දෙමාපියන් දරුවන්ට කොයි තරම් ආදරේද? ඒක මනින්න මිම්මක් නැහැ. මේ දරු සෙනෙහස ගැන නිර්මාණ සිය දහස් ගණනක් නිර්මාණය වෙලා ඇති. ටිකක් පරණ වුණත් මෑතකදි බලන්න ලැබුණු La vita è bella කියන ඉතාලි චිත්‍රපටය බලන කොට දැනෙනවා තාත්තා කෙනෙක් තමන්ගේ එකම පුතාගේ ජීවිතය අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්න කොයි තරම් කැපවීමක් කරනවද කියන එක. ඒත් දැන් කියන්න හදන්නේ ඒ චිත්‍රපටය ගැන නෙවෙයි ගීතයක් ගැනයි. මේ ගීතය ඇසුණු නිසයි මේ ච්ත්‍රපටය ගැන මතකයත් අලුත් වුණේ.
ඊයේ රූපවාහිනි සංගීත වැඩසටහනකදී නන්දා පතිරණ කියන ප්‍රවීණ ගායිකාව ගායනා කළ ගීතයක් අසන්න ලැබුණා. මේ ගීතය සෑහෙන කාලයකට කලිනුත් අසා තිබුණත් අද තමයි මෙහි වදන් සියල්ල හිතට කා වැදුනේ. ඒ තමයි ‛මල් වනේ රෝස කැකුළු’ කියන ගීතය. ඉපදිලා කිරි සුවඳත් යන්න කලින් තමන්ගේ කිරිකැටියා වියෝ වුණු මවකගේ හිතට නැගෙන වේදනාව මේ වචනවල තියෙනවා.
මල් වනේ රෝස කැකුළු මැදින් මට පෙනේ
නිල් වලා යහන් ගැබේ කිරි සිනා දිලේ
වන් සැනේ සෝක තැවුල් නිවාලන මෙනේ
එනු මැනේ මගෙ යහනට ඈත ලොවින්නේ
නිවහනේ හැම තැන කිරි සුවඳ මට දැනේ
හැම තැනේ කැකුළු සිනා මල් පිපුණු මෙනේ
හද සෙනේ බිළිඳු තොලක කිරට හැරෙන්නේ
අද දිනේ කිරට හඬන කෙනෙක් නෑ අනේ
තවුතිසා දෙව් විමනේ සැඟවුණිද කියා
රෑ යමේ සිහින දිගේ පාව එමි සොයා
මේ භවේ නොවුනද මතු භවෙක අප කරා
සුදු පුතේ එන්න අතට කිරි සිනා සළා
ගීතය මෙතැනින් අහන්න
මේ අවස්ථාවේ නන්දා පතිරණ ගායිකාව සඳහන් කළෙ ඇය ලත් අමිහිරි අත්දැකීමක් වෙනුවෙන් ගීත රචක ගාමිණී විජේතුංගයන් විසින් රචනා කොට දුන් බවයි. ඔහු මේ ගීය නිර්මාණය කරන්නට ආභාෂය ගෙන තිබුණේ පැරණි ජන ගීතයක් බව එම වැඩසටහනය සහභාගී වී සිටි සමන් පනාපිටිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා සඳහන් කළා.
දුටුගැමුණු රජුගේ දස මහා යෝධයන් අතර සිටි ගෝඨයිම්බර සමඟ රිටිගල ජයසේන යුද වැදුණා. මේ අවස්ථාවේදී ගෝඨයිම්බර අහසට පැන එල්ල කළ පා පහරින් රිටිගල ජයසේනගේ හිස ගැළවී විසිවුණු බව ජනකතාවල සඳහන් වනවා. හිස සොයාගන්නට නොහැකි වූ නිසාත්, හිස නොමැතිව මළකඳක් මිහිදන් නොකළ හැකි නිසාත් වලසකුගේ හිසක් රිටිගල ජයසේනගේ කඳට සවිකොට මළගමේ වැඩ කටයුතු කළ බව පැවසෙනවා. මහසොහොන් අවතාරයත් මේ සමඟම උපන් බව සඳහන් වෙනවා. කෙසේ නමුත් මේ අවස්ථාවේදී රිටිගල ජයසේනගේ ප්‍රිය බිරිඳ සිය සැමියා පිළිබඳ ශෝක සිතින් වැළපෙමින් මේ කව කියූ බව ජනකතාවල සඳහන්.
බස්ම නං අසුර රජුගෙ සොහොනේ ඉපදුණේ
තිස් දහස් පිරිවර හර රජව සිටිමිනේ
ඉක්මණින් ගෝඨයිම්බර සමඟ යුදවුණේ
දිස්වෙමින් ඔළුව නැතුව නිදිද හිමියනේ
මල් වනේ රෝස කැකුළු ගීතයේ සැඟවී ඇති ජන කවිය මෙයයි. කෙසේ නමුත් ගීත රචකයා කිරිකැටියකුගේ වියෝව හොඳින් දැනෙන අයුරින් මේ ගීතය රචනා කරන්නට සමත්ව තිබෙනවා. ඒ වගේම මෙයට සංගීතය රචනා කළ බන්දුල විජේවීරයන් ද ජන ගී තනුවක්ම මෙයට යොදාගෙන තිබෙනවා.
බොහොම හොඳ ලිපියක්. මෙවැනි ලිපි තමයි, පාඨක බුද්ධිය වඩවන්නේ. සාහිත්‍ය ඥානය වඩවන්නේ. මේ ගීතය ගැන, මේ ගායිකාව, මීට පෙර වෙනත් රූපවාහිනී නාලිකාවක සාකච්ඡා කරනු, මා දැක තිබෙනවා. මා හිතන්නේ, ඇගේ දරුවකු, අකාල මරණයට පත්වීම, මෙයට පාදක වූ බවයි.
ReplyDeleteනන්දා පතිරණගේ හඬ, සාම්ප්‍රදායික දේශීය හඬක්. අව්‍යාජ සිංහල හඬක්. එය, වෙනත් සමහර ගායක ගායිකාවන් විසින්, විකාරරූපී ලෙස ආරූඪ කරගත් හඬක් නොවේ. නිතැතින් ගලා යන්නක්. ඒ නිසයි ඇගේ ගායනා ඉතා ඉහළ තලයක පවතින්නේ.
මෙය හොඳ සංවාදයකට මුලපිරීමක්. ඇත්තෙන්ම, පැරණි ජන සාහිත්‍යය ආභාෂ කරගන්නේ නම්, ඉතා හොඳ නව නිර්මාණ කළහැකි බවට, මෙය අගනා උදාහරණයක්.
ගීතයේ තනුවත්, යොදාගෙන ඇති සංගීත භාණ්ඩ ඉතා සැළකිල්ලෙන් තෝරාගෙන ඇති නිසාත්, අප තුළ සංවේගාත්මක කම්පනයක් ඇති කරනවා.
ඇත්තටම අපේ රටේ බොහෝ ගී නිර්මාණවල පිටුපස තියෙන්නේ ජන සාහිත්‍යය. ජන සාහිත්‍යය හොදින් ඇසුරු කළ කෙනෙක් අතින් අපේ හිතට දනවන විදියේ නිර්මාණ බිහි කරනවා. ඒවා අපට දැනෙනවා. හේතුව ඒ ජන සාහිත්‍යය අපේ ලේවල පැවතීම.
Deleteජන කවිය මෙන්ම පැරණි සිංහල ජන කතාවද පුදුමාකාර රසයක් ගේනවා මනසට
ReplyDeleteඒක ඇත්ත. ජන ගී, ජන කවි තරම් අපේ හදවත්වලට සමීප වෙනත් නිර්මාණ නැති තරම්.
Deleteela ela machoo
ReplyDeleteela ela machoo
ReplyDeleteඔබේ අදහස් දැක්වීම ගැන ස්තූතියි
Delete