පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, September 14, 2020

ගුලේරි - කෙටිකතාවක් - Stench of Kerosene by Amrita Pritam

ඉන්දීය ලේඛිකා අම්රිතා ප්‍රිතම්ගේ A Stench of Kerosene  කෙටි කතාව ඇසුරිනි.

මේ කෙටිකතාව වසර 23 කට පෙර මවිසින් එකල තිබූ අරලියපුවත්පතේ විදෙස් කතාව විශේෂාංගය වෙනුවෙන් පරිවර්තනය කරන ලද්දකි. ටැබ්ලොයිඩ් භාගයේ ප්‍රමාණයේ පිටුවක් සඳහා ලිවිය යුතු බැවින් මා විසින් එකල මෙය සංක්ෂිප්ත පරිවර්තනයක් ලෙස ලබා දුන්න ද, බ්ලොග් සහෘදයන් සඳහා  අසංක්ෂිප්ත පරිවර්තනයක් සිදු කළෙමි.



අම්රිතා ප්‍රිතම් ගැන



1919 අගොස්තු 31 වැනිදා ඉපිද 2005 ඔක්තෝබර් 31 වැනිදා ජීවිතයට සමුදුන් අම්රිතා ප්‍රිතම් පන්ජාබ් සහ හින්දි බසින් සිය නිර්මාණ එළි දැක්වූ  ඉන්දීය ලේඛිකාවකි. පන්ජාබ් බසින් ලේඛන කලාවට පිවිසි මුල්ම කාන්තාව ඇය ලෙස සැලකේ. ඇය සිය ජීවිත කාලය තුළ කවි පොත්, ප්‍රබන්ධ, චරිත කතා, පන්ජාබ් ගැමි ගීත ආදී පොත් සියයකට අධික ප්‍රමාණයක් නිර්මාණය කළාය. ගුලේරිසඳහා පාදක වූ කෙටිකතාව ඇතුළුව කතා කෙටිකතා තුනක් ඇය විසින් ලියා තිබේ.


 



පිටතින් වෙළඹකගේ හඬක් ඇසුණි. භේෂාරවය හඳුනා ගත් ගුලේරි පිටතට දිව ගියාය. වෙළඹ පැමිණ තිබුණේ ඇගේ දෙමාපියන්ගේ ගමේ සිටය. සිය පියාගේ නිවසට ඇතුළු වන දොර යැයි හඟිමින් ඈ සිය මුහුණ වෙළඹගේ ගෙලෙහි ඔබා ගත්තාය.

ගුලේරිගේ දෙමාපියන් ජීවත් වූයේ චම්බාවලය. උස් බිමක පිහිටි සිය සැමියාගේ ගමේ සිට සැතපුම් කිහිපයක් ගෙවුණු තැන මාර්ගය කවාකාර වී දැඩි බෑවුමක් ලෙස පහළට දිවෙන්නේය. එතැන සිට චම්බා ගම්මානය ඈතින් දැකිය හැකිය. නිවස සිහිපත් වන ඕනෑම විටෙක ගුලේරි සිය සැමියා වන මනාක් ද කැටිව මෙතැනට පැමිණෙන්නී ය. හිරු රැසින් දිලෙන චම්බා ගම්මානයේ නිවෙස් දැක ආපසු පැමිණෙන ඇගේ හදවත ආඩම්බරයෙන් උණුසුම් වෙයි.

සෑම අවුරුද්දකම අස්වැන්න නෙළා ගත් පසු දින කිහිපයක් සිය දෙමාපියන් සමග ගත කිරීමට ගුලේරිට ඉඩ ලැබිණි. ඇය චම්බා ගම්මානයට කැටිව යාම සඳහා ඔවුහු ලකාර්මන්දි කරා මිනිසකු එවූහ. චම්බා ගම්මානයෙන් පිටත ජීවත් වූ තරුණයකු හා දීග ගොස් හිඳි ඇගේ එක් මිතුරියක ද මේ කාලයම බලා නිවසට පැමිණෙන අතර ඔවුන්ගේ දුක සැප ගැන දොඩමලු වන්නට වසරකට වරක් වරක් ලැබෙන මේ අවස්ථාව ගැන ඔවුහු මහත් බලාපොරොත්තු සහගතව සිටියහ.

අස්වැන්න නෙළන්නට ඇති දින ගණන ගැන ගුලේරි නිතරම ඇඟිලි ගැන්නා ය. සරත් ඍතුවේ මද නල හමා විත් මෝසම් වළාකුළු පිස දැමූ විට ඈ ඒ ගැන සිතන්නට වූයේ අඩුවෙනි. දෙනුනට කැවීම පෙවීම, මාමණ්ඩියට සහ නැන්දනියට කෑම පිස දීම සහ දෙමාපියන්ගේ ගමෙන් යමෙක් පැමිණ තමාව කැටිව යාම සඳහා කොතරම් කාලයක් ගත වන්නේ දැයි සිතා බැලීමට හෝරා ගණනක් එක දිගට කල්පනා කිරීම ඇතුළු එදිනෙදා වැඩකටයුතු කරමින් ඈ කල් ගෙව්වාය.

දැන් ඇයට යළිත් ගමට යන්නට අවස්ථාවක් එළඹ තිබේ. වෙළඹ ප්‍රීතියෙන් සුරතල් කොට පියාගේ සේවකයා වූ නාතු ට සංග්‍රහ කළ ඈ පසු දිනයේ ගමන පිටත් වීම සඳහා සූදානම් වූවා ය. ගුලේරිට ඇති වූ සතුට වචනවලින් විස්තර කරන්නට හැකියාවක් තිබුණේ නැත. ඇගේ මුහුණින් පළ වූ හැඟීම ම එය හඳුනාගන්නට ප්‍රමාණවත් විය. ඇගේ සැමියා දුම්වැටි උගුරක් බී දෑස් වසා ගත්තේය. ඒ ඇතැම් විට ඔහු දුම්කොල ගැන පැහැදීමක් නැති නිසා විය යුතුය. එසේත් නැත්නම් සිය බිරිඳට මුහුණ දෙන්නට බැරි කමක් ඇති නිසා විය යුතුය.

චම්බාවල මංගල්ලෙට ඔයත් එනවා නේද? අනේ එක දවසක් හරි ඉඳලා යන්න එනවා නේද?”

මනාක් සිය සුරුට්ටුව ඉවතට ගත්තා මිස කිසිවක් පැවසුවේ නැත.

ඇයි ඔයා මොනවත් කතා කරන්නේ නැත්තේ?” ගුලේරි ඇසුවේ මද අමනාපයකිනි.

මම ඔයාට දෙයක් කියන්නද?”

මම දන්නවා ඔයා කියන්න හදන දේ. අවුරුද්දකට වතාවක් අම්මලා බලන්න යන ගමන මට තනියම යන්න කියන එකනේ. ඒත් මීට කලින් නම් ඔයා මට යන්න එපා කියලා නෑ. එහෙනම් ඇයි ඔයා මේ වතාවේ මට යන්න එපා කියලා කියන්නේ?” ඇය තදින් ඇසුවාය.

මේ වතාවේ විතරක් යන්න එපා.මනාක් අයැද සිටියේය.

ඔයාගේ අම්මා මොනවත්ම කිව්වේ නැහැනේ. ඉතින් ඇයි එහෙනම් මට යන්න නොදෙන්නේ?” ගුලේරි මෘදු මුරණ්ඩු කමක් පෙන්වමින් ඇසුවාය.

අපේ අම්මා . . . . . මනාක් කතාව අවසන් කළේ නැත.

දිගු කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිට ඒ උදෑසන එළැඹුනේ ය. ගුලේරි කල්වේලා ඇතිවම ලකලැහැස්ති වූවාය. ගුලේරිට දරුවන් නොසිටි බැවින් ඔවුන් රැගෙන යාම ගැනවත් ඔවුන් මනාක්ගේ දෙමාපියන් ළඟ දමා යාම ගැනවත් කරදරවන්නට ඇයට ඕනෑ කමක් තිබුණේ නැ. ඇය මනාක්ගේ දෙමාපියන්ගෙන් සමුගන්නා අතරේ නාතු වෙළඹට සෑදලය දමා සූදානම් කළේය. ඔවුහු ඇගේ හිස අතගා ඇයට ආශීර්වාද කළහ.

ගුලේරි පිටත් වූයේ සතුටිනි. ඇය මනාක්ගේ බටනළාව සිය දුපට්ටාවේ  සඟවා ගත්තාය.

ඛජියර් ගම්මානයෙන් පසුව මාර්ගය චම්බාව දෙස දැඩි පල්ලමක් ලෙස ඇදී යයි. ඒ මොහොතේදී සිය දුපට්ටාවෙන් බටනළාව පිටතට ගත් ගුලේරි එය මනාක් අතට දුන්නේය. මනාක්ගේ අත අල්ලා ගත් ගුලේරි, “දැන් බටනලාව ටිකක් පිඹින්නකෝයැයි පැවසුවාය. නමුත් මනාක් සිතිවිලි අතර නිමග්නව වී සිටියේය. ඔහුට කිසිවක් නෑසුණා මෙනි. ඇයි ඔයා බටනළාව පිඹින්නේ නැත්තේ?” ගුලේරි තොදොල් වෙමින් ඇසුවාය.

මනාක් ඇය දෙස දුක්බරව බලා සිටියේය. පසුව බටනළාව දෙතොල් අතර තැබූ ඔහු එයින් වේදනාබර හඬක් නැගුවේය.

ගුලේරි, මාව දාලා යන්න එපා.ඔහු අයැද සිටියේය.

මම ඔයාට ආයෙත් කියන්නේ. මේ වතාවේ යන්න එපා.තවදුරටත් වාදනය කළ නොහැකිව ඔහු බටනළාව නැවත ඇය අතට දුන්නේය.

ඒත් ඇයි?” ඇය ඇසුවාය.

ඔයා මංගල්ලේ දවසට එන්න. ඊට පස්සේ අපි දෙන්නම ආපහු එමු. මම නතර වෙන්නේ නෑ. මම පොරොන්දු වෙනවා.

මනාක් නැවත කිසිවක් කීවේ නැත.

ඔවුහු යන අතරමගක නතර වූහ.

වෙළඹව රැගෙන ඉදිරියට ගමන් කළ නාතු ඔවුන්ට තනිවම සිටින්නට ඉඩහසර ලබා දුන්නේය.

වසර හතකට පෙර සිය මිතුරන් ද කැටිව චම්බාවේ අස්වනු නෙළීමේ මංගල්‍යයට මෙවැනි කාලයක ගිය අයුරු මනාක්ගේ මතකයට ආවේය.

මනාක් මුලින් ම ගුලේරිව දුටුවේ එදා ය. ඔවුන්ගේ හදවත් එකිනෙක බැඳුනේ එදා ය.

ඔයා හරියට මෝරපු, නැති කිරි වැදුණු ඉරිඟු කරලක් වගේ.

හරක් රංචු දුවන්නෙම මෝරපු නැති ඉරිඟු කරල් පස්සේ තමයිඅත ගස්සා නිදහස් කර ගනිමින් ඇය පිළිතුරු දුන්නාය.

මිනිස්සු කැමති ඒවා බැදලා කන්න.

ඔයාට මාව ඕන නම් මගේ තාත්තාගෙන් කැමැත්ත අහන්න.

විවාහයට පෙර මනාලියගේ වටිනාකම පිළිබඳ කතා බහ කරගැනීම මනාක්ගේ ඥාතීන්ගේ සිරිත විය.

මනාක් ඒ පිළිබඳ සිටියේ තිගැස්මකිනි. මන්ද ගුලේරිගේ පියා ඇය වෙනුවෙන් කෙතරම් වටිනාකමක් ඔහුගෙන් ඉල්ලා සිටිනු ඇති දැයි ඔහු දැන නොසිටි නිසා ය.

නමුත් ගුලේරිගේ පියා ධනවතෙක් විය. ඔහු නගරවල ද වාසය කොට තිබූ අයෙකි.

සිය දියණිය වෙනුවෙන් දායාද නොගන්නා මුත් වැදගත් පවුලකින් යහපත් තරුණයකු ඇය වෙනුවෙන් සොයා දෙන්නට ඔහු පොරොන්දු වී තිබිණි.

සියලු දේ අවසන ගුලේරි සහ මනාක් අතිනත ගත්හ.

සිතිවිලි අතරේ නිමග්නව සිටි මනාක් සිය උරහිසෙහි වැදුණු ගුලේරිගේ අතෙහි ස්පර්ශයෙන් පියවි ලොවට පැමිණියේය.

මොනව ගැනද හීන බල බල හිටියේ?” ඇය විසුළු කළාය.

මනාක් පිළිතුරු දුන්නේ නැත.

වෙළඹ නොඉවසිලිවත්ව හේෂාරවය කළ අතර යාමට ඇති ගමන ගැන මතක් වී ඇය පිටත්ව යන්නට නැගී සිටියාය.

හැතැප්ම දෙකක් විතර ඈතින් තියෙන සීනු වගේ නිල් මල් වැටුණු කැලෑව ගැන ඔයා දන්නවද?” ඇය ඇසුවාය.

ඒක මැදින් යන ඕනම කෙනෙක්ගේ කන් බිහිරි වෙනවලු නේද?”

ඔව්.

මට පේන්නේ ඔයා ඒ කැලෑව මැදින් ගිහින් තියෙනවා වගේ. ඔයාට මම කියන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ නේ.

ඔයා හරි ගුලේරි. ඔයා මට කියන කිසිම දෙයක් ඇහෙන්නේ නෑ.ගැඹුරු සුසුමක් හෙළමින් මනාක් පිළිතුරු දුන්නේය.

ඔවුහු එකිනෙකා දෙස බලා සිටියහ.

කිසිවකුට අනෙකාගේ හැඟීම් වැටහුණේ නැත.

මම දැන් යන්න ඕන.

ඔයා ආපහු ගෙදර එනවා නම් හොඳයි.

ඔයා ගොඩක් දුර ඇවිත්.ගුලේරි පැවසුවාය.

මේ ඔක්කොම දුර ඔයා පයින් ආවේ. වෙළඹගේ පිටට ගොඩ වෙන එක හොඳයි.මනාක් පැවසුවේය.

  මේ බටනළාව ගන්න.

ඒක ඔයා අරන් යන්න.

ඔයා ඇවිත් මංගල්ලෙ දවසේ ඒක පිඹිනවද?” ගුලේරි සිනාසෙමින් ඇසුවාය.

හිරු රැස්  වැටී ඇගේ දෑස් දිදුලුවේය. මනාක් සිය දෑස ඉවතට ගත්තෙන් ඇය වික්ෂිප්ත වූවාය. උරහිස් හැකිළූ ඇය චම්බාවට පිටත්වන්නට පටන් ගත්තාය.

මනාක් සිය නිවසට පැමිණියේය.

නිවසට ඇතුළු වූ ඔහු කිසිදු හැඟීමකින් තොරව සිය ලණු ඇඳට ගොඩ වූයේය.

‛‛උඹ එළියට ගිහින් සෑහෙන වෙලාවක් නේ.’’ මව ඇසුවේ කෑ ගසන ස්වරයෙනි.

‛‛උඹ චම්බාවලටම ගියාද?’’

‛‛එච්චර දුර ගියේ නැහැ. කන්ද මුදුනට විතරයි‛‛ මනාක්ගේ හඬෙහි පැවතියේ බර වූ ස්වභාවයකි.

‛‛උඹ මොකද ඔය නාකි ගෑනියෙක් වගේ කෙඳිරිගාන්නේ?’’ මව නෝක්කාඩුවෙන් ඇසුවාය.

‛‛පිරිමියෙක් වෙයං බං’’

ඒවාට උත්තර දෙන්නට මනාක්ට අවශ්‍ය වූයේ නැත.

‛‛උඹ ගෑනියෙක්’’

‛‛ඇයි ඉතින් උඹ මෙතන පෙරළි පෙරළි අඬන්නේ නැත්තේ?’’

නමුත් මනාක් නිහඬව සිටියේය.

මනාක් සහ ගුලේරි විවාහ වී සත් වසකි. නමුත් ඇගේ කුසට දරුවකු පැමිණියේ නැත. මනාක්ගේ මව රහසේම යම් සැලසුමක් දියත් කළාය.

‛‛අටවෙනි අවුරුද්දත් මේ විදියට ගෙවිලා යන්න දෙන්නේ නෑ මම’’

ඇය පැවසුවා සේම මේ වසරේ දී ඇය රුපියල් පන්සියයක් වැය කොට ඔහු වෙනුවෙන් තවත් මනාලියක් කැන්දාගෙන ආවාය. ඇය ඔහු පැමිණෙන තුරු බලා සිටියාය. ගුලේරි සිය දෙමාපියන් බැලීමට යන තුරු සිට අලුත් මනාලියක් නිවසට කැන්දාගෙන එන සැලසුම පිළිබඳ මනාක් සියල්ල දැන සිටියේය.

මවටත් සිරිත් විරිත්වලටත් අවනත වූ මනාක්ගේ ගතට ඕනෑ කළේ අලුත් මනාලිය කරා පිවිසෙන්නට ය.

නමුත් ඔහුගේ සිත ඔහු තුළම මියැදී තිබිණි.

එක් උදෑසනක ඔහු සිට සුරුට්ටුව බොමින් සිටිය දී ඔහුගේ එක් පැරණි මිතුරකු අසලින් ගමන් කළේය.

‛‛ආ . . . භවානි මේ කුකුළත් අතේ අරන් කොහේද යන්නේ?’’

භවානි නතර වූවේය.

ඔහුගේ උරහිසෙහි කුඩා බඩු පොදියක් විය.

‛‛එහෙම විශේෂ ගමනක් නෙවෙයි.’’ ඔහු ඕනෑවට එපාවට මෙන් පිළිතුරු දුන්නේය.

‛‛උඹ එක්කෝ කොහේ හරි යන ගමන් වෙන්න ඕන’’ මනාක්  උස් හඬින් පැවසුවේය.

‛‛දුමක් දාමුද?‛‛

භවානි සිය බඩු මල්ල මත ඉඳ ගනිමින් සුරුට්ටුව අතට ගත්තේය.

‛‛මම චම්බාවේ මංගල්ලෙට යනවා.’’ අවසානයේ ඔහු පිළිතුරු දුන්නේය.

භවානිගේ වදන් ඉදිකටුවක් සේ මනාක්ගේ හදවත පසාරු කළේය.

‛‛අදයි මංගල්ලේ?’’

‛‛හැම අවුරුද්දේම එකම දවසෙනේ.’’ භවානි රළු ලෙස පිළිතුරු දුන්නේය.

‛‛උඹට මතක නැද්ද අවුරුදු හතකට කලින් අපි කට්ටියක් එහේ ගියා?’’

භවානි ඉන් ඔබ්බට කිසිවක් පැවසුවේ නැත. නමුත් මනාක්ට මිතුරාගේ තරවටු කතාව හොඳින් වැටහුණි. ඔහුට දැනුණේ අපහසු බවකි.

භවානි සුරුට්ටුව අතහැර සිය බඩු පොදිය අතට ගත්තේය.

බටනළාව ඔහුගේ බඩු පොදියෙන් පිටතට ඉල්පී තිබිණි.

මනාක්ට සමුදුන් ඔහු පිටත්ව ගියේය.

භවානි සිය ඇස් මායිමෙන් ඉවත්ව යන තුරුම මනාක්ගේ දෑස් රැඳී තිබුණේ බටනළාව කෙරෙහි ය.

පසුදා දහවල් කාලයේ කුඹුරේ සිටිද්දී භවානි ආපසු පැමිණෙනු මනාක් දුටුවේය. නමුත් ඔහු ඉවත බලා ගත්තේය.

ඔහුට භවානි සමග කතා කරන්නට වුවමනා වූයේ නැත. මංගල්‍යය ගැන කිසිවක් අසන්නට ඕනෑකමක් වූයේ ද නැත.

නමුත් භවානි අනෙක් පැත්තෙන් පැමිණ මනාක් ඉදිරියෙන් හිඳ ගත්තේය.

ඔහුගේ මුහුණෙහි පැවතියේ දුක්බර ස්වභාවයකි. මුහුණ නිවී ගිය ගිනි අඟුරු දේ අඳුරුව තිබිණි.

‛‛ගුලේරි අන්තරා වෙලා.’’ භවානි හැඟීමකින් තොරව පිළිතුරු දුන්නේය.

‛‛මොකක්?’’

‛‛උඹේ දෙවෙනි ගෑනි ගැන ඒකිට ආරංචි වුණු වෙලාවේ ඒකි මුළු ඇඟටම භූමිතෙල් වක්කරගෙන ගිනි තියාගෙන’’

මනාක් වේදනාවෙන් ගොලුව ගියේය. ඔහු කළේ ඔහේ බලා සිටීම පමණි. සිය සිරුර ගින්නෙන් දැවී යනවා සේ ඔහුට දැනුණි.

දිනෙන් දින ගෙවී ගියේය.

මනාක් සිය කුඹුරේ වැඩකටයුතු කළේය. ඔවුන් කෑම දුන් විට ඒවා කෑවේය.

නමුත් ඔහු සිටියේ මළ මිනිසකු මෙනි. ඔහුගේ මුහුණේ කිසිදු හැඟීමක් තිබුණේ නැත. ඔහුගේ දෑස්වල තිබුණේ හිස් බවකි.

‛‛මම ඒ මිනිහගේ ගෑනි නෙවෙයි.’’ ඔහුගේ දෙවැනි බිරිඳ චෝදනා කළාය.

‛‛මම ඒ මිනිහට කසාද බඳින්න ගෙනාපු නිකම්ම නිකම් ගෑනියෙක් විතරයි.’’

නමුත් වැඩි කාලයක් ගත වන්නට පෙර ඇයට දරුවකු ලැබෙන ලකුණු පහළ විය. මනාක්ගේ මව සිය අලුත් ලේලිය පිළිබඳ සිටියේ සතුටු සිතිනි.

බිරිඳගේ අලුත්ම තත්වය ගැන ඇය මනාක්ට පැවසුවාය. නමුත් ඔහු බලා සිටියේ කිසිවක් නොවැටහුණා සේය. ඔහුගේ දෑස්වල තවමත් තිබුණේ හිස් බවකි.

සිය සැමියාගේ මේ ගති ස්වභාවය පිළිබඳ ඉවසීමෙන් සිටින්නැයි ඇය සිය ලේලිය අස්වසමින් පැවසුවාය.

දරුවා උපන් විගස දරුවා ඔහුගේ අත තැබූ විට මේ සියල්ල වෙනස් වන බව ඇය පැවසුවාය.

මනාක්ගේ බිරිඳට කිසිදු කරදරයක් නොමැතිව පුතකු ලැබිණි.

ඔහුගේ මව මහත් සතුටට පත්ව දරුවා නහවා හොඳ ඇඳුමක් අන්දවා මනාක්ගේ උකුලෙන් තැබුවාය.

මනාක් සිය උකුල මත තැබූ දරුවා දෙස ඔරවා බලා සිටියේය.

ඔහු කිසිදු අවබෝධයකින් තොරව බොහෝ වේලා බලා සිටියේය. ඔහුගේ මුහුණ පෙර සේම හැඟීමකින් තොර විය.

එක්වර ඔහුගේ හිස් දෑස් භීතියකින් පිරී ගියේය. මනාක් යටිගිරියෙන් කෑ ගසන්නට පටන් ගත්තේය.

‛‛මේකව අහකට ගනිව්!’‛

ඔහු භීතියෙන් හැකිලුනේය.

‛‛මේකව අහකට ගනිව්’’

‛‛මූ ළඟ භූමිතෙල් ගඳයි’’

 

 

 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න