පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, October 1, 2014

මඤ්ඤොක්කා අලයට පිළිකා සුව කළ හැකිද? - Does cassava (Manioc) help to control cancer?


ගැමි ජනතාව අතර විනා නාගරික ඉහළ පැළැන්තියේ වැසියන්ගේ  වැඩි සැළකිල්ලකට ලක් නොවුණු ආහාරයක් වන මඤ්ඤොක්කා පිළිබඳ මෑතක සිට වැඩි දෙනෙකු කතා කරන්නට පටන් ගෙන තිබේ. එයට හේතුව එහි පිළිකා නසන ගුණයක් ඇති බවට තොරතුරු පළවීමත් සමගිනි. මඤ්ඤොක්කාවල පිළිකා නසන ගුණයක් ඇති බව පවසන්නේ ද වෛද්‍යවරියකි. වෛද්‍ය සින්තියා ජයසූරිය වන ඇය උගුර, කණ හා නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරියකි. ඇගේ කතාව සැකෙවින් මෙසේය.


ඇයට වසර 12 කට, එනම් 2002 වසරේදී  මුත්‍රාශයේ පිළිකාවක් වැළඳී තිබුණු අතර එය සාර්ථකව ඉවත්කෙරිණි.  වසරකට වරක් පිළිකා සම්බන්ධ පරීක්ෂණයක් කරගන්නට ද ඇය අමතක නොකළාය. 2009 වනතුරු කිසිදු අවදානම් තත්වයක් මෙම පරීක්ෂණවලින් අනාවරණය නොවිණි. නමුත් 2009 නොවැම්බර් මාසයේ සිදු කළ පරීක්ෂණයකින් හෙළිවූයේ ඇගේ මුත්‍රාශය යළිත් පිළිකාවකට ගොදුරුවෙමින් පවතින බවය. මේ අතරේ ඇය http://worldwithoutcancer.org.uk යන වෙබ් අඩවියේ පළවුණු ලිපියකින් දැනගෙන ඇත්තේ පිළිකා රෝගය සඳහා වූ විකල්ප ප්‍රතිකාරයක් ලෙස ඇතැම් ආහාර ද්‍රව්‍යවල අඩංගු බී 17 නම් ද්‍රව්‍යය යොදාගත හැකි බවය. එය අප රටේ බහුලව ඇති පිෂ්ටය සහිත ආහාරයක් වන මඤ්ඤොක්කාවල අඩංගු බව වෛද්‍යවරියක ලෙස මනාව දැන සිටි ඇය දිනපතා සිය ආහාරයට මඤ්ඤොක්කා එක්කර ගන්නට පටන්ගත්තාය. එයින් මසකට පසුව යළිත් පිළිකා සම්බන්ධ පරීක්ෂනයක් සිදුකළ ඇය සොයාගත්තේ පුදුම සහගත දෙයකි. ඇගේ මුත්‍රශායේ කිසිදු පිළිකා ලක්ෂණයක් නොමැති බැව් එම පරීක්ෂණයෙන් පෙන්නුම් කෙරිණි. මඤ්ඤොක්කා නිතර ආහාරයට ගැනීමෙන් පිළිකා සුවකරගැනීමේ ඉඩක් පවතින බව ඇය මෙම සිදුවීමෙන් අනතුරුව නිගමනය කළාය. 


මෙය සිදුවී තරමක කාලයක් ගත වූ අතර ඒ කාලය අතරතුරු මඤ්ඤොක්කාවල මිල ද යම් ප්‍රමාණයකින් ඉහළ ගිය බව පෙනුණි. එමෙන්ම මඤ්ඤොක්කා අල බීමෙන් පිළිකා සුවවන බවට ද පුවතක් පැතිර ගිය අතර එය පිළියෙල කරගන්නා ආකාරය ද බොහෝ පුවත්පත්වල හා වෙබ් අඩවිවල පළවිය. කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධව අදහසක් දක්වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා පැවසූයේ මෙය විද්‍යාත්මක පදනමක් නොමැති කතාවක් බවය. ඔහු පවසන්නේ මෙම වෛද්‍යවරිය සැබැවින්ම ඇයගේ පිළිකා රෝගය සඳහා සිදුකරන අනෙක් ප්‍රතිකාර කිසිවක් මඤ්ඤොක්කා ආහාරයට ගන්නා කාලයේ පවා නතර කොට නොතිබුණු බවය. එබැවින් මෙය මඤ්ඤොක්කා නිසා ඇති වූ තත්වයක් විය නොහැකි බව ඔහු සඳහන් කළේය. 


සැබැවින්ම අප මේ පිළිබඳ කතාකිරීමේදී අමතක නොකළ යතු දෙයක් වන්නේ පිළිකා සුවකරීමේ හැකියාවක් ඇත්තේ මඤ්ඤොක්කාවලට නොව එහිඅඩංගු වන බී 17 නම් ද්‍රව්‍යයට බවය. එය අඩංගු වෙනත් ආහාර වර්ග තිබේ. නමුත් අප රටේ බී 17 අඩංගු සුලභම ආහාර මඤ්ඤොක්කා බැවින්, බී 17 පරදා මඤ්ඤොක්කා පෙරට පැමිණියේය. බී 17 යනු කුමක් යන්න පිළිබඳ අපට මෙහදී කතා කළ හැකිය. මෙය මුල් සමයේ හඳුන්වා ඇත්තේ Amygdalin නමිනි. මෙහි සිංහල අරුත් මඤ්ඤොක්කා පිටිවුව ද සැබැවින්ම එය මඤ්ඤොක්කා සමග සම්බන්ධයක් නැත. මෙහි නියම අරුත almond යන්නයි. එනම් මෙය කොට්ටම්බා වැනි ඇටවලින් ගන්නා පිටි වර්ගයකි. එයට අමතරව ඇප්‍රිකොට් සහ බ්ලැක්බෙරිවලද, ඇපැල්වල ද මේවා අඩංගු වේ. පසු කාලයේ මෙය laetrile  හෙවත් විටමින් බී 17 ලෙස නම් කෙරිණි. නමුත් විටමින් බී 17 ලෙස මෙය නම් කළ ද විද්‍යාත්මකව මෙය විටමින් කාණ්ඩයට අයත් වන්නක් නොවේ. මෙය 1950 දශකයේ සිට පිළිකා සඳහා ඔසුවක් ලෙස භාවිත කෙරී ඇත. නමුත් එයට පිළිකා නැසීමේ හෝ මර්දනය කිරීමේ හැකියාවක් ඇති බවට චිකිත්සකව ඔප්පු වී නැත. අනෙක මෙය වෛද්‍ය විද්‍යාත්මකව නම් මාරක විෂකි. මෙය මුඛයෙන් ශරීරයට ඇතුළත් කළ හොත් ශරීරය තුළදී සයනයිඩ් බවට පත්වෙයි. මඤ්ඤොක්කා තැම්බීමේදී පියන නොවසා තම්බන්න යැයි පැවසෙන්නේ ඒවායේ ද මෙම බී 17 බහුලව අඩංගු බැවිනි. 


කෙසේ වුවත් පිළිකා නැසීමේ බලයක් මඤ්ඤොක්කාවලට ඇතැයි පැවසෙන්නේ බී 17 එහි අඩංගු නිසාත්, කාලයක් තිස්සේ එය පිළිකා සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිත කිරීමත් නිසා විය හැකිය. ඇමරිකානු පිළිකා සංගමය  සිය වෙබ් අඩවියේ මඤ්ඤොක්කා පිළිබඳ සඳහන් කොට තිබේ. ඔවුන් පවසන්නේ පිළිකා මර්දනය හෝ සුවකිරීම සඳහා මඤ්ඤොක්කා යොදාගත හැකි බවට විද්‍යාත්මකව මෙතෙක් කිසිදු තහවුරු කිරීමක් සිදුව නැති බවය. නමුත් මේ පිළිබඳ පර්යේෂණ පැවැත්වෙන අතර මඤ්ඤොක්කා පැලෑටියෙන් ලබාගන්නා එනසයිමයක් යම් අයුරකින් පිළිකා සඳහා පිළිගත් ඔසුවක් ලෙස අනාගතයේදී භාවිතයට පමිණෙන්නට හැකි බව ඉඟිකොට තිබේ. 


එක් බ්‍රිතාන්‍ය පර්යේෂකයකු වරෙක පවසා තිබුණේ මඤ්ඤොක්කවල පිළිකා නැසීමේ ගුණයක් ඇති බවය. මඤ්ඤොක්කා ජානවලින් හයිඩ්‍රජන් සයනයිඩ්නම් ද්‍රව්‍යය නිපදවා ගත් ඔහු එය වෛරස් ජානයක් සමඟ මුසු කළේය. පසුව එය මොලයේ පිළිකා ඇති මීයනට එන්නත් කළ අතර පිළිකා සුව විය.  නමුත් මෙය මිනිසුන් සම්බන්ධව කළ පර්යේෂණ තවමත් සාර්ථක වී නැත. 


ඇතැම් විට මෙවැනි කරුණු නිසා මඤ්ඤොක්කාවල පිළිකා නසන ගුණයක් ඇති බව ප්‍රකට වන්නට ඇත. නමුත් කිව හැක්කේ මඤ්ඤොක්කවලට පිළිකා නැසීමේ ගුණයක් ඇති බවට තමවත් විද්‍යාත්මක තහවුරු කොට නැති බවයි. නමුත් මඤ්ඤොක්කා නිසි පිරිදි තම්බා ආහාරයට ගැනීමේ අහිතකර තත්වයක් නොමැති බැවින් විද්‍යාත්මකව තහවුරු වී නැතත් පිළිකා සුව කිරීමට මෙයට හැකියාවක් ඇතිදැයි යන්න පිළිබඳ ඕනෑම අයකුට අත්හදාබැලීමේ හැකියාවක් තිබේ.

1 comment:

  1. මේ වගේ දෙයක් විද්යාත්මකව ඔප්පුවෙනවට අකමැති පිරිසකුත් ඉන්න බව අමතක කරන්න හොඳ නැහැ.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න