පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, January 27, 2016

ජීවිතයේ මුල්ම විප්‍රයෝග අත්දැකීම - Separation Anxiety Disorder - SAD


ඔබ මුළින්ම පාසල් ගිය දිනය මතකද? ජීවිතයේ මුල්ම වරට අම්මාගෙන් තාත්තාගෙන් වෙන්ව තනිව ඉන්නට පංති කාමරයට යන්නට සැරසුණු ඒ අවස්ථාව මතකයට නගා ගන්න. ඔබේ පුතා හෝ දියණිය මුළින්ම පාසල් හෝ ළදරු පාසල් ගිය දිනය මතක් කරගන්න. ඒ සියලු අවස්ථාවකදීම ඔබත්, ඔබේ දරුවාත් ජීවිතයේ මුල්ම වරට වෙන්ව යන අවස්ථාවේදී දෑස් කඳුළින් පිරී යන්නට ඇති. ඇතැම් විට මහ හඬින් හඬන්නට ඇති. සාමාන්‍යයෙන් මුල්ම වරට වෙන්ව යාමකදී දරුවකු තුළ එවැනි හැඟීමක් ඇතිවීම ස්වභාවික දෙයක්. දරුවකුගේ වර්ධන අවධිය තුළ එවැනි හැසිරීමක් දකින්නට ලැබීම ගැන කලබලයට පත්විය යුතු නැහැ. දරුවා ජීවිතයේ ලබාගන්නා අත්දැකීම් සමඟින් නොබෝ දිනකින්ම මෙම තත්වයට හුරු වී ගැටලුව නිරාකරණය වෙනවා. නමුත් මේ තත්වය කාලය සමඟ යම් ආකාරයකින් අවසන් වන්නේ නැත්නම් එතැන ඇත්තේ ගැටලුවක්. වෙන්වීම දරාගන්නට නොහැකි මානසිකත්වයක් දරුවා තුළ දිගින් දිගටම පවතින්නේ නම් ඔහු/ඇය බොහෝ විට විප්‍රයෝග කාංසා ආබාධය(Separation Anxiety Disorder - SAD) නමැති තත්වයෙන් පීඩා විඳිනවා වන්නට පුළුවන්. එවැනි තත්වයක් පවතින්නේ යැයි ඔබට සැක නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි. එසේ වුවත් ඒ සඳහා ඔබට පෞද්ගලිකව කළ හැකි බොහෝ දේවල් ද තිබෙනවා.

දෙමාපියන්ගෙන් මුල්ම වරට වෙන්ව යාමේදී දරුවා තුළ ඇතිවන කාංසා තත්වය ස්වභාවික දෙයක් මෙන්ම දරුවාගේ වර්ධනීය අවධියේදී දකින්නට ලැබෙන සාමාන්‍ය දෙයක් වුවත්, එය ආබාධයක් බවට පත්වීම වර්ධනීය අවධියේ ලක්ෂණයක් ලෙස සැළකිය නොහැකියි. එය බොහෝ විට බරපතල මානසික තත්වයක් දක්වා වර්ධනය විය හැකියි. සෞඛ්‍ය සම්පන්න විප්‍රයෝග කාංසාව සහ විප්‍රයෝග කාංසා ආබාධය යන තත්වයන් දෙකෙහිදීම දකින්නට ලැබෙන ලක්ෂණ බොහෝ දුරට සමානයි. මේ නිසා බොහෝ දෙමාපියන් සිතන්නේ කාලයත් සමග සියලු දෙය විසඳෙනු ඇති බවයි. කෙසේ නමුත් මෙය හරිහැටි හඳුනා නොගතහොත් සිදුවන්නේ දරුවාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඇති අවස්ථාව පමා වීමයි.

සෞඛ්‍ය සම්පන්න විප්‍රයෝග කාංසාතත්වය සහ විප්‍රයෝග කාංසා ආබාධයඅතර ඇති ප්‍රධාන වෙනස් කම් කිහිපයක් දෙස අපි අවධානය යොමු කරමු.

මෙයින් ප්‍රධානතම මානසික තත්වයක් වන්නේ දරුවා තුළ ඇති අධික බිය තත්වයයි. මෙම බිය තත්වය නිසා ඔහු සාමාන්‍ය ක්‍රියාකාරකම්වලින් වැළකී සිටින්නට උත්සාහ ගන්නවා. දෙමාපියන්ගේ වෙන්ව යාමට සිදුවෙතැයි ඔවුන් තුළ අනියත බියක් පවතිනවා. ඒ නිසා ඔවුන් මිතුරන් සමග ක්‍රීඩා කරන්නට, පාසල් යන්නට සිදුවන විට කුමක් හෝ රෝගී තත්වයක් ගැන පැමිණිලි කරන්නට පුරුදුව සිටිනවා.  මෙය ආරම්භ වන්නේ සාමාන්‍ය මට්ටමින් වුවත්, එය මුල් අවස්ථාවේදීම එය හඳුනානොගතහොත් සිදුවන්නේ දරුවා තුළ ඇති මානසික ආබාධය කාලයක් සමඟ බරපතල තත්වයට පත්වීමයි.

දරුව තුළ යම් අනාරක්ෂිත හැඟීමක් පහළවීම නිසාත් විප්‍රයෝග කාංසා ආබාධ තත්වයක් ඇතිවිය හැකියි. දරුවාගේ ලෝකයේ සමබරතාවය බිඳෙන යමක් සිදුවීම මෙම අනාරක්ෂිත හැඟීමට හේතුවක් වන්නට පුළුවන්. දරුවාගේ සාමාන්‍යය දින චර්යාවට තර්ජනයක් වන දෙයක් සිදුවීම ද මේ අතරට වැටිය හැකියි.  දරුවාගේ මෙම තත්වය ඔබ වඩා හොඳින් අවබෝධ කරගත යුතුයි. පහත සඳහන් කාරණා දෙස අවධානය යොමු කරන්න.

            වටපිටාව වෙනස්වීම - නව නිවසක්, පාසලක් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළුකිරීම වැනි දරුවාගේ සාමාන්‍ය වටපිටාවේ සිදුවන වෙනස්කම්.

            ආතතිය -  පාසල වෙනස්වීම, සුරතල් සතුන් ඇතුළුව ආදරය කළ පුද්ගලයන් අහිමිවීම

            දරුවා අධික ලෙස ආරක්ෂා කිරීම - තම දරුවාට අනතුරක් සිදුවේ යැයි කියා ඇතැම් විට ඔබ දරුවාව අධික ලෙස ආරක්ෂා කරන්නට පෙළැඹී සිටිනවා විය හැකියි. එය සැබවින්ම දෙමාපියන් තුළ ඇතිවන කාංසා තත්වයක්. දෙමාපියන්ගේ එම මානසික තත්වය දරුවා කෙරෙහි අනිසි ලෙස බලපෑම් කළ හැකියි.

අප මුළින් සඳහන් කළා සේ දරුවා තුළ විප්‍රයෝග කාංසා ආබාධමය තත්වයක් ඇතිවී තිබෙන්නේ යැයි සැක පහළ කරන්නේ නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු වෙනවා. කෙසේ නමුත් දෙමාපියන් හැටියට ඔබට ද කළ හැකි යම් යම් දේ තිබෙනවා. මුළින්ම දරුවාට නිවසේ වටපිටාව වඩාත් සුරක්ෂිත යැයි හැඟෙන තත්වයක් නිර්මාණය කළ යුතුයි. එවිට දරුවා තුළ ආරක්ෂාකාරී බව නිතැතින්ම ඇතිවෙනවා. ඒ වගේම දරුවා දැනට සිටින පාසල වෙනස් කිරීම ද මෙම තත්වය වෙනස්කිරීමට හේතු විය හැකියි. නමුත් දරුවාගේ මෙම කාංසා ආබාධමය තත්වය ඇතිවන්නට පාසල ද හේතුවක් යැයි නිගමනය කළ හැකි කරුණු ඉස්මතු වන්නේ නම් පමණක් මෙය කළ යුතුයි. ඔබගේ උත්සාහ තුළින් දරුවාගේ මානසික තත්වය සහමුළිනම් වෙනස් නොවන්නට හැකි මුත් කලින් පැවති තත්වය සමහන් කරන්නටත් වෛද්‍ය ප්‍රතිකාරවල ප්‍රතිපල වඩාත් ඉක්මණින් ලැබීමටත් මෙය හේතු විය හැකියි.

වෙන්වීමේදී දරුවා තුළ ඇතිවන මානසික ව්‍යාකූලත්වය සමනය කිරීමට පහත සඳහන් පියවර ඔබට අනුගමනය කළ හැකියි. එවිට ඇතැම් විට එය ආබාධයක් දක්වා වර්ධනය වීමට ඇති ඉඩකඩ අවම කරගන්නටත් පුළුවන්.

            වෙන්ව යාම හුරුකරවන්න -  දරුවා මුළින්ම ඔබගේ ළඟම ඥාතියකු හෝ හිතවතකු අසල කෙටි කාල පරාසයක් තුළ තනි කරන්න. ඔබට ඉතා සමීප අසල්වැසි නිවසක් මේ සඳහා බොහෝ සුදුසුයි.

            නිදාගැනීමෙන් හෝ ආහාරගැනීමෙන් අනතුරුව සුළු සුළු වෙන්කිරීම සිදුකරන්න. දරුවන්ට කුසගිනි දැනෙන විට හෝ නිදිමත ඇතිවූ විට ඔවුන් තුළ විප්‍රයෝග මානසික තත්වයක් ඇතිවිය හැකියි. එම නිසා කලින් සඳහන් කළ පරිදි කෙටි වෙන්වීමක් සිදු කළ යුත්තේ කෙටි නින්දකින් හෝ කුසගිනි නිවීමෙන් පසුවයි.

            සමුදීමට හුරුකරවන්න. සමුදීමට නිතර හුරුකරවීම තුළින් එය දරුවාට සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. එය ඔබට ගැළපෙන පරිදි පුරුදු කළ හැකියි. ඇතැම් දෙමාපියන් බායියනුවෙන් පවසනවා. ඇතැමුන් සිය ආගමට අනුව බුදු සරණයිහෝ දෙවි පිහිටයි’, ‛ජේසු පිහිටයිවැනි ආකාරවලින් පවසන්නට පුරුදුව සිටිනවා. විශේෂයෙන් දරුවා කාමරයේ සිටින විට ජනෙලය ළඟට ගොස් අත වනා මෙවැන්නක් පැවසීමට පුරුදුවීම වඩාත් සුදුසුයි.

            සියලු විට දරුවාට හිතකර වටපිටාවක් නිර්මාණය කරන්න. අලුත් වටපිටාවකට මාරු වූයේ නම් එය දරුවාට සාමාන්‍ය තත්වයක් බවට පත්කරන්න. දරුවා වෙනත් අයකු අසල කෙටි වේලාවකට හෝ තබන්නේ නම්, ඔබේ නිවසේ දරුවාට හුරුපුරුදු සෙල්ලම් බඩු කිහිපයක් ඔහු සමග තබායන්න. එවිට දරුවාට සමීපතම පරිසරය තුළ ඇති ඇති හුරුපුරුදු බව වෙනස් වන්නේ නැහැ.

            දරුවා ඔබගේ දෙමාපියන් සමඟ, දරුවන් බලාගන්නා සමඟ හෝ දිවාසුරැකුම් මධ්‍යස්ථනයේ තබා යන්නේ නම් ඔබ එතැනින් පිටත්වන බවත්  නැවත පැමිණෙන බවත් කෙටියෙන් ඍජුව පවසන්න.

කෙසේ නමුත් දරුවා තුළ ඇති මෙම විප්‍රයෝග කාංසා තත්වය ආබාධයක් දක්වා වර්ධනය වී ඇත්නම් ඔබට මෙම ප්‍රතිකර්මවලින් පමණක්ම සෑහීමකට පත්වන්නට හැකියාවක් නැහැ. ඔබ ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ යුතුයි. නොපමාව අවශ්‍ය පියවර ගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න දරුවකු ලෙස සමාජයට තුළ වැඩෙන්නට ඔහුට ඇති ඉඩකඩ තහවුරු කළ හැකියි.

3 comments:

  1. මට මේ ලිපිය කියෙව්වාට පස්සේ මතක් වුණා පොඩි කාලේ මට මේ හැගීම දැනුණ විදිහ. අැත්තට ම මට මේක දැනුනේ නෑ කෙනෙකුගේ ගෙදරදී. මට මතක විදිහට අපේ ගෙදර රෑට නිදාගත්දි පොඩි ලයිට් ඒකක් දාලා තියනවා. ඒත් ඒ ගෙදර කලුවරේ තමා නිදාගන්න වුණේ. ගෙදර තියෙන්නෙත් මහ පාලු තැනක. ඒදා හවස් වෙද්දි මට හිතුනා අම්මයි තාත්තයි කවදා හරි මට නැති වෙයි කියලා. ඒක කියාගන්න බැරි තරම් දුකක් දැනුන හැගීමක්. ඒක කාලයක් යනකල් (සමහර විට දැනුත්) මගේ හිතේ තියෙන බයක්. මං හිතන්නේ මේක මට ලොකු බලපෑමක් කරා..... ඒත් මේ නම සහ සිද්ධිය දැන ගත්තේ අද......

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම යම් යම් මට්ටම්වලින් මේ තත්වයට මුහුණ පාලා තියෙනවා. කෙසේ නමුත් මේ තත්වය ගැන, මෙය මානසික ආබාධයක් දක්වා වර්ධණය වීමට ඇති ඉඩ කඩ ගැන දැන සිටීම හැම අතින්ම වැදගත්.

      Delete
  2. වැදගත් ලිපියක්, ගොඩක්දේ දැනගත්තා.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න