදී සොයාගන්නට හැකි අතර තමිල්නාඩු නගරයේ පවතින බොහෝ සංචාරක ආයතනවලින් ධනුෂ්කොඩි කරා ගමන් කරන්නට අවශ්‍ය කරන මගපෙන්වීම් කරනු ලබයි. ඔක්තෝබර් සිට මාර්තු දක්වා ධනුෂ්කොඩි සංචාරයට හොඳම කාලය වේ.
මං හිතන්නෙ නිරංජන් අය්ය ලියපු හොදටම කරුණු දක්වපු වගේම දිගම ලිපිය...
ReplyDeleteසමහර විට ලංකාවයි ඉන්දියාවයි අතර ඔය කියන්න වගේ දෙයක් වෙන්නත් බැරි නෑ මේ තියන තත්වෙ හැටියට
අදහසට ස්තූතියි. මමත් හිතන්නේ දැන් විවෘත වීසා ත් ඇති නිසා එවැනි සමිබන්ධයක් ඇතිවන්නට ඉඩ තියෙනවා.
Deleteබොහොම හොඳ විස්තරයක්. ඓතිහාසික ඡායාරූප කීපයකුත් එකතුකොට තිබීම ඉහලින්ම අගය කරනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නැවත දුම්රිය සේවයක් ඇතිකළ හැකිනම් හොඳයි. නමුත් ඉන්දියාවේ 'සේතු සමුද්‍රම්' ව්‍යාපෘතිය නිසා එයට බාධා වනු ඇති.
ReplyDeleteඅදහස්ට ස්තූතියි. මම එක තැනක දැක්කා සේතු සමුද්‍රම් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුණොත් මේ කෝවිල විනාශ කරන්න සිදුවන බව. එයට ඉන්දියාවේ කිසිවෙක් කැමති වෙන එකක් නැහැ. නමුත් විකල්ප ක්‍රම ඔස්සේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයිද කියන්න බැහැ.
Deleteඅපුරු ලිපියක්,ධනුෂ්කොඩියේ සංචාරයක යන්නත් හිතුණා.එත් ලංකාවේ කොයි තරම් තැන් තියෙනවාද තාමත් නොගිය යන්න ඕනේ තැන්.
ReplyDeleteඒක ඇත්ත. අපේ රටේ තියෙන තැන් ඔක්කෝම බලන්න අපට ජීවිත කාලෙත් මදි වෙයි. ඒත් පිටරටක් බලන්න යන්න අවස්ථාවක් ලැබුණොත් ඒක මගහරින්නත් එපා.
Delete