පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, April 8, 2019

සෙවණැල්ලක් - A Shadow - Short Story by R K Narayan


රාසිපුරම් ක්‍රිෂ්ණස්වාමි ඉයර් නාරායන් (1906 ඔක්තෝබර් 10 – 2004 ඔක්තෝබර් 13) හෙවත් සුප්‍රකට ඉන්දීය ලේඛක ආර්.කේ. නාරායන් ඉංග්‍රිසි බසින් සිය නිර්මාණ කටයුතුවල යෙදුණු සාහිත්‍යධරයෙකි. ඔහුගේ නිර්මාණවලට නවකතා සහ කෙටිකතා ඇතුළත්ය. මේ කෙටිකතාව මා උපුටා ගත්තේ ඉන්දීය කෙටිකතා රැසක් ඇතුළත් වූ Let’s Go Home & Other Stories නම් කෘතියෙනි. මෙය මා විසින් පරිවර්තනය කරනු ලදුව, අදින් වසර 22 කට පෙර, එනම් 1997 ඔක්තෝබර් 22 වැනි කාන්තා පුවත්පතක පළවූවකි.


“හෙට මට චිත්‍රපටය බලන්න යන්න ඇනා හතරක් ඕනෑමයි

සම්බු පැවසුවේය. ඔහුගේ මව තිගැස්සුණාය. චිත්‍රපටය ඇරඹී ගෙවී යන මාස හය පුරා ඇගේ සිතේ පැවතෙන්නේ පුදුමාකාර වේදනාවකි. ඔහු තවම ජීවතුන් අතර නැති බව දැන දැනත් මිනිසුන් ඔහුගේ රුව නරඹනුයේ කෙසේදැයි ඇයට සිතිණි. ඇගේ සිතෙහි ඉපැදුණු වේදනාව නිසාම නිෂ්පාදකවරයා චිත්‍රපටය ප්‍රදර්ශනය නොකරනු ඇතැයි ඇය සිතුවාය. කෙසේ මුත් දැන් චිත්‍රපටය ප්‍රදර්ශනය වෙයි. ඇගේ සැමියා අඩුම තරමේ දැන් දිනකට පැය හයක්වත් මිනිසුන් ඉදිරියේ යළි ජීවමාන වන්නේය.
සිය පියා යළි ජීවමාන වීම පිළිබඳව සම්බු ප්‍රමෝදයට පත්ව සිටියේය.

“අම්ම එන්නේ නැද්ද මාත් එක්ක චිත්‍රපටිය බලන්න යන්න?

“නෑ!

“අනේ අම්මා එන්නම ඕන

චිත්‍රපටය නැරඹීම කෙතරම් වේදනාවක්දැයි පහදා දෙන්නට ඇයට හැකියාව තිබිණි. එහෙත් සම්බු හට එවැනි පහදා දීම් අදාළ වූයේ නැත.

පසුවදා මුළුල්ලේම සම්බු සිටියේ මහත් ප්‍රමෝදයකිනි. පංති භාර ගුරුතුමාගෙන් නෙත් ඉවතට යන සෑම මොහොතකම තම  සඟයා වෙත නැඹුරු වී,

“ඒ චිත්‍රපටියේ රඟපානවාට මගේ තාත්තාට රුපියල් දහදාහක් ගෙව්වා. අද හවස ඒක මම බලනවා. නුඹත් එනවද 'කුමාරි' බලන්න?

ඔහුගේ සඟයා මැළි වූයේය. ඔහු දෙමළ චිත්‍රපටවලට වෛර කළේය.

“මම ඒ පාරෙන්වත් යන්නේ නෑ

“මේක වෙන දෙමළ චිත්‍රපටි වගේ නෙවෙයි. මගේ තාත්තා හැම රැයකම අපට කතන්දර කියලා දෙන්න පුරුදු වෙලා හිටියා. මේ චිත්‍රපටියේ කතාව ලිව්වෙත් තාත්තා. ඒක ලස්සන කතාවක්. ඒක ලියනවටයි, රඟපානවටයි තාත්තාට රුපියල් දහදාහක් ගෙව්වා. නුඹත් එනවා නම්, මම නුඹව එක්ක යන්නම්

“මම දෙමළ චිත්‍රපටි බලන්නේ නෑ!

“මේක නිකම්ම දෙමළ චිත්‍රපටියක් නෙවෙයි. ඉංග්‍රීසි චිත්‍රපටියක් තරමටම හොඳයි.

එහෙත් සම්බුගේ සඟයා කැමැති වූයේ නැත. චිත්‍රපටය නැරඹීමට තනිවම යාමට ඔහුට සිදු විය. වයස දාහතරේ දී විවාහ වීමට අකැමැතිව, සරසවි අධ්‍යාපනය ලබා තනිවම ජීවත්වන්නට උත්සාහ දරන අතරේ සිය සැර පරුෂ පියා විසින් පන්නා දැමෙන ‘කුමාරි‘ නම් තරුණියක පිළිබඳ මේ චිත්‍රපටයෙන් කියැවිණි. සැර පරුෂ පියා වූයේ සම්බුගේ පියා ය. නමුත් පියා අවසානයේ ඇයට සමාව දෙන්නේය. සම්බු චිත්‍රපටය ඇරඹෙන තුරු බලා හුන්නේය. ඔහු පියාව අවසන් වරට ජීවමානව දැක මාස හයක් ගතව තිබිණි.

ශාලාව අඳුරු විය. ඔහුගේ පියා තිරය මත ජීවමාන විය. ඒ රුව සම්බුගේ නිවසේ සිටි ඔහුගේම පියාගේ සෑම ඉරියව්වකින්ම යුක්ත විය. කුඩා දැරිය ඔහු වෙත පැමිණියාය. පියා ඇයට අංක ගණිතය ඉගැන්වූයේය.

“කරත්තකාරයෙක් හැතැප්ම දෙකක් යන්න ඇනා හතරක් ගන්නවා. රාමා ළඟ තියෙන්නේ ඇනා තුනයි. රාමාට කරත්තෙන් කොයි තරම් දුරක් යන්න පුළුවන්ද?

එවිට දැරිය කල්පනාවට වැටෙන්නීය.

“මට පුළුවන් එයාට වැඩිය

සම්බු එසේ සිතුවත් දැරිය ඔහුට වඩා ගණනාකාරියක වූවාය. ඈ නිවැරදි පිළිතුර දුන්නාය.

චිත්‍රපටය නිමවී ආලෝකය දැල් වූ පසු සම්බු සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රය ඇති කුටියේ කවුළුව දෙස බලා හුන්නේය. එය තුළින් තම පියා අතුරුදහන් වූයේය යන හැඟීමක් ඔහු තුළ ඉපැදිණි. පියා නොමැතිව ලොව පාළු තැනකැයි ඔහුට හැඟිණි. ඔහු නිවසට දිව ගියේය. ඔහු එනතුරු මව දොරකඩ බලා හුන්නාය.

“රෑ නවයත් පහු වුණා. නුඹ හුඟක් පරක්කුයි.

“චිත්‍රපටය තව වෙලා තිබුණා නම් මම කැමතියි. අම්මා නම් හරිම පුදුම කෙනෙක්. ඇයි ඒක බලන්නේ නැත්තේ?

රෑ කෑම වේල ගන්නා අතරතුරේම ඔහු දෙඩුවේ චිත්‍රපටය පිළිබඳවමය.

“තාත්තා සිංදු කියනවා වගේමයි. ඇවිදිනවා වගේමයි.

ඔහුගේ මව බොහෝ නිහැඬියාවකින් සියල්ල අසා සිටියාය.

“ඇයි අම්මා මොකුත් නොකියන්නේ?

“අම්මා චිත්‍රපටියට අකැමතිද?

ඈ පිළිවදන් නොදුන්නාය.

“හෙටත් චිත්‍රපටිය බලන්න නුඹ කැමතිද?

ඈ ඇසුවාය.

“ඔව් අම්මේ. චිත්‍රපටිය පෙන්නලා ඉවර වෙන තුරු හැමදාම මට ඇනා හතරක් දෙනවා නේද?

“ඔව්

“අම්මා එන්නේ නැද්ද චිත්‍රපටිය බලන්න?

“බෑ ඒක කරන්න බෑ.

සතියක් තිස්සේ දිනකට පැය තුනක් පුරා සම්බු සිය පියා සමග ජීවත් වූයේය. සෑම දර්ශනයකම අවසානයේ ඔහුට මහත් වේදනාවක් දැනුණි. සෑම දිනකම තම පියාගෙන් වෙන්ව යනවා මෙන් හැඟීමක් ඔහුට දැනුණි. ඔහුට රාත්‍රී දර්ශනය නරඹන්නට ද සිතුණි. එහෙත් ඔහුගේ මව ඔහුගේ පාඩම් වැඩ ගැන බියට පත් වූවාය. කාලය බොහෝ වටිනා දෙයක් විය. එහෙත් මව ඒ අවබෝධ කර ගන්නා වගක් නොපෙනුණි. පාඩම් වැඩ කවදා නම් කළ නොහැකිද? නමුත් පියා බලන්නට සැමදා නොහැකිය.

ඔහුගේ නොනවතින පෙරැත්තය හමුවේ අවසන් දවසේ දර්ශනය නැරඹීමට ඔහුගේ මව කැමති වූවාය. ඔවුහු රාත්‍රී දර්ශන වාරයට ගියහ. ඈ ගැහැනු පන්තියේ හිඳ ගත්තාය. චිත්‍රපටය නැරඹීම සඳහා ඈ සතුව තිබූ සියලු ශක්තියම වඩවා ගන්නට ඇයට සිදු විය. වෙළෙඳ දැන්වීම් පෙන්වන තුරා ඇයට සහනයක් දැනුණි. චිත්‍රපටය ඇරඹෙන විටම ඇගේ හද ගැස්ම වේගවත් විය. සිය සැමියාගේ සියලු සැබෑ හැඟීම් තිරය මත පිළිබිඹු විය. සියල්ලම ඇය තුළ ඇති කළේ වේදනාවකි. දෑස් වසා සිටින්නට ඇය කිහිප වරක්ම තැත් කළාය. නමුත් චිත්‍රපටය ඇයව කුල්මත් කළේය. සෑම වේදනාබර සිදුවීමක්ම ඇයව කුල්මත් කළේය. ඔහු පුටුවක් මතට වී පුවත්පතක් කියවන දසුනක් තිරයේ පතිත විය. ඔහු සැබෑ ජිවිතයේ ද පුවත්පත් කියවන්නට බොහෝ ඇළුම් කළේය. ඈ නිතරම ඒ පිළිබඳව දබර කළාය.

“ඔයයි ඔයාගේ පත්තරයයි තමා ඉතින් . . .

මද වේලාවකින් පුවත්පත ඔහුගේ මුහුණට පතති වී ඔහුට නින්ද යන්නේය.

එය ඇය දරා ගත නොහැකි දර්ශනයක් විය. ඇයට ද නොදැනී ඇයට ඉකි ගැසුණි.

පිරිමි පැත්තේ වාඩි වී සිටි සම්බු, පියා පුවත්පත කියවන දර්ශනයට මහත් සේ ඇළුම් කළේය. මන්ද එවිට දැරිය පියා කරා පැමිණ කියවන්නේ කුමක්දැයි අසන නිසාත්, එවිට පියා ඇයට තදින් කෑගසන නිසාත් ය.

“කුමාරි යනවා යන්න මෙතනින් අහකට!

පියා සමග සිටිය යුත්තේ කෙසේදැයි දැරිය දන්නේ නැත. ඔහු ඇයට දැඩි ලෙස අකැමැති ය.

මේ දර්ශනයේ ඔහු ගිලී සිටින අතරේ ගැහැනු පැත්තෙන් ඉකි බිඳින හඬක් ඇසුණි. එය කෙමෙන් විලාපයක් බවට පත් විය.

“ලයිට් දාන්න. කාට හරි කරදරයක්

චිත්‍රපටය නැවතිණි. මිනිස්සු කෝපයට පත් වූහ. බංකුව මත නැගි සම්බු සිදුවන්නේ කුමක්දැයි බැලුවේය.

“මේ මගේ අම්මා. අනේ අම්මේ මොකද? අම්මා මැරිලද?

සම්බු විලාප දෙමින් එතැනට දිව ගියේය. ඔහු හඩන්නට විය.

“එයාට කලන්තයක් විතරයි. කලබල කරන්න එපා.

කවුදෝ පැවසුවේය. ඔවුහු ඇයව ශාලාවෙන් පිටතට ගෙන ගියහ. ශාලවේ ආලෝකය නිවුණි. මිනිස්සු යළි අසුන් කරා ගියහ. චිත්‍රපටය නැවත ආරම්භ විය. මව දෑස් හැර නැගී සිටියාය.

“අපි යමු

ඇය පැවසුවාය.

“හොඳයි අම්මේ

ඔහු කුළී රථයක් නවත්වා ඇයට එයට නගින්නට උදව් කළේය. ඔවුන් එයට නගින අතරේ අඳුරු ශාලාවෙන් ඔහුට හුරු පුරුදු හඩක් ඇසුණි.

“කුමාරි යනව යන්න මෙතනින් අහකට!

එය ඇසෙත්ම සම්බුගේ හදවත බර වන්නට විය. ඔහුගේ දෑසින් කඳුළු පැන්නේය. මවගේ අසනීපයත්, පියාගේ සමුගැන්මත් ඔහුගේ සිතේ ඉමහත් වේදනාවක් උපදවා තිබිණි.

හෙට සිට පෙන්වනු ඇත්තේ අලුත් චිත්‍රපටයකි.








No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න