පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, January 13, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 5 කොටස - New Gadgets for New World Part 5

 නව ලෝකයට අලුත් විදිහේ පාපැදියක්



පාපැදි කිව්ව ගමන් අපට හිතට එන රූපයට වඩා වෙනස් ආකාරයේ ඒවා අද වන විට ඕනෑ තරම් නිර්මාණය වී තිබෙනවා. ඇතැම් ඒවා සාමාන්‍ය යතුරු පැදියකටත් වඩා උසස් තත්වයක පවතිනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ අමුතුම පාපැදියක් ගැනයි. මේක තවම නිෂ්පාදනය වී නැහැ. නමුත් ලබන වසරේදී මිලට ගන්න පුළුවන් කියලයි කියන්නේ. අලුත්ම තාක්ෂණයක් සමග එන නිසා මුළින්ම 100ක් වැනි අඩු සංඛ්‍යාවක් තමයි නිෂ්පාදනය කරන්නේ. දැන් බලමු මේ විදිහට කියන්න තරම් මේ පාපැදියේ තියෙන්නේ මොනවද කියලා.

මේ පාපැදියේ බ්ලූටූත් තාක්ෂණය තියෙනවා. ඒ තාක්ෂණයත් සහ හැඬලය එක්ව ක්‍රියාකරමින් අප පාපැදිය නැවැත්විය යුත්තේ කුමන වෙලාවකද, හැරවිය යුත්තේ කුමන වෙලාවකද කියා දැනුම් දෙන්න මේ පාපැදියට පුළුවන්.

මෙහි රාමුව ත්‍රිමාන මුද්‍රණයක් සහිතව ටයිටේනියම් ලෝහයෙන් තනා තිබෙනවා. My Bike නම් ස්මාර්ට් දුරකතන යෙදුම සහිත ජංගම දුරකතනය සමඟ බ්ලූටූත් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන්නට මෙය හැකියාව තිබෙනවා. විදුලි පහන් අලුතින් දැමීම, තිරංගවල ඇති අඩුපාඩු ආදිය ගැන දැනුම් දෙන්නට මේ යෙදුමට පුළුවන්. ඒ වගේම Discover My City නම් තවත් ස්මාර්ට් ජංගම දුරකතන යෙදුමක් සමගත් මේ පාපැදිය සම්බන්ධ වෙනවා. එහි ඇත්තේ සිතියම්. දැනට එහි අඩංගු කොට ඇත්තේ මෙම පාපැදිය නිර්මාණය කළ පෝර්ට්ලන්ඩ් නම් නගරයේ සිතියම පමණයි. මෙය සාර්ථක වුණොත් ඉදරියේදී තව තවත් සිතියම් මෙයට එක් කරාවි. ආහාර පාන තියෙන තැන්, සාප්පු තියෙන තැන් ආදිය  මේ යෙදුම මගින් පාපැදිකරුට නිවැරදිව දැනගන්නට පුළුවන්.

දැන් ඔබට සිතෙන්න පුළුවන් මේ විස්තර ස්මාර්ට් දුරකතනයෙන් බලා බලා යනවට වඩා වෙන වැඩක් නැද්ද කියලා. අනෙක අනතුරක් වුණත් සිදුවෙන්න පුළුවන් කියලත් හිතේවි. ඒක මෙය නිර්මාණය කළ අයටත් සිතුණා. ඒ නිසා ඔවුන් එයට විසඳුමක් සෙව්වා. එහිදී සිදුවෙන්නේ හරවන්න අවශ්‍ය නම් හැඬලයේ ඇති බසරයක් (ශබ්දය නලන උපකරණයක්) ශබ්ද වීමයි. අවශ්‍ය ස්ථානය කරා ළඟාවන විට එය වැඩි වේගයකින් නාද වෙනවා. මෙහි පිහිටුවා ඇති සංවේදකවලට පුළුවන් පරිසරයේ පවතින තත්වයට අනුව විදුලි පහන්වල ආලෝකය අඩුවැඩි කරන්න. කුඩා ඉලෙක්ට්‍රොනික් බොත්තමක් එබූ පමණින් ගියර මාරු කරන්නනත් පුළුවන්.


කාර් එකේදීම ලැප්ටොප් චාර්ජ් කරගනිමු



ජංගම දුරකතනයක් ආරෝපණය කරගන්නට පුළුවන් වුණත්, ඔබගේ මෝටර් රථය තුළ ලැප්ටොප් එකක් ආරෝපණය කරගන්නට ඇති හැකියව අඩුයි. ඇතැම් විට අලුත්ම මෝටර් රථවල තියෙනවා වෙන්න පුළුවන්. මෙ අඩුපාඩුව සපුරාලගන්නට පවර් කප්නමින් අලුත් ගැජට් එකක් නිෂ්පාදනය කොට තිබෙනවා. මෙය කෝප්පයක් හැඩයෙන් යුක්ත නිසාත්, මෝටර් රථයේ කෝප්පයක් තබන්නට සකස්කොට ඇති ඉඩකඩට සරිලන අයුරින් යුක්ත නිසාත් මෙයට මේ නම යෙදී තිබෙනවා. මෙය මෝටර් රථයේ දුම්වැටි ලයිටරය සවිකරන ස්ථානයට සම්බන්ධ කළ විට පවර් කප් එක ඔස්සේ නිවසේදී මෙන් වෝල්ට් 230ක් හෝ 110ක් (නොයෙක් රටවල භාවිතවන විදුලි වෝල්ටීයතාවය අනුව මෙය වෙනස් වෙනවා) ලබාගන්නට පුළුවන්. මේ ඔස්සේ සාමන්‍ය විදුලි බලයෙන් ක්‍රියාත්මක වන භාණ්ඩ බොහොමයක් ප්‍රයෝජනයට ගනන්න පුළුවන්. මිල දැනට ඇමරිකානු ඩොලර් 89 (රු. 12,740ක් පමණ) වෙනවා.

කාමරයට ඩිජිටල් කවුළුවක්




උදේ පාන්දර නින්දෙන් අවදිවෙන කොට කවුළුවෙන් ලස්සන වටපිටාවක් පෙනෙන්න තියෙනවා නම් කොයිතරම්ද? ඒත් නගරබදව, කුඩා නිවෙස්වල ජීවත්වෙන බොහෝ දෙනෙකුට එහෙම වාසනාවක් නැහැ. ලස්සන වටපිටාවක් දකින්න නගරයෙන් ඈත ජීවත්වෙන්නත් බැහැ. පින්තූරයක් එල්ල ගත්තට එයින් සැබෑ හැඟීමක් දැනෙන්නෙනත් නැහැ. මේ සියලු අඩුපාඩු සපුරාලන්නට දැන් ඩිජිටල් කවුළුවක් නිෂ්පාදනය වී තිබෙනවා. මෙය ද පින්තූරයක් සේ බිත්තියේ එල්ලාගන්නට පුළුවන්. නමුත් එය සජීවි දර්ශනයක් අප ඉදිරියේ මවනවා. ඔබ දකින්නේ මුහුද නම් එහි රැල්ල නැගෙන ආකාරය, මුහුදු ළිහිණින් පියාසලමින් හඬ නගන ආකාරය, ගස්වැල් සුළඟට වැනෙන ආකාරය දකින්න පුළුවන්. මෙහි එවැනි සජීවි දර්ශන 80ක් පමණ අඩංගු වෙනවා. මිල දැනට ඇමරිකානු ඩොලර් 499 (රු. 72,000ක් විතර) වෙනවා.









No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න