පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, January 9, 2016

2016 කාලගුණයෙන් බැට කන වසරක් වේද? - Will 2016 be a weather hazard year?


බොහෝ දෙනෙක් ඇතැම් විට නොදන්නවා විය හැකි වුවත් ගෙවුණු 2015 වසර යනු කාලගුණ විද්‍යාවට අනුව අප පසුකළ උණුසුමින් වැඩිම වර්ෂය විය. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ ඇතැම් විට නොදැනෙන්නට හේතුව වන්නට ඇත්තේ පසුගිය මාස කිහිපය පුරා අප වර්ෂාව සහිත සමයක් පසුකළ නිසා වන්නට පුළුවන. කෙසේ වුවත් ලෝකයේ කාලගුණය පිළිබඳ අනාවැකි පළ කරන බොහෝ ආයතන 2016 වසර පිළිබඳ යම්කිසි බියකින් පසුවන බැව් පෙනේ. 2015 වසරේ අගභාගයේ ලොව පුරා ඇති වූ මේ අධික උණුසුම් තත්වය 2016 වසර දක්වා බලපවත්වා ලෝකයට දැඩි විනාශයක් සිදු කරනු ඇතැයි ඔවුහු අනුමාන කරති. අප නොදැන සිටිය ද මේ ඇතිවන්නට හැකි දරුණු කාලගුණ වෙනසට හේතුව කුමක්ද?

මේ කාලගුණ වෙනසට හේතුවද මාධ්‍ය මගින් විවිධ අවස්ථාවලදී සඳහන් කෙරුන ද එවැනි පුවත්වලට වැඩි දෙනෙකුගේ අවධානය ලක් නොවන බැවින් ඒ පිළිබඳ බොහෝ දෙනෙකුට අවබෝධයක් නොමැති වන්නට ඇත. මේ සියල්ල පසුපස පවතින්නේ එල් නිනෝ’ (El Niño) නම් කාලගුණික සංසිද්ධියයි. ප්‍රවෘත්ති වාර්තා ඔස්සේ මේ වදන පසුගිය කාලයේ විටින්විට විට අසන්නට ලැබුණද ඒ පිළිබඳ වැඩි දෙනෙකුගේ අවධානයක් යොමුව නැති බව නම් පෙනෙන්නට තිබේ. සැබවින්ම එල් නිනෝයනු කුමක්ද?

එල් නිනෝයනුවෙන් හඳුන්වනු ලබන්නේ පැසිපික් සාගරය ආශ්‍රිතව සාගර ජලය මතුපිට අධික උෂණත්ව කලාපයක් නිර්මාණය වීමයි. මේ සඳහා දියවැල් සහ සුළං රටාවේ සිදුවන වෙනස්කම් බලපායි. මෙය පැසිපික් සාගරය ආශ්‍රිතව සිදු වුවත් එය සමස්ත ලෝකයටම බලපෑම් කරන බැවින් සියලු දෙනා ඒ පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්ය. එල් නිනෝ තත්වයන් නිතර සිදුවුව ද පසුගිය වසරේ එය මතුවූයේ දැඩි දරුණු ස්භාවයකිනි. මෙයට පෙර මෙතරම් දරුණු එල් නිනෝ තත්වයක් 1997 - 1998 වසරවලදී සිදුවූ අතර එහිදී අප්‍රිකානු කලාපයේ අධික නියං තත්වයක් ද, තවත් රටවල් ලැව්ගැනි ආදී තත්වයන් ද ඇති විය. අප්‍රිකානු මහාද්වීපයේ මේ නිසා බොහෝ මරණ සංඛ්‍යාවක් වාර්තා විය. එයින් පසුව දරුණු එල් නිනෝවක් මතු වූයේ පසුගිය වසර අවසානයේය. කෙසේ නමුත් එහි දැඩි බලපෑම මතුවන්නට පටන් ගන්නේ මේ වසරේ මුල් සමයේදී යැයි පැවසේ.



එල් නිනෝ තත්වයේදී සාගරය මතුපිට උණුසුම්වීම නිසා එම කලාපය ආශ්ර්‍‍රිතව ඇති බොහෝ රටවලට ආර්ථිකමය වශයෙන් විවිධ ගැටලු එල්ල විය හැකිය. විශේෂයෙන් මත්ස්‍ය සම්පත කෙරෙහි මෙහිදී බලපෑමක් එල්ල විය හැකිය. එමෙන්ම මේ නිසා අධික උණුසුම් කාලගුණයක් ඇතිවීම නිසා එම රටවල වගාකටයුතු කෙරෙහි එය අහිතකර ලෙස බලපානු ඇත. එමෙන්ම ජල සම්පත සිඳී යාමට ද හේතු විය හැකිය. එල් නිනෝ තත්වයකදී මුහුද මතුපිට උෂ්ණත්ව කලාපයක් ඇති වුව ද ඇතැම් රටවලට එය බලපාන්නේ උණුසුම් දේශගුණ තත්වයක් ඇති කරමින් නොවේ. සුළං රටාවේ ආදියේ සිදුවන වෙනස්කම් නිසා ඇතැම් රටවල අධික වර්ෂා රටාවන් ඇතිවිය හැක. එහි ප්‍රතිඵලය වන්නේ දරුණු ගංවතුර තත්වයන් ඇතිවී මිනිස් හා දේපළ හානි වැඩි වශයෙන්  සිදුවීමය.

මෙම තත්වයේ අහිතකර බලපෑම් මෙම වසර මුළුල්ලේම ලැබිය හැකි බැව් කාලගුණය පිළිබඳ ජාත්‍යන්තර ආයතන අවධාරණය කරයි. එය ඇතැම් විට කලින් සඳහන් කළා සේ ඇතැම් රටවලට අධික උණුසුම් තත්වයක් මෙන්ම ඇතැම් රටවලට අධික වර්ෂාපතනය ලෙසින් විය හැකිය. මේ කාලගුණික අන්ත දෙකෙහිම අවසන් ප්‍රතිඵලය වන්නේ මිනිස් හා දේපළ හානි බොහොමයක් සිදුවීමය. එබැවින් අප මේ වසරේ කාලගුණයෙන් බැටකෑමට සූදානම්ව සිටිය යුතු බව මතකයේ තබාගැනීම නුවණට හුරුය.

කෙසේ වෙතත් පැසිපික් සාගරය ආශ්‍රිව සාගරය මතුපිට මේ ආකාරයෙන් ඇති වන අධික උෂ්ණත්වය සමස්ත ලෝකය කෙරෙහිම බලපෑම් කරන නිසා අප සඳහන් කළ කාලගුණික අන්ත දෙකට ද වඩා දරුණු තත්වයක් අපට නොදැනීම සිදු වෙයි. ඒ අපට නිතර අසන්නට ලැබෙන ලෝකය උණුසුම් වීමේතත්වයයි. ලෝකයේ උණුසුම් වීම කෙරෙහි මිනිස් ක්‍රියකාරකම් බොහෝ සේ බලපායි. අධික ලෙස පිහිටුවන ලබන කර්මාන්ත ශාලා නිසා වායුගෝලයට එක්වන විෂ වායු මගින් ලෝකය පුරා හරිතාගාරතත්වයක් (හරිතාගාර ආචරණය - Greenhouse effect) ඇති කරයි. එවිට ලෝකයේ උෂ්ණ්ත්වය කෙමෙන් ඉහළ යයි. එහි අහිතකර බලපෑම වන්නේ පාථිවියේ ධ්‍රුව ප්‍රදේශවල ඇති අයිස් කඳු දියවී යාමය. මෙම අයිස් කඳු තුළ දැඩි ජල ප්‍රමාණයක් මිදී තිබේ. මේවා දියවී සාගරවලට එකතුවීමේ ප්‍රතිඵලය වන්නේ මුහුදු මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමය. එවිට අවසානයේ සිදුවන්නේ මුහුදු මට්ටමේ හෝ මුහුදු මට්ට්මට පහළින් ඇති භූමි ප්‍රදේශ කෙමෙන් ජලයට යටවීමය. මාලදිවයින යම් දිනෙක සහමුළින්ම ජලයෙන් යටවී යනු ඇතැයි අනාවැකි පළකොට තිබෙන්නේ එබැවිනි. මාලදිවයිනට එසේ වුවත් අපට එසේ වන්නේ නැතැයි උදම් අනන්නට යමෙක් සිතන්නේ නම් එය මුළාවකි. උදාහරණයක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ මුහුදු වෙරළින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ මුහුදු මට්ටමෙන් අඩි 300 ක් පමණ පහළිනි. එබැවින් යම්කිසි දිනෙක මුහුදු මට්ටම ඉහළයාමේ අවදානම අප වැනි දූපත්වලට දැඩිව බලපායි. අනෙක අප රටේ ආර්ථිකය රැඳී පවතින්නේ කොළඹ වැනි මුහුදට ආශ්‍රිත නගරවලය. මුහුදු මට්ටම ඉහළ යාම් අහිතකර ප්‍රතිඵල පිළිබඳ අප දැනුවත්ව සිටි යුත්තේ එබැවිනි.

රාත්‍රිය යනු ලෝකයේ එක් පැත්තක උණුසුම් අඩු කලාපයක් නිර්මාණය කරන්නක් වුව ද වර්තමාන මිනිස් ක්‍රියාකාරම් නිසා එය එසේ සිදු නොවේ. ලෝකයේ සෑම රටකම රාත්‍රී කාලයේ දල්වනු ලබන අධික උණුසමක් ඇති විදුලි පහන් නිසා රාත්‍රී කාලයේද ලෝකයේ අධික උණුසමක් නිපදවේ. ලෝක මිහිකත් දිනය සැමරීමේදි රාත්‍රීයේ මුළු ලෝකය පුරාම එකම මෙහොතේ එක් මිනිත්තුකවක් විදුලි බල්බ නිවා දමන්න යැයි දැනුවත්කිරීම් දියත් වුව ද එවැන්නක් සැළකිල්ලට ගෙන ක්‍රියාත්මක කරන්නේ ස්වල්ප දෙනෙකි. ඇතැමුන්ට එය විහිළුවක් සේ පෙනෙනු ඇත. නමුත් ඒ මිනිත්තුව තුළ ලෝකයෙන් පිටවන උෂ්ණත්වය සැළකිය යතු තරමින් අඩු කොට අයිස් කඳු දියවීම තරමක් හෝ පමාකරගත හැකි බව කිසිවකු සිතන්නේ නැත.


එල් නිනෝ වැනි ස්වභාවිකව ඇතිවන කාලගුණ තත්වයන් මෙන්ම අප විසින් ලෝකයට කරනු ලබන අහිතකර ක්‍රියාකාරීත්වයන්  නිසා ද අපගේ විනාශය වඩා ඉක්මණින් අපිම උදාකරගනිමින් පසුවෙමු. අපගේ මිහිකත් මාතාව පිළිබඳ අපට මෙයට වඩා සිතන්නට හැකි නම් ලෝකය වඩාත් සුන්දර, මිනිසාට හිතකර තැනක් බවට පත්කරගැනීමට හැකිවනු නිසැකය.

8 comments:

  1. මට මතක විදියට අපි වගේ සමකාසන්න රටවල උෂ්නත්වය ඉහළ යද්දි යුරෝපය ඇමරිකාව වගේ මහද්වීප වල උෂ්නත්වය පහල බහිනව කියල තමා කීවෙ.. උං සමහර විට ෆ්‍රීස් වෙලා යයි හිහි..
    ඇත්තටම හැටේ රෝම සමුළුවෙ කෙටුම්පත් කරගත්ත නීති රීති පිළි පැද්ද නං අද වෙද්දි ඔය කිසි අවුලක් නොතියෙන්න තිබ්බ. අද මහ ලොකුවට කෑගහන අමෙරිකන් කාරයොම තමා ඒ නීති ඉස්සරෝම බිදින්න පටං ගත්තෙ අනික් උනුත් උං පස්සෙම ගියා ආයෙ හැත්තෑ තුනේ ලෝක පරිසර සමුළුවෙන් කතිකා කර ගත්ත දේවල් වත් කලේ නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව කොහොමත් කරන්නේ ලෝකෙට නීති දාලා තමන් ඒ නීති බිදින එකනේ.ලෝකයේ පරිසර විනාශයට ඇමරිකාවත් සෑහෙන්න වගකියන්න ඕනි කියලයි මට හිතෙන්නේ.

      Delete
  2. නිකම් විදුලි බුබුලක් දැල්වෙනවා කොතැනක හරි දුටුවොත් මම එක නිවනවා.ඒ විදුලිය අපතේ යන නිසා.හැබැයි එකෙන් උෂ්ණත්වය අඩු වෙනවා කියන දේ ගැන මට ඒ තරම් අවබෝධයක් තිබුනේ නැහැ.ස්තූතියි නෙරංජන් මේ දැනුවත් කිරීමට.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නිකරුනේ විදුලි බුබුලක් දැල්වෙන කොට ඒක අපරාදයක් විදිහයට දකින්න පුළුවන් කමත් වාසනාවක්. මොකද ඒ නිසා විදුලිය අපතේ යාම අඩු වෙනවා වගේම ලෝකය උණුසුම් වීමත් ඉබේම අඩු වෙනවා.

      Delete
  3. අගේ ඇති ලිපියක්.

    ගොඩක් වෙලාවට නොදැනුවත්කම නිසාම මිනිසුන් විසින් සිදුකරන දේවල් අපේ විනාශයට අපිම ෂෝට් කට් හොයනවා වගේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ස්තූතියි. කොහොමත් මිනිසා තමන්ගේ විනාශය ළගා කරගෙන තියෙන්නෙම, හැම දෙයක්ම පහසුවෙන් කරගන්න ෂෝට් කට් හොයන්න ගිය එකෙන් තමයි.

      Delete
  4. දේශගුණික රටා දැන් අසාමාන්‍ය විදිහට වෙනස් වෙලා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. නුදුරු අනාගතයේ අපට එහි අහිතකර ප්‍රතිඵල විදගන්න වේවි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න