‛කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි
නෙතගින් බැලුවිට සිරියාවයි
සුදු කෙල්ලන්ට වඩා ඔබ පින් පාටයි
නිවසේ දැල්වෙන පහන ඔබයි’
මේ අපේ රටේ පැරණි, නමුත් ජනප්‍රිය මිහිරි ගීතයකි. මේ ගීතයේ
කෙල්ලන් වර්ග දෙකක් ගැන කියැවේ. ඒ කලු කෙල්ලන් හා සුදු කෙල්ලන්ය. මෙහිදී කලු කෙල්ල
ලස්සනයි යැයි කියනවාට අමතරව ඇයගේ හිත හැදීමක් වැනි දෙයක් ද මෙහි කියැවේ. ඒ ‛සුදු කෙල්ලන්ට වඩා ඔබ පින් පාටයි’ යන්නය. මෙහිදී කලු කෙල්ලගේ හිත හදන්නට ගීත
රචකයා උත්සුක වන්නේ ඇයි? එයට හේතුව ලෙස හැඟෙන්නේ මේ ගීය ලියැවෙන
සමය වන විට අප රටේ සුදු පැහැ තරුණියන් කෙරෙහි වැඩි දෙනෙකුගේ ආකර්ෂණය තිබීමත්,
කලු පැහැ තරුණියන් කෙරෙහි අඩු ආකර්ෂණය තිබීමත්
ය. වර්තමානයේ තත්වය සැළකිල්ලට ගත්ත ද තරුණයින් මුලින්ම උත්සාහ කරන්නේ සුදු පැහැයට
හුරු තරුණියක් හා හාද වන්නටය. කලු පැහැ තරුණියක් පිළිබඳ සළකා බලන්නට බොහෝ තරුණයින්
පෙළඹෙන්නේ සිය ප්‍රථම වටයේ තේරීම පරාජයට පත්වීමෙන් පසුවය.
වර්තමාන සරසවි පද්ධතිය ගැන දැනගන්නට විදියක් නැතත් මා ජපුර සරසවියේ ඉගෙනුම ලද සමයේ සරසවිය
තුළ තරුණියෝ සිව් වර්ගයක් සිටියහ. ඔවුන් මෙසේය.
- යකා
- අම්බ යකා
- ටොයියා
- කිරි කිරි ටොයියා
යනුවෙනි. මෙහිදී යක්කු යනු කලු කෙල්ලන් වන අතර
ටොයියන් යනු සුදු කෙල්ලන් ය. එකල කෙල්ලන් වර්ගීකරණයෙන් ද අසාධාරණයට ලක් වූයේ කලු
කෙල්ලන් ය. නමුත් අප අතීතයට ගමන් කොට බැලුවහොත් අප දකින තත්වය මීට වඩා වෙනස් ය.
දුටුගැමුණු රජුගේ පියාගේ නම ‛කාවන්තිස්ස’ හෙවත් ’කාක වණ්න තිස්ස’ ය. ‛කාක
වණ්න’ යනු කපුටාගේ වර්ණය බව එක් මතයකි. එකල
සුදු කපුටන් බහුල නොවූයේ නම් කාවන්තිස්ස රජුගේ පැහැය අනිවාර්යයෙන්ම කලු විය යුතුය.
එසේ නමුත් අපට පැරණි රජ දරුවන් අතර සුදු වර්ණය විශේෂණය කළ නමක් සහිත කිසිවකු
හමුවන්නේ නැත. එක්කෝ එකල අප රටේ සුදු පැහැ සමක් සහිත පුද්ගලයන් දුලබ වන්නට ඇත.
එසේත් නැත්නම් සුදු පැහැයට විශේෂ සැළකිල්ලක් නොලැබෙන්නට ඇත. වළගම්බා රජු යුද
පරජයෙන් පැන යනවිට ගිරි නම් නිඝන්ටයා කෑ ගැසුවේ, “මහ කලු සිංහලයා පැන යනවා” කියාය.
එබැවින් සිංහලයන් යනු කලු පැහැ පුද්ගලයන් යැයි පැහැදිලිය. නරපතියන් ද කලු වූ විට
සුදු පැහැයට විශේෂත්වයක් ලැබෙන්නේ කෙසේද?
අපට පැරණි කවිවල, ජනකතාවල හමුවන්නේ සුදු මැණිකෙලා නම් නොවේ. අපට
හමුවන්නේ කලු මැණිකාය. එසේත් නැත්නම් කලු එතනාය. තරමක් මෑත කාලය වන විට කලු හාමිනේ
ලා ද හමුවෙයි. දුටුගැමුණු රජතුමා කොත්මලයේ දී හාදවන්නේ සුදු කෙල්ලක් සමඟ නොවේ.
කලුමැණිකා සමඟය. අපේ ගමේ වැදගත් අය අතර
‘කලු මහත්තයා’ විශේෂය. කලු අප්පුලා ද අපට හමුවෙයි.
තත්වය මෙසේ තිබියදී මේ සියල්ල පරදා සුදු පැහැය ඉස්මතුවන්නට පටන් ගත්තේ මන්ද?
ඒ අන් කිසිවක් නිසා නොව බටහිර ජාතීන්ගේ බලපෑම
නිසාය. අප රට ආක්‍රමණය කළ බටහිරයෝ සුදු ජාතිකයන්
ම වූහ. පරාධීන සිත් ඇතිකරගත් අපේ රටේ ජනතාව සුදු පැහැය ආවඩන්නට වූහ. අනෙක
බටහිර ආක්‍රමණත් සමඟ අප රටට ආ ඇතැම් ආගම්වල ලක්ෂණ අතර එක් දෙයක් වූයේ අවමංගල්‍යයක්
සිදුවූ විට කලු කොඩි දැමීමය. ඒ සමගම අපේ සිත්වල ඇති වූ හැඟීම වූයේ කලු යනු මරණය,
අයහපත, අවාසනාව වැනි ඍණාත්මක දෑ සංකේතවත් කරනා වර්ණයක් බවය. බටහිරයන්ගේ මෙම
සිරිතට විරෝධය පළකිරීමක් ලෙස අප රටේ අවමංගල්‍යයන් සඳහා සුදු කොඩි දැමීමේ පුරුද්දක්
ඇති කරගත්තා මිස අතීත සිංහලයෝ අවමංගල්‍යයකදී වර්තමානයේ මෙන් කිසිදු කොඩියක් දැමූ
බවට සාධක නැත.
කෙසේ වුවත් බටහිර මානසිකත්වයත් සමඟ
සුදු යනු හොඳ, යහපත, රූමත්බව ආදිය සංකේතවත් කරන්නට යොදාගත් අතර කලු පැහැයට ලැබුණේ
කුඩම්මාගේ සැළකිල්ලය. ඔවුනගේ ආර්ථික න්‍යායන් සමඟ අපට ‘කලු කඩ‘ සංකල්පය ද ආවේය. කලු
කඩය යනු අධික මිල ගණන්වලට භාණ්ඩ අළෙවිකරනා ස්ථානයකි. ඒ සමඟම කලු යනු අයුක්තිය,
අසාධාරණය සංකේතවත් කරන වර්ණයක් බවට පත්විය.
එමෙන්ම යකා ද කලු පැහැයෙන් යුක්තය. එබැවින් එය බියකරු බවේ පැහැය බවට ද පත්විය.
නමුත් කලු හෝ සුදුවර්ණ යනු වාසනාව
අවාසනාව අනුව නොව අප සමෙහි ඇති ‛මෙලනින්’ නම් වර්ණකය නිසා හටගන්නක් බව අප තේරුම්ගත යුතුය. අපේ රටේ මුළු වසර
මුළුල්ලේම අඩු වැඩි වශයෙන් හිරු එළියට නිරාවරණය වී ඇති රටකි. හිරු එළියේ ඇති
පාරජම්බුල කිරණ සමට හිතකර නැත. මේ නිසා මෙම අහිතකර තත්වයෙන් අපේ සම ආරක්ෂාවනු
පිණිස අපට උපතින්ම ලැබී ඇත්තේ කලු හෝ තලෙලු සමකි. නමුත් බටහිර ජනතාව අප තරම් හිරු
එළියට නිරාවරණය වන්නේ නැත. එබැවින් ඔවුනට උපතින්ම ලැබී ඇත්තේ සුදු සමකි. මිනිස්
සමෙහි වර්ණය පිළිබඳ සලකා බැලීමේදී එය ඉතා තද දුඹුරු පැහැයේ සිට ඉතා ලා රෝස පැහැයට
හුරු සුදු පැහැය දක්වා වෙනස් වේ. සමෙහි වර්ණය කෙරෙහි විවිධ ද්‍රව්‍යවල බලපෑම තිබුණ
ද ප්‍රධාන වශයෙන්ම වගකිවයුත්තේ අප මුලින්
සඳහන කළ මෙලනින් ය. මෙලනින් නිපදවෙන්නේ සමෙහි ඇති මෙලනෝසයිට්ස් නම් සෛල තුළ ය. ඉතා
කලු සමක් ඇති වීම සඳහා මෙය ප්‍රධාන වශයෙන්ම බලපානා අතර, සුදු පැහැයට හුරු සමක් සඳහා බලපාන්නේ චර්මය යට පිහිටි නිල් පැහැයට
හුරු සුදු සම්බන්ධක පටකය හා චර්මයේ ශිරා තුළ සංසරණය වන්නාවූ හිමෝග්ලෝබීන් මගිනි.
සමෙහි පැහැය මූලික වශයෙන්ම කොටස් කිහිපයකට බෙදා දක්වා තිබේ. ඒවා නම් ලා පැහැය ( Light),
තරමක් ලා පැහැය (Fare), මධ්‍යම ( Medium), ඔලිව් (Olive), දුඹුරු ( Brown) සහ කලු ( Balck) වශයෙනි.
කෙසේ නමුත් සුදු යනු ලස්සන ට සමාන
පදයක් බවට පැතිරුණු මිත්‍යාව නිසා අප රටේ බොහෝ දෙනෙක් සුදුවන්නට උත්සාහ කරන්නට
වූහ. බොහෝ විට කලු සමක් සහිත තරුණියන් සිය ආකර්ෂණය වැඩිකරගැනීම සඳහා සුදු සමක්
ලබාගැනීමේ විවිධ ක්‍රම සොයායන්නට පටන් ගත් අතර රූපලාවන්‍ය නිෂ්පාදකයෝ ඔවුනගේ
පිහිටට පැමිණිය හ. ඔවුන් දින කිහිපයකින් සුදු විය හැකි විවිධ ක්‍රීම් වර්ග හඳුන්වා
දෙන්නට පටන් ගත් අතර අපේ රටේ තරුණියෝ පොරකමින් මේවා මිලදී ගන්නට වූහ. ඔවුන් සිය
වෙළෙඳ දැන්වීම් සඳහා යොදාගත්තේ සුදු පැහැ සමක් ලබාගැනීම නොව ‛පැහැපත් සමක්’ ලබාගැනීම පිළිබඳවය. මේ කියමනට හසුවූ අපේ තරුණියෝ සිතන්නට වූයේ
පැහැපත් යනු සුදු පැහැය බවය. නමුත් සැබැවින්ම පැහැපත් බව යනු සමේ ඇති පැහැය විනා
සුද නොවේ. පැහැපත් සමක් ලබාගන්නට නම් මේ විවිධ නම්වලින් හඳුන්වන්නා වූ ක්‍රිම්වර්ග
ආලේප කරන්නට වුවමනා නැත. සමට පෝෂණ ගුණය ලැබෙන්නා වූ ආහාර වර්ග ගැනීම මේ සඳහා ප්‍රමාණවත්
ය. ඒ හැරුණු විට සුදුවන්නට ඇති විවිධ ක්‍රීම් වර්ග අධික ලෙස ආලේප කිරීමෙන්
සිදුවන්නේ සමෙහි ඇති මෙලනින් නම් වර්ණකය තුරන්වීමයි. එය අප වැනි රටක ජීවත්වන
කිසිවකුට සුදුසු දෙයක් නොවේ.
බොනියම් |
කලු පැහැය හා රූමත්බව අතර වෙනසක්
දකින්නේ අපේ රටේ පමණකි. නමුත් වර්ණභේද වාදය පවතින්නේ යැයි පැවසෙන බටහිර ලෝකයේ
ඇතැම්විට අප රටේ තරම් සුදු පැහැය පසුපස හඹායන්නේ නැත. බටහිර රටවල රූමත් කලු
තරුණියෝ එමට සිටිති. බටහිර ලෝකයේ ප්‍රකට නිළියන් වන පෑම් ග්‍රියර්, හෝල් බෙරී, ජේන් කෙනඩි, ලෝරීන් හිල්, ෆිලිෂියා රෂාඩ්, හා ජනප්‍රිය ගායිකාවක වන විට්නි
හූස්ටන් ආදී සියලු දෙනාම කලු ය. 60 - 70
දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි, අද
ද බොහෝ ජනප්‍රිය බොනියම් සංගීත කණ්ඩායමේ සියලු දෙනා කලු ය.
වාරිස් |
එමෙන්ම ‛කාන්තාරයේ කුසුම’ නමින් ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ මෝස්තර නිරූපණ ශිල්පිනියක
වන වාරිස් ඩයිරි ද කලු ය. එමෙන්ම ලෝකයේ බලවතා යැයි සැළකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන
පුරවැසියා හෙවත් ජනපතිව සිටි බැරක් ඔබාමා මෙන්ම ඔහුගේ
බිරිඳ මිචෙල් ඔබාමා ද කලු ය. දරුවන් ද කලු ය. ඔවුන් සුදු පැහැය ලබාගන්නට විවිධ ක්‍රීම් වර්ග භාවිත කරන බව නම් ඇසෙන්නේ නැත.
දෙරණ රූපවාහිනිය මගින්
පවත්වන ලද රූ රැජින තරගයකින් ජය ලබා 2013
මිහිකත ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට අවස්ථාව ලබා සිටින
සොලංගි ක්‍රිස්ටිනා ද කලු ය. ඇය පවසන්නේ තමාගේ සමේ පැහැය පිළිබඳ තමා තුළ ඇත්තේ
ආඩම්බරයක් බව ය. ඇය පවසා සිටියේ කලු යනු අපේ රටේ පැහැය බවය. ඇගේ ජයග්‍රහණයේ දොරටුව
කලු පැහැය බව ය.
සොලංගි |
තත්වය මෙසේ නම් තරුණියන් වන ඔබ තවත්
සුදු පැහැය පසුපස හඹායන්නේ කුමට? පුන්
සඳ කෙතරම් සුදු වුව ද අහස කලු නොමැති නම් සඳ ලස්සන නැත. කලු නැති ලොවක සුදෙන් පලක්
නැත. සුදු පැහැ ඇත්තෝ විශේෂ වී ඇත්තේ කලු පැහැ ඔබ නිසා ය. දැන් කාලය එළැඹ ඇත්තේ
කලු ඔබ ඉදිරියට පැමිණීමය. එසේ හෙයින් ඔබ අවධානය යොමුකළ යුත්තේ පිරිසිදුකම, සෞඛ්‍ය සම්පන්නබව ආදිය පිළිබඳ මිස විනා විවිධ
ක්‍රමවර්ග උලාගනිමින් සුදු සමක් ලබාගැනීම පිළිබඳ නොවේ.
‛කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි
නෙතගින් බැලුවිට සිරියාවයි
සුදු කෙල්ලන්ට වඩා ඔබ පින් පාටයි
නිවසේ දැල්වෙන පහන ඔබයි’
අවසාන වශයෙන් කිව හැක්කේ ද මෙයමය.
අලුත් මාතෘකාවක්
ReplyDeleteහැමෝම කතා කරන්නේ සුදු අය ගැන නේ
Deleteකවුරුවත් කලු පාට ගැන කතා කරන්නේ නැහැ නේ.
Delete