පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, July 1, 2014

බබා ලැබෙන එකත් රියැලිටි වුණු හැටි - Born in the Wild, the newest reality show

යූටියුබ් හි ඇති වීඩියෝවෙන් උපුටාගත් දර්ශන කිහිපයක්

අද අප රටේ ජනප්‍රියතම රූපවාහිනි වැඩසටහන් වර්ගය කුමක්දැයි සමීක්ෂණයක් කළහොත් එහි මුල් තැනටම ඇත්තේ රියැලිටිවර්ගයේ වැඩසටහන්ය. සාමාන්‍ය වැඩසටහනක් සඳහා යම්කිසි පිටපතක් ඇති මුත් එවැනි පෙර සූදානමක් නොමැතිව ඒ අවස්ථාවේ ඇති තත්වයට අනුව ඉදිරිපත් කෙරෙන වැඩසටහන් මේ නමින් හඳුන්වනු ලබයි. මේවායේ ආරම්භය 1990 දශකයේ මැද භාගය කරා දිව යයි. ඇමරිකාවෙන් ආරම්භ වුණු මේ වැඩසටහන් ඉන්දියාව හරහා දැන් අප රටට ද පැමිණ තිබේ. මුළින්ම ගායන ශිල්පීන් වෙනුවෙන් ආරම්භ කළ මෙම වැඩසටහන් දැන් වෙනත් ඉසව් කරාද පැතිර ගොස් තිබේ. රාත්‍රී කාලයේදී සෑම නාලිකාවක්ම පාහේ රියැලිටි  වැඩසටහන්වලින් ආසාදනය වන තරමට දැන් එය පැතිර ගොස් තිබේ. කෙසේ වුව ද අප මේ සැරසෙන්නේ මෙකී වැඩසටහන් පිළිබඳව නම් නොව රියැලිටි ගොන්නට එක් වූ නවතම වර්ගයේ වැඩසටහනක් පිළිබඳව කතා බහ කරන්නටය.

යූටියුබ් හි ඇති වීඩියෝවෙන් උපුටාගත් දර්ශන කිහිපයක්


ඇමරිකාවේ ලයිෆ්ටයිම්නම් රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදන සමාගම විසින් මේ ජූනි මාසයේ මුල් සතියේදී පූර්ව ප්‍රචාරක වැඩසටහනකින් හඳුන්වාදුන් මෙය බෝර්න් ඉන් ද වයිල්ඩ්’ (Born in the Wild ) නම් වේ. මෙහි සරල සිංහල අර්ථය වන්නේ වනාන්තරයක උපත ලැබීමවැන්නකි. එයින් කියවෙන්නා සේම මෙහිදී සිදුවන්නේ එවැනි දෙයකි. මේ වැඩසටහන සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ඇත්තේ දරු ප්‍රසූතියකට ආසන්න අවධියේ පසුවන කාන්තාවන්ටය. මෙහිදී සිදුවන්නේ මෙලොව එළිය දකින්නට පෙරුම් පුරන කිරිකැටියාගේ අනාගතය සුරක්ෂිත කිරීම පිණිස දායකත්වයක් නම් නොවේ. 

යූටියුබ් හි ඇති වීඩියෝවෙන් උපුටාගත් දර්ශන කිහිපයක්


මේ තරගයට ඉදිරිපත් වන කාන්තාවන් තම දරු ප්‍රසූතිය සඳහා වනාන්තරයක්, ගංගාවක්, ඇළක්, දොළක් වැනි ස්ථානයක් තෝරාගත යුතුය. නමුත් තරගයේ නීති රීතිවලට අනුව වෛද්‍ය සහාය, වේදනා නාශක, සහ ආවරණය වූ ස්ථානයක් වැනි දෑ ලබාගැනීම නොකළ යුතුය. මිනිස් සංහතියේ ආරම්භයේ සිටම දරු උපතක් සඳහා බාහිර කිසිවකුගේ උදව් ලබාගැනීමක් අවශ්‍ය නොවූ අතර එය ස්වභාවික ක්‍රියාවලියක් බව මෙම නිෂ්පාදන කණ්ඩායම පවසයි. දරු ප්‍රසූතියක් යනු ස්වභාවික ක්‍රියාදාමයක් බව සත්‍යයකි. සියවස් ගණනාවක් තිස්සේම එය ස්වභාවික ක්‍රියාවලියක් ලෙස සිදු කෙරිණි. නමුත් මතක තබාගත යුතු දෙය වන්නේ අතීතියේ මෙවැනි ස්වභාවික දරු උපත් ගණනාවක්ම මරණයෙන් කෙළවර වී ඇති බවය. ඒ සියලු අවස්ථාවකදීම වෛද්‍ය උපකාර ලබා දෙන්නට හැකියාවක් තිබුණේ නම් එම දරුවන් ගළවාගන්නට හැකියාව තිබිණි.

යූටියුබ් හි ඇති වීඩියෝවෙන් උපුටාගත් දර්ශන කිහිපයක්


මෙවැනි වැඩසටහනක් සඳහා මුළ පුරන්නට ඔවුනට අදහසක් පහළ වී ඇත්තේ සිමෝන්නම් වූ එක්තරා කාන්තාවක් සිය දරු ප්‍රසූතිය වනාන්තරයක් තුළ සිදු කළ ආකාරය පිළිබඳ මිනිත්තු 22 තත්පර 32ක ධාවන කාලයක් සහිත වීඩියෝ දර්ශනයක් යූටියුබ් වෙබ් අඩවියට එක්කර තිබීම නිසාය. බර්ත් නේචර්’ (Birthinnature) නම් වූ මෙම වීඩියෝව මිලියන 24ක් ඉක්මවා නරඹා තිබේ. මෙයින් උද්දාමයට පත් ඇමරිකාවේ ලයිෆ්ටයිම්ආයතනය මෙවැනි වැඩසටනක් ඉදිරිපත් කරන්නට තීරණය කොට තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ස්වභාවික දරු උපත් සිදුවන්නේ සාපෙක්ෂව අඩුවෙනි. බහුතරයක් දෙනා සිසේරියන් සැත්කම් මගින් දරු උපත් සිදුකරයි. එවැනි පසුබිමක් යටතේ ඉහත සඳහන් වීඩියෝව බොහෝ දෙනෙකුගේ සිත්තුළ අපූර්ව ආකාරයේ හැඟීමක් ඇති කරන්නට සමත්ව තිබේ. සිමොන් මේ දරු උපතින් පසුව සඳහන් කොට තිබුණේ එම අවස්ථාව හෘදයාංගම සහ අසිරිමත්දෙයක් ලෙසයි.

යූටියුබ් හි ඇති වීඩියෝවෙන් උපුටාගත් දර්ශන කිහිපයක්


මවගේ සහ දරුවාගේ ආරක්ෂාව පිළිබඳ අප මෙහිදී වඩාත් සැළිකිල්ලක් දක්වනවා. ඔවුන් මෙය තනිව සිදු කළත් අපි නිෂ්පාදක කණ්ඩාම එම ස්ථානයේ රැඳී සිටිනවා.මෙම ආයතනයේ ප්‍රධානියනයකු වන එලී ලෙහ්රර් පවසා සිටියි. රියැලිටි වැඩසටහන් නිෂ්පාදකයින්ට දරු ප්‍රසූතිය ද මුදල් උපයා ගැනීම සඳහා තවත් එක් මාර්ගයක් වුවද යථාර්ථය මෙයට වඩා වෙනස් ය. ඇමරිකා එක්සත් ජනපදය යනු අප දන්නා තරමින් සෞඛ්‍ය පහසුකම් අතින් ප්‍රමුඛස්ථානයක් ගන්නා රටකි. නමුත් සෑම සජීවී දරු උපත් 100,000 කටම එහි මව්වරු 28ක් මිය යති. ඒ මිය යන්නේ දරුවන් ඉපදීම සඳහා වනාන්තරවලට යාම නිසා නොව සියලු පහසුකම් සහිත රෝහල්වල සිටියදීය. ඇමරිකානුවන් පවසන්නේ එරට සෞඛ්‍ය අංශ මාතෘ මරණ අනුපාතය පිළිබඳ ලජ්ජාවට පත්විය යුතු බවය. කාර්මීකරණය වූ අනෙක් රටවලට සාපේක්ෂව ඇමරිකා එක්සත් ජනපදයේ මාතෘ මරණ අනුපාතය ඉහළ අගයක් ගනී. වනාන්තරවල දරුවන් ඉපදීමේ අත්දැකීම ලබාගැනීමේ රියැලිටි තරගවලට එහි මාධ්‍ය ආයතන විසින් කාන්තාවන්ට ආරාධනා කරන්නේ එවැනි පසුබිමක් යටතේය. අනෙක ඇතැම් පුද්ගලයන් පවසන්නේ රූපවාහිනි තිරය ඔස්සේ විළිරුදාවෙන් කෑගසන නිරුවත් කාන්තාවන් දෙස බලා සිටීම කෙතෙරම් සදාචාරාත්මක ද යන්න පිළිබඳ ඇතැම්හු ප්‍රශ්න කරති.

යූටියුබ් හි ඇති වීඩියෝවෙන් උපුටාගත් දර්ශන කිහිපයක්



අලුතින් මව්වරුන් වීමේ අපේක්ෂාවෙන් සිටිනා ඇතැම් කාන්තාවන් මෙම වීඩියෝව නැරඹීමෙන් පසු දරු උපත යනු සරල කටයුත්තක් යැයි සිතන්නට පටන්ගෙන ඇති බැව් දක්නට ලැබේ. එය දඩමීමා කරගත් ලයිෆ්ටයිම්වැනි මාධ්‍ය ආයතන එම ආකල්පවලට පෝර දමමින් තම වැඩසටහන සඳහා ගර්භනී කාන්තාවන් ආකර්ෂණය කරගැනීමේ ව්‍යාපෘතියක යෙදී සිටිති. මෙවැනි වැඩසටහන් ඇමරිකා එක්සත් ජනපදයෙන් පමණක් නැවතෙන්නේ නැත. මෙය නොබෝ දිනකින් යුරෝපය හරහා ඉන්දියානු උප මහද්වීපයටත්, එතැනින් අප රටට බෝ නොවේ යැයි සිතිය නොහැකිය. රියැලිටි උන්මාදයකින් පෙළෙන අපේ රටේ ඇතැමුන් ද මෙවැනි වැඩසටහන් සාදරයෙන් පිළිගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බවට සැකයක් නැත. අනෙක මෙම වැඩසටහන්වලින් ලබාදෙන වැරදි පූර්වාදර්ශය නම් දරු උපතක් සඳහා රෝහල්ගතවීම අත්‍යවශ්‍ය නොවේ යන ආකල්පය වර්ධණය වීමය. දැනටම ඇමරිකා එක්සත් ජනපදයේ එවැනි ආකල්ප වර්ධණය වෙමින් පවතින අතර යට කී යූ ටියුබ් වීඩියෝවේ මෙන් ඇතැම් කාන්තාවන් සිය දරු උපත සඳහා වනාන්තර තෝරාගැනීමේ අපේකෂාවෙන් පසුවන බව පෙනෙන්නට තිබේ. මෙම බෝර්න් ඉන් ද වයිල්ඩ්වැඩසටහනේ වනාන්තරයක් මැද තනිව දරු උපතක් සිදුවන ප්‍රේක්ෂකයා දුටුව ද සැබවින්ම එම ස්ථානයේ සමස්ථ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායමක්ම සිටියි. ඔවුන් මෙවැනි වැඩටහන් රූපගතකරන්නේ ඇතිවිය හැකි සියලු හදිසි තත්වයන්ට මුහුණ දීමේ සූදානමකිනි. නමුත් තමන්ගේ ස්ව කැමැත්තෙන් දරු උපතක් සඳහා වනාන්තරයක් තෝරාගන්නා කාන්තාවකට එවැනි පහසුකම් නැත. හදිසි අවස්ථාවක් උද්ගත වුවහොත් ඔවුනට දෙවියන්වත් පිහිටට පැමිණෙන්නේ නැත. 


පහළින් ඇත්තේ බර්ත් නේචර්’ නම් වීඩියෝවයි.


2 comments:

  1. THIS IS A STALE NEWS

    ReplyDelete
    Replies
    1. Its a relative thing. If someone has immediate access to the information, every news become a stale one soon. For those who has no immediate access to the information, most of the things are news than the one mentioned previous. This is an article I wrote for a news paper and its readership has no any immediate access to the information. So, this is still a news for them.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න