පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, March 26, 2019

දියමන්ති ගැන කයි කතන්දර - Diamond Story



රටේ ප්‍රශ්න සහ අපේ ප්‍රශ්න අමතක වෙන තරමට අපට එදිනෙදා කතා කරන්න දේවල් හැමදාම තියෙනවා. ඒ කතා කරන දේවල් අතර ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන එක් දෙයක් තමයි මෑතකදී සිදුවුණු මහා දියමන්ති මංකොල්ලය. පැරණි සිංහල චිත්‍රපට නරඹා තිබෙනවා නම් දියමන්ති මංකොල්ලයක් ගැන නිර්මාණය වුණු දියමන්තියචිත්‍රපටයත් මේ වෙලාවේ බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්න පුළුවන්. ඒ වගේම ලෝක ප්‍රකට හොලිවුඩ් සිනමා නළුවකු වන ලියොනාඩෝ ඩිකැප්‍රියෝ රංගනයෙන් දායක වූ බ්ලඩ් ඩයමන්ඩ්චිත්‍රපටයත් මතකයට නැගෙන්න පුළුවන්.




Blood Diamond Movie Trailer from Kayla Mckay on Vimeo.


දැනට කතාබහට ලක් වී සිටින පාතාල ලෝකයේ අංක එකේ මැරයකු වන මාකඳුරේ මධුෂ් ද සම්බන්ධව සිටින මේ දියමන්තිය ලක්ෂ 700 ක් පමණ වටිනා බව කියැවෙනවා. තවත් ප්‍රවෘත්තියකින් කියැවෙන්නේ මෙයට අපේ රටේ මිලක් නියම කරන්න බැරි තරම් මිල අධික බවයි. මේ හැම කතාවකින්ම අපට දැනෙන දේ තමයි මේ දියමන්ති කියන පාෂාණ වර්ගය  මිල අධික බව. මිල අධික නිසාම දියමන්තියක් පසුපස මහා අපරාධ රැසක්ම තියෙන්න පුළුවන්. කලින් සඳහන් කළ බ්ලඩ් ඩයමන්ඩ්චිත්‍රපටයේ පෙන්වන්නේ ආභරණ සාප්පුවක අප ඉතා අලංකාර ලෙස දකින දියමන්තියක්, එතැනට පැමිණෙද්දී, ඒ දියමන්තිය වටා කොයි තරම් ලේ ප්‍රමාණයක් ගෑවී තියෙනවා ද කියන එකයි.  

ඇත්තටම මේ තරමට වටිනා දියමන්ති කියන්නේ මොනවද? අපි දියමන්ති ගැන ලොකු ලොකු දේවල් කතා කළාට මේ මූලික දේ සමහර විට නොදන්නවා වෙන්න පුළුවන්.  

දියමන්තියක් කියන්නේ අපි කවුරුත් දන්නා විදියට මැණික් පවුලට අයත් පාෂාණ වර්ගයක්. නමුත් අනෙක් සියලු මැණික් වර්ගවලට වඩා දියමන්ති කියන්නේ වෙනස් විදියේ පාෂාණයක්. අපි ඒ ගැන පසුව කතා කරමු. දියමන්ති කියන්නේ ඝන කාබන්වලින් පමණක්ම නිර්මාණය වුණු පාෂාණයක්. මෙය ස්ඵටික ආකාරයෙන් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම දියමන්ති අධික ශක්තියක් සහිත පාෂාණයක්. මේවා බිඳ දමන්න ලොකු බලයක් අවශ්‍ය වෙනවා. තාපය අධික ලෙස දරාගන්නට ඇති හැකියාව නිසා කර්මාන්ත ක්ෂේත්‍රයේ විවිධ වැඩකටයුතු සඳහා ද දියමන්ති යොදා ගන්නවා. අද අපි දකින දියමන්තිවල වයස අවුරුදු බිලියන 1 - 3.5 ක් පමණ වෙනවා. මොකද දියමන්තියක් නිර්මාණය වෙන්න ඒ තරම් කාලයක් ගත වෙන නිසයි. මේවා සෑදෙන්නේ ද පොළොව මතුපිට සිට කිලෝමීටර් 150 - 250 ක් තරම් ගැඹුරේ.  

අනෙක් මැණික්වලට වඩා දියමන්ති වෙනස් ඇයි?

හැම දියමන්තියක්ම මැණිකක්. නමුත් හැම මැණිකක්ම දියමන්තියක් නෙවෙයි. දියමන්ති සෑදී තිබෙන්නේ තනිකරම කාබන් කියන මූලද්‍රව්‍යයෙන් පමණයි. නමුත් අනෙක් සෑම මැණික් වර්ගයක්ම නිර්මාණය වන්නට මූල ද්‍රව්‍යය දෙකකට වැඩි සංඛ්‍යාවක් දායක වී තිබෙනවා. ඊට අමතරව ශක්තිමත් බවින් සහ කල් පැවැත්මෙන් දියමන්ති අනෙක් මැණික්වලට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නවා.  

දියමන්ති මේ තරම් වටින්නේ ඇයි?

මේ දිනවල කතා කරන ජනප්‍රියම දියමන්තිය ලක්ෂ 700 ක් හෝ ඊටත් වඩා වටිනා බව අපි දන්නවා. ඒක සාමාන්‍ය ජීවිත ගත කරන අපට හිතා ගන්නත් අමාරු මිලක්. ඈත අතීතයේදීත්  දියමන්තිවලට ඉතා ඉහළ වටිනාකමක් තිබුණා. ඒවා පොළොවේ ඉතා ගැඹුරින් හමු වන නිසා පහසුවෙන් යමෙකුට දියමන්තියක් හිමි කර ගැනීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. කොහොම වුනත් 1800 ගණන්වලදී බ්‍රිතාන්‍ය ජාතික ආකරකරුවන් දකුණු අප්‍රිකාවේ දියමන්ති ආකර කර්මාන්තය පටන් ගත්තා. ඔවුන් ඒ කාලයේ හැටියට තිබුණු ඉහළම තාක්ෂණය යොදා ගත් අතර ප්‍රතිඵලය වුණේ හිතපු නැති විදියට දියමන්ති මතුවන්නට පටන් ගැනීමයි. අවසානයේ දියමන්තිවලින් වෙළෙඳ පළ පිරී, ඒවායේ වටිනාකම ශීඝ්‍ර ලෙස පහළ බහින්නට පටන් ගත්තා. ඕනෑම කෙනෙකුට සෑහෙන තරමේ දියමන්තියක් මිලට ගන්නට හැකියාව ඇතිවෙන්නට පටන් ගත්තා. එන පොට හොඳ නැති බව දැන ගත්තු සිසිල් ජෝන් රෝඩ්ස් කියන බ්‍රිතාන්‍ය ජාතික ආකර හිමියා ඩි බියර්ස්නමින් දියමන්ති ආකර සමාගමක් ආරම්භ කරලා, ඒ කාලයේ දකුණු අප්‍රිකාවේ තිබුණු සෑම දියමන්ති ආකරයක්ම මිලට ගන්නට පටන් ගත්තා. මේ වැඩේට ඔහුට අවුරුදු 18ක්ම ගත වුණා. ඉන් පසු කළේ  වෙළෙඳපලට දියමන්ති ඇතුළු වීම දැඩි ලෙස පාලනය කිරීමයි. ඔවුන් නැවත දියමන්ති දුර්ලභ මැණිකක් බවට පත් කළා. ඔවුන් වෙළෙඳපලට දියමන්ති නිකුත් කළේ ඒවාට ඇති වාර්ෂික ඉල්ලුමටත් වඩා අඩු ප්‍රමාණයකින්. ඊට අමතරව ඒ කාලයේ හිටිය ලෝක ප්‍රකට නිළියන්ට, ජනප්‍රිය කාන්තාවන්ට දියමන්ති නොමිලේ ලබා දුන්නා. ඔවුන් ඒවායෙන් ආභරණ සාදවා පළඳින විට, දියමන්තිවලට ඇති ඉල්ලුම තවත් වැඩි වෙන්නට පටන් ගත්තා. ප්‍රතිඵලය වුණේ දියමන්තියක් දැක්කොත් හොරකම් කරගෙන දුවන්න හිතෙන තරමට ඒවාට ඇති ඉල්ලුම සහ වටිනාකම අධික ලෙස ඉහළ යාමයි. අදත් දියමන්ති ආකර හිමියන් කරන්නේ මේ දෙයයි. ඈත අතීතයේ තරම් අද කාලයේ දියමන්ති සොයා ගන්න දුෂ්කර නැතත්, කෘත්‍රීමව මේවා සීමා කිරීම නිසා අදටත් දියමන්ති ලෝකයේ වටිනාකම මැණිකක් බවට පත් වී තිබෙනවා. දියමන්ති සමග සසඳන විට නිල් මැණික්, රතු මැණික් ආදිය සොයා ගන්න බොහෝ දුෂ්කරයි. නමුත් මිනිස්සු දුවන්නේ දියමන්ති පසු පසයි.

වටිනාම දියමන්ති

හෝප් දියමන්තිය


ලෝකයේ වටිනාම දියමන්ති කිහිපයක්ම තියෙනවා. එයින් මුල් තැනට වැටෙන්නේ හෝප්කියන දියමන්තියයි. මෙය නිලට හුරු දියමන්තියක්. දැනට තක්සේරු කොට තිබෙන ආකාරයට එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 250කටත් වඩා අධිකයි. අපේ රටේ මුදලින් නම් රුපියල් මිලියන 44,637ක් පමණ වෙනවා. මෙය කැරට් 45.52 කින් යුක්තයි. සියවස් 4ක පමණ ඉතිහාසයක් ඇති මෙය අයත්ව තිබුණේ ඉන්දියාවටයි. 1791 දී එය සොරකම් කරනු ලැබුවා. මෙය බොහෝ පුද්ගලයන්ගේ අතින් අතට ගොස් අවසානයේ 1958 වසරේ දී වොෂිංටන් කෞතුකාගාරයේ තැන්පත් කරනු ලැබුවා. ලෝකයේ තවත් මිල අධිකම දියමන්තියක් තමයි පින්ක් ස්ටාර්කියන්නේ. මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 71.2 (රුපියල් මිලියන් 12,712ක් පමණ) වෙනවා. මෙය හමු වෙද්දී කැරට් 132.5ක බරකින් යුක්ත වුවත්, කපා ඔප දැමීමෙන් පසු කැරට් 59.6ක් දක්වා අඩු වුණා. මීට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 57.5 ක වටිනාකමකින් යුක්ත ඕපන්හයිමර් දියමන්තිය’, ඇමරිකානු ඩොලර් මිලියන 55ක වටිනාකමකින් යුක්ත එල්ඉන්කම්පැරබල්දියමන්තිය ඇතුළු තවත් කිහිපයක්ම මේ ලැයිස්තුවේ තිබෙනවා.

පින්ක් ස්ටාර් දියමන්තිය




ඕපන්හයිමර් දියමන්තිය


ඇතැම් විට දියමන්තියක වටිනාකම නියම වෙන්නේ එහි කැරට් ප්‍රමාණය අනුවම නොවෙන්න පුළුවන්. එහි ඇති පැහැය, වෙනත් කාරණා නිසා ඇති වන ඉල්ලුම, එයට යොදා ඇති නමෙහි ඇති ජනප්‍රියත්වය, එය පෙර භාවිත කළ පුද්ගලයන්ගේ තරාතිරම ආදී බොහෝ කාරණා එහි වටිනාකම වෙනස් කරන්නට හේතු විය හැකි බව කිව හැකියි.

ලෝක ප්‍රකට දියමන්ති මංකොල්ල

අපට අද මේ කතාව පටන් ගන්න හේතු වුණේ දියමන්තියක් මංකොල්ල කෑමේ සිදුවීමක්. ලෝකයේ සිදුවුණු එකම දියමන්ති මංකොල්ලය මෙය නොවන බව හැමෝම දන්නවා. නමුත් ඒ මංකොල්ලකෑම් ගැන නම් වැඩි දෙනෙක් නොදන්නවාට සැකයක් නැහැ. දැනට ලෝකයේ සිදුවුණු දැවැන්තම දියමන්ති මංකොල්ලය හැටියට විකිපීඩියාව සඳහන් කරන්නේ බෙල්ජියමේ ඇන්ට්වර්ප් දියමන්ති මධ්‍යස්ථානයේ සිදුවීමයි. මෙය සිදුවුණේ 2003 වසරේ දි. මෙහිදී ඇමරිකානු ඩොලර් මිලියන 100 කට වැඩි දියමන්ති ඇතුළු තවත් වටිනා දේවල් මංකොල්ල කනු ලැබුවා. මෙහි දියමන්ති ආරක්ෂිතව තැන්පත් කොට තිබුණේ ප්‍රධාන මහලට, මහල් දෙකක් යටින්. ඒ වන විට ලෝකයේ තිබුණු සෑම ආකාරයකම නවීන තාක්ෂණික ආරක්ෂණ පද්ධති මෙහි සුරක්ෂිතතාව උදෙසා යොදා තිබුණා. මීට අමතරව මේ ගොඩනැගිල්ල සඳහාම වෙන් වූ ආරක්ෂක බලකායක් ද සිටියා. කෙසේ නමුත් මේ තරම් ආරක්ෂාවක් යටතේ තිබූ දියමන්ති ලියොනාඩෝ නොටර්බාර්ටොලෝගේ නායකත්වයෙන් යුක්ත පස් දෙනෙකු විසින් මංකොල්ල කනු ලැබුවා. ඔහු මේ මංකොල්ලය සැලසුම් කොට තිබුණේ වසර ගණනාවක සිටයි. ඔහු මේ ගොඩනැගිල්ලේම වෙනත් කාර්යාලයක් වසර ගණනාවක් තිස්සේ කුලියට ලබා ගෙන තිබුණේ සියලු සැලසුම් පහසු කර ගැනීම සඳහායි. මීට අමතරව 2002 වසරේ නෙදර්ලන්තයේ හේග් නගරයේ පැවති දියමන්ති ප්‍රදර්ශනයක දී සිදු වූ ඇමරිකානු ඩොලර් මිලියන 12 මංකොල්ලය, 2008 ඉතාලියේ මිලාන් හිදී සිදු වූ ඇමරිකානු ඩොලර් මිලියන 32ක දියමන්ති මංකොල්ලය, 2002 පෙබරවාරි මාසයේ බෙල්ජියමේ බ්‍රසල්ස් ගුවන් තොටුපලේදී සිදු වූ ඇමරිකානු ඩොලර් මිලියන 50 දියමන්ති මංකොල්ලය ඇතුළුව තවත් බොහෝ මංකොල්ලයන් ගැන මෙහිදී සඳහන් කරන්නට පුළුවන්.

ලෝකයේ සුප්‍රකට දියමන්ති

ද ග්‍රේට් ස්ටාර් ඔෆ් ඇෆ්‍රිකා



ද ග්‍රේට් ස්ටාර් ඔෆ් ඇෆ්‍රිකාකියන්නේ ලෝකයේ ඉතා සුප්‍රකට දියමන්තිවලින් එකක්. කැරට් 530.2 කින් යුක්ත මෙය මුහුණත් 17 කින් යුක්තව පෙයාර්ස් ගෙඩියක හැඩයට කපා ඔප දමා තිබෙනවා. මෙය බ්‍රිතාන්‍ය රජ පවුලට අයිති දියමන්තියක්. 1905 දී දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්වාල්වලදී හමු වී තිබෙනවා. මෙය කපා ඔප දැමීමට පෙර මෙයට වඩා විශාල මැණිකක්ව තිබී ඇති අතර එයින් ලොකු මැණික් 9 කුත් කුඩා මැණික් 96කුත් වන පරිදි බෙදා වෙන් කළත් මේ වන විට ඉතිරිව ඇත්තේ මෙය පමණයි. අනෙක්වාට සිදු වූ දෙයක් කිසිවෙකු දන්නේ නැහැ. ද ඔරියොෆ්කියන්නේ ලෝකයේ තවත් ජනප්‍රිය දියමන්තියක්. මෙය කැරට් 300 කින් යුක්තයි. ලා නිල් සහ කොල පැහැයකින් යුක්ත මෙය හමු වී ඇත්තේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ ඈත ප්‍රදේශයක වූ කෝවිලක විෂ්ණු දෙවිඳුන්ගේ දෑස්වල ගිල්වා තිබුණු දියමන්ති දෙකින් මෙය එකක් ලෙස මෙය සැලකෙනවා. මෙය සොරකම් කළ තැනැත්තා දියමන්ති දෙකම සොරකම් කරන්නට බියක් දක්වා තිබෙන බව කියැවෙනවා. මෙය දැනට තිබෙන්නේ රුසියාවේ මොස්කව්වල දියමන්ති භාණ්ඩාගාරයේ යි. සවිස්තරව කරුණු සඳහන් කරන්නට තරම් ඉඩකඩක් නැතත් ද සෙන්ටිනර්’, ද රීජන්ට්’, ‛කොහිනූර්’, ‛ද අයිඩල්ස් අයිආදී වශයෙන් වූ ලෝක ප්‍රකට දියමන්ති රැසක්ම ඉතිහාසයෙන් සොයා ගන්නට පුළුවන්.

සාප ලත් දියමන්ති

කොහිනූර් දියමන්තිය


දියමන්ති පසුපස ඇති කතා බොහෝ විට සුබදායක නොවන නිසා ඒවා සාප වැදීම (නවීන විද්‍යාත්මකව සාප යනුවෙන් යමක් පිළිගැනෙන්නේ නැති නමුත් යම් යම් ගුප්ත සිදුවීම් නිසා ඒවා පවතින බව මිනිසුන් අදටත් පිළිගන්නවා) අමුතු දෙයක් නෙවෙයි. සාප වැදීම අතරින් ප්‍රමුඛ ස්ථානයක තිබෙන්නේ ද හෝප්කියන දියමන්තිය බව බොහෝ තැන්වල සඳහන් වෙනවා. කැරට් 45.52කින් යුක්ත මෙහි ඉතිහාසය ඉතා දිගුවනවා සේම බොහෝ සිදුවීම් ද මේ සමග බැඳී තිබෙනවා. මෙයට හිමිකම් කියූවන් බොහෝ දුක් කරදරවලට මුහුණ පා තිබෙනවා. දහසය වන ලුවී රජුට සහ මාරි ඇන්ටෝනියෝ බිසවට ද මෙය අයත්ව තිබුණත් ඔවුන් දෙදෙනාම හිස ගසා දැමීමට ලක් වුණා. මෙය අවසන් වරට අයත්ව තිබුණේ ඇමරිකානු ජාතික සමාජ සේවකයකු වූ එවලින් මැක්ලීන්ටයි. ඔහුගේ දියණිය අධි මාත්‍රවකින් මත්ද්‍රව්‍ය ගැනීම නිසාත්, ඔහුගේ පුතා රිය අනතුරක් නිසාත් අකාලයේ මිය ගියා. අවසානයේ මෙය ඇමරිකාවේ ස්මිත්සෝනියන් දියමන්ති භාරයට එක් වුණා. සාප ලත් තවත් දියමන්තියක් තමයි කොහිනූර්කියන්නේ. කැරට් 109 කින් යුක්ත මෙහි ඉතිහාසය අවුරුදු 5000 ක් පමණ වන බව පැවසෙනවා. මෙය පසුපස ඇත්තේ රුධිරය වැගිරීම් බොහොමයක් බව සඳහන් කළ හැකියි. මෙය මුලින්ම හමුවුණේ ඉන්දියාවෙන්. ඉතිහාසය පුරා ලෝකයේ විවිධ ජාතීන් වරින් වර මෙයට හිමිකම පා තිබෙනවා. කෙසේ නමුත් මෙහි සාපය වදින්නේ පිරිමින්ට බව ඉතිහාසයම තහවුරු කොට තිබෙනවා. එක් බ්‍රිතාන්‍ය සෙබළෙක් සීක් ජාතිකයෙකුගෙන් මෙය සොරකම් කොට බ්‍රිතාන්‍ය රජ පවුලට ලබා දී තිබෙනවා. දැනට එය මව් රැජිනගේ ඔටුන්නේ දකින්නට ලැබෙනවා. මෙහි නියම අයිතිය ඇත්තේ තමාට බව පවසමින් ඇෆ්ගනිස්ථානය, ඉරානය සහ ඉන්දියාව අදටත් මෙය හිමි කර ගැනීමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල යෙදී සිටිනවා. මීට අමතරව දිල්ලි සැෆයර්’, ‛සැන්සි’, රීජන්ට්ආදිය සාප ලත් දියමන්ති ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටිනවා.






2 comments:

  1. pink panther කියන ප්‍රබන්ධමය දියමන්තියත් ගොඩක් ප්‍රසිද්ධයි. ඒක තුලින් බලනකොට රෝසපාට කොටියෙක් පේනවා යැයි කියනවා. ඒ තේමාවෙන් චිත්‍රපටි මට මතක හැටියට පහක්වත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. Pink Panther කියන නම අසා තිබුණාට ඒ නමින් තියෙන ප්‍රබන්ධමය දියමන්තිය ගැන මම දැනගෙන හිටියේ නැහැ. දැනුයි දැනගත්තේ. ඔව් ඒ තේමාවෙන් හදපු චිත්‍රපට නම් මමත් දැකලා තියෙනවා. ඒ ගැන කිව්වාට තැන්ක් යූ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න