ඉපැරණි සුමේරියාවේ කාන්තාවන් දේවත්වයෙන් ඇදහූ බව දැක්වෙන ප්‍රතිමාවක් |
ලෝකයේ පවතින
සියලු සමාජයන් දෙස නෙත් යොමුකළ හොත් අපට පැහැදිලිව දක්නට හැකි දෙයක් වන්නේ ඒ
සියල්ලෙහි අධිකාරිත්වය පිරිමින් විසින් දරනු ලැබීමයි. ගැහැණුන් සමතැන හෝ නිසි තැන
ඉල්ලමින් නිතර උද්ඝෝෂණ සිදුකරන්නේ එබැවිනි. මෙවැනි සමාජයක් හඳුන්වන්නට සමාජ විද්‍යාවේ
යොදා ගැනෙන්නේ ‛පීතෘ මූලික’
යන වදනයි. මෙහි විරුද්ධ පදය වන්නේ ‛මාතෘ මූලික’ යන්නයි. එනම් සමාජය ගැහැණුන් විසින් පාලනය කරනු ලැබීමයි.
විශේෂයෙන් සමාජයේ උසස්ම ස්ථානයේ සිටින්නේ මව්වරුන්ය යන්නයි. පීතෘමූලික සමාජය අප ප්‍රායෝගිකව
අත්දකින මුත් මාතෘමූලික සමාජය පිළිබඳ අපට එවැනි අත්දැකීමක් නැත. පරිපූර්ණ වූ
මාතෘමූලික සමාජයන් පැවතුනා හෝ පවතින්නේය යන්න පිළිබඳ මානව විද්‍යාවද පිළිගන්නේ
නැත. නමුත් ගැහැණුන් විසින් රටවල් පාලනය කිරීම නම් ඕනෑ තරම් දක්නට ලැබේ. ඒවා
මාතෘමූලික යැයි පිළිගැනෙන්නේ නැත.
මාතෘමූලික
සමාජයක සමස්ථ පාලන කටයුතු ගෙනයන්නේ මව්වරුන් ප්‍රමුඛ ගැහැණුන් විසිනි. එහි
පිරිමින්ට තැනක් නැත. මෙවැනි සමාජ ක්‍රමයක් ඇත්නම් එය කෙතරම් වටින්නේදැයි සියලු
කාන්තාවන් සිතනු ඇත. නමුත් මානව විද්‍යාඥයින් හා සමාජ විද්‍යාඥයින් මෙය හුදෙක්
කල්පිතයක් ලෙස සළකා ඉවත හෙළන්නට පෙළඹෙයි. එය එසේ වුවත් ඉතිහාසය දෙස බැලීමේදී පෙනී
යන්නේ ලෝකයේ බොහෝ රටවල මාතෘමූලික සමාජ ක්‍රම පැවති බවයි. එමෙන්ම ලෝකයේ සමාජ ක්‍රම
පිළිබඳ හොඳින් සොයාබැලීමේදී පෙනෙන්නේ එවැනි සමාජ ක්‍රම වර්තමානයේද පවතින බවයි.
විලෙන්ඩෝර්ෆ් වීනස් ප්‍රතිමාව ලෙස ප්‍රකට මෙය ක්‍රි.පූ. 25000ට පමණ අයත්ය. ප්‍රාග් යුරෝපයේ කාන්තාවන් දේවත්වයෙන් ඇදහූ බව මෙයින් නිරූපණය වන්නේ යැයි පවසේ. |
මිනිසා
පරිණාමය වෙමින් පැවති සමයේදී පසුකළ ඇතැම් යුගවල මාතෘමූලික සමාජ ක්‍රම දක්නට ලැබී
ඇත. විශේෂයෙන් නව ශිලා යුගයේදී යුරෝපයේ මෙවැන්නක් දක්නට ලැබුණි. ක්‍රි.පූ. 1500දී පමණ ක්‍රීටයේ සර්ව සම්පූර්ණ මාතෘමූලික
සමාජ ක්‍රමයක් පැවැති බවට සාධක හමුවේ. වර්තමානයේ ඇතැම් අප්‍රිකානු සමාජවලද
ඉන්දියාවේද මාතෘමූලික සමාජ ක්‍රම පවතින බව පෙනෙන්ට තිබේ. විශේෂයෙන් දකුණු
ඉන්දියාවේ තුලුනාඩු හි බනට් ප්‍රජාවේ හා කේරලයේ නයිර් ප්‍රජාවේ අදටත් මාතෘමූලික
සමාජ ක්‍රමයක් දක්නට ලැබෙන බැව් පෙනෙන්ට තිබේ. නමුත් එම සමාජ ක්‍රම පිළිබඳ
පැහැදිලි විස්තරයක් ලබාගන්නට තරම් මාර්ග නොමැත. කෙසේමුත් ඉන්දියානු ඉතිහාසය තුළ
මාතෘමූලික සමාජක්‍රම පැවැති බවට පැරණි ලේඛනවලින් විස්තර හමුවේ. එනම් ගැහැණුන්ට
සමාජයේ වැඩි අයිතියක් ලබාදීමය. වර්තමානයේ ඉන්දියානු සමාජ ක්‍රමය තූල තමාට කැමති
සහකරුවකු තෝරාගන්නටවත් ඇතැම්විට නිදහසක් නොමැති වුවද පැරණි ඉන්දියාවේ එවැනි අවස්ථා
දක්නට ලැබිණි. නමුත් එම අයිතිය තිබුණේ කුලයෙන් උසස් කාන්තාවනට පමණි. එකල තරුණියකට
තමා කැමති පිරිමියකු තෝරාගන්නට අවස්ථාවක් හිමි විය. එය උත්සවාකාරයෙන් පැවතියේය.
පිරිමියාගේ ශක්තිමත් බව, දැනුම,
ගතිගුණ ආදිය සළකා බලා ගැහැණුන් තමා කැමති පිරිමියා තොරා ගත්තේය.
රාමායනයේ සීතා කුමරිය රාම කුමරු සිය සහකරු වශයෙන් තෝරාගත්තේ ශිව දෙවියන්ගේ දුන්න
කැඩීමට හැකිවූ නිසාය. නමුත් වර්තමාන ඉන්දියාවේ තත්වය මෙසේ නොවේ. ගැහැණියකට තම සහකරුවා
තෝරාගැනීමට අවස්ථාවක් නැත. ඇයට විවාහවන්නට අවශ්‍ය නම් සෑහෙන ප්‍රමාණයක දෑවැද්දක්
දී පිරිමියාගේම සිරකාරියක වීමට සිදුවන්නේය. විවාහය සිදුවන්නේ ද ගැහැණියගේ කැමැත්තට
නොව දෙමාපියන්ගේ කැමැත්තටය. අතීත යුරෝපීය
සමාජය තුළ ගැහැණිය යනු පිරිමියාගේ දේපළක් ලෙස සැලකුණ ද ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි ආසියානු රටවල නම් සමාජය තූල
කාන්තාවට එයට වඩා ගරුත්වයක් හිමිව තිබිණි. අප රටේ නම් සම්පූර්ණ රන් අභරණින් සැරසී
උතුරේ සිට දකුණට කිසිදු උපද්‍රවයකින් තොරව ගමන් කරන්නට හැකියාවක් අතීතයේ පැවති
බැව් කියැවේ. අප රටේ මාතෘමූලික සමාජ පිළිබඳ සැළකිය යුතු අන්දමේ වාර්තා නැති ද
ගැහැණියට තිබූ ආරක්ෂාව හා ගෞරවය කෙතරම් ද යන්න එයින් පැහැදිලිය.
බීබීසී පුවත්
සේවයේ වාර්තාකරුවකු වූ තිමති ඇලන් පවසන්නේ ඉන්දියාවේ වර්තමානයේ ද පවතින්නා වූ
මාතෘමූලික සමාජ ක්‍රම පිළිබඳ තමාට අත්දැකීම් ඇති බවය. මෙම සමාජවල දේපළ හිමිවන්නේ මවගෙන්
දියණියට මිසෙක පියාගෙන් පුතුට නොවේ. අනෙක දරුවන්ට හිමිවන්නේ මවගේ වාසගමය. ඔහු පවසන් පරිදි මෙඝාලයා නම් ඉන්දීය ප්‍රාන්තයේ
වර්තමානයේ ද මාතෘමූලික සමාජ ක්‍රමයක් දක්නට ලැබේ. සමස්ථ ඉන්දියාවේම ගැහැණු දරුවකු
බිහිවීම අවාසනාවක් ලෙස සැලකුනද මෙම ප්‍රාන්තයේ සිදුවන්නේ එහි අනෙක් පැත්තය. මෙම
සමාජයේ සිටිනා පිරිමින් නිතර අරගල කරනා බවත්, එසේ සිදුකරන්නේ තමාට ද ගැහැණුන් හා සමතැන ගන්නට අවශ්‍ය
නිසා බවයි. ඔවුන්ගේ භාෂාව ද මෙම ගැහැණු පිරිමි භේදය ඉතා අපූරු අයුරින් නිරූපණය
කරන්නාවූ මාධ්‍යක් බැව් පෙනේ. ඔවුන්ගේ භාෂාවට අනුව ගසක් කපන්නට පෙර පුරුෂ ලිංගික
වන අතර කපා දැව බවට පත්කළ පසු එය ස්ත්‍රී ලිංගික වේ.
කලු ජාතිකයන්
අතර ද මාතෘ මූලික සමාජ ක්‍රම බහුල වශයෙන් දක්නට ලැබේ. මෙම තත්වය පිළිගත් මාතෘ
මූලික සමාජ ක්‍රම ලෙස දක්නට නොලැබෙන්නේ ඒ සියල්ල නිවසට පමණක් සීමා වී පැවතීම
නිසාය. ඇමරිකාවේ ජීවත්වන බොහෝ කලු
ජාතිකයන්ගේ නිවෙස්වල ගෘහ මූලික වන්නේ මව හෙවත් ගැහැණිය ය. ඔවුනට මෙම ආභාෂය ලැබී
ඇත්තේ නිසැක වශයෙන්ම ඔවුන් පැවැත එන අප්‍රිකානු මහද්වීපය තූල බහුල වශයෙන්
මාතෘමූලික සමාජ ක්‍රම දක්නට ලැබුණු නිසා වන්නට ඇත. නයිජීරියාවේ අග්නිදිග කලාපයට වන්නට ජීවත්වන
ඉග්බෝ නම් ගෝත්‍රික සමාජය තුළ අදට ද මාතෘමූලික සමාජ ක්‍රමයක් දක්නට ලැබෙන බව පෙනෙන්ට
තිබේ. ඒ ඔවුන් තුළ අදටත් පවතින සුවිශේෂී වූ චාරිත්‍ර නිසාය.
විවාහය
මෙහි
බහු පුරුෂ සේවනය බහුල ලෙස සිදුවේ. එක ගැහැණියක් එකම කාලයක් තුළ පිරිමින් කිහිප
දෙනෙකු සමග විවාහවීම ඔවුනට අමුත්තක් නොවේ. අනෙක ගැහැණුන් ගැහැණුන් සමග විවාහවීමද
මෙහි දක්නට ලැබෙන තවත් සුවිශේෂි දෙයකි. අප්‍රිකාව තුළ ගැහණුන් සමග ගැහැණුන්
විවාහවීම සිදුවන එකම ගෝත්‍රය වන්නේ ඉග්බෝ පමණි.
සටන්
සිය
සැමියන්ට එරෙහිව බ්‍රිතාන්‍ය විසින් පනවන ලද බදුවලට එරෙහිව 1929දී මෙම ගෝත්‍රයේ ගැහැණුන් බ්‍රිතාන්‍ය හමුදා
සමග සටන් කළේය.
උසී
මෙම
වදනින් හැඳින්වෙන්නේ එක්තරා ක්‍රියාවලියකි. මෙහිදී ගැහැණියකගේ විවාහයට පෙර මාස හයක
කාලයක් තිස්සේ ඇයට විශේෂ පෝෂ්‍යදායී ආහාර ලබාදෙමින් සැපවත් ජීවිතයක් ලබාදෙයි.
පිරිමින් ද මෙය ට කැමති බව පැවසුව ද තවමත් ඒ සඳහා ඔවුනට අවසර ලැබී නැත.
නම් තැබීම
නම් තැබීමේදී Nneka යන්නට සමාන අරුත් ඇති
වචන බොහෝ විට යොදා ගැනේ. එහි අරුත ‛මව ශ්‍රේෂ්ඨය’ යන්නය නමුත් ‛පියා ශ්‍රේෂ්ඨය’ යන අරුත ඇති වදන වන Nnaka ට සමාන නම් භාවිතයට ඉඩක් නැත.
පෙළපත
මෙම
ගෝත්‍රිකයින් සිය පෙළපත සොයන්නට ආපස්සට යන්නේ පියාගේ පරම්පරාව ඔස්සේ නොව මවගේ
පරම්පරාව ඔස්සේය.
පූජක ධූරය
මෙය ගැහැණු පිරිමි දෙපාර්ශවයටම ලබාගත හැකි දෙයක් වුවත් වැඩිබලයක් ඇත්තේ
පූජකවරුයන්ටය. ඔවුනට දිවැස් ඇතැයි විශ්වාසයක් පවතී.
නායකත්වය
මෙහි සාම්ප්‍රදායිකව රජුන් හෝ රැජිනියන් නැත. ඒ වෙනුවට ඇත්තේ ‛ද්වි ලිංගික දේශපාලන ක්‍රමයකි.’ මෙහිදී ගැහැණුන්ව පාලනය කරන්නට පිරිමින්ට
බලයක් නැත. එමෙන්ම පිරිමින්ව පාලනය කරන්නට ගැහැණුන්ට ද ඉඩක් නැත. එබැවින් සෑම
ඉග්බෝ ප්‍රජාවකම ගැහැණු පිරිමි යනුවෙන් නායකයන් දෙදෙනකු ඇත.
ආර්ථිකය
මෙහි සෑම ගැහැණියක්ම ආර්ථික වශයෙන් ස්වාධිනය. කිසිදු ගැහැනියක් පිරිමියාගෙන්
යැපෙන්නේ නැත. එබැවින් වෙළෙඳ කටයුතුවල භාරකාරත්වය දරන්නේ ගැහැණුන්ය.
වින්නඹු සේවය
වින්නඹු සේවයේ නිරතවිය හැක්කේ කාන්තාවනට පමණි. පිරිමින්ට මෙය තහනම්වන අතර දරුවකු උපදින අවස්ථාවේදී උදව්කිරීමට හෝ ඔවුනට අවසරයක් නැත. අඩුම තරමේ පියාට හෝ ස්වාමි පුරුෂයාට වුව එම අවසරය නැත.
No comments:
Post a Comment
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න