පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, January 13, 2016

මුදලට රාගය නිවන ඉන්දියාවේ රතුපහන් වීදි - Red Light Streets in India


ඉන්දියාවේ සංචාරය කරන යමෙකුට හදිසියේ හෝ හිතා මතා හෝ එහ රතු පහන් වීදියක ඇවිද යන්නට සිදුවුවහොත් බොහෝ බොලිවුඩ් සෙලෝලොයිඩ් සිනමා පටවලින්  හා ඉන්දීය ටෙලි නාට්‍යවලින් අප දකින ඉන්දියානු ප්‍රතිරූපය වෙනස්වන බවට සැකයක් නැත. යමෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව රතු පහන් වීදියකට හෙවත් Red Light Street එකකට පිවිසිය හොත් තමා ගිළගැනීමට දෑස් අයා බලා සිටින ගැහැනුන් දැක ඇතැම් විට බියේ දිවයන්නට ද සිතුන ද එහි අරුමයක් නැත. අසුවුවහොත් තමාගේ රීරි මාංශය පවා සූරා කනු ඇතැයි යන සැකය ඔවුන්ගේ ගැඹුරු දෙනෙත්වල ගැබ්ව තිබේ. කෙසේ නමුත් මේ රතු පහන් වීදි ආලෝකයෙන් පෙනෙන ලෝකයේ සැබෑ ස්වභාවය තේරුම්ගන්නට බොහෝ දෙනෙක් උත්සහ දරන්නේ නැත. 


ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් රතු පහන් වීදි අටක් පමණ තිබේ. කල්කටාවේ සොන්ගාචි, මුම්බායි හි කාමාති පුර, පූනේ හි බුද්වාර් පෙත්, අලහබාද් හි මීර්ගුන්ජ් ආදී වශයෙනි. මෙහි ලැයිස්තුව තව දිගය. මේවා අතුරින් මුම්බායි හි කාමාතිපුරයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ඒ රාගය මුදලට විකිණෙන එය ආසියාවේ ඇති දෙවැනි විශාලතම ප්‍රදේශය වශයෙන් ප්‍රකටව ඇති බැවිනි. දෙවැනි විශාලතම ප්‍රදේශය වුව ද එය ඉන්දියාවේ  සෙසු රතු පහන් වීදිවලට වඩා ලොව පුරා ප්‍රකට වී තිබේ. 



බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති බොහෝ රටවලට ලැබුණු හොඳ සහ නරක දායාදවලින් එකක් ලෙස ඉන්දියාවේ මෙම කාමාතිපුර හැඳින්විය හැකිය. බ්‍රිතාන්‍ය සෙබලුන්ගේ මනදොල සැපිරීම සඳහා යටත් විජිත යුගයේදී මෙම නගරය පිහිටුවනු ලැබිණි. ඒ 1795 දීය. එකල ඉන්දියාවෙන් පමණක් නොව ජපානයෙන් පවා තරුණියන් මෙය කරා ගෙන එනු ලැබිණි. මෙම නගරවල සිටින මුදලට රාගය විකුණන ගැහැනුන් වෙනත් ආර්ථික කටයුතු සඳහා යෙදවීමට රජය ගත් තීරණය හේතුවෙන් බොහෝ දෙනෙක් එයින් ඉවත් වුව ද සහමුළින්ම එසේ සිදුවී නැත. අනෙක රජය කිසිඳු අවස්ථාවකදී ඉන්දියාවෙන් ගණිකා වෘත්තිය අහෝසි කර දමන්නට පියවර ගත්තේ ද නැත. 


දෙතිස්වියෙහි පසුවන නිජිලාගේ කතාව අපි මඳක් අසමු. 


මම ආවේ නේපාලේ ඉඳන්. අපේ රටේ කියමනක් තියෙනවා ආදරය කරන අය දිව්‍ය ලෝකේ යනවා කියලා. ඒත් ආදරය නිසා මට එන්න ලැබුනේ අපායක් වගේ තියෙන කාමාතිපුරයට. මම ආදරය කළ කෙනාව විශ්වාස කරලා ඔහුත් එකක නිවසින් පැනලා ආවා. ඔහු මාව මේ කුණුකානුවට විකුණලා පැනලා ගියා. ඇත්තටම ඔහු මාව රවට්ටලා ගණිකාවක් බවට පත්කළා.” 


ගුඩ්ඩිබටහිර බෙංගාලය තරම් දුරක සිට මුම්බායි කරා පැමිණෙද්දී ඇය යන්තම් 11 වැනි වියෙහි පසුවූවාය. එක් පුද්ගලයකු ඇගේ දෙමාපියන්ට පවසා තිබුණේ නිවසක සේවය සඳහා ඇය ගෙන යන බවකි. නමුත් ඒ පුද්ගලයා ඇයව රැගෙන පැමිණියේ රතු පහන් වීදියටය. ගනුදෙනුකරුවකු ඇය දූෂණය කළ අතර මාස තුනක් රෝහල් ගතව සිටින්නට සිදුවිය. දැනට කාමාතිපුර රාගය විකුණන විසිදහසක් පමණ වන සෙසු ගැහැනුන්ගේ කතාව නිජිලාගේ සහ ගුඩ්ඩි කතාවට වඩා වෙනස් වන්නේ නැත. 




එදා බ්‍රිතාන්‍ය සෙබලුන්ගේ මනදොල සපුරාගන්නට බිහි වූ මෙම රතුපහන් වීදිවල ඇති ගණිකා නිවාසවල තත්වය එදාට වඩා වැඩි වෙනසකට පත්ව නැති බැව් හොඳින්ම පෙනේ. තවමත් ඇත්තේ බ්‍රිතාන්‍යයන් ඉදිකළ ගොඩනැගිලිමය. සනීපාරක්ෂාවක් නැති තරම්ය. මෙහි කාන්තාවන්ට වෙනත් රැකියා ලබාදෙන්නට යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබුණ ද විවිධ හේතූන් නිසා මෙම නරකාදියට වැටෙන ගැහැනුන්ට ජීවත්වන්නට මෙය හැර අන් මගක් නැති බැව් පෙනේ. 


වර්තමානයේ කාමාතිපුර රතු පහන් වීදියේ වෙසෙන වැඩිහිටි ගැහැනියක් ඉන්දියානු රුපියල් 500 කට (ශ්‍රී ලංකා රුපියල් දහසකට මඳක් වැඩිය) රාගය විකුණයි. නමුත් අවුරුදු 12 - 16 අතර දැරියන් සඳහා ඉන්දියානු රුපියල් 2,000ක් (ශ්‍රී ලංකා රුපියල් 4,300ක් පමණ) ගෙවන්නට ගනුදෙනුකරුවන් කැමතිය. ගණිකා වෙන්දේසිවලදී කන්‍යාවන් අධික මිලකට අළෙවි වෙයි. 


කාමාතිපුර රතු පහන් වීදයේ ජිවත්වන සියලුම ගැහැනුන් මේ අපායටමවී මිය යන්නට සිතන්නේ නැත. ලතා එවැන්නියකි. කර්නාටක ප්‍රාන්තයේ සිටි ඇය  අවුරුදු 16 දී සිය පෙම්වතා විසින් රවටාගෙන විත් මෙම වීදියට අතහැර දමනු ලැබූ තැනැත්තියකි. කෙසේ නමුත් මුම්බායි හි ටීන් චැලෙන්ජ්සංවිධානය පිහිට වීම නිසා වසර එකොළහකට පසු ඇයට නැවත සිය පවුලේ පිරිස සමඟ එක්වන්නට වාසනාව හිමි විය. ඇය දැන් පුණ්‍යායතනයක් මගින් පවත්වාගෙන යනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ජිවත් වෙයි. 




මුල් කාලයේ මේ ආකාරයට දැරියන්ව, තරුණියන්ව රවටා ගණිකා වෘත්තිය සඳහා යොදවන්නවුන්ට එරෙහිව දැඩි නීති ඉන්දියාවේ නොතිබුණ ද 2013 වසරේදී ඒ සම්බන්ධ නීති වඩාත් පුළුල් කොට එවැනි වැරදි සඳහා ද දැඩි දඩුවම් නියමකිරීමේ ප්‍රතිපාදන සළසනු ලැබ තිබේ. 


කාමාතිපුර වීදිවල ඉන්න නම් අපි අපට තියෙන හොඳම ඇඳුම් අඳින්න ඕන. හිතේ මොන තරම් ගින්දරක් තිබුණත් අපි හිනාවෙලා එතැනින් යන ගනුදෙනුකරුවන්ට අත වනනවා. මේ නරකාදි රස්සාව කරන අපිට පුළුවන් විදිහට පිහිට වෙන නොයෙක් සංවිධාන තියෙනවා. ඔවුන්ගෙන් තමයි මමත් ඒඩ්ස්, එච්.අයි.වී. වගේ දේවල් ගැන දැනගත්තේ. එයින් පස්සේ ආරක්ෂිත කොපුවක් පළඳින්න අකැමති ගනුදෙනුකරුවන් එක්ක යන එක මම නවත්තලා දැම්මා. නීති ගැන මට දැනුමක් නැහැ. නමුත් පුංචි දැරියන්ව මේ නරකාදියට ගෙනත් දාන එවුනට නම් නීති තියෙන්න ඕන. ඒක මහා අපරාදයක්. මේ නරකාදියට ඒ සප්පයන් වැටෙන්න ඕන නැහැ.
 

ඒ කාමාතිපුර රතු පහන් වීදියක ගැහැනියකගේ ආත්මගත වැළපිල්ල යැයි කීව ද එහි වරදක් නැත. මහා සංස්කෘතියක්ට හිමි කම් පාන ඉන්දියාව මෙම අක්‍රමවත් ගණිකා ව්‍යාපාරය සම්බන්ධව ගනු ලබන පැහැදිලි ක්‍රියාමාර්ග පෙනෙන්නේ නැත. අප රටේ ද ඇතැම් අවස්ථාවලදී ඇසෙන්නේ ස්ත්‍රී දූෂණ අඩුකිරීම සඳහා ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවය. නමුත් ඉන්දියාවේ ගණිකා වෘත්තිය නිීති ගත කොට තිබුණ ද එහි ස්ත්‍රී දූෂණවල ද අඩුවක් පෙනෙන්නේ ද නැත. කාමාතිපුර රතු පහන් වීදිවල රාගය විකුණන ගැහැනුන්ගේ දුක් අඳෝනා අසන්නකු කිසිදු රටක ගණිකා වෘත්තිය නීති ගත කරනවාට පක්ෂව කතා කරන්නේ නැත. කෙසේ වුව ද ලෝකයේ පැරණිතම වෘත්තිය වර්මාන ලෝකයේ නරකාදියක් ලෙස ලෝකාවසානය වනතුරුම මෙසේ රතු පහන් වීදිවල ආලෝකයෙන් බැබලෙමින් පවතිනු ඇති බව නම් කිව හැකිය.


9 comments:

  1. // අප රටේ ද ඇතැම් අවස්ථාවලදී ඇසෙන්නේ ස්ත්‍රී දූෂණ අඩුකිරීම සඳහා ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවය. නමුත් ඉන්දියාවේ ගණිකා වෘත්තිය නිීති ගත කොට තිබුණ ද එහි ස්ත්‍රී දූෂණවල ද අඩුවක් පෙනෙන්නේ ද නැත. //

    👌👌

    ReplyDelete
    Replies
    1. අපේ කෑගහන බොහෝ දෙනෙක් මේ කතාව තේරුම් ගන්නේ නැහැ.

      Delete
  2. අප්‍රිකානු සහ ආසියාතික රටවල් බොහොමයක මේ තත්වය දකින්නට ලැබෙනවා. දිළිඳුකම තමයි හේතුව. ලංකාවෙත් දැනට හොර රහසේ කෙරෙන මේ ජාවාරම තවත් පුළුල් වන බවයි මටනම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ වැඩි කාලයක් යන්න කලින් අපේ රටේ මේක නීති ගත කරයි. හැබැයි ඉන් පස්සේ රටේ අමුතු අපරාද රැල්ලක් ඇති වෙයි කියලා හිතෙනවා. ඒ තමයි පැහැරගෙන ගිහින් මේ වෘත්තියට යොදවන්නන්ගේ නිසා.

      Delete
  3. මේක අද ගොඩක් සමාජ වල සේවාවක් බවට පත් වෙලා. මේකේ වැරදි කොච්චර කිවුවත් මේ සේවාවල් වල අවශ්‍යතාවය ඇති වෙන්නෙත් මිනිස්සුන්ගෙම ස්වභාවයන් නිසා මිස අනෙකක් නිසා නෙවෙයි. ඒක තේරුම් ගන්නත් ඕනේ අපි මොන කතාවක් කිවුවත්. ලිංගික තෘප්තිය ලැබීම කාටත් ස්වභාවයෙන් හිමි විය යුතු දෙයක් මිස එය මුදලට විකිනිය යුතු දෙයක් වෙන්න බෑ කියන එක තමයි මමනම් හිතන්නෙ. ලිංගිකත්වයට අදාල කරුනු කාරනා සමාජයේ සමබරතාවය ස්වභාවික ගුණාංග වල පැවැත්ම ආදිය පුළුල්ව සලකමින් ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග රැකෙන පරිදි මානව ප්‍රජාවක අනෙකුත් අංග සමබරව පවත්වාගන්න එක වැදගත්. මේවට නිසි වැඩපිළිවෙලවල් ලෝකේ මොන රටටත් අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ගේ ලිංගිකත්වයට වැට බදින්න කිසිම කෙනෙකුට බැහැ. විශේෂයෙන් ලිංගික අවශ්‍යතාවය කියන්නේ මිනිස් සමාජයේ සදාකල් පවතින්නක්. ඔවුන් එය කුමන ආකාරයකින් හෝ සෙයා යනවා. අන්න ඒ සොයා යන්නන් සදහා තමයි මේ සේවාව අතීතයේ පටන්ම ඇති වී තිබෙන්නේ. කෙසේ වුවත් මෙම සේවාව ස්ත්‍රී දූෂණ අවම කිරීමට නම් කිසිදා උත්තරයක් වෙන්නේ නැහැ. ලිංගික සේවාවන් ලබාගැනීමට උපරිම පහසුකම් සැපයීම තුළින් මිනිසා තුළ පවතින තිර්ශ්චීන සිතිවිලි සමහන් කරදමන්නට හැකිවේ යැයි කවුරු හෝ සිතනවා එය මුළාවක්.

      Delete
  4. බොලිවුඩ් චිත්‍රපටිවල ටෙලිඩ්රමාවල තියෙන සුංදරත්වේ රට ඇතුලේ නෑ නෙව මමනම් යන්ට අකැමැති රටවල් වලින් උඩින්ම තියෙන්නෙ ඉන්දියාව ඕං කිවුවා (තිත් දෙකයි තුන)

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටිවලින් නම් මවන්නේ අමුතුම ඉන්දියාවක්. හැබැයි සමහර චිත්‍රපටිවල නියම ඉන්දියාව පෙන්නනවා.

      Delete
    2. hmm tamil film wala thama hugakma.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න