පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, February 25, 2016

ගණිකාවද? වෛශ්‍යාවද? ලිංගික සේවිකාවද?


අප රටේ පුවත්පතක පළ වූ එක් දැන්වීමකින් පැවසුනේ යම්කිසි වයෝවෘධ පුද්ගලයකු සිටී නම් ඔහුගේ/ ඇයගේ වැඩකටයුතු නොපිරිහෙලා ඉටු කරදෙන්නට සමත් සාත්තු සේවක සේවිකාවන් තම ආයතනය විසින් සපයන බවය. ඔවුහු සැබවින්ම ඒ ආකාරයෙන් සාත්තු සේවක සේවිකාවන් සැපයීම සිදු කරති. තම සේවය ලබා දී දින කිහිපයක් ගතවන විට ගනුදෙනුකරුවන් සමඟ පෙර නොපැවති තත්වයේ හිතවත්කමක් ගොඩ නගා ගන්නා මෙම ආයතනය ඉන් පසු විමසා සිටින්නේ සාත්තු සේවය පමණක් නොව ලිංගික සේවය සඳහා ද තම ආයතනයේ සේවිකාවන් සිටින බැවින් අවශ්‍ය නම් එම පහසුකම ද සැළසිය හැකි බවය. සමාජයට පෙනෙන සේ එක් මුහුණකින් සැරසී සිට ලිංගික සේවය සළසන මෙවැනි ආයතන අප රටේ තවත් කොතෙකුත් ඇති මුත් මේවා නීතියේ රැහැනට හසු වන්නේ ඉඳ හිටය. එසේ හසුවුණ ද නීතියේ රැැහැනට කොටු වන්නේ මෙසේ ලිංගික සේවය සළසන ලද කාන්තාව මිස මෙම ජාවාරම පසුපස සිටින සැබෑ පුද්ගලයා නොවේ. එබැවින් මෙම ව්‍යාපාරය මෙසේ නිරුපද්‍රිතව සිදුකෙරෙමින් පවතී. 


ලිංගික සේවයසහ ලිංගික ශ්‍රමිකයන්හෝ ලිංගික සේවකයන්යන වදන ඇතැමෙකුට නුහුරු වුව ද මෙය ගණිකා වෘත්තියසහ ගණිකාවලෙසින් සඳහන් කළ හොත් තවදුරටත් එය කිසිසේත් නුහුරු දෙයක් නොවනු ඇත. මෙම රජය පත්වී වැඩි දිනක් ගත වන්නට පෙර මාධ්‍ය හමුවේ පෙනී සිටී මහේෂ්වරී නම් කාන්තාව පවසා සිටියේ අප රටෙහි ලිංගික සේවය නීත්‍යානුකූල කළ යුතු බවත්, එවිට තම රැකියාව කිසිදු බාධාවකින් තොරව කරගෙන යා හැකි බවත්ය. මෙම මාධ්‍ය හමුව පවත්වා තිබුණේ ඇය ඇතුලුව ලිංගික සේවිකාවන් විසින් පිහිටුවා ගත් ලිංගික සේවිකාවන්ගේ හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය’ (CSWR - Centre for Sex Worker’s Rights) මගිනි. 


ලිංගික සේවය, ලිංගික සේවිකාවන් යනු ලෝකයේ පැරණිතම රැකියාව වශයෙන් කවුරුත් අවිවාදයෙන් පිළිගනිති. කෙතරම් නීති රීති පැවතිය ද මිනිසුන්ගේ ආශාවන් නීතියෙන් මැඩළිය නොහැකි නිසා එදා සිට අද දක්වාත් මිනිස් වර්ගයා පවතින තුරු ද ලිංගික සේවිකාවන් (ලිංගික සේවකයන් ද මෙම කුලකයේ සිටින බව සැළකිය යුතුය)  සිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත. අප රටේ සමාජ, සංස්කෘතික රාමුව තුළ බොහෝ දෙනෙක් එළිපිට කතා කරන්නට අකැමැති වුවත් ලිංගික සේවිකාවන් වර්තමානයේ අප රටේ අස්සක් මුල්ලක් නෑරම විහිදී පැතිරී සිටිති. ඇතැමුන් හිරු බැස යද්දී මහ මග සිට ගණුදෙනුකරුවන් ඩැහැ ගන්නට බලා සිටින අතර, එයට වඩා පොෂ්ආකාරයෙන් සිය සේවය සපයන්නන් සුඛෝභෝගී මන්දිරවල සිට මෙය සිදු කරති. මහමග සිටින්නියන්ගේ මිල අඩුවන අතර මෙහි සඳහන් කළ අනෙක් ලිංගික සේවිකාවන් අධික මිලක් අය කරති. ඔවුන්ගේ සේවය බොහෝ විට ලබා ගත හැක්කේ ඇතැම් විට තරු පංතියේ හෝටල්වලිනි. අනෙක ඔවුන් මහ මග දක්නට නොමැති බැවින් වෙනත් ස්ථානයදී සාමාන්‍ය අයකු දුටු විට ඇය ලිංගික සේවිකාවක් යැයි කිසිසේත් හඳුනාගන්නට හැකියාවක් ද නැත. කෙසේ නමුත් කොළඹ පිටකොටුව, ගුණසිංහ පුර, බම්බලපිටිය, කොල්ලුපිටිය, මරදාන වැනි ස්ථානවල සිටින ලිංගික සේවිකාවන්ට එසේ සිය අනන්‍යාතාවය එසේ සඟවා ගනිමින් සේවය සැළසීමේ හැකියාවක් නැත. ඔවුන් කොතැනක දුටුව ද ඒ නිසැකවම ලිංගික සේවිකාවක් බව කවුරුත් ක්ෂණිකව හඳුනා ගනිති. 


ලිංගික සේවය යනු කිසිවකු සිය කැමැත්තෙන් තෝරාගන්නා රැකියාවක් නොවේ. මෑතකදී තිරගත වූ එක් දෙමළ සිනමා පටයක් ලිංගික සේවිකාවක් පවසන්නේ තම කැමැත්ත නොවිමසා දෙමාපියන් විසින් තමාව අඩු වයසින් එක් පුද්ගලයකුට විවාහ කර දුන් බවත් දරුවකු ලැබුණු පසු ඔහු තමාව අතැර ගිය බැවින් මෙම රැකියාව හැර තෝරා ගන්නට අන් විකල්පයක් නොතිබුණු බවත්ය. සියලු ලිංගික සේවිකාවන්ගේ කතාව මෙයට සමානය. ඔවුන් මෙම රැකියාව තෝරාගන්නේ ජීවත්වීම සඳහා වෙනත් කිසිඳු විකල්ප මාර්ගයක් නොමැති වූ විටය. එසේ නොමැතිව කිසිඳු තරුණියක් සිය අනාගත වෘත්තිය ලෙස මෙය තෝරාගන්නට කිසිදා සිහින මවන්නේ නැත. කිසිඳු දෙමාපියකු හෝ ගුරුවරයකු තම දූ දරුවන් හෝ ගෝල බාලයන් මෙවැනි රැකියාවකට යොමු කරන්නට කිසි විටෙකත් සිහින දකින්නේ නැත. 


ලිංගික සේවය නීති ගත කොට ඇති කිසිදු රටක මෙහි යෙදී සිටින්නන් අධීක්ෂණය කරන්නට කිසිදු ආයතනයක් පිහිටුවා නැත.  අප රටේ එවැන්නක් පිළිබඳ කතා කිරීමේ ද අර්ථයක් නැත. දැනට සොයාගෙන ඇති දත්තවලට අනුව අප රටේ ලිංගික සේවිකාවෝ පනස් දහසක් පමණ සිටිති. මොවුන් සමාජයේම කොටසක් බැවින්, සමාජයට යම් බලපෑමක් කරන බැවින් ඔවුන් පිළිබඳ යම් අවධානයක් යොමු කරන්නට කාලය එළැඹ ඇති බව පෙනේ. මෙයින් පැවසෙන්නේ ඔවුන්ගේ අභිවෘද්ධිය සැළසීමක් පිළිබඳව නොව මොවුන් ඔස්සේ විවිධ රෝග සම්ප්‍රේෂණය වීම, ජාවාරම් කටයුතු  ආදිය සිදුවන බැවින් ඒවා පිළිබඳ වඩාත් සැළකිල්ලක් දැක්විය යුතු බවය. ලිංගික සේවය නීති ගතකිරීම හෝ නොකිරීම පාලකයාගේ කාර්යයක් වන අතර සාමාන්‍ය ජනතාව ඒ පිළිබඳ සිතිය යුතු නැත. මන්ද අවශ්‍යතාවය ඇති පුද්ගලයාට මෙය නීත්‍යානුකූල වුවත්, නීති විරෝධී වුවත් කිසිදු බාධාවකින් තොරව එය ඉටු කරගැනීමට මාර්ග ඕනෑ තරම් ඇති බැවිනි. 


පසුගිය යුද සමයේ උතුර නැගෙනහිර පළාත්වල සිට අවතැන්ව, දරුවන් සමඟ තනිවූ සැමියා අහිමි කාන්තාවන් බොහොමයක ද වර්තමානය වන විට ලිංගික සේවිකාවෙන්ගේ කුලකයට ඇතුලත්ව සිටිති. ඔවුන් තුළ සමාජය කෙරෙහි යම් වෛරයක් ද පවතින්නේ යැයි කිවහොත් එහි වරදක් නැත. එසේ හෙයින් මොවුන්ගෙන් ඇතැමෙකු තුළ සමාජයෙන් පළිගැනීමේ අදහස ද තිබෙන්නට හැකි බැවින් ඔවුන් ඒ වෙනුවෙන් සිය වෘත්තිය යොදවන්නට ද ඉඩ තිබේ. 


අප නරක ගැහැනුන් ලෙස සමාජය විසින් ලේබල් අළවා හමාරයි. නමුත් පිරිමි වගේ අපට සල්ලි වෙනුවෙන් මිනීමරන්නවත් හොරකම් කරන්නවත් බැහැ. අපට කරන්න පුළුවන් එකම දේ ඇඟ විකුණන එක විතරයි. අපි ඒක කරන්නේ අපේ දරුවෝ වෙනුවෙන්. අපි වෙනුවෙන්.
 

ලිංගික සේවයේ යෙදෙන්නන් සියලු දෙනාගේම පොදු අදහස එලෙසින් කැටිකොට දැක්විය හැකිය. 


ලිංගික සේවය නීත්‍යානුකූල කිරීම කෙරෙහි බොහෝ කාලයක සිට කතා බහට ලක් කෙරෙන්නකි. ස්ත්‍රී දූෂණ කිහිපයක් සිදුවූ විට ඇතැම් සමාජ ක්‍රියාකාරීහු හඬ නඟන්නේ ලිංගික සේවය නීතිගත කොට තිබුණේ නම් සිය ලිංගික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා එය අවශ්‍ය පුද්ගලයන් අදාළ ස්ථාන කරා යනු ඇති නිසා ස්ත්‍රී දූෂණ අවම කරගත හැකි බවය. නමුත් ස්ත්‍රියක් දූෂණය කිරීමෙන් ලිංගික සතුට බලාපොරොත්තු වන්නාට අවශ්‍ය එය දූෂණයක් ඔස්සේම ඉටුකරගැනීමටය. ලිංගික සේවයේ යෙදෙන්නියකගෙන් ඔහුට එය අපේක්ෂා කළ නොහැකිය. එසේ හෙයින් ලිංගික සේවය නීති ගත කළ පමණින් ස්ත්‍රී දූෂණ අවම වේ යැයි සිතීමේ තාර්කික බවක් නැත. ඉන්දියාවේ ලිංගික සේවය නීති ගත කොට තිබුණ ද ස්ත්‍රී දූෂණ ද අඩුවක් නැත. අනෙක මෙය නීති ගත කළ පමණින් ලිංගික සේවිකාවන්ට සමාජයේ ඇති පිළිගැනීමේ වෙනසක් සිදුවන්නේ ද නැත. නීති ගත කළ පමණින් ඇය සමාජය ඉදිරියේ ගෞරවනීය තැනැත්තියක වන්නේ ද නැත. මේ කිසිවක් කළ ද නොකළ ද ලිංගික සේවය කිසිඳු සමාජයකින් තුරන් වන්නේ ද නැත. සමාජ සාරධර්ම රැසක් මැද හැලහැප්පෙමින් මෙම ගැටලුව විසඳුමක් නොමැතිව තවත් බොහෝ කලක් පවතිනු ඇත. අපට කළ හැක්කේ විටින් විට මෙවැනි අදහසක් පළකිරීම පමණි.

4 comments:

  1. ඔබ සමග 100% එකග විය නොහැක, නීති ගත කිරීමේ හොද පැත්තක්ද තිබේ. ලංකාවේ බ්‍රෙසියර් හා ගදසාර (නාන සාර) සදාචාරය නිසා මෙයනම් කිසිදා නීතිගත නොකරනු ඇත. අපි වසර 2500 ප්ර්වුද අතීතයක් ඇති දුපත් මානසික වහලුන් වෙමු. අපිට අවශ්‍ය නායකයන් නොව රජුන්ය.

    ReplyDelete
    Replies
    1. ඔබ ඔබේ අදහස පළකොට ඇති අතර මම මගේ අදහස් පළකොට තිබේ. මා සදහන් කළා සේ මෙම ගැටලුවට අපට කළ හැක්කේ මා දන්නා තරමින් අදහස් පළකිරීම පමණි.

      Delete
  2. ඔන්න මමත් රෙජිස්ටර් වුණා

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න