පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, July 4, 2014

ආදරේ හිතෙනවා කෑවම චොක්ලට් - Story of the Chocolate



ඉතිහාසය මුළුල්‍ලේම පානයක් ලෙස චොකලට් ජනප්‍රියව පැවතිණි. මුල්ම වාර්තා ලැබෙන්නේ ක්‍රි.පූ. 1400-1100 අතර කාලයේ මධ්‍යම ඇමෙරිකාවේ ජීවත් වූ ඔල්මෙක් නම් ශිෂ්ටාචාරයෙනි. ඔවුන් කොකෝවා ඇට කුඩු කොට පල්පයක් සේ පිළියෙළ කොට ඉන් මද්‍යසාර තනා පානය කළ බවට සාධක ලැබේ. එමෙන්ම මායාවරුන්ගේ ශිෂ්ටාචාරයෙන් ද චොකලට් හමුවේ. ඔවුනගේ ගෙවතුවල පසුපස කොකෝවා වගාකොට තිබුණු බවට තොරතුරු ලැබේ. ඔවුහු මෙයින් තිත්ත රසැති පානයක් පිළියෙළ කොට ගත්හ. කොකෝවා ගස මායාවරුන් විසින් දේවත්වයෙන් අදහන ලද බවට ද සාධක ලැබේ. කොකෝවා යන නම ද සැබැවින්ම දෙවියන්ගේ ආහාරයයන අරුත සහිත මායා වදනකි. කොකෝවා ලතින් බසින් හඳුන්වන තියොබ්‍රාමා කොකෝවායන වදනේ අරුත ද, දෙවියන්ගේ ආහාරයයන්නමය.

ඇස්ටෙක්වරු කොකෝවා ඇට මුදල් ලෙස භාවිතා කළහ. කොකෝවා ඇට 100කට ඔවුහු කළුකුමෙකු හෝ වහලකු මිලදී ගත් බව පැවැසේ. ඒ අතරේ ඔවුහු කොකෝවා ඇටවලින් පානයක් ද පිළියෙළ කර ගත්හ. ඇස්ටෙක්වරුන්ට කොකෝවා ඇට රත්රන් හා රිදීවලටත් වඩා අගනා දෙයක් විය. 1519 දී ඇස්ටෙක් ශිෂ්ටාචාරය ආක්‍රමණ කළ හර්නැන් කෝර්ටෙස් නම් ස්පාඤ්ඤ ආක්‍රමණිකයා ඇතුළු පිරිස බලා‍පොරොත්තු වූයේ කඳු තරමට ගොඩ ගැසූ රත්රන්, මුතු, මැණික් ආදියයි. නමුත් ඇස්ටෙක්වරුන්ගේ භාණ්ඩාගාරයට කඩා වැදුණු ආක්‍රමණිකයන් දුටුවේ කඳු සේ ගොඩගැසූ කොකෝවා ඇට පමණි.

චොකලට් ව්‍යාප්ත වීම

ඇස්ටෙක්වරු කොකෝවාවලින් පිළියෙළ කර ගන්නා වූ පානය හඳුන්වනු ලැබුයේ xcolat යන නමිනි. මෙය යුරෝපීය ආක්‍රමණිකයන්ට උච්චාරණය කිරීමට පහසු වූයේ නැත. එබැවින් ඔවුහු එය chocolat ලෙස හැඳින් වූහ. ඉංග්‍රීසි ජාතිකයන් අතින් මෙය chocolate බවට පත් විය.

මේ පානය මුලින්ම යුරෝපයට රැගෙන ආවේ ඇස්ටෙක් ශිෂ්ටාචාරය ආක්‍රමණය කොට එය වනසා දැමූ කෝර්ටෙස් විසිනි. ඒ වන විටත් ඔහු යුරෝපීයයන්ගේ දිව රසගන්වන පානයක් මෙයින් පිළියෙළ කරනා ආකාරය සොයා ගෙන තිබිණි.

මුල්ම චොකලට් කර්මාන්ත ශාලා ආරම්භ වූයේ ස්පාඤ්ඤයේය. දියකොට පානය කළ හැකි චොකලට් කුඩු නිපදවනු ලැබුයේ 17 වැනි සියවසේදීය. මෙම රසවත් පානය පිළියෙළ කරනුයේ කුමන ද්‍රව්‍යය යොදාගෙන ද යන්න සෑහෙන කාලයක් ගතවන තුරුම ස්පාඤ්ඤය විසින් රහසක් ලෙස තබාගෙන තිබිණි. ඉංග්‍රීසීන් විසින් ස්පාඤ්ඤය ආක්‍රමණය කළ අවස්ථාවේ, ගබඩාවලට කඩා වැදුණු ඉංග්‍රීසීන්ට හමුවූයේ කොකෝවා ඇටය. නමුත් ඔවුන් සිතුවේ ඒවා වියළන ලද බැටලු මලපහ කොටස් බවය. රත්රන් සොයා පැමිණ මේවා දැකීමෙන් කෝපයට පත් ඔවුහු, මේවාට ගිනි තැබූහ. තමා ගිනි තැබුයේ මතෛක් කල් රසබැලූ රසවත් පානය පිළියෙළ කර ගන්නා අමුද්‍රව්‍යවලට බව දැන ගන්නා විට ප්‍රමාද වැඩිය.

මේ සොයා ගැනීමත් සමග යුරෝපය පුරා චොකලට් ශීඝ්‍ර ලෙස පැතිර යන්නට විය. ඉංග්‍රීසීන් විසින් ලොව වටා සිය යටත් විජිත පිහිටුවීමත් සමග ලෝකයේ අනෙක් ප්‍රදේශවලටද මෙය පැතිර ගියේය.

ඝන ආහාරයක් ලෙස චොකලට් මුලින්ම කෑමට ගැනීම පිළිබඳ වාර්තා වන්නේ ක්‍රි.ව. 1600 ගණන්වලය. ඉංග්‍රීසීන් විසින් කොකෝවා කුඩු කේක්වලට මිශ්‍රකිරීම ආරම්භ කළේ මේ සමයේදීය. නෙදර්ලන්තයේ රසායන විද්‍යාඥයකු වූ ජොහැන්නස් වෑන් හූටන් විසින් බදින ලද කොකෝවා ඇටවලින් කොකෝවා බටර් නිපදවා ගන්නා ආකාරය සොයා ගත්තේය.

අද අප දන්නා ආකාරයේ චොකලට් මුලින්ම දක්නට ලැබුණේ 1847 දීය. එය නිපදවනු ලැබූයේ එංගලන්තයේ පූයි ඇන්ඩ් සන්ස් සමාගම විසිනි. ඔවුන් කළේ කොකෝවා කුඩු, කොකෝවා බටර් හා සීනි මිශ්‍ර කිරීමය. වර්ෂ 1875 දී ස්විස්ටර්ලන්ත ජාතික ඩැනියෙල් පීටර්ස් වඩාත් දියුණු ලෙස චොකලට් නිපදවීමේ ශිල්පයක් සොයා ගත්තේය.

සෞඛ්‍යය හා චොකලට්

හුදෙක් රසකැවිල්ලක් ලෙස චොකලට් කෑමට ගත්ත ද මෙහි හොඳ හා නරක ලෙස සෞඛ්‍යයට කරනා බලපෑම් බොහොමයක් තිබේ. කොකෝවා රුධිර සංසරණ පද්ධතියට යහපත්ය. එල්.ඩී.එල්. කොලෙස්ටරෝල් ඔක්සිකරණය වීම නිසා රුධිර නාළ අවහිර වී හෘදයාබාධ ඇති විය හැකිය. නමුත් මෙම ඔක්සිකරණය වීම චොකලට් නිසා මැඩපැවැත්වෙන බැව් සොයාගෙන තිබේ.

ශක්තිය අධික ප්‍රමාණයක් ගැබ්වූ චොකලට් ආහාරයට ගෙන සිරුර වෙහෙස නොකර ඉන්නේ නම්, ඉතා ඉක්මනින් ස්ථුලභාවයට පත්වන බවද ඔප්පු වී තිබේ.

බල්ලන්ට සුදුසු නැත

කොකෝවාවල අඩංගු තියෝබ්‍රෝමයිඩ් බල්ලන්ට විෂකි. එබැවින් තනිකරම කොකෝවා පමණක් යොදා තනන ලද චොකලට් කෑමෙන් බල්ලන් මරණයට පත්වේ.

චොකලට් සහ ආදරය

ආදරය සහ ලිංගිකත්වය සමග දුරතීතයේ පටන්ම චොකලට්වලට තිබුණේ සමීප සම්බන්ධයකි. එය ඇස්ටෙක්වරුන්ගේ යුගය දක්වාම දිවයයි. ඇස්ටෙක් ප්‍රධානීහු සිය අන්තඃපුර කුටිවලට ඇතුළු වන්නට පෙර චොකලට් පානය කළ බව පැවැසේ.

ආදරය, ලිංගිකත්ව හා චොකලට් අතර සම්බන්ධතාවය මනසින් ගොඩනගා ගත් දෙයක් බව මනෝ විද්‍යාඥයෝ පවසති. ඒ හැරුණු විට කොකෝවාවල වාජීකරණ ගුණය තිබෙන බවට විද්‍යාත්මකව හෝ ඔප්පු වී නැත. නමුත් පහත සඳහන් කරුණු ගැන සැලකිලිමත් වීම වටී.

1. කොකෝවාවල අඩංගු තියෝබ්‍රෝමයිඩ් ශාරීරික හා මානසික සංසුන්බව ඇති කරන්නට හේතුවක් වන බැව් තහවුරු වී තිබේ. මෙය ආදරය හා ලිංගිකත්වය සඳහා කදිම වටපිටාවක් සකසා දෙයි.

2. චොකලට් සාමාන්‍යයෙන් පිළිගන්වන්නේ ප්‍රීතිමත් අවස්ථාවලදීය. මෙහිදී ඇතිවන හැඟීම, වාජීකරණ තත්ත්වයක් ඇතිකරන බැව් තහවුරු වී ඇත.

3. සියවස් ගණනාවක් පුරා ආදරය සහ ලිංගිකත්වය සමග චොකලට් බැඳී පැවතිණි. එබැවින් මේවා අතර විද්‍යාත්මක සම්බන්ධතාවයක් නැතත් අප පුරුදු පුහුණු කරගෙන ආ මානසික තත්ත්වය නිසා මේවා අතර ඉබේම සම්බන්ධතාවයක් ගොඩනැගේ.

චොකලට් ‍පොත් හා චිත්‍රපට

චොකලට් අප සමාජය කෙරෙහි කෙතරම් බලපෑමක් කොට ඇති දෙයක් ද කිවහොත්, මෙය පදනම් කරගෙන ලියැවුණු ‍පොත් හා තැනුණු චිත්‍රපට ද බොහොමයක් වෙයි. 1964 දී රෝල්ඩ් ඩාල් විසින් චාර්ලී ඇන්ඩ් චොකලට් ෆැක්ටරිනමින් ‍පොතක් ප්‍රකාශයට පත් කළ අතර, එය පසුව චිත්‍රපට දෙකකට යොදා ගැනුණි. ඉන් 2001 වසරේ නිෂ්පාදනය කළ චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මාන 78ක් ලැබිණි.

මීට අමතරව ලයික් වෝටර් ෆෝර් චොකලට්නම් ආදර නවකතාවක් ලෝරා එස්ක්විරෙල් විසින් 1989 දී පළ කළ අතර 1992 දී එයින් චිත්‍රපටයක් ද නිපදවිණි. මෙය ද සම්මාන බොහොමයක් ලද්දක් විය. 1999 දී ජොවන් හැරිස් විසින් චොකලට්යනුවෙන් නවකතාවක් ප්‍රකාශයට පත් කරනු ලැබිණි. වසර 2000 දී එයින් ද චිත්‍රපටයක් නිෂ්පාදනය කෙරිණි. මෙය ද ඉහළ ආදායමක් ලැබුවා පමණක් නොව සම්මාන ද ගණනාවක්ම ලැබුණකි.


මීට අමතරව තවත් බොහෝ සාහිත්‍යාංග කෙරෙහි ද චොකලට්වලින් සිදුවී ඇති බලපෑම ඉමහත්ය.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න