පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, February 1, 2016

විභව ගණිකාවන්ගේ පරෙස්සම් වන්න - Beware of Potential Protitutes


අගනගරයේ පිහිටි සුප්‍රකට වෙළෙඳ ව්‍යාපාරයකි. එය ව්‍යාපාරික ලෝකයේ මෙතරම් ඉහළ තැනකට ගෙන එන්නට වෙහෙස මහන්සි වූ පුද්ගලයන් අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ එක් තරුණ සාමාජිකයකු වන කණිෂ්ක’ (අනවර්ත නාමයකි) සුවිශේෂීය. ඔහුගේ සියුම් ව්‍යාපාරික ඥානය නොවන්නට සෙසු තරගකාරී ව්‍යාපාර පරයා මෙය මෙතරම් ඉහළකට නැගෙන්නට ඉඩක් නැත. මේ නිසා ව්‍යාපාරික ලෝකයේ සෙසු සමාගම් ඔහු ලවා සිය සමාගම්වල සේවකයන් දැනුවත්කිරීමේ වැඩසටහන් ආදිය ද ලබාගන්නට උනන්දු විය. ඔහුගෙන් එවැනි සේවයක් ලබාගන්නට එක්තරා සමාගමක නමක් සඳහන් කරමින් දිනක් රූමත් කාන්තාවක පැමිණියාය. කණිෂ්ක සුපුරුදු පරිදි ඇය සමඟ ඉතා සුහදශීලීව කතා බහ කළේය. ඔහු ලවා සිය සමාගමේ සේවකයන් සඳහා ධනාත්මක චින්තනය පිළිබඳ වැඩසටහන් කිහිපයක් පවත්වාගත යුතු බව පවසා ඔහුගේ පෞද්ගලික දුරකතන අංකය ආදී සෙසු විස්තර රැගෙන ඇය නික්ම ගියාය. දින කිහිපයකට පසු ඇයගේ ඔහුට ඇමතුමක් ලැබිණි. ඔහු එයට පිළතුරු දුන්න ද ඇය පෙරකී වැඩසටහන පිළිබඳ කිසිවක් කතා නොකළ අතර වෙනත් වැල්වටාරම් ආදිය කතා කළාය. සිය පවුල් ජීවිතයේ ඇති අර්බුද පිළිබඳව ද ඇය මෙහිදී පවසා සිටියාය. ඔහු ඒවා දෙස ධනාත්මකව බලා විසඳාගන්නා අයුරු පවසා සිටියේය. යළිත් දින කිහිපයකට පසු ද ඇය කතා කළාය. එහිදී ඇය පැවසූයේ සිය සැමියා අසනීප කිහිපයකටම ලක්ව සිටින බවත්, තමාව ලිංගිකව සතුටුකිරීමට හෝ ඔහුට හැකියාවක් නැති බවත්ය. කණිෂ්ක වැන්නකු තමාගේ සැමිය වූයේ නම් ඔහුට දෙවියකුට මෙන් සළකමින් ජීවත්වන බව ද ඇය පැවසූවාය. එමෙන්ම ඇය නොකියා ඉඟි කොට සිටියේ ඔහු හා වඩාත් සමීප ඇසුරකට කැමති බවය. කෙසේ හෝ ව්‍යාපාරික ලෝකයේ මේ සා දුරක් බොහෝ අභියෝගවලට මුහුණ දෙමින්, විවිධ පුද්ගලයන් ඇසුරු කරමින් පැමිණි ඔහුට මැයගේ මේ හැසිරීමෙහි යම් අමුත්තක් දැනුණි. ඒ නිසාම ඇයට ද සොරා ඔහු ඇය පිළිබඳ සොයා බැලුවේය. එවිට ඔහුට ඇය පිළිබඳ සියලු තොරතුරු සොයාගන්නට හැකියාව ලැබිණි. ඇය පැමිණ තිබුණේ කණිෂ්කගේ ව්‍යාපාරයේ සමීපතම තරගකාර සමාගමේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමටය. ඇය වූ කලී ඔහු වෙනුවෙන් අටවන ලද පැණි උගුලකි’ (Honey Trap හෙවත් පැණී උගුල් ගැන මෙතැනින් කියවන්න.) ඔහු හා සමීප සබඳතම් පවත්වන්නට ඇය එවා තිබුණ ද ඇය අනෙක් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හා සමීපව කටයුතු කරන මුත් වෙනත් සමාගමක සේවය කරන කාන්තාවක විය. ඇයට වෙනත් ස්ථිර රැකියාවක් ද තිබිණි. නමුත් ඇය සිය රැකියාවට අමතරව මූල්‍යමය අරමුණු උදෙසා ඇතැම් අවස්ථාවලදී මෙසේ ගණිකා වෘත්තියේ යෙදෙන්නට ඉදිරිපත් වන තැනැත්තියක විය. කණිෂ්ක වුව වඩාත් විපරම්ශීලී නොවූයේ නම් නිසැකවම ඇය ඔහු සමඟ යහන්ගත වන අතර ඉන් පසුව එය ඉදිරියට දමමින් ඔහුගේ ව්‍යාපාරික ගමන අඩපණ කිරීම ඇයගේ අරමුණ විය.

වෘත්තියෙන් ගණිකාවක නොවූව ද විවිධ අවස්ථාවලදී මූල්‍යමය හෝ වෙනත් හේතු මත පිරිමින් සමඟ යහන් ගතවන්නට ඉදිරිපත් වන මෙවැනි කාන්තාවන් සමාජ විද්‍යාවේදී හඳුන්වනු ලබන්නේ විභව ගණිකාව’ (Potential Prostitute) වශයෙනි. අපේ රටේ මෙන්ම ලෝකයේ සියලු රටවල ද මෙවැනි කාන්තාවන් දැකිය හැකිය. එක් පුද්ගලයකෙු වරෙක පවසා සිටියේ ආදායම් බදු සඳහා මුල්ම වරට අවශ්‍ය ලියකියවිලි පිරවීමෙන් පසු මෙවැනි කාන්තාවන් හමුවන බවය. ආදායම් බදු ගෙවන්නා සැළකිය යුතු ධනයක් ඇත්තකු නිසා ඔවුන්ගෙන් මූල්‍යමය වාසි ගැනීමේ අදහස ඇතිව මෙවැනි හමුවීම් සැළසුම් කෙරේ. මේවා පිටුපස යම් යම් රහසිගත පුද්ගලයන් සිටින බැව් පැවසේ. 

මේ කිසිම කාන්තාවක කිසිඳු අවස්ථාවක වෘත්තීය ගණිකාවක ලෙස ක්‍රියාකරන්නේ නැත. මේ බොහෝ දෙනාට රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් තිබේ. එය ඔවුන්ගේ මූලික රැකියාවය. ඔවුන්ට පවුල් ජීවිත පවා තිබෙන අතර දරු දැරියෝ ද  සිටිති. සමාජය දකින්නේ ඇය වඩාත් හොඳ පවුල් ජීවිතයක් ගත කරන බවය. සිය සැමියා සමඟ ආදරයෙන් වෙලී සිටිනු සෙසු සමාජය දකියි. එබැවින් ඇය සමාජයේ ඉතා වැදගත් කාන්තාවක් ලෙස පෙනේ. කෙසේ නමුත් ඇය තමාගේ හෝ වෙනත් පුද්ගලයකුගේ යම් අරමුණක් ඉටුකිරීම සඳහා මුදල් අයකොට ගණිකා වෘත්තියෙහි යෙදෙන්නීය. එය දන්නේ අය සහ තවත් ස්වල්ප දෙනෙකු පමණක් වන අතර ඇය සමාජය ඉදිරියේ පවත්වාගෙන යන ප්‍රතිරූපය එලෙසම රැකගනියි.

ඉහත සඳහන් කළ ආකාරයේ විභව ගණිකාවන් මෙන්ම වෙනත් ආකාරයේ විභව ගණිකාවන් ද දැකිය හැකිය. ඔවුන් ද වෘත්තියෙන් ගණිකාවන් නොවේ. නමුත් ඇය සේවය කරන ස්ථානයේ සියලු දෙනා ඇය නිල නොවන වශයෙන් හඳුන්වනු ලබන්නේ එවැනි අරුතකිනි.

අරකි ඔහොම හිටියට මෙන්න මෙහෙමයි හැටි. අපේ බොසා එක්කත් ගිහින් තියෙනවා.

මෙවැනි කාන්තාවෝ තමා සේවය කරන ආයතනයේ, තමා නිතර ගමන් කරන ප්‍රවාහන සේවයේදී හමුවන යම් යම්  පුද්ගලයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වති. ඒ බොහෝ විට මූල්‍යමය හෝ වෙනත් වාසි අරමුණු කොටගෙනය. නමුත් සියලු දෙනා සමඟ ඇය එසේ හැසිරෙන්නේ ද නැත. ඇයට වාසියක් නොලැබෙතැයි සිතන පුද්ගලයන් සමඟ ඇය හැසිරෙන්නේ වඩාත් වැදගත් ආකාරයකිනි.

විභව ගණිකා තත්වයට පත්වන ඇතැම් කාන්තාවන් ස්ථිර වශයෙන්ම යම් ආයතනයක යම් ප්‍රධානියකුගේ අනියම් බිරිඳ ලෙස සිටිනු ද දක්නට ලැබේ. එවැනි කාන්තාවන් බොහෝ විට විවාහ වන්නේ ද නැත. ඇය සිය රැකියාවෙන් ගන්නා වැටුපට අමතරව සිය ප්‍රධානියාගෙන් ද මූල්‍යමය වාසි අත්කරගනී. යම් අවස්ථාවක ප්‍රධානියා එම සමාගමෙන් නික්ම ගියහොත්, එවැනි ඇසුරකට කැමති වෙනත් ප්‍රධානියකු ග්‍රහණය කරගැනීමට ඇය උත්සාහ කරයි. නමුත් ඇය ගණිකාවක ලෙස ලේබල්අලවා ගන්නේ නැත. ගණිකා වෘත්තියේ යෙදුනේ යැයි ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමට හෝ හැකියාවක් නැත.

විභව ගණිකාවන් බවට යම්කිසි කාන්තාවක් පත්වීම පිටුපස මනෝ විද්‍යාක්මක කරුණු  බොහොමයක් තිබේ. මෙවැනි කාන්තාවන් බොහෝ දෙනෙකුට ඇත්තේ මිහිරි ළමා අවධියක් නොවේ. ඒ බොහොමයක් කඩතොලු වූ ළමා කාලයන් ය. ඇතැමුන් ළමා වියෙහිදීම ලිංගික අතවරවලට ලක්වූ අය ය. ඇතැමුන්ගේ පවුල් පසුබිම අමිහිරිය. අඬදබර කරගනිමින් ජීවත්වූ දෙමාපිය පසුබිමක හැදී වැඩුණු අය ය.  ඔවුන් මේවා මැඩගෙන ජීවිතයේ ඉදිරියට ගමන් කළ ද මනසේ ඇතිවූ පැල්ලම් කිසිදා මැකෙන්නේ නැත. ළමා වියෙහිදී ලද මානසික පීඩනය මනසින් දුරස් නොවේ. එබැවින් වයසින්ම වැඩුණු පසු යම් යම් අවස්ථාවලදී විවිධ අරමුණු වෙනුවෙන් ලිංගිකත්වය යොදාගැනීම පිළිබඳ ඔවුන් එතරම් බරපතල ලෙස සිතන්නේ නැත.

යොවුන් වියෙහිදී අමිහිරි ආදර අත්දැකීම ලබාගන්නා කාන්තාවන්ට ද පසුකාලීනව විභව ගණිකාවන් බවට පත්වීමේ මානසිකත්වය ඇතිවන බැව් සොයාගෙන තිබේ. ආදරය පිළිබඳ අමිහිරි අත්දැකිම් ලැබීමෙන් පසු ඔවුන් තුළ ආදරය, පවුල් ජීවිතය පිලිබඳව ගැඹුරු හැඟීම් ඇතිවන්නේ නැති බව පෙනෙයි. එවැනි බැඳීම් ගැන ඔවුන් තුළ ඇත්තේ අඩු තක්සේරුවකි. ලිංගිකත්වය පිළිබඳ පවා සිතන්නේ, “අයියෝ ඕක සුළු දෙයක්නේවැනි ආකාරයකිනි. එබැවින් ඔවුහු පහසුවෙන් පිරිමින් හා සම්බන්ධකම් ඇතිකොට ගෙන ලිංගික සම්බන්ධතා පවත්වති. අදාළ පිරිමියා ඇසුරු කරන කාල වකවානුවේදී ඇය ඔහුගෙන් බොහෝ මූල්‍යමය ආධර උපකාර ලබාගනියි. ඔහුට වඩා වෙනත් වාසිදායක පුද්ගලයකු පිළිබඳ දැනගන්නට පැබුණහොත් ඔහු සමග සම්බන්ධකමක් ඇතිකරගැනීමට ද දෙවරක් සිතන්නේ නැත.

මෙම තත්වයට පත්වන ඇතැම් කාන්තාවන්ට මූල්‍යමය අරමුණු නැත. ඔවුන් එය සිදුකරන්න් සිය සතුට වෙනුවෙනි. සතුට වෙනුවෙන් යම් යම් හානිකර දේවලට ඇබ්බැහි වන මෙම තත්වය මනෝ විද්‍යාවේදී අවෝන්මාදී පෞරුෂත්වය’ (Hypomanic personality) යනුවෙන් හඳුන්වනු ලබයි. ඔවුන්ට ජීවිතයේ බරක් පතලක් නැත. සාදාචාරය පිළිබඳ අදහසක් නැත. ඇත්තේ තම අරමුණු ඉටුකරගැනීම පමණි.


මේ අනුව විභව ගණිකායන තත්වය විවිධ හේතූන් නිසා ඇතිවන බැව් පෙනෙන්නට තිබේ. ගණිකාවක ලෙස සමාජ සම්මතයට ලක් වූ කාන්තාවක් හඳුනාගත හැකි වුව ද මෙවැන්නියන් ඇතැම් විටෙක හඳුනාගත නොහැකිය. අනෙක ඔවුන් මෙම සැඟවුණු ක්‍රියාවට මුවා වී ගණිකා වෘත්තිය ඉක්මවූ විවිධ අපචාර ක්‍රියාවන්හි ද නිරත විය හැකිය. මොවුන් සැඟවුණු චරිත බැවින් තම තම නැණ පමණින් ඔවුන් හඳුනාගෙන ජීවත්වීම නුවණට හුරු ය.

8 comments:

  1. අප්පට සිරි
    සීතල ය්දධ කාලෙදි කේජීබී එකට වැඩ කල අර පට්ට කියන මොඩ්ල් එකේ ඔත්තුකාරියො ඉඳල තියෙයි උංගෙ රාජකාරිය තමයි විරුද්ධ පාර්ශ්වයෙ අය එක්ක නිද් වැදිල වැදගත් තොරතුරු රැස් කරන එක.
    හෙහ්. බලං ගියාම ලංකාව වගේ රටවලත් ඒව සිද්ධ වෙනව කියද්දිත් පිස්සු වගේ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අපේ සිරි ලංකාවත් හරි දියුණු රටක් කියන එක.

      Delete
  2. ඒකත් මාර ට්‍රික්ස් එකක්නේ.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. ලෝකේ දියුණු වෙන කොට අලුත් ක්‍රම ඇතිවෙනවා.

      Delete
  3. මාර ජාතිනේ තියෙන්නේ නේද???

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමයි. පරෙස්සම් වෙන එක තමයි කරන්න තියෙන්නේ.

      Delete
  4. මේක අද ඉතාම සුලභ දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් පරෙස්සම් වෙන්න ඕන.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න