පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, May 3, 2015

ඉන්දියාවේ වෙසක් - Vesak in India



මේ වෙසක් මාසයයි. ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා විසිරී පැතිරී සිටින සියලු බෞද්ධ ජනතාව බුදුන් වහන්සේගේ තෙමඟුළ සිහිපත් කෙරෙන වෙසක් උත්සවය දැහැමිව සමරති. අප රටේ මේ වෙනුවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් විවිධ උත්සව සංවිධානය කෙරෙයි. උත්සවයන්ගේ ස්වරූපවල යම් යම් වෙනස්කම් තිබුණ ද සෙසු බෞද්ධ රටවල ද මේ හා සමානව විවිධ උත්සව පැවැත්වේ. හින්දු බහුතරයක් වෙසෙන රටක් වුව ද අප අසල්වැසි ඉන්දියාවේ ද වෙසක් උත්සවය කැපී පෙනෙන ලෙස සැමරීම සිදුකෙරේ. එබැවින් අප කතා බහ කරන්නට සැරසෙන්නේ ඉන්දියාවේ වෙසක් උත්සවය පිළිබඳවය. 

ජාත්‍යන්තරයේ සම්මත අයුරින් වෙසක් උත්සවය යෙදෙන මාසය මැයි වන අතර එය හින්දු දිනදසුනේ ‛වෛශාඛ්‍ය’ නමින් හඳුන්වනු ලබයි. ‛වෙසක්’ ලෙස සිංහල බසට පැමිණෙන්නේ ද මෙය විය හැකිය. ඉනිදියාවේ සිටින බොදුනුවන් අතර මෙම උත්සවය බුදුන්ගේ ජන්ම දිනය, බුද්ධ ජයන්ති, බුද්ධ පූර්ණිමා, වෛශාඛ් පූර්ණිමා හා වෙසක් දිනය වැනි විවිධ නම්වලින් හඳුන්වනු ලබයි. මෙදින බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරුණ ද  ඉන්දියාවේ බොදුනුවන් බහුතරයක් මෙය බුදුන් වහන්සේගේ උපන්දිනයට ප්‍රමුඛත්වය දී සමරණ බව ඇතැම් උත්සවවල ස්වරූපයන්ගෙන් පෙනේ. ඉන්දියාවේ ඇතැම් බෞද්ධ විහාරස්ථානවල සිදුහත් කුමරුගේ කුඩා පිළිමයක් තබා තිබෙන අතර එතැනම මල් දැමූ ශුද්ධ ජලය සහිත තරමක් විශාල භාජනයක් තබා තිබේ. මෙම ස්ථානය පැමිණෙන බොදුනුවෝ ශුද්ධ ජලයෙන් සිදුහත් කුමරුගේ පිළිමය නැහැවීම සිදුකෙරේ. එයින් ඔවුන් බලාපොරොත්තුවන්නේ ජීවිතයේ නව ආරම්භයකි. 

ඉන්දියානු බොදුනුවන් ද අප රටේ සේම ආමිෂ හා ප්‍රතිපත්ති පුජා සිදුකරන බැව් පෙනෙන්නට තිබේ. ඒවා අතර පංචශීලය සහ අෂ්ටාංගශීලය සමාදන් වීම, ‛සුත්‍රාපත්’ හා ‛සුත්‍රාශ්‍රබාන්’ යන නම්වලින් හැඳින්වෙන භාවනාමය වැඩසටහන් ආදිය සිදු කෙරේ. එමෙන්ම  වෙළෙඳ පළක් පැවැත්වීම හා ‛බෝධිරූම් මේලා’ නමින් හැඳින්වෙන උත්සවය ඇතුළු ආමිෂ පූජා ගණයට වැටෙන තවත් බොහෝ උත්සව සංවිධානය කෙරේ. බෞද්ධ සංවිධාන මගින් බුදුදහම ඇතුළත් පොත පත, සඟරා සහ වෙනත් අත් පත්‍රිකා ආදිය මිනිසුන් අතර බෙදාදීම ද විශේෂයෙන් කැපී පෙනෙන්නකි. බොදුනුවන්ට සිය ආගමික කටයුතු නිදහසේ ඉටුකරගන්නට ඉඩ සළසමින් මෙම දිනයේදී ඉන්දියාවේ රජයේ කාර්යාල සහ බැංකු වසා තැබෙන අතර වෙළෙඳ සල් බොහොමයක් ද වසා තැබේ. ඇතැම් ඒවා පැය කිහිපයක් පමණක් විවෘත කොට තබා වසා දැමේ. 

පොදු ජනතාව අතර බුදුන් වහ්නසේගේ පණිවිඩය පතුරුවාලීම සඳහා විශේෂ වැඩසටහන් හා පණිවිඩ ගුවන් විදුලි හා රූපවාහිනි නාලික අතර වැඩි වශයෙන් ප්‍රචාරය කෙරේ. ලොව වටා සිටින බොදුනුවෝ බුදුන් බුද්ධත්වයට පත් වූ ‛බෝධ් ගයා’ (බුද්ධගයා) වෙත පැමිණෙන්නේ එහි පැවැත්වෙන බුද්ධ පූර්ණිමා උත්සවවලට සහභාගීවනු පිණිසය. එහිදී ගෞතම බුදුන් වහන්සේගේ දෙසුම් සිහිපත්කිරීම, උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව දේශනයන් පැවැත්වීම හා ඒවාට සවන්දීම, බෞද්ධ පොත පත පිළිබඳ සංවාද සංවිධානය කිරීම, බුදුන් වහන්සේගේ ප්‍රතිමා වන්දනාව හා පෙරහර පැවැත්වීම ආදී බොහෝ කටයුතු මෙහිදී සිදුකෙරේ.  බොහෝ බොදුනුවන් අතර බුද්ධ පූර්ණිමා සමයේදී ධර්ම චක්‍රයක් පැවතීම විශේෂයෙන් දැකිය හැකි දෙයකි. 

බෞද්ධ විහාරස්ථාන කරා පැමිණෙන බොදුනුවෝ බුදුන් වහන්සේට ශුද්ධ වූ ජලය පූජා කරන අතර මලින්, ගඳින්, පහන්, ඉටිපන්දම් හා විවිධ පලතුරුවලින් වැඳුම් පිදුම් කරති. බුදු දහමට අනුව සියලු සත්වයන්ගේ මූලික අයිතියක් වූ ‛නිදහස’ සිහිපත් කරනු පිණිස කූඩු කර සිටින සතුන් නිදහස්කිරීම ද මෙම දිනයේදී සිදුකෙරේ. 

බුද්ධ පූර්ණිමා දිනයේදී බොදුනුවන් විසින් මහාබෝධි විහාරස්ථානය විවිධ මලින්, දජ පතාකවලින් හා වෙනත් විසිතුරු ද්‍රව්‍යයන්ගෙන් සැරසීම සිදුකෙරේ. එමෙන්ම මල් මිශ්‍ර ජලයෙන් ස්නානය කිරීම, එම ශුද්ධ වූ දිය ස්නානයෙන් පසුව සුදු පැහැ ඇඳුම් ඇඟලීම, බුදුන් වහන්සේගේ දෙසුම් කියැවීම හා සවන්දීම, ‛ඛීර්’ නමින් හැඳින්වෙන්නා වූ සහල් පුඩිම් අනුභවය හා ඒවා ජනතාව අතර බෙදාදීම ද සිදු කෙරේ. පොදු ස්ථානවල පිරිසුදු ජලය පිරි ටැංකි තබා ජනතාවට ඒවා පානය කරන්නට සැලසීම ආදිය ද මෙම දිනයේදී ඉන්දියානු බොදුනුවන් අතින් සිදු වේ. එමෙන්ම දිළිඳු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීම ද මෙම දිනයේදී සිදු කෙරේ. 

ඉන්දියාවේ හිමාල කඳු පෙදෙස්වලට ආසන්නව පවතින සිකිම් ප්‍රාන්තයේ ‛ගැන්ග්ටොක්’ නමින් විශාල නගරයක් පවතින අතර එහි ‛එන්චේ’ නමින් බෞද්ධ ආශ්‍රමයක් පවතී. එය අයත්වන්නේ වජ්‍රයාන බුදුදහමට අයත් ‛නින්ග්මා’ නිකායටය. එම බෞද්ධ ආශ්‍රමයේ තැන්පත්කොට ඇති විවිධ ධර්ම ග්‍රන්ථ වැඩමාවාගෙන යමින් සිදුකෙරෙන පෙරහර ද විශේෂයෙන් කැපී පෙනෙන උත්සව අවස්ථාවකි. ඉන්දියාවේ බෝධ්ගයා, සාරානාත් වැනි සුප්‍රකට බෞද්ධ ස්ථාන හැරුණු විට ලඩාඛ්, අරුනාචල් ප්‍රදේශ්, සිකිම්, බුද්ධ ජයන්ති උද්‍යානය, දිල්ලිය ආදී ස්ථාන හා නගරවලද බුද්ධ පූර්ණිමා උත්සවය උත්කර්ෂවත් අයුරින් සැමරේ.

 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න