පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, July 1, 2014

පැණි උගුළකට අහුවුණොත් ඔබ ඉවරයි - Honey Trap is waiting for you!



එක්තරා සුප්‍රකට පාසලක සුප්‍රකට විදුහල්පතිවරයකු විය. ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් යම් යම් නොමනා ක්‍රියාවන් නිසා ප්‍රකට වන අතරේ මේ විදුහල්පතිවරයා ප්‍රකට වූයේ ඔහුගේ සෘජු හා නිර්භය ප්‍රතිපත්ති නිසාය. ඔහුගේ පාසලට කිසි දිනෙක නියමිත පටිපාටියෙන් බැහැරව පළමු වසරට සිසුන් ඇතුළත්කරගැනීමක් සිදුවූයේ නැත. සිය සමීපතම ඥාතීන්ට හෝ හිතවතුන්ට පවා ඔහු සළකන ලද්දේ මේ ආකාරයටමය. ඔහු සිසුන් ඇතුළත්කරගැනීම සඳහා කිසි විටෙක අල්ලස් ගත්තේ නැත. පාසලේ ඉතා දැඩි විනයක් පවත්වාගෙන ගියේය. මුදලට හෝ හිතවතකමට විවිධ උදව් ලබාගැනීමට නොහැකි වූ බොහෝ දෙනා විසින් මෙම විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපයට දෝෂාරෝපණය කළ ද මැදිහත් සියලු දෙනා ඔහු පිළිබඳව පළ කලේ සතුටුදායක ප්‍රතිචාරයන්ය. ඇතැම් අවස්ථාවලදී  දේශපාලඥයන් පවා ඔහුව සිය ග්‍රහණයට ගැනීමට උත්සාහ කළ ද පසුව ඔහුගේ මෙම සෘජු ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රසන්න මුඛයෙන් කතා කරන්නට වූ අවස්ථාවන් ද තිබිණි. කාලය මෙසේ ගෙවී යද්දී විදුහල්පතිවරයාගේ මෙම ක්‍රියාකලාපයන් හා ප්‍රතිපත්ති ක්‍රම ක්‍රමයෙන් වෙනස්වනු දක්නට හැකි විය. ඔහුගේ සීජු ප්‍රතිපත්ති කෙමෙන් දියවී යනවා වැන්නක් දක්නට ලැබිණි. එක් අවස්ථාවකදී ඔහු නියමිත පටිපාටියෙන් බැහැරව සිසුන් ඇතුළත් කරගත් අවස්ථාවක් ද දක්නට හැකි විය. විදුහල්පතිවරයාගේ මෙම හදිසි වෙනසට හේතුව එක්වර සොයාගැනීමට නොහැකි වුව ද තරමක් කල් ගත වූ පසු හෙළිවූයේ ඔහු මෙවැනි වෙනසකට ලක් වූයේ පැණි උගුලකට’ (honeytrap) හසුවීම නිසා බවය.

මේ පැණි උගුළයනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද? මෙය ඇතැම්විට ඔබගේ වාග් කෝෂයට අලුත් වදනක් වන්නට පුලුවන. පැණි උගුළක් යනු යම් යම් පුද්ගලයන්ගේ දුර්වලතාවයන් හඳුනාගෙන එම දුර්වලතාවයන් ඔස්සේ ඔහුව පාලනයකට හසුකරගැනීම සඳහා යම්කිසි පුද්ගලයකු යෙදවීමේ ක්‍රියාවලිය ය. ලොව සියලු දෙනා සර්ව සම්පූර්ණ නැත. විවිධ පුද්ගලයන්ගේ විවිධ දුර්වලතාවයන් තිබේ. ඇතැම් ඒවා ප්‍රකට දුර්වලතාවයන් වන අතර ඇතැම් ඒවා එසේ නොවේ. විශේෂයෙන් පෞරෂමය වශයෙන් ශක්තිමත් පුද්ගලයන් සමාජය ඉදිරියේ ශක්තිමත් පුද්ගලයන් ය. නමුත් ඔවුන්ගේ ද කුමක් හෝ දුර්වලතාවයක් තිබේ. දුෂ්කර කාර්යයක් වන්නේ එය හඳුනාගැනීමය. යම් විදියකින් එය හඳුනාගතහොත් ඔහුව පවා අල්ලේ නටවන්නටපුලුවන. ඉහත සඳහන් විදුහල්පතිවරයාට සිදුවූයේද එවැන්නකි. ලෝකයේ බොහෝ සුප්‍රකට පුද්ගලයන්ගේ දුර්වලතාවය වන්නේ කාන්තාවන්ය. ඇතැම් පුද්ගලයන් පෞරෂමය වශයෙන් කෙතරම් ශක්තිමත් වුව ද කාන්තාවන් ඉදිරියේ එම පෞරෂයන් ඇදවැටෙන බැව් දකින්නට පුලුවන. සුප්‍රකට සිනමා චරිතයක් වූ ජෙම්ස් බොන්ඩ්ද එවැන්නෙකි. ජෙම්ස් බොන්ඩ් යනු ලෝකයේ සිටින සුප්‍රකම රහස් පරීක්ෂක චරිත අතුරින් එකකි. නමුත් ඔහු කාන්තා ලෝලියෙක් (Womanizer) විය. ඒ නිසාම ඔහු කරා පැමිණෙන කාන්තාවන් නිසා ඔහුගේ යම් යම් උපායයන් වැරදී ගිය අවස්ථාවන් දක්නට ලැබී තිබේ. මෙය සැබෑ ලෝකයේ චරිතයක් නොවූව ද එය එසේ ගොඩ නංවා ඇත්තේ සැබෑ ලෝකයේ ඇතැම් රහස් පරීක්ෂකයන්ට ද එවැනි දේ සිදුවන බැව් පෙන්වීමටය.

පැණි උගුල් ඇටවීම ලෝකය පුරාම පැතිර ඇති දෙයකි. බොහෝ විට මෙම පැණි උගුළ බවට පත්වන්නේ කාන්තාවන් වුව ද පිරිමින් ද පැණි උගුල් ලෙස ක්‍රියාත්මක වූ අවස්ථා බෙහොමයක් දක්නට ලැබේ.  ඔවුනගේ අරමුණ වන්නේ යම්කිසි පුද්ගලයකු කරා එළැඹී ඔහුව හෝ ඇයව තමා වෙතට කෙසේ හෝ නැඹුරු කරවා ගැනීමය. පැණි උගුල්වලට හසුවන සියලු පිරිමින් කාන්තාලෝලීහු නොවෙති. ඇතැමුන් යහපත් පවුල් ජීවිත ගතකරමින් සිටිනවුන්ය. ඇතැමුන් කාන්තාවන් කෙරෙහි උනන්දුවක් නැත. එවැනි සම්බන්ධතාවලට කාලයක් ද නැත. නමුත් තමා ගැහැනු උගුළකට, නැතහොත් පැණි උගුළකට හසු වී ඇති බව දැනගන්නා විට සියල්ල සිදුවී හමාරය. මෙම පැණි උගුල් සිය ගොදුර වෙත ළගාවන්නේ සාමාන්‍ය ආකාරයෙනි. ගොදුර පිරිමියෙකු නම් ඔහුට සම්බන්ධ කුමක් හෝ කාරණයක් අදාළ කරගනිමින් ඔහු වෙත ප්‍රවේශ වේ. අප පෙර සඳහන් කළ විදුහල්පතිවරයා උදාහරණයකට ගතහොත්, ඇතැම්විට මේ කාන්තාව පාසලට පැමිණෙනට ඇත්තේ යම්කිසි පර්යේෂණයක් සඳහා තොරතුරු එක්රැස්කරන්නියක් ලෙස විය හැකිය. මේ සඳහා ඇයට නිතර ම විදුහල්පතිවරයා හමුවන්නට සිදු වේ. ඔහු සමඟ යම්කිසි සබඳතාවයක් ගොඩනගාගන්නේ මේ අතරතුරය. මෙයට ගොදුරුවන පුද්ගලයා කාන්තාලෝලියකු නම් මේ කාර්යය වඩාත් පහසුය. එසේ නොවුන ද මෙම  පැණි උගුල් පසුබසින්නේ නැත. ඔවුහු කෙසේ හෝ අදාළ පුද්ගලයා තමාගේ ග්‍රහණයට සිරකරගැනීමට දක්ෂවෙති. එසේ ග්‍රහණයට හසුකරගැනීමෙන් පමණක් ඔවුනගේ කාර්යය සම්පූර්ණ වන්නේ නැත. පැණි උගුළට හසුවූ බවට පෙන්වන සාක්ෂි රැස්කරගැනීම ඔවුන්ගේ ඊළඟ අදියරයි. මේ සඳහා ගොදුරුවන පුද්ගලයාට නොදැනෙන සේ තෙවැනි පාර්ශ්වයක් ද මෙයට සම්බන්ධ කරගනී. මෙතෙක් කල් අදාළ පුද්ගලයාට අයත් පරිශ්‍රයක් තුළ ඔවුනගේ හමුවීම සිදුවුව ද නොබෝ දිනකින් එය වෙනත් තැනක් බවට පත්කරගැනීමට පැණි උගුළ උපක්‍රමශීලි වේ. තෙවැනි පාර්ශ්වය සිය වැඩකටයුතු ආරම්භකරන්නේ මෙහිදීය. ඔවුන්ගේ මෙම හමුවීම් ඡායාරූප ගතකිරීම, වීඩියෝ ගතකිරීම සිදුකරනු ලබන්නේ මෙම තෙවැනි පාර්ශ්වයයි. සිය අරමුණ ඉටුකරගැනීම සඳහා ගොදුර සමඟ යහන්ගතවීමට වුව ද මෙම පැණි උගුල් සූදානම් ය. ගොදුර මෙතරම් දුරකට රැගෙන ආ පසු ඔහුගේ සියලු දුර්වලකම් හඳුනාගන්නට පැණි උගුළ සමත්වන අතර, ඉන්පසුව අනෙක් මෙහි ඊළඟ අදියර ක්‍රියාත්මක වේ. මෙහිදී ඇතැම්විට සිදුවන්නේ මෙම සම්බන්ධතාවය ප්‍රසිද්ධ කරනබවට තර්ජනය කොට (Blackmail) ඔහු ලවා යම් යම් දේ ඉටුකරවාගැනීමය. සමාජය ඉදිරිපිට දැඩි පෞරෂයක් ගොඩනගාගෙන සිටින බොහෝ පුද්ගලයන් බිඳවැටෙන්නේ මෙවැනි අවස්ථාවලදීය. සිදුවූයේ කුමක් ද යන්න පවා ඔවුනට සිතාගත නොහැකි වේ. මෙතෙක් කල් සිංහයන් සේ හැසිරුණු පුද්ගලයෝ මෙවැනි පැණි උගුළක් නිසා නිතැනින්ම සිඟාළයන් බවට පත්වෙති.

පැණි උගුල් පිළිබඳ කතා කරන මුල්ම සාහිත්‍ය කෘතිය වන්නේ පන්සිය පනස් ජාතක පොත් වහන්සේය. එහි 18 වැනි කතාව වන්නේ වාත මිගජාතකයයි. එක්තරා උද්‍යානයකට පැමිණෙන මුවකු අල්වා ගන්නට තණකොළවල මී පැණි ගැල්වූ කතාවක් එහි කියැවෙයි. ඒ අදාළ මුවා අල්ලාගන්නට යෙදූ  පැණි උගුළකි. ලෝකයේ සිටි මෙවැනි සුප්‍රකට පැණි උගුළක් ලෙස ඉතිහාස ගතවන්නේ යුද ඔත්තුකාරියක සිට අවසානයේ වෙඩි කා මරුමුවට පත්වූ මාතාහාරි ය. ඇය ඇය පළමු ලෝක යුද සමයේ යුද රහස් හෙළිකරගැනීම පිණිස හමුදාවන්හි ඉහළ නිලවල පුද්ගලයන් රැසක් සිය පැණි උගුළට හසුකරගත්තාය.

අප රටේ දක්නට නැතත් විදෙස් රටවල පැණි උගුල් ඇටවීම සඳහා නියෝජිතායතන පවා දක්නට ලැබේ. ඒවා Honey trap Agency යනුවෙන් හඳුන්වනු ලබයි. යම්කිසි කාන්තාවකට සිය සැමියාගේ විශ්වසනීය බව පිළිබඳ ගැටලු ඇත්නම් ඔවුන් පිහිට පතන්නේ මෙම ආයතනයන්ගෙනි. එක් අවස්ථාවක එක් කාන්තාවක් සඳහන් කොට තිබුණේ උගුල් ඇටවීම පිණිස යොදාගත් කාන්තාව විසින් සිය සැමියා උදුරාගත් බවය. එනම් මෙම පැණි උගුළ සිය රජකාරිය බැහැරක දමා අදාළ පිරිමියාට සැබෑ ලෙසද ආදරය කොට ඔහු සිය ස්වාමි පුරුෂයා බවට පත්කරගත් බවකි. තවත් අවස්ථාවක එක් කාන්තාවක් පිරිමියෙකු විසින් අටවන ලද පැණි උගුළකට හසු විය. එනම් මෙහිදී උගුළ ලෙස ක්‍රියාත්මක වයේ පිරිමියෙකි. මෙතෙක් කලක් සිදුවූයේ ඔත්තු බැලීමක් විනා සැබෑ ආදරයක් නොවන බව හෙළිවුව ද අදාළ උගුළට හසු වූ කාන්තාව එය පිළිගැනීමට මැළි වූවාය.

මේක කොහොමටවත් වෙන්න බැරි දෙයක්. එයා මට පණටත් වඩා ආදරේ කළායනුවෙන් ඇය පවසන්නට වූවාය. නමුත් ඇය හසුවී තිබුණේ පැණි උගුළකටය.

දැනට වසර දෙකකට පමණ පෙර එක් සිංහල පුවත් වෙබ් අඩවියක මෙවැනි පුවත් ශීර්ෂයක් සටහන් වී තිබිණි.

ශ්‍රී ලංකාවේ විස්සයි විස්සට ලිංගික දැලක් එළලා

මෙහිදී සිදුව තිබුණේ ක්‍රිකට් ක්‍රිඩකයන්ට ලිංගික අල්ලස් දී සිදුකිරීමට සැළසුම්කොට තිබූ ක්‍රිඩා පාවාදීමේ සිදුවීමකි.  මෙය විමල් මර්වාහ් නම් ඉන්දීය කාන්තාවක් විසින් සැළසුම් කරන ලද්දක් බැව් හෙළිවිය. එම ප්‍රවෘත්තියේ ද මෙම ක්‍රියාව හඳුන්වාදී තිබුණේ පැණි උගුලක්ලෙසිනි.


කෙසේ වුව ද පැණි උගුල්වල නිරන්තර ඉළක්කය වන්නේ පිරිමින් ය. බොහෝ විට සමාජයේ කුමක් හෝ අංශයකින් සුප්‍රකට පිරිමි මෙවැනි උගුළවලට හසුකරගැනීමේ උපක්‍රම ක්‍රියාත්මක වේ. මෙවැනි උගුල්වල අවසාන අරමුණ වන්නේ තර්ජනය කොට මුදල් ලබාගැනීමය. නැතහොත් යම්කිසි පුද්ගලයකුගේ වැඩපිළිවෙලක් නවතා දැමීමය. සමාජයේ යම් යම් අසාධාරණකම්වලට එරෙහිව සටන් වදින පුද්ගලයන් ද පැණි උගුල්වලට හසුකරගන්නට ඉඩකඩ ඕනෑතරම්ය. එබැවින් එවැනි උගුල්වලට හසුවිය හැකි යැයි හැඟෙන්නන් තමා වෙත ප්‍රවේශවන්නන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන් කාන්තාවක් වශයෙන් ඔබගේ සැමියා මෙවැනි උගුලකට හසුවීමේ ඉඩකඩක් ඇතැයි ඔබට හැඟේ නම් ඔබ ද මේ පිළිබඳව අවධානයෙන් යුත්කව සිටිය යුතුය.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න