ලෝකයේ දවසින් දවස අලුතින් පුදුමාකාර සොයා ගැනීම් සිදු වෙනවා. ඒවා නිර්මාණය කළ ආකාරයත්, ක්‍රියා කරන ආකාරයත් එහි නිර්මාපකයන් විසින් විස්තර කරනවා. ඒ නිසා පුදුමාකාර වුවත්, ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දන්නා නිසා ඒවා අප ඉදිරියේ අභිරහසක් ලෙස ඉතිරි වෙන්නේ නෑ. නමුත් පුදුමාකාර මෙන්ම අප ඉදිරියේ අභිරහසක් ඉතිරි කරමින් සිදු වූ නිර්මාණයන් ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා. විශේෂත්වය වන්නේ මේවා වර්තමානයේ නොව අදින් වසර දහස් සිය දහස් ගණනකට පෙරාතුව කළ නිර්මාණ වීමයි. මේවායේ ක්‍රියාකාරීත්වය පුදුම සහගතයි. නමුත් එසේ ක්‍රියාත්මක වන ආකාරය අදටත් අභිරහසක්. මේ කියන්න හදන්නේ ඒ වගේ දේවල් කිහිපයක් ගැනයි.
අභිරහස් ග්‍රීක ගින්න
හත් වැනි සියවසේ දී පමණ ආරම්භ වූ නැගෙනහිර රෝම අධිරාජ්‍යය විසින් යුද්ධවලදී භාවිතයට ගත් අභිරහස් ආයුධයක් ලෙස මෙය ඉතිහාස ගත වී තිබෙනවා. මේ ආයුධය තුළ එක්වර ගින්නක් ඇති කොට එය සතුරා දෙසට විදිය හැකි පරිද්දෙන් සකස් කොට තිබුණු බව පැවසෙනවා. මේ ගින්න මගින් ක්ෂණිකව සම පිළිස්සී ගිය අතර ජලයෙන් විද නිවා දැමීමේ හැකියාවක් තිබුණේ ද නැහැ. මොවුන් මේ අවිය භාවිත කොට තිබුණේ විශේෂයෙන් මුදු සටන්වලදී. බොහෝ අනතුරුවලින් සිය අධිරාජ්‍යය ගළවා දෙන්නට මේ ගින්න සමත් වූ බව පැවසෙනවා. කෙසේ නමුත් මෙයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ එම අමුද්‍රව්‍ය එක් කොට ගින්න නිර්මාණය කර ගන්නා ආකාරය කිසිදු ඉතිහාස පොතක සඳහන් වී නැහැ. ඉතිහාසඥයන් පවසන්නේ මෙය ‛පවුලේ රහසක්’ ලෙස පැවතී එම පවුලේ අවසානයත් සමග ඉතිහාසයෙන් ද මෙය මැකී යන්නට ඇති බවයි. ඕස්ට්‍රේලියානු රූපවාහිනී වැඩසටහනක් වූ ‛මිත්බස්ටර්ස්’ මගින් තරගයක් පවත්වනු ලැබුවා. එහි අරමුණ මෙවැනි පැරණි සංකල්ප යළි ක්‍රියාත්මක කොට පෙන්වීමයි. මේ අනුව එක් පිරිසක් විසින් ග්‍රීක ගින්න ප්‍රතිනිර්මාණය කොට තිබුණා. මේ සඳහා ඔවුන් භාවිතයට ගෙන තිබුණේ බොර තෙල් සහ පිරිසිදු දුම්මල. ඔවුන් මිනිත්තු කිහිපයක කාලයක් තුළ එක් නැවක් මේ ගින්නේ ගිනිබත් කළා. කෙසේ නමුත් පැරණි රෝම අධිරාජ්‍යය විසින් මේ සඳහා භාවිත කළේ මේ අමුද්‍රව්‍යම ද කියා තවමත් සොයා ගෙන නැහැ.
ලොවෙන් සැඟවුණු ඩැමස්කස් ලෝහ
ඩැමස්කස් කියන්නේ සිරියාවේ අගනුවර. නමුත් මේ කතාව ඇසෙන්නේ ඈත අතීතයෙන්. ශ්‍රී ලංකාවෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලෝහ යම් යම් වෙනස්කම්වලට බඳුන් කොට ඩැමස්කස්වලදී විශේෂිත ලෝහයක් නිපදවනු ලැබුවා. මේ ලෝහයේ මතුපිට පෙනෙන්නේ ජලය ආකාරයෙන්. ඔවුන් මේ ලෝහය භාවිත කොට තිබුණේ කඩු ආදී අවි නිෂ්පාදනය කිරීම සඳහායි. මෙයින් නිපදවන ලද කඩුවල තලය ඉදිරියට හා පසුපසට කිසිදු ගැටලුවකින් තොරව නවන්නට හැකියාව තිබුණා. තලයට එයින් කිසිදු හානියක් සිදුවූයේ ද නැහැ. එමෙන්ම මෙහි ඇති තියුණු බව පිළිබඳ ඉතිහාසය මුළුල්ලේම බොහෝ තැන්වල ලියැවී තිබෙනවා. මේවා කෙතරම් තියුණ ද කීවොත් පා වී යන රෙදිකඩක් පවා දෙකඩ වන සේ පහසුවෙන් කපන්නට මෙයට හැකියාව තිබූ බව පැවසෙනවා. කෙසේ මුත් මෙම ලෝහ නිෂ්පාදනය කරන ලද්දේ කුමනාකාරයෙන් කියා කිසිවකු දන්නේ නැහැ. මෑතකදී මෙම ලෝහය නිපදවන්නට කිහිප දෙනෙක්ම උත්සාහ කළත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැහැ.
ලෝකයේ නොපවතින බසකින් ලියූ වොයිනිච් ලියවිල්ල
අපට තේරෙන්නේ නැති යමක් දුටු විට කියන්නේ ‛අණ්ඩර දෙමළ’ කියායි. එසේ වුවත් ඒවා ද තේරුම් ගන්නට ක්‍රම තිබෙනවා. නමුත් මේ කියන්න යන වොයිනිච් ලියවිල්ල නම් කෙසේවත් කියවා ගන්නට හැකියාවක් නැහැ. හේතුව මෙය ලියැවී ඇති භාෂාව මේ ලෝකයේ කොතැනකින් හෝ සොයා ගන්නට නොහැකි වීමයි. සම්පූර්ණයෙන්ම අතින් ලියා ඇති මෙහි දිය කිඳුරියන්ගේ රූප, විවිධ මල්, ශාකවල රූප බොහෝ ගණනක් දක්නට ලැබෙනවා. 15 වැනි සියවසේ දී පමණ මධ්‍යම යුරෝපයේ දී මෙය ලියැවී ඇති බව සොයා ගෙන තිබෙන මෙම අභිරහස් ලියවිල්ල වර්ෂ 1912 දී පෝලන්ත-ඇමරිකානු මිශ්‍ර සම්භවයක් ඇති විල්ෆ්‍රිඩ් එම්. වොයිනිච් විසින් මිලට ගෙන තිබෙනවා. ලෝකයේ මිනිසුන් කුමක් හෝ දෙයක් පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මේ ලියවිල්ල ලියා ඇති මුත්, මෙය තවමත් තේරුම් ගන්නට නොහැකි වී ඇති නිසා ඒ අරමුණ අසාර්ථක වී තිබෙනවා.
ප.ලි.
මෙම ලිපිය ලියන මොහොතේ දී නොදැන සිටියත්, බ්ලොග් මිතුරකු වන Pra Jay විසින් දැමූ කොමෙන්ටුවකින් මේ අභිරහස විසඳී ඇති බව දැනගන්නට ලැබුණා. ඔබගේ දැන ගැන්ම පිණිස ඒ පිළිබඳ විස්තරයට අදාළ සබැඳිය මෙසේ සඳහන් කරන්නට කැමතියි.
ඇන්ටිකිතේරා හෙවත් ඉපැරණි ග්‍රීක පරිගණකය
පරිගණකයක් කියන්නේ අපට යම් යම් තොරතුරු ලබා දෙන උපකරණයක්. ඇන්ටිකිතේරා කියන්නේත් එවැනි උපකරණයක්. ගියර තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන මෙයින් සඳෙහි කලා පිහිටීම, සූර්ය සහ චන්ද්‍ර දින දර්ශනය ඇතුළුව තවත් අභ්‍යවකාශ තොරතුරු රැසක් ගැන තොරතුරු ලබා දෙන බව පැවසෙනවා. වර්ෂ 1901 දී මුහුදේ දී තිබී හමු වී ඇති මෙය සාදා ඇත්තේ ක්‍රිස්තූ පූර්ව දෙවැනි සියවසේ දී පමණ බව සොයා ගෙන තිබෙනවා. මෙය නිෂ්පාදනය කොට වසර දහසකට පසුවත් මෙතරම් සංකීර්ණ උපකරණයක් නිපදවා නොමැති නිසා මෙහි නිර්මාපකයන් කුමන අරමුණක් සඳහා මෙය යොදා ගත්තේ දැයි දැනගන්නට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ.
සැන්ග් හෙන්ගේ භූ කම්පනමානය
මේ පින්තූරයේ තියෙන්නේ මෙයින් පැවසෙන සැබෑම භූ කම්පන මානය නොව එහි අනුරුවක්. මෙහි මුල් නිර්මාණය සොයා ගන්නට නොමැති අතර මෙය නිෂ්පාදනය කොට ඇත්තේ මෙයට සම්බන්ධ රූප සටහන් ඇසුරින්. චීනයේ ලියනාඩෝ ඩාවින්සි ලෙස විරුදාවලි ලත් සැන්ග් හෙන්ග් විසින් ක්‍රිස්තු වර්ෂ වර්ෂ 132 දී පමණ නිර්මාණය කරන ලද මෙයින් සැතපුම් හාරසියයක් පමණ දුරින් සිදුවන භූ කම්පන පවා දැනගත හැකි යැයි ඉතිහාස පොත පතෙහි සඳහන් වෙනවා. එපමණක් නොව එය සිදුවන්නේ කුමන දිශාවේ ද යන්නත් මෙයින් සොයා ගත හැකි වූ බවයි පැවසෙන්නේ. මෙය ක්‍රියාත්මක වී තිබෙන්නේ මේ ආකාරයෙන්. මේ උපකරණය වටා ප්‍රධාන දිශා පෙන්වන මකරුන් සිටිනවා. යම් දිශාවක භූ කම්පනයක් සිදු වූ විට එම දිශාවට අදාළ මකරාගේ කටේ සිට යට සිටින ගෙම්බාගේ මුවට ලෝහ ගුලියක් වැටෙනවා. භූ කම්පනයක් සිදුවන බවත් එය සිදුවන්නේ කුමන පැත්තේ ද යන්නත් එවිට සොයා ගන්නට පුළුවන්. කෙසේ නමුත් රූප සටහන් ඇසුරින් මේ උපකරණය නිපදවන්නට කිහිප වතාවක් උත්සාහ කළත්, මෙහි කියැවෙන ක්‍රියාකාරීත්වය නම් එයින් ලබාගන්නට නොහැකි වී තිබෙනවා.
දිල්ලියේ මල නොබැඳෙන කුළුණ
ඉන්දියාවේ දිල්ලි නගරයේ ඇති මල නොබැඳෙන කුළුණ ලෝකයේ ඉතා සුප්‍රකට, එමෙන්ම අභිරහස් වස්තුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ‛අශෝක් කුළුණ’ නමින් ද ප්‍රකට, වසර 1600 ක පමණ ඉතිහාසයක් ඇති මෙය කිසිදු ආකාරයකින් මල බැඳීමකට ලක්වන්නේ නැහැ. අඩි 23 යි අඟල් 8ක් උස අඟල් 16ක විශ්කම්භයක් සහිත මෙය ගොඩ නගා ඇත්තේ ‛චන්ද්‍ර’ නම් රජු බව සඳහන්. මේ කුළුණේ විශේෂත්වය නිසා මෙය පුරා විද්‍යාඥයන්ගේ සහ භෞතික විද්‍යාඥයන්ගේ අවධානයට ලක් ව තිබෙනවා. විද්‍යාඥයන් පවසන්නේ මෙය දිල්ලි කාලගුණයට ගැළපෙන සේ විශේෂයෙන් සකස් කොට ඇති බවයි. විවිධ ලෝහ වර්ග එකිනෙක මිශ්‍ර කිරීමෙන් මල බැඳීම වළක්වා ඇති බව පැවසෙනවා. කෙසේ නමුත් මේ ආකාරයට ලෝහ මිශ්‍ර කොට පසුකාලීනව නිර්මාණය කර ගන්නා ලද ලෝහ කලක් යද්දී මල බැඳී තිබෙනවා. මේ නිසා මේ කුළුණේ තවමත් සොයා ගත නොහැකි අභිරහසක් පවතින බවයි කිව හැක්කේ.
ෆයිස්ටොස් තැටිය
ෆයිස්ටොස් තැටිය නමින් ප්‍රකට මෙය 1908 දී ක්‍රීටයේ තිබී සොයා ගනු ලැබුවා. සෙ.මී. 15 ක විශ්කම්භයකින් යුක්ත මෙය මැටිවලින් තනා පුළුස්සා සකස් කොට තිබෙනවා. මෙහි විවිධ සංකේත, සර්පිලාකාර ආකාරයෙන් මුද්‍රා තබා ඇති බවක් තමයි දක්නට ලැබෙන්නේ. මෙය තනන ලද ස්ථානය හෝ කුමන අරමුණකින් මෙය නිර්මාණය කළේ ද යන්න පිළිබඳ තවමත් පුරා විද්‍යාඥයන් අතර මතභේද පවතිනවා. වෙනත් අයුරකින් පැවසුවහොත් මෙය තවමත් පවතින්නේ පුරා විද්‍යා අභිරහසක් ලෙසයි. ක්‍රිස්තු පූර්ව 1700 දී පමණ මෙය නිර්මාණය කරන ලද බවයි පුරා විද්‍යාඥයන් පවසන්නේ. ඇතැම් පුරා විද්‍යාඥයන් සඳහන් කරන්නේ මෙය සංගීත ස්වර ලිපියක් විය හැකි බවයි. එමෙන්ම තවත් විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ මෙය ඉපැරණි යතුරු ලියනයක් වන්නට හැකියාව පවතින බවයි. කෙසේ නමුත් මෙහි අභිරහස තවමත් විසඳී නැහැ.
ගොඩක් ස්තූතියි. අපේ තිසා වැව අයිනෙ රන්මසු උයනෙ තියෙන චක්‍රාකාර ගල් කැටයමත් ඔය වගේ. හදපු අරමුණක් හෝ ඊට සමාන තවත් කැටයමක් හොයාගන්න නෑ
ReplyDeleteඔව් ඒක ඇත්ත. මම ඒ ගැන එක තැනක දැකපු විස්තරයක හැටියට ඒ හා සමාන ගල් කැටයම් තව දෙකක් ලෝකයේ තිබිලා තියෙනවා. එකක් ඊජිප්තුවේ. අනෙක මායා ශිෂ්ටාචාරයේ. මේවා එක්තරා ආකාරයක සන්නිවේදන මධ්‍යස්ථාන විදියටයි ඒ විස්තරයේ තිබුණේ. මේ ස්ථාන තුනේ ඉඳන් එකිනෙකා සමග කතා බහ කරන්න හැකියාව තිබිලා තියෙනවා.
Deleteමෙන්න මෙතන තියනවා ඒ කැටයමයි, ඊජිප්තුවෙයි, මෙසපොටේමියාවෙයි තිබුණු කැටයම් එක්ක නැස්කා රේඛාත් සසඳලා. පොඩ්ඩක් කියවල බලන්න වෙලාවක් තියේ නම්...
Deletehttp://drackey.blogspot.com/2013/04/blog-post_11.html
ඔන්න මම ඒක කියෙව්වා. නියමයි ඒ පෝස්ට් එක.
Deletehttps://arstechnica.com/science/2017/09/the-mysterious-voynich-manuscript-has-finally-been-decoded/
ReplyDeleteඒ කියන්නේ ඒක තවදුරටත් රහසක් නෙවෙයි කියන ඒක නේද? ස්තූතියි දැනුවත් කළාට.
Delete