පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, July 19, 2014

චාලි චැප්ලින් - කඳුළින් පිරි ජීවිතය සිනහවෙන් අධ්‍යක්ෂණය කළ අපූරු සිනමාකරුවා - Charlie Chaplin, A Smily Biography made of Tears




නොහික්මුණු, පාදඩ ජීවිතයක් ගත කරමින් ජීවිත ගමනේ ඉබාගාතේ ඇවිද ගොස් ඉමහත් සාර්ථකත්වයට පත් වූ චාලි චැප්ලින් යනු  ලෝකයේ ඉතාම දුලභ ගණයේ සිනමාකරුවෙකි. ඔහු විසින් රඟ පා ඇති චිත්‍රපට සංඛ්‍යාව 80  කි. ඒ අතුරින් ද කිඩ්’, ‛ද ගෝල්ඩන් රෂ්’, ‛සිටි ලයිට්ස්’, ‛මොඩන් ටයිම්ස්’, ‛ද ග්‍රේට් ඩික්ටේටර්සහ ලයිම් ලයිට්යන හොලිවුඩ් චිත්‍රපට අතිශය සාර්ථකත්වයට පත්විණි. ජනතාව සිනහවෙන් කුල්මත් කරන්නකු වුව ද ඔහුගේ ජීවිතයේ ආරම්භයේ සිටම ඔහුට ලැබුණේ දුක සහ වේදනාව පමණි. ඔහු ජීවිතයේ දුක වේදනාව හදවතහෙි සඟවා ගනිමින් ලෝකයට සිනහව  තිළිණ කළේය. ඔහුගේ රුව දුටු පමණින් අප මුවඟ සිනහවක් රැඳුනත් ඔහුගේ ජීවිතයේ ඇත්තේ සිනහ වූ කාලයට වඩා හැඬූ කාලයකි. මිනිසුන් සිනහවෙන් තැබීම පිනක් නම් ඔහුගේ මතු භවය ප්‍රිතිමත් එකක් වන්නට ඒ පිනම සෑහෙනු ඇත. දෑසින් වෑහෙන කඳුළු නොපෙනෙන බැවින් වැස්සේ තෙමෙන්නට තමන් වඩා කැමැති බැව් ඔහු වරෙක පැවසූයේය. ඔහු අපට සිනහවන්නට ඉගැන්වුව ද ඔහු කෙතරම් නම් හඬන්නට ඇතිදැයි සිතන්නට ඒ කියමන පමණක් පසක් කොට දෙනු ඇත.  1977 දෙසැම්බර් 25 වැනිදා මේ අසහාය සිනමාකරුවා මෙලොව හැර ගියේය.  චාර්ල්ස් චැප්ලින් - මයි ඔටෝබයොග්‍රෆ්‍රිනමින් ලියන ලද කෘතිය ඇසුරු කොටගෙන තැබූ මේ සටහන ඔබට ඔහුගේ සිනහව පමණක් නොව කඳුළ ද දකින්නට දෑසක් දෙනු නිසැකය. 


මේ ෆොටෝ එක ගන්න කොට මට අවුරුදු නවයක් දහයක් විතර ඇති
 
                                                                                              
මගේ නම චාර්ල්ස් ස්පෙන්සර් චැප්ලින්. 1889 අප්‍රේල් 16 වැනිදා හරියටම රෑ අටට, ඊස්ටර්ලේන්වල තිබුණු වැල්වර්ත් කියන ගමේ මම ඉපදුණා. මේ කියන කාලේම තමයි අපි ලැම්බත්වල, ශාන්ත ජෝශප් පාරේ බටහිර චතුරශ්‍රයට පදිංචියට ගිහින් තියෙන්නේ. මගේ අම්ම කියන්නේ නම් මගේ ලෝකය ගොඩක් ප්‍රීතිමත් එකක් කියලයි. අපි ඇත්තටම සාමාන්‍යයෙන් සැපවත් ජීවිතයක් ගත කළා. මගේ අම්මා, ඒ කියන්නේ හැනා චැප්ලින්නාට්‍ය ශිල්පිනියක්. ඇය වේදිකාවේ සිංදු කියන්නත් ගියා. සිංදු කියන්න යන්න කලින් අම්මා මාවයි, මගේ අයියා, සිඩ්නිවයි නිදිකරවලා යන්න පුරුදුවෙලා හිටියා. අම්මා ආපහු ගෙදර එනකොට ගොඩාක් රෑ වෙනවා. එයා පහුවදාට ටිකක් දවල්වෙන තුරු නිදා ගන්නවා. ඒ හින්දා අපට කන්න මොනව හරි පිළියෙල කරලා තමයි අම්මා නින්දට ගියේ. මොකද මමයි, සිඩ්නි අයියයි අපට හරි බඩගිනියි අම්මේ” කියලා කෑගහන්න පුරුදුවෙලා හිටියේ නැහැ නේ. ඒකයි.


අවුරුදු තුනහමාරක් විතර වෙනකොට මම හිතුවේ මට මේ ලෝකේ කරන්න බැරි වැඩක් නැහැ කියලයි. හොඳයි සිඩ්නි ට පුළුවන් නම් කාසියක් ගිළලා ඒක ඔළුව පිටිපස්සෙන් එළියට ගන්න, ඇයි මට විතරක් බැරි? ඉතිං මමත් ගිල්ලා. හැබැයි ඔළුව පිටිපස්සෙන් නම් කාසිය ආවේ නැහැ. ඉතිං එදා අම්මට සිද්ධ වුණා මාව දොස්තර ළඟට එක්කරගෙන යන්න. 
 
මගේ අම්මා

මගේ අම්මා වේදිකාවේ ශිල්ප දක්වන්න හරිම දක්ෂයි. අවුරුදු විසිගණන්වලදී අම්මාගේ අමුතු රූමත්බවත් තිබුණා.  දම්පාට ඇස්, ළා දුඹුරුපාට දිග කොණ්ඩය ඒ රූමත්බවට උදව් කළා කියලයි මට හිතෙන්නේ. අම්මව ලස්සනට සරසන්නේ මමයි, සිඩ්නියි තමයි. ඈ සුරංගනාවක් වගේ ලස්සන නැතිව ඇති. ඒත් අපිට පෙනුණු විදියට නම් අපේ අම්මා සුරංගනාවක් වගේමයි. 


මගේ පුංචි කාලය ගෙවී ගිය ලන්ඩනය, වසන්තයේ දිදුලන ලැම්බතය, ජීවිතය තියෙන තාක් මට අමතක වෙන්නේ  නැහැ. අම්මත් එක්ක අශ්ව බස් එකේ යන කොට ලිලැක් ගස්වල කොල අල්ලන්න හදපු හැටි, ට්‍රූම් කාර්, මල් කෙල්ලන්, වෙස්ට්මිනිස්ටර් පාළම මගේ පුංචි හිතේ හරි අපූරු හැඟීම් ඇති කළා. මගේ ආත්මයට පණ ලැබුණේ මේ වගේ දේවල්වලින් තමයි. 

මගේ තාත්තා


මගේ අම්ම තරම් මගේ තාත්තා, ඒ කියන්නේ චාර්ල්ස් ස්පෙන්සර් චැප්ලින්’ (තාත්තාගේ නම ම තමයි මට තිබුණෙත්) අපේ ළඟ හිටියේ නැහැ. මට තාත්තා ගැන ඒ තරම් පැහැදිලි මතකයකුත් නැහැ. ඔහුට තිබුණේ අඳුරු පැහැ ඇස් දෙකක්. අම්ම කිව්වේ නම් ඔහු හරියට නැපෝලියන් වගේ කියලයි. බැරිටෝන් නළාවක වගේ ගැඹුරු කටහඬක් තිබුණු ඔහුත් දක්ෂ කලාකාරයෙක්. තාත්තාට සතියකට පවුම් හතළිහක විතර ආදායමක් ලැබුණා කියලයි අම්ම කිව්වේ. ඒත් ප්‍රශ්නය වුණේ තාත්තා තදටම බීමට ඇබ්බැහිවෙලා හිටිය එකයි. අම්මයි තාත්තයි වෙන් වුණෙත් තාත්තාගේ මේ ඕනෑ නැති පුරුද්ද හින්දලු. මත්වතුර බීලා අඩු වයසින් මිය ගිය අනෙක් කලාකරුවන්ගෙයි මගේ තාත්තගෙයි කිසිම වෙනසක් තිබුණේ නැහැ. තාත්තත් ඒ අවාසානාවන්ත ඉරණමට ගොදුරු වුණා. ඔහු මිය යන කොට අවුරුදු තිස්හතක් විතර ඇති. 


මගේ අම්මට හරිම මිහිරි කට හඬක් තිබුණා. ඒත් ඒ හඬ නිරෝගී හඬක් නෙවෙයි. පුංචි සෙම්ප්‍රතිශ්‍යාවක් හැඳුනත් ඒ හඬ දුර්වල වෙනවා. ඒකයි මම එහෙම කිව්වේ. එහෙම වුණාම ආයේ දවස් ගණනක් යනතුරු සිංදු කියන්න බැහැ. මේ විදියට අම්මගේ හඬ ටිකෙන් ටික දුර්වල වෙන්නත් පටන් ගත්තා. අම්මා වේදිකාවේ සිංදු කියන සමහර වෙලාවට කට හඬ වෙනස්වෙන්න පටන් ගත්තා. සමහර දවස්වලට අම්මගෙන් ඇහුණේ බිඳුණු කට හඬක්. 


අම්මාගේ කට හඬ මේ විදියට දුර්වල වුණු එක ගැන මම හරියටම දන්නේ ඒ කාලේ ඇය මාව ත් සිංදු කියන තැන්වලට එක්කරගෙන යන්න පුරුදුවෙලා හිටිය නිසයි. අම්මා මාව වේදිකාවේ පැත්තකින් තියලා වේදිකාවට නගිනවා. එක දවසක් අම්මා සිංදු කියන කොට හරිම අවාසනාවන්ත දෙයක් සිද්ධ වුණා. ඇගේ කට හඬ එදා දරුණු විදියට වෙනස්වෙන්න පටන් ගත්තා. මිනිස්සු අපහාසයෙන් හිනා වුණා. අම්මට ඒක දරාගන්න බැරිව ඇවිත් මාව බදාගෙන අඬන්න පටන් ගත්තා. අම්මා වේදිකාවෙන් බැස්සා. ඒ වෙලාවේ මම හිතපු නැති දෙයක් සිද්ධ වුණා. වේදිකා කලමණාකාරවරයා ඇවිත් කිව්වා මට සිංදු කියන්න කියලා. ඒ වෙනකොටත් මම පුංචි දරුවෙක්. ඒත් මම අම්මාගේ යාළුවෝ ඉස්සරහ සිංදු කියන හැටි කලමණාකාරවරයා මීට කලින් දැකලා තිබුණා. 


ඔහු මගේ අතින් අල්ලගෙන වේදිකාවට නැගලා වචන කිහිපයක් කතා කරලා මාව එතැන තනිකරලා ආවා. ඔන්න ඉතිං මම සිංදුවක් කිව්වා. මම කව්වේ ඒ කාලේ ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණු ජැක් ජෝන්ස්කියන ගීතයයි. වැඩිවෙලා ගියේ වේදිකාවට මොනවද වැටෙන සද්දයක් ආවා. මම බැලුවා. දෙයියනේ සල්ලි! මම එකපාරට සිංදු කියන එක නතර කරලා මෙහෙම කිව්වා. 


සල්ලි ටික එකතු කරගෙන මම ආයෙත් සිංදු කියන්නම්” 


මේ කතාව අහපු හැමෝම මහ හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා. ඒ වෙලොවේ කලමණාකාරවරයා ඇවිත් සල්ලි ටික ඔක්කොම එකතු කරගත්තා. මට බය හිතුණා ඒ සල්ලි හම්බවෙන එකක් නැති වෙයි කියලා. මම ඒ දිහා බයවෙලා බලා හිටපු හැටි දැකලා එතැන හිටපු මිනිස්සු තවත් හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා. කලමණාකාරවරයා ඒ එකතු කළ සල්ලි අම්මා අතට දුන්නා. ඊට පස්සේ මටත් හරි සතුටුයි. මම තවත් සිංදු කිව්වා. සෙම්ප්‍රතිශ්‍යාව හැඳුනාම අම්මගේ කටහඬ දුර්වල වෙන විදියක් මම රඟපාලා පෙන්නුවා. එයින් කුල්මත් වුණු එතැන හිටි මිනිස්සු තව තවත් සල්ලි වේදිකාවට විසි කළා. අම්මා වේදිකාවට ඇවිත් මාව වඩාගෙන ගෙදර ගියා. 


එදා තමයි මම වේදිකාවට නැග්ග මුල්ම දවස. ඒ වගේම එදා තමයි මගේ අම්මා වේදිකාවට නැග්ග අන්තිම දවස. 


අම්මා ඉන් පස්සේ හැමදාම දෙවියන් ඉදිරියේ යාච්ඥා කරනවා කටහඬ මිහිරි කරවන්න කියලා. අම්මා ආයේ සිංදු කියන්න ගියේ නැති නිසාත්, තාත්තා හොඳටම බීමට ඇබ්බැහිවෙල හිටි නිසාත්, අපට මුදල් හිඟ වෙන්න පටන් ගත්තා. අම්මා එයා ළඟ තිබුණු වටිනා කියන හැමදෙයම විකුණුවා. එයා අන්තිමට මහණ මැෂිමක් කුළියට අරගෙන ඇඳුම් මහන්න පටන් ගත්තා. අපි එන්න එන්නම දුප්පත් වුණා. 
 
මගේ අයියා

ශීත කාගේ මමයි සිඩ්නියි ඉස්කෝලේ ගියෙත් එහෙන් මෙහෙන් අණ්ඩ දමාපු ඇඳුම් ඇඳගෙන. ඒ හින්දා අපි දෙන්නට එක එක නම් පට බැඳෙන්නත් පටන් ගත්තා. අපිට ඒවා දරාගන්න පුළුවන් වුණේ නැහැ. 


අම්ම රැයක් දවාලක් නැතිව නිදිවරාගෙන ඇඳුම් මහපු හින්දා එයාගේ ඇස් දෙක ලෙඩ වුණා. බෙහෙත් ගන්න දොස්තර මහත්තයා හම්බවෙන්න ගිය වෙලාවේ අම්මාගේ ඇස් දෙක වෙළුම් පටිවලින් වහලා තියන්න ඕනෑ කියලා කිව්වා. දැන් අපට ආදායම් මාර්ගයක් ඇත්තමෙ නැහැ. අපි තවත් අසරණ වුණා. අම්මා ළඟ එහෙන් මෙහෙන් ඉතිරිවෙලා තිබුණු සල්ලි සොච්චමින් අපි ටික දවසක් කඩෙන් කෑම ගෙනත් කෑවා. 


සිඩ්නි ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ පත්තර විකුණන් පටන් ගත්තා. දවසක් බස් එකක තිබිලා සිඩ්නිට මුදල් පසුම්බියක් හම්බ වුණා. අයිතිකාරයෙක් හොයාගන්න බැරිවුණු හින්දා සිඩ්නි ඒක ගෙදර අරන් ආවා. ඒ පසුම්බියේ රත්තරන්, රිදී, තඹ කාසි සෑහෙන ප්‍රමාණයක් තිබුණා. අම්මාට මේ බව කිව්වාම එයා කිව්වේ මේක නම් දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගත් කියලයි.  අපට ටික දවසක් යනකල් ඒකේ තිබුණු සල්ලිවලින් ජීවත්වෙන්න පුළුවන් වුණා. 


අම්මාගේ ඇස්දෙක මේ වෙනකොට ටික ටික සුව අතට හැරෙමින් තිබුණා. 


අපට ආයෙමත් අවසානාවන්ත සිද්ධියකට මුහුණ පාන්න වුණා. මහණ මැෂිමේ අයිතිකාරයා ඇවිත් ඒක ආපහු අරන් ගියා. තාත්තාගෙන් අපට ලැබුණේ සිලිං දහයයි. අන්තිමට සිඩ්නියි මමයි ඉස්කෝලේ ගමන නවත්තලා ලැම්බත් වැඩපලේ වැඩට යන්න පටන් ගත්තා.


මට එතකොට අවුරුදු හයට ටිකක් විතර වැඩි ඇති. ලැම්බත් වැඩපලෙන් පස්සේ අපිව හැන්වෙල් පාසලේ වැඩ කරන්න දැම්මා. මම චැප්ලින්කියන නම ලියන්න පුරුදු වුණේ එහේදි. ඒ 1896 ජූනි වගේ තමයි මට මතක. අපට ලැබුණු සල්ලි හැම සතයක්ම අපි අම්මාට යැව්වා. 


මේ හැන්වෙල් පාසලේ වැඩපළේ තවත් පොඩි ළමයි වැඩකළා. එහේ පොඩි ළමයෙක් වරදක් කරලා අහුවුණොත් දඬුවම් දෙන්නේ වේවැලෙන්. වැඩිම පාරවග් ගණන හයයි. අඩුම තුනයි. මුණින් අතට හරවලා කලිසම පාත් කරලා තට්ටමෙන් ලේ එන්න වදින වේවැල් පාරවලට හුඟක් ළමයින්ට සිහි නැති වුණා. මමත් කොයිතරම් අවාසනාවන්තයෙක් ද කිව්වොත් නොකළ වරදකට මටත් වේවැල් පාර තුනක් කන්න සිද්ධ වුණා. 


මේ වැඩපළේ ඉන්න දරුවන්ට අවුරුදු එකොළහේදී නාවික හමුදාවට හරි යුද හමුදාවට හරි බැඳෙන්න අවස්ථාවක් ලැබෙනවා. නාවික හමුදාවට ගියොත් දමන්නේ එක්ස්මවුත්කියන නැවේ වැඩටයි. සිඩ්නි මාව හැන්වෙල් පාසලේ තනිකරලා නාවික හමුදාවට ගියා. 


මේ කාලේ අපේ අම්මා අපට නතරවෙන්න ගෙයක් හොයාගෙන තිබුණා. මම හැන්වෙල් වැඩපළ අතහැරලා ආවා. ටික කාලෙකට පස්සේ සිඩ්නිත් එක්ස්මවුත් නැව දාලා ගෙදර ආවා. අපි දෙන්නම අම්මා ළඟට ගිහින් අලුත් වැඩපළක වැඩට යන්න පටන් ගත්තා. 


වැඩි කාලයක් ගියේ නෑ අපට ආයෙම ලොකු කරදරයක් වුණා. අම්මට පිස්සු වැටුණා. සිඩ්නිටත් මටත් මේක දරාගන්න පුළුවන් වුණේ නැහැ. දෙයියනේ අපේ අම්මා ගෙදර නැතිව අපි ජීවත්වෙන්නේ කොහොමද? අපි අම්මාව කේන්හිල් මානසික රෝහලට අරගෙන ගියා. 


අම්මාට කොහොමද පිස්සු වැටුණේ ????????? 


අපිව බලාගන්න කවුරුවත් හිටියේ නැහැ. අපිව භාරගන්න කියලා තාත්තාට උසාවියෙන් නියෝගයක් ආවා. ඒ වෙනකොටත් මම තාත්තාව දැකලා තිබුණේ දෙපාරයි. ඔහු ලුවිස් කියලා ගැහැණියක් එක්ක වෙනම ජීවත් වුණා. උසාවියේ නිලධාරීන් අපව ගිහින් භාරදුන්නෙත් ලුවිස්ට යි. ඒ වෙනකොට ලුවිස් ට පුංචි පුතෙක් හිටියා. එක් කුසේ ඉපදුනේ නැතත් අපේම ලේ තියෙන අපේම සහෝදරයෙක් කියලා අපට හිතුණා. තාත්තා නම් අපට ආදරෙන් සැළකුවා. ඒත් ලුවිස් නම් අපි ආවට කිසිම කැමැත්තක් පෙන්නුවේ නැහැ. සිඩ්නි එක්ක එයා කොහොමත් තරහින් හිටියේ. අනෙක ලුවිස් බීමටත් ඇබ්බැහි වෙලා හිටියා. දවසක් ලුවිස් හොඳටම බීලා ඇවිත් සිඩ්නිගේ ඇඳ ඇතිරිලි බිමට දාලා එයාට ගෙදරින් එළියට බහින්න කිව්වා. මේ වගේ දෙයක් කොයි වෙලාවක හරි සිද්ද වෙයි කියලා උල් යකඩ කෑල්ලක් කොට්ටය යට තියාගෙනයි සිඩ්නි හිටියේ. සිඩ්නි ඒක එළියට ඇදලා ගත්තා. 


අඩියක් හරි ඉස්සරයට තිබ්බොත් මම උඹට මේකෙන් අනිනවා අනිනවා මයිසිඩ්නි මහ හයියෙන් කෑ ගැහුවා. 


කාලකන්නි යක්ෂයා. මූව මාව මරන්න හදනවා 

ලුවිස් කෑ ගැහුවා. ඊට පස්සෙත් ලුවිස් අපට කරදර කරන්න ආවා. බැරිම තැන මේ ගැන තාත්තාට කිව්වාම, තාත්තා ලුවිස් ට සිහිනැතිවෙන්න ගැහුවා. 


කොහොම වුණත් තාත්තා ගෙදර නැති වෙලාවල්වල ලුවිස් අපිව කීප වතාවක්ම ගෙදරින් එළියට දැම්මා. ඒ වගේ දවස්වල අපි හිටියේ පාරේ තැන් තැන්වල දල්වපු ගිනිගොඩවල් ළඟ. 


මෙහෙම ඉන්න කොට අම්මට අම්මට සනීපයි කියලා මානසික රෝහලින් පණිවිඩයක් ලැබුණා. අම්මා අපිව බලන්න ආවා. මමත් සිඩ්නිත් දරාගන්න බැරි හැඟීමකින් අම්මා දිහා බලාගෙන හිටියා. අපිට බලාගෙන ඉන්න බැරි තරමට හදවත බර වුණා කියලා දැනුණා. අපි දුවලා ගිහින් අම්මාව බදාගෙන ඇඬුවා. හොඳටම ඇඬුවා. අපි කුළියට ගත්තු කාමරේකට එදාම පදිංචියට ගියා. ඒක තිබුණේ විනාකිරි කම්හලක් ළඟ. දවසම ඇසිඩ් ගඳ. පාර ඉවරවෙන තැන තිබුණේ මස් මඩුවක්. තාත්තාගෙන් ලැබෙන සිලිං දහය නම් දිගටම ලැබුණා. 


රංගනය ගැන මාව උනන්දු කරවන්න අම්මා නිතරම උත්සාහ ගත්තා.  අම්මා මාවයි, සිඩ්නි අයියවයි ආයේම ඉස්කෝලේ යවන්න පටන් ගත්තා. ඉස්කෝලෙදි නත්තලට කලින් සින්ඩරෙල්ලානාට්‍යය පෙන්වන්න සූදානම් වුණා. ඒ 1900 වගේ කාලේ. ඒත් අවාසානාවක මහත! මාව ඒ නාට්‍යයයේ කිසිම චරිතයකට තෝරාගත්තේ නැහැ.


මේ නාට්‍යයයේ සින්ඩරෙල්ලාට රඟ පෑ ගැහැණු ළමයා හරිම ලස්සනයි. මම එයාට රහසින් ආදරේ කරන්න පටන් ගත්තා. ඒත් ඇයට ළංවෙන්නවත් මට වාසනාවක් තිබුණේ නැහැ. කොහොම වුණත් අන්තිමේදී සිඩ්නි අයියගෙත් උදව් ඇතිව මට සින්ඩරෙල්ලා නාට්‍යයේ විහිළු පූසෙකුගේ චරිතයක් ලැබුණා. 


මෙයින් පස්සේ මට රංගනය ගැන තිබුණු උනන්දුව වැඩිවෙන්න පටන්ගත්තා. මම මිතුරෙක් එක්ක එකතුවෙලා බ්‍රිස්ටල් ඇන්ඩ් චැප්ලින්, ද මිලියනයර්කියලා නාට්‍ය කණ්ඩායමක් හදාගත්තා. ඒත් ඒක ක්‍රියාත්මක කරවන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. 


මේ කාලේ මර්සිලීන් කියන ස්පාඤ්ඤ ජාතික විකට රංගන ශිල්පියා ලන්ඩනයට ආවා. ඔහුට මුළු ලන්ඩනයම පිස්සු වැටිලයි හිටියේ. මට මේ සිද්ධිය අමතක නොවෙන්නේ ඔහුත් එක්ක පුංචි චරිතයක් රඟපාන්නට ලැබුණු හින්දයි. හුඟක් ඉංග්‍රීසි නළුවෝ වගේ ඔහුත් පහුකාලේ දවසක සියදිවි නසාගත්තා. 


මගේ රංගනයට අතදෙන්න ඉදිරිපත් වුණු පුද්ගලයෙක් තමයි ජැක්සන් මහත්තයා කියන්නේ. මම ඔහුගේ නාට්‍ය කණ්ඩායමට බැඳුණා.  මට හොඳටම අසනීප වුණෙත් මේ කාලෙම තමයි. දොස්තර මහත්තයා නම් කිව්වේ මට කිසිම ලෙඩක් නැහැ කියලයි. ඒත් මම හිටියේ හරිම අමාරුවකින්. මට හිතුණා මෙහෙම වේදනා විඳිනවාට වඩා මැරෙන එක හොඳයි කියලා. මේ අවාසනාවන්ත කාලයේ සිඩ්නි අපිත් එක්ක හිටියේ නැහැ. දුප්පත්කමයි අසරණකමයි කියන්නේ මොකක්ද කියන එක මට මේ කාලයේදී තමයි හොඳින්ම තේරුම් ගියේ. බඩ පිරෙන්න කාපු දවසක් ගැන මට මතක් කරගන්න තියා හිතාගන්නවත් බැහැ. 


1899 අවුරුද්ද. සිඩ්නි ට අවුරුදු දාහතරයි. ඔහු පාසැල් ගමන අතහැරලා විදුලි පණිවුඩ යවන්නෙක් විදියට රස්සාවකට බැඳුණා. ඊට අවුරුදු දෙකකට විතර පස්සේ මගේ තාත්තා කාත් කවුරුවත් නැතිව ඉස්පිරිතාලේ අවසන් හුස්ම හෙළුවා. තාත්තාගේ මිනිය වළලන්න අම්මා අතේ තඹ දොයිතුවක්වත් තිබුණේ නැහැ. තාත්තාගේ අවමඟුළට වියදම් කළේ මගේ බාප්පා කෙනෙක්. තාත්තාගේ මිනිය ළඟට වෙලා ලුවිස් අඬ අඬා හිටියා. තාත්තාගේ මිනී පෙට්ටිය වලට වැටිලා දෝංකාර දෙන සද්දේ මගේ හදවතේ බිත්තිවල වැදුණා වගේ මට දැනුණා. ඒ දෝංකාරය එක්ක මගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. මට ම දැනුනේ නෑ, මම කෑ ගහල ඇඬුවා. හොඳටෝම ඇඬුවා. මාව නවත්තන්නවත්, සනසන්නවත් කවුරුවත් ආවේ නැහැ. 


ඊට පස්සේ මම රෙදි සාප්පුවක රස්සාවක් හොයා ගත්තා. දොස්තර කෙනෙක් ළඟත් වැඩ කළා. සතියකට සිලිං දොළහක් විතර මට හම්බ වුණා. දොස්තර මහත්තයත්, නෝනත් මට සැළකුවේ එයාලාගේම දරුවකුට වගේ. නිදාගන්න යන්න කලින් දොස්තර නෝනා මට හාද්දක් දෙන්න පුරුදු වෙලා හිටියා. මට අම්මාව මතක් වුණා. 


ඊටත් පස්සේ මම ඩබ්ලිව්. එච්. ස්මිත් ඇන්ඩ් සන්ස් කොම්පැනියේ පොත් විකුණන්න පටන් ගත්තා. පොත් විකුණන්න මාව පුංචි වැඩියි කියපු හින්දා මට එතැන වැඩි දවසක් ඉන්න ලැබුණේ නැහැ. 


වීදුරු පුම්බන රස්සාවකටත් ගියා. ගිය මුල්ම දවසේම වීදුරු පුම්බන්න ගිහින් මට ඒකේ රස්නෙ දරාගන්න බැරිව මාව සිහි නැති වුණා.  ඉතිං ඒ රස්සාවට මම ගියේ එක දවසයි. එදා දවසේ පඩිය ගන්නවත් මම ඒ පැත්තේ ගියේ නැහැ. ඊට පස්සේ මම අච්චු කන්තෝරුවකත් වැඩ කළා. මම කොයි තරම් පුංචි ද කිව්වොත් මැෂිම උඩට නැග්ගාම දැනුණේ අයිෆල් කුලුණ  උඩ ඉන්නවා වගෙයි. 


ඔන්න මාව ආයේම පාසල් යවන්න ඕන කියලා අම්ම කියන්න පටන් ගත්තා. සිඩ්නි ට අවුරුදු  දාසයයි. ඔහු නැවක සංඥාකාරයෙක් විදියට රස්සාවකට ගියා. ඔහුට ලැබුණු අත්තිකාරම් මුදලින් අපි චෙස්ටර් වීදියේ තැනකට පදිංචියට ගියා. සිඩ්නිගේ මාසික වැටුප විදියට පවුම් දහයක් විතර ලැබුණා. සිඩ්නි නිතරම වාගේ අපව බලන්න ගෙදර ආවා. ඒත් එක වතාවක් ඔහුට ඉක්මණට එන්න බැරි වුණා. අපි අතේ තිබුණු සල්ලි ඉවරවුණා. ගෙවල් කුළී ගෙවාගන්නත් බැරිවුණු හන්දා අපට වෙන තැනකට පදිංචියට යන්න සිද්ධ වුණා. අපි පවුනෝල් ටෙරස් වල පුංචි තැනකට පදිංචියට ගියා. මම සෙල්ලම් බෝට්ටු හදලා විකුණුවා. සිඩ්නි තවමත් ආවේ නැහැ. ඒ ගැන කල්පනා කරලාම අම්මා හිටියේ හරිම හිතේ අමාරුවෙන්. දවසින් දවසම සිඩ්නි ගැන කිසිම ආරංචියක් නැතිව කාලය ගෙවිලා ගියා. අම්මාගේ හිතේ කාංසාව තවතවත් වැඩි වුණා. අන්තිමට සිඩ්නි ගැන හිතලාම අම්මා ට ආයෙත් පිස්සු වැටුණා. අම්මාව දොස්තර ළඟට අරන් ගියේ අපේ ගෙවල් අයිතිකාර ගෑණු කෙනා. අම්මාට ආයෙමත් කේන් හිල් මානසික රෝහලට යන්න සිද්ධවුණා. මම කෑමකෑවේ ගෙවල් අයිතිකාර ගෑනුකෙනාගෙන්. මම ඒ කාලේ ලී මඩුවක වැඩ කළා. හදිසියේම මට විදුලි පණිවුඩයක් ලැබුණා. 


හෙට දහයට මම එනවා. වෝටර් ලූ දුම්රිය පොළට එන්න.

මීට සෙනෙහෙබර සිඩ්නි 


මට පුදුම සතුටක් දැනුණා. ඒත් සිඩ්නිව බලන්න යන්න මට අඳින්න තිබුණේ අණ්ඩවලින් පිරුණු එකම එක ඇඳුමක් විතරයි. සිඩ්නි මා එනවා දැකලා හරිම සතුටින් ඇවිත් මාව වැළඳ ගත්තා. ඒත් අම්මා ව ආයෙම කේන් හිල් එක්කරගෙන ගියා කියලා දැනගත්තු ගමන් මුහුණ අඳුරුවෙලා ගියා. මුහුදු ජීවිතේ අතහැරලා ආපු බව ඔහු කිව්වා.

අපි අම්මාව බලන්න ගියා. 


ඈ සුදුමැලි වෙලා. තොල් නිල් පාටයි. අම්මා අපිව අඳුනගත්තත් මුහුණේ කිසිම උද්‍යෝගීබවක් තිබුණේ නැහැ.   අම්මට ඉක්මණට සනීප වෙයි.මම කිව්වා. 


පුළුවන් නම් නුඹලා අතින් මට තේ කෝප්පයක් හදා දියන්. මට එතකොට හොඳටම සනීප වේවි.” 

අම්මා කිව්වා. මට ඒ වදන් තවමත් මතක් වෙනවා. ඒ වෙලාවට මගේ හදවත හිල්වෙනවා වගේ දැනෙනවා. 


නළුවෙක් වෙන්න ඕන කියන අදහස මම ත් සිඩ්නි ත් අතහැරියේ නැහැ. අපි බ්ලැක්මෝර් නෘත්‍යාගාරයට ගියා. අපට දෙන්න තරම් චරිත මොනවත් එතැන නැහැ කියලා මුළින් කිව්වත්, පස්සේ අපේ නම් දෙකයි, ලිපිනයයි ලියා ගත්තා. සතියකට පස්සේ මට ලියුමක් ලැබුණා. මම මගේ වයස ගැන කියලා තිබුණේ බොරුවක්. එතකොට මට අවුරුදු දොළහමාරක් වුණත් මම කිව්වේ දාහතරක් කියලයි. කොහොමහරි මට ෂර්ලොක් හොම්ස් නාට්‍යයේ සේවකයෙක් විදියට රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේම ජිම්’, ‛ද රොමැන්ස් ඔෆ් අ කොක්නි වගේ නාට්‍යවලත් සුළු චරිත මට ලැබුණා. වැටුප සතියකට සිලිං දහයයි. සිඩ්නි මේ ගැන ගොඩාක් සතුටු වුණා. අම්මත් සනීප වෙලා හිටිය නම් ගොඩක් සතුටු වෙයි.සිඩ්නි කිව්වා. මම ත් එහෙම හිතුවා. නාට්‍ය පුහුණුවීම්වලදී මගේ රංගනය දැකලා හැමදෙනාම පුදුම වුණා. 


මගේ අම්මටත් තාත්තටත් පින් සිද්ධ වෙන්න මේක මගේ ජන්ම පුරුද්ද! 


මගේ චරිතය ඇතුළේ විකට ගතියක් තිබුණා. ෂර්ලොක් හෝම්ස් නාට්‍යය පෙන්වන්න තැන තැන ඇවිදිමින් හිටපු කාලේ සිඩ්නි මට නිතරම ලිව්වා. ඒත් මට හොඳට අකුරු ලියන්න බැරි හන්දා මම උත්තර ලිව්වේ ඉඳල හිටලා. දවසක් සිඩ්නි මට එවපු ලියුමක් දැකලා මාව හොඳටම සසලවෙලා ගියා. 


අම්මත් ලෙඩවෙලා හින්දා අපි දෙන්නට මේ ලෝකේ ඉන්නේ අපි දෙන්නා විතරයි. ඒ හින්දා ඔබ මට නිතර ලියන්න ඕන. ඒත් මගේම සහෝදරයා මට ලියන්නේ නැතිව ඇයි මෙහෙම කරන්නේ.” 


ඉන්පස්සේ මම දිගටම සිඩ්නිට උත්තර ලිව්වා. ඔහුගේ හැම වදනකම සහෝදර සෙනෙහස, උණුසුම රැඳිලා තිබුණා. මගේ අම්මා හැරුණාම එහෙම සෙනෙහසක් ජීවිතේ පුරාම නොඅඩුව ලැබුණේ සිඩ්නිගෙන් විතරයි. 


ජිම්නාට්‍යය සාර්ථක නොවුණත්, ‛ෂර්ලොක් හෝම්ස්නාට්‍යය සාර්ථක වුණා. මම කලමණාකාර මහත්තයත් එක්ක කතාකරලා සිඩ්නිවත් සතියකට සිලිං 35ක වැටුපකට ඒකේ චරිතයකට අරගත්තා. දැන් අපි දෙන්නාම එකම තැන. අපිත් හරියට සර්පයෝ හැව අරිනවා වාගේ තමයි පරණ දේවල සැරින් සැරේට අතහැරියේ. 


සිඩ්නි අම්මට දිගටම ලිව්වා.  දවසක් කේන්හිල් රෝහලින් ලියුමක් ආවා. අම්මට සනීපයි කියලා ඒ ලියුමේ තිබුණා. අම්මගේ සෙනෙහස, උණුසුම ආයෙත් ලබන්න පුළුවන්වීම ගැන අපි දෙන්නට කියාගන්න බැරි තරම් සතුටක් දැනුණා. අපි අළුත් තැනක පදිංචියට ගියා. 


අපි නාට්‍ය රඟ දක්වමින් පිට පළාත්වල සංචාරය කළා. අපේම අවාසනාවට අම්මට ආයෙත් පිසස්සු වැටුණා. අපි තුන්දෙනා හරිම පව්කාරයෝ කියලා මට හිතුණා. අම්මාව ආයෙත් කේන්හිල් මානසික රෝහලට අරගෙන ගියා. අම්මට ආයේ නම් කවදාවත් සම්පූර්ණ සුවයක් ලැබෙන එකක් නැහැ කියලයි මට හිතුනේ. අපි අතේ තරමක් වැඩිපුර සල්ලි තිබුණු නිසා අම්මාව පෞද්ගලික මානසික රෝහලක නතර කරන්න අපට පුළුවන් වුණා. 


ඊට පස්සේ අපි ෆ්‍රෙඩ් කාර්නෝගේ නාට්‍ය කණ්ඩායමට බැඳුණා. මට අවුරුදු 17 වෙනකොට මට තරමක ප්‍රධාන චරිතයක් රඟපාන්න පුළුවන් වුණා. ඒත් මට මගේ ඒ කාලේ දසාව නම් ඒ තරම් හොඳ එකක් වුණේ නැහැ. කොහොම වුණත් ද ෆුට් බෝල් මැච්නාට්‍යයෙන් පස්සේ මට හොඳ කාලයක් උදා වුණා. අවුරුදු 19 වෙන කොට මම කාර්නෝ සමාගමේ සාර්ථක විකට ශිල්පියෙක් වෙලා හමාරයි. මේ කාලේ තමයි මම ආදරේක පැටළුණේ. ඇගේ නම හෙටී කෙලී’. නාට්‍ය කණ්ඩායමක කෙල්ලක්. ඒත් ඒක වැඩි කාලයක් තිබුණේ නැහැ. 


හෙටී කෙලී. මම මුල්ම කාලේ ආදරේ කළ කෙනෙක්



1909 දි මම කාර්නෝ සමාගමත් එක්ක පැරීසියට ගියා. ඒ නාට්‍ය පෙන්වන්න. මට එහේදී ප්‍රංශ කෙල්ලක් හම්බ වුණා. එයා ගොඩක් ලස්සනයි. ඒත් මගේ අවාසනාවට එයට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණේ නැහැ. මට ප්‍රංශ භාෂාව බැහැ. 


ඉතිං මට භාෂා පරිවර්තකයෙක් හොයාගන්න වුණා. ඒකට උදව් කළේ මගේ යාළුවෙක්. ප්‍රංශයේදී මට ආයෙමත් හෙටී ව හම්බ වුණා.


මේ කාලේ මම රඟපෑවේ මමිං බර්ඩ්නාට්‍යයේ. ෆ්‍රෙඩ් කාර්නෝගේ ඇමරිකානු සමාගමේ කලමණාකාර ඇල්ෆ් රීව්ස්මේ කාලේ එංගලන්තෙට ආවා. ඔහුගේ වොව් වොව්ස් නාට්‍යයේ ප්‍රධාන විකටයා හැටියට මට රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඔහුගේ මාර්ගයෙන් තමයි මට ඇමරිකාවට යන්න ලැබුණේ. 


කාර්නෝට ඇමරිකාවේ විශාල පිළිගැනීමක් තිබුණත් අවාසනාවකට අපේ වොව් වොව්ස් නාට්‍යය එහේ ජනප්‍රිය වුණේ නැහැ. අන්තිමට අපි ආපහු එංගලන්තයට එන්න ලෑස්තිවෙලා අන්තිමට පෙන්වපු දර්ශන වාරය හිතාගන්න බැරි තරම් සාර්ථක වුණා. 


මම ආයේ එංගලන්තෙට ආවා. මට හුඟ කාලෙකින් සිඩ්නිගෙන් ලියුමක් ලැබුණේ නැහැ. ලන්ඩනයේදී මට ඔහු හමුවුණා. ඔහු විවාහ වෙලා. මම තනිවෙලා කියලා දැනෙන්න පටන්ගත්තා. ඉතිං මම හිතුවා ඇමරිකාවට යන්න. මම ලන්ඩන්වලට ආදරේ වුණත් මට එහේ ජීවත්වෙන්න තරම් හිතක් තිබුණේ නැහැ. එහෙම පරිසරයක් තිබුණෙත් නැහැ. මම අන්තිම වතාවට ආයෙම අම්මාව බලන්න ගිහින් ඇමරිකාවට ගියා. 


ඇමරිකාවේදී මම කීස්ටෝන් ෆිල්ම් කොම්පැනි සමඟ එකතු වුණා. මට සතියකට ඩොලර් 150 ක වැටුපක් ලැබුණා. ඒක මට කාර්නෝගෙන් ලැබුණු මුල වගේ දෙගුණයක්. 


මැක් සෙනෙට් මහත්තයත් එක්ක මට මේ කාලේ වැඩකරන්න අවස්ථාවක් ලැබුණා. ඔහු නළුවෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්.  මේ කාලේ ඔහු ළඟින්ම හිටපු හෙන්රි ලෙහර්මන් චිත්‍රපටියක් හදන්න සූදානම් වෙලා හිටියේ. චාලි චැප්ලින් කියූ ගමන් ඔබේ හිතේ මැවෙන අමුතු රැවුළ, දිග කබාය, පැතලි සපත්තු වාගේ දේවල් මට එකතු වුණේ මේ චිත්‍රපටයෙදි. ඒ චිත්‍රලටයේ නම වුණේ මාබෙල්ස් ස්ට්‍රේන්ජ් ප්‍රෙඩිකමන්ට්’. මම එතෙක් රඟපෑ විකට චරිතවලට වඩා වෙනසක් කරන්න මෙහිදී උත්සාහ කළා. කොහොම වුණත් මගේ චිත්‍රපටි මිනිස්සු ඒ තරම්ම සාදරයෙන් පිළිගත්තු බවක් පෙනුනේ නැහැ. සෙනෙට් මහත්තයා මා ගැන තියපු බලාපොරොත්තු කඩකර ගනී ද කියලා මට බයකුත් දැනුණා. 

ස්ට්‍රේන්ජ් ප්‍රෙඩිකමන්ට් චිත්‍රපටය



කාලය මේ විදියට ගෙවිළා ගියා. සෙනෙට් මහත්තයාගේ උපදෙස් මත මම මගේ මුල්ම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්න සූදානම් වුණා. චිත්‍රපටයේ නම කෝට් ඉන් ද රේන්.ඒත් තරමක් සාර්ථක වුණා. 1914 විතර වෙනකොට මගේ ජීවිතේ ටික ටික සාර්ථකත්වය දිහාට ඇදිලා යනවා වගේ දැනුණා. 


ඉන් පසුව මම හදපු ට්වෙන්ටි මිනිට්සු ඔෆ් ලව්’, ‛ඩෝ ඇන්ඩ් ඩයිනමයිට්’, ‛ද කිඩ් වැනි චිත්‍රපට හාස්‍යයෙන් පිරී තිබුණා වගේම ඒවා ඉතා සාර්ථක්තවයට ද පත්වුණා. මම සිඩ්නිවත් ඇමරිකාවට ගෙන්වාගත්තා. 

ද කිඩ් චිත්‍රපටය



ඔන්න මට ආයෙම ආදරේ ගැන හිතෙන්න පටන් ගත්තා. ඈ එඩ්නා පර්වියන්ස්.මම හිතාගෙන හිටියා කවද හරි ඇයව විවාහ කරගන්න. අපි ඒ තරමට ළං වුණා. ඒත් තවත් කඩවසම් පිරිමියෙකුට පෙම් කළ ඇය මා අතහැර දැමුවා. ඒත් මිය යනතුරුම ඇය මා මිතුරකු විදියට ඇසුරු කළා. 
 
එඩ්නා පර්වියන්ස්

පළමු ලෝක යුද්ධය පටන් ගත්තා. ඒ 1918 අවුරුද්ද. මම මේවන විට නම් සාර්ථකත්වය අතින් සෑහෙන ඉදිරියෙන් හිටියා. මගේ රසිකාවියක් වුණු මේරි ඩෝරෝමට හමුවුණා. ඈ මට රහසින් ආදරය කොට තිබුණා. යුද්ධය එන්න එන්නම දරුණු වුණා. යුරෝපය පුරා දේපළ විනාශ වී ගියා. 
 
මේරි ඩෝරෝ

මම කාලයක් තිස්සේ ආදරය කළ මිල්ඩ්‍රෙඩ් හැරිස්මට හමුවුනේ මේ කාලේදීමයි. මටත් විවාහ වෙන්න ලොකු ඕනෑ කමක් තිබුණා. ඉතිං තවත් කල් යවන්නේ මොකටද? අපි විවාහ වුණා. 

මිල්ඩ්‍රෙඩ් හැරිස්



මම ආයෙත් එංගලන්තයට ගියා. කලින් කිසිම ප්‍රසිද්ධියක් නැතිව හිටි මා ගැන ඒ වෙන කොට පත්තරවල විස්තර ගියේ පොල් ගෙඩි අකුරින්. මම වැඩි කාලයක් එංගලන්තයේ හිටියේ නැහැ. මම ආයෙමත් ඉක්මණටම ඇමරිකාවට ආවා. ඒ වෙනකොට මගේ අම්මා හිටියෙත් ඇමරිකාවේ හොලිවුඩ්වල. අම්මා එතකොට හොඳ සනීපෙන් හිටියත්, ‛ද සර්කස්චිත්‍රපටය හදන කාලේ ඈ ආයෙත් අසනීප වුණා. අම්මා ඒ අසනීපයෙන්ම මිය ගියා. ඒ 1928 අගෝස්තු 28 වැනිදා. සිඩ්නිත්, මගේ බිරිඳත්, දරුවො දෙන්නත්, ඒ කියන්නේ චාර්ලියි, සිඩ්නියි හිටියේ යුරෝපයේ. ඒ හින්දා එයාලට අම්මගේ අවමඟුළට සහභාගීවෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. 

ද සර්කස් චිත්‍රපටය

යුනයිටඩ් ආර්ටිස්ට්ස් චිත්‍රාගාරයේ අපි කට්ටිය



හොලිවුඩ්වල මටම අයිති යුනයිටඩ් ආර්ටිස්ට් කියලා චිත්‍රාගාරයක් තිබුණා. මම සමාජ ඇසුරෙන් අයින් වෙලා මේ චිත්‍රාගාරයටම වෙලා හිටපු කාලයකුත් තිබුණා. හැරිස් එක්ක ගතවුණු ජීවිතේ මට එපාවෙලා තිබුණේ. මම හැරිස්ගෙන් වෙන් වුණා. ඊට ටික කාලෙකට පස්සේ තමයි මට පෝලට් ගොඩාර්ඩ්හමුවුණා. මම ඇයත් එක්ක විවාහ වුණා. ඒ 1936 වගේ තමයි මට මතක හැටියට.

පෝලට් ගොඩාර්ඩ්



දෙවැනි ලෝක යුද්ධයත් පටන් ගත්තා. 1937 අවුරුද්දේ ඇලෙක්සැන්ඩර් කෝර්ඩා මට හරි අපූරු යෝජනාවක් කළා. ඒ තමයි හිට්ලර්ගේ චරිතය ඇතුළත් කරලා විකට චිත්‍රපටියක් හදන එක. හිට්ලර්ගේ චරිතය රඟපාන්න කිව්වෙත් මටමයි. කොහොම හරි අවුරුදු දෙකක් විතර මහන්සි වෙලා අපි ද ග්‍රේට් ඩික්ටේටර්නමින් චිත්‍රපටියක් නිපදවලා ප්‍රදර්ශනය කළා. මෙහෙම චිත්‍රපටියක් හදනා කියලා ආරංචි වෙලා මට තර්ජනය කරලා ලියුම් ආවා. චිත්‍රාගාරයට බෝම්බ ගහනවා කියලා තර්ජන ආවා. කොහොම් වුණත් අපි හිතපු නැති විදියට මේ චිත්‍රපටිය සාර්ථක වුණා. 
 
ද ග්‍රේට් ඩික්ටේටර් චිත්‍රපටයේ මම

මම කිසිම ගැහැනියක් එක්ක වැඩි කාලයක් ඉන්න බැරි තරම් අවාසනාවන්තයෙක් ද කියලා වෙලාවකට හිතෙන්න පටන් ගත්තා. මොකද මට පෝලට් එක්ක ගතවුණු ජීවිතේත් එපා වුණා. මෙහෙම ඉන්න කොට තමයි මට ඌනා ඕනිල් මුණගැහුණේ. මම ඇයට ආදරය කරන්න පටන්ගන්න කොට ඇය අවුරුදු 18 යි. ඒ වෙනකොට මම ෂැඩෝ ඇන්ඩ් සබ්ස්ටන් කියන චිත්‍රපටය කරමින් සිටි නිසා එහි වැඩ නිමාවීමෙන් පසුව විවාහ වෙන්න අපි තීරණය කළා. අපි දෙන්න විවාහ වුණේ 1943 ජුනි මාසයේ. 

ඌනා ඕනිල් තමයි මම මැරෙන කල්ම මගේ ළඟින් හිටියේ



මේ කාලෙදි ජොවාන් බැරීකියන නිළිය, ඇයට ලැබෙන්න ඉන්න දරුවාගේ පියා මම ය කියලා මට විරුද්ධව නඩුවක් දමා තිබුණා. ඒත් දරුවාගේ රුධිර පරීක්ෂණයෙනුත්, නඩු තීන්දුවෙනුත් ඔප්පු වුණා මම ඒ දරුවාගේ පියා නොවෙයි කියලා.  මගේ චරිතය කෙළෙසන්න මේ වාගේ අනන්ත දේවල් සිද්ධ වුණා. මේ වෙන කොට ඌනා දරුවෙක් ලැබෙන්නයි හිටියේ. මේ කතාව ආරංචි වෙලා එයා ක්ලාන්ත වුණා. අපි ඉක්මණනින්ම ඒ පළාතෙන් පිට වුණා. අන්තිමට අපි දෙන්නම තීරණය කළා සදහටම ඇමරිකාව අතහැරලා දාලා ආපහු එංගලන්තයට යන්න. 

ජොවාන් බැරී

 
ඌනාගෙයි මගෙයි පවුල තමයි මේ. ඌනා මට දරුවෝ අට දෙනෙක්ම දුන්නා

කාලය මේ විදියට ගෙවලා ගියා. එඩ්නා මට දිගටම ලියුම් ලිව්වා. ඈ මිය ගියෙත් අන්තිමට මට ලියුමක් ලියලයි. ලෝකය වයසට යනවා කියලා මට හිතුණා. යෞවනය වැහැරිලා ගිහින්. අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. 


මගේ මේ ගමන නතර කරන්න කාලය ඇවිත්. 


හැම දෙයින්ම මම ජීවිතයට සතුට එකතු කරගත්තා. ඒත් මට ලෝකයෙන් ආදරයත්, වෛරයත් එක වගේ ලැබුණා. වාසනාවත් අවාසනාවත් හරියට වළාකුළු වගේ. හැළ හැප්පීම් මැද ගෙවුණු කාලයේදී මට හොඳින්ම දැනුණා ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක. 


අන්තිමේදී ඌනිල් වගේ  අපූරු බිරිඳක් ලබන්න තරම් මම වාසනාවන්තයෙක් වුණා. ඇය ගැන හිතෙන කොට මට ආදරේ ගැන ඕනෑ තරම් දේවල කියන්න පුළුවන්. ඇගේ මුළු සිරුරෙන්ම නික්මෙන්නේ ආදරයේ සුවඳ. 


ජීවිතේ හැම දෙයක්ම ප්‍රීතිමත් දෙයකින් පිරිලා. පිපෙන මල්, කිචි බිචි ගාන විහඟුන්, ගළා හැළෙන දිය කඳන්, බසින් හිරු  .  .  .  අන්තිමේදී මේ හැම එකකින්ම පවසන්නේ මගේ ජීවිතය.


ස්විට්සර්ලන්තයේ මැනොයිර් ඩි බාන් වල මගේ නිවස

ස්විට්සර්ලන්තයේ වෙවෙයිවල පිහිටි චාලි චැප්ලින්ගේ සොහොන 


3 comments:

  1. bohoma age karanava.maha jeevithayak me vidihata saransha kireemama loku vadak.digatama liyanna.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි.

      Delete
  2. චාලි චැප්ලින් කියන්නෙ 15 16 කෙල්ලන්වම හොයපු හොඳ බඩු කාරයෙක්ලු.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න