පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, July 23, 2014

ඉළව් පොල් තෙල් පහන හින්දා තමයි සේරම වුණේ - Post hoc ergo propter hoc


පැරණි බඩුභාණ්ඩ කෙරෙහි අමල් දැක්වූයේ දැඩි ඇල්මකි. පැරණි භාණ්ඩ, එසේත් නොමැති නම් ඇන්ටික්දේ එකතු කිරීම විලාසිතාවක් වුව ද අමල්ට මෙම පුරුද්ද ඇති වී තිබුණේ උපතින්මය. ඔහුට පාරම්පරිකව ද යම් යම් පැරණි භාණ්ඩ උරුම වී තිබුණු අතර, ඇතැම්විට එය ද මෙම පුරුද්ද ඇතිවීමට හේතුවක් වන්නට ඇත. දිනක් ඔහු මෙවැනි පැරණි භාණ්ඩ අළෙවි කරන ස්ථානයකින් අපූරු පිත්තල පහනක් මිලදී ගත්තේය. වෙළෙඳ පළේ එවැන්නක් අලුතින් මිලදී ගන්නා විට ගෙවන මිලට වඩා බොහෝ අඩු මුදලකට ඔහුට මෙය ගබාගැනීමට හැකි විය. එය නිවසට ගෙන ආ ඔහු පිත්තල ඔප දමන රසායනයක් යොදා මෙය අලුත් එකක් තරමට නව පෙනුමක් ලබා දුන්නේය. ඉන් පසු එය සාලයේ හොඳින් පෙනෙන තැනකින් තැබුවේය. අමල්ට දැනුණේ ඉමහත් සතුටකි.
දිනක් යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී අමල් හදිසි අනතුරකට ලක්වූයේය ඔහුට රෝහල්ගත වන්නට පවා සිදුවිය.

අර ඉළව් පිත්තල පාන ගෙනාපු හින්දා තමයි මේක වුණේ. පරණ ගෙවල්වල පාවිච්චි කරපුවා ගේන එක හොඳ නෑ කියලා මම අහලා තියෙනවා.

අමල්ගේ බිරිඳ පැවසුවාය.

අමල් සුව වී නිවසට පැමිණි අතර දිනක් කොස් අත්තක් කඩාගන වැටී වහලයට ද අලාභහානියක් සිදුවිය. බිරිඳ නැවතත් අර පැරණි කතාවම පැවසුවාය. ඇය පවසන දෙයෙහි යම් ඇත්තක් ඇතැයි සිතූ අමල් මිලට ගත් වටිනාකමටත් වඩා අඩු මුදලකට එම පිත්තල පහන නැවතත් පැරණි භාණ්ඩ මිලදී ගන්නා ස්ථානයකට විකුණා දැම්මේය.

මෙවැනි සිදුවීම් ඇතැම් විට ඔබ ද අත්දැක තිබෙන්නට පුලුවන. අමල් විවිධ කරදරවල ෙමුහුණ දුන්නේ සැබැවින්ම පැරණි පිත්තල් පහන නිසාද? එසේත් නැත්නම් වෙනත් හේතුවක් නිසාද? සැබවින්ම ඔහුගේ කරදරවලට මෙම පිත්තල පහනේ ඇති සම්බන්ධයක් නැත. මෙතැන ඇත්තේ මනෝ විද්‍යාත්මක තත්වයකි.

අප සියලු දෙනාම යම්කිසි දෙයක් සිදුවූ විට එයට හේතුව කුමක්ද යන්න සොයා බැලීමට උත්සුක වීම සාමාන්‍ය තත්වයකි. අමල්ගේ සිදුවීමේදී ද බිරිඳගේ යටි සිතෙහි මෙම වුවමනාව පැවති අතර එක්වරම ඇයට මතක් වූයේ යටකී පිත්තල පහනයි. එය ඉපැරණි එකක් නිසා, එවැනි භාණ්ඩවල යම් යම් ගුප්ත බලයක් ගැබ්ව ඇතැයි ද ඇයට සිතුණි. මේ සියල්ල සිදුවන්නට හේතුව පිත්තල පහන බව ඇය නිගමනය කරන්නේ එබැවිනි. මේ ආකාරයෙන් පසුව සිදුවන යම්කිසි සිදුවීමකට ඊට පෙර සිදුවූ යමක් සමබන්ධ කිරීම මනෝ විද්‍යාඥයින් විසින් හඳුන්වනු ලබන්නේ Post hoc ergo propter hoc නමිනි. ලතින් භාෂාවෙන් ඇති මෙහි අර්ථය වන්නේ මේ නිසා අරක සිදුවුණායන්නය. මෙවැනි සිදුවීම අප අතර ඕනෑ තරම් සිදුවේ. නමුත් සැබැවින්ම පෙර සිදුවූ යමක් පසු සිදුවීමකට නිතරම හේතුවන්නේ නැත. හිරු පායන්නට පෙර කුකුළන් හැඬළීම සිරිතකි. නමුත් හිරු පායන්නට හේතුව කුකුළන් හැඬළීම යයි කිසිවකු පැවසුවහොත් ඔබ පිළිගන්නේ නැත. යම්කිසි පුද්ගලයෙක් පිරිතකට සහභාගී වීම නිසා පිරිත් නූලක් අතේ ගැටගසා ගනියි. පසුදා ඔහු ලොතරැයියක් මිලට ගන්නා අතර ඔහුට එහිදී විශාල ජයග්‍රහණයක් හිමි වේ. මේ නිසා ඔහු සිතන්නේ පිරිත් නූලේ ගැට ගැසූ නිසා ඔහුට ලොතරැයි දිනුම ලැබුණු බවය. ඇතැම් අය විභාග, නඩු වැනි දෙයට යාමට පෙර බලගතු තෙල් ආලේප කරගනිති. යම් හෙයකිනි ඔවුන් ජයග්‍රහණය කළේ නම් එයට හේතුව මෙම තෙල් ය. යම් හෙයකින් ඔවුන් පරාජය වූයේ නම් එයට ද යම් හේතුවක් සොයා ගැනීමට උත්සාහ දැරීම සාමාන්‍ය ස්වභාවයයි.

යම්කිසිවක් සිදුවූ විට එයට හේතු සෙවීම සාමාන්‍ය මිනිස් ගතියයි. මෙසේ හේතු සෙවීමේදී ආසන්නතම සිදුවීම් සිහිපත් කරයි. අමල්ගේ සිදුවීමේදී ආසන්නතම සිදුවීම වූයේ පැරණි පිත්තල පහන මිලට ගැනීමය. නමුත් යතුරු පැදිය හදිසි අනතුරකට ලක්වන්නට පිත්තල පහන හේතු වූයේ යැයි විශ්වාස කිරීමේ තර්කානුකූල බවක් නැත. අමල්ගේ නොසැළකිල්ල, එසේත් නැත්නම් වෙනත් පුද්ගලයකුලේ අපරීක්ෂාරී ක්‍රියාවක්, යතුරු පැදියේ කාර්මික දෝෂයක් වැනි බොහෝ හේතු මෙය පසුපස තිබෙන්නට පුලුවන. කොස් අත්ත කඩා වැටීමට හේතුවද පිත්තල පහන නොවේ. කොස් අතු යනු ස්වභාවයෙන්ම කඩා වැටෙන්නට ඉඩකඩ ඇති දෙයකි. අත්ත දිරා තිබීම, එය ගෙඩිවලින් බරවී තිබීම වැනි හේතු මෙයට බලපෑ හැකිය. නමුත් එවැනි තර්කානුකූ දෙයකට සැළකිල්ලට ගන්නවාට වඩා පිත්තල පහනක් වැනි දෙයක් මත වරද පටවන්නේ අප තුළ විවිධ මිත්‍යා විශ්වාසයන් ද පවතින නිසාය. ඒ පැරණි භාණ්ඩවල යම් යම් ගුප්ත බලයන් ගැබ්ව ඇතැයි යන විශ්වාසයයි.

යමෙකු විභාගයකින් සමත් වන්නේ හොඳින් පාඩම් කළොත් මිස තෙල් වර්ගයක හෝ දෙවියකු හෝ පිහිට වන නිසා නොවේ. නමුත් එහිදී ද බලපාන්නේ මිත්‍යා විශ්වාසයන්ය. මාස ගණනක් වෙහෙස වී පාඩම් කිරීමට ගෞරවය ලබාදෙනවා වෙනුවට තෙල් වර්ගයක් හෝ දෙවියකුට එම ගෞරවය ලබා දෙයි. අනෙක් එහි යම්කිසි පිළිත හැති තර්කයක් ද පවතින නිසා ඒ පිළිබඳ කිසිවකු ප්‍රශ්න කරන්නට ද යන්නේ නැත.

පෙර සිදුවීම් පසු සිදුවීමකට බලපැන්නට ඇති හැකියාවේ එතරම් තර්කානුකූල සම්බන්ධයක් නැති බැව් දැන් ඔබ අවබෝධ කොටගත්ත ද ඔබට එවැනි අත්දැකීමක් ලැබුණ හොත් ඔබට කිසිවිට මෙම ලිපිය මතක් නොවන බැව් ද සඳහන් කළ යුතුය. එවිට ඔබද ක්‍රියා කරනුයේ අමල්ගේ බිරිඳට ලෙසින්ම විනා තර්කානුකූල පුද්ගලයකු ලෙස නොවේ. නමුත් මෙහි පැවසූ දෑ සිතෙහි තබාගැනීම පසුව හෝ තර්කානුකූල හේතු සොයා යාමට ඔබට පිටිවහළක් වනු නිසැකය.


1 comment:

  1. මේකට ලොජික් වල හදුන්වන්නේ "කක තාලිය" නියාය කියල.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න