පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, April 10, 2015

ෆේස්බුක් එකේ ජනප්‍රිය හිනා මුහුණ කාගෙද? - Yao Ming the person behind the Facebook smiling face





ඔබ ෆේස්බුක්, ගූගල් ප්ලස් වැනි සමාජ ජාල වෙබ් අඩවිවල ඉඳහිට හෝ සැරිසරන්නෙක් නම් ඒවායේ නිතර දක්නට ලැබෙන හුරුපුරුදු සිනහවක් සහිත මුහුණක් ඔබේ මතකයේ රැඳී ඇති. විවිධ පෝස්ටු’ (Post) පළකිරීමටත්, ඒවාට කොමෙන්ටු’ (Comments) දැමීමටත් බොහෝ දෙනෙක් මේ මුහුණ භාවිතා කරන්නේ එහි ඇති අපුරු උපහාසාත්මක බව නිසා වෙන්නත් පුළුවන්. ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් හෝ ගූගල් ප්ලස් නිර්මාතෘ වික් ගුන්ඩොට්රාවත් දැක නැතත් මේ මුහුණ දැක නැති කිසිවෙක් නැති තරම්. මෙහි පළවන ඒ අපුරු සිනහව සහිත මුහුණ දකින විට ඒ කුමක් ගැන පවසනවාදැයි ඔබට වැටහේවි. කෙසේ නමුත් ලක්ෂ සංඛ්‍යාත දෙනෙක් මේ මුහුණේ ප්‍රයෝජන ගත්තත් මේ කවුද, මේ මුහුණ පසුපස තිබෙන කතාව කුමක්ද කියා බොහෝ දෙනෙක් නොදන්නා බවට නම් සැකයක් නැහැ. ඒ ගැන කතා කරන්න අදහස් කළේ මේ නිසයි. 

මේ මුහුණ අයිති සැබෑ පුද්ගලයා වන්නේ යාඕ මිංග් (Yao Ming). ඔහුගේ මුහුණ විවිධ උපහාසාත්මක කටයුතු සඳහා  සමාජ ජාල වෙබ් අඩවිවල යොදා ගත්තත් ඔහු කිසි දිනක එවැනි කටයුතු සඳහා පෙනී සිටි කෙනෙක් නොවෙයි. ඔහු සැබැවින්ම චීනයේ සුප්‍රකට පැසි පන්දු ක්‍රීඩකයෙක්. ඔහු මේ වනවිට පැසි පන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් සිටිනවා. 1980 සැප්තැම්බර් 12 වැනි උපන් ඔහු චීන ජාතික පැසිපන්දු සංගමය වෙනුවෙන් ක්‍රීඩා කොට තිබෙනවා. අඩි 7 අඟල් 6 ක උසකින් යුතු වූ ඔහු එහි සිටි උසින් වැඩිම ක්‍රීඩකයා ලෙසින් ද ප්‍රසිද්ධියි. තම රට නියෝජනය කරමින් වරක් ආසියානු පැසිපන්දු ශූරතාවය දිනාගන්නට ද ඔහු මහත් කැපවීමෙන් ක්‍රිඩා කළා. ඔහු චීනයේ පමණක් නොව මුළු ලෝකයේම ප්‍රසිද්ධියට පත් පැසිපන්දු ක්‍රීඩකයෙක්. මේ වන විට TheYear of the Yao නමින් ඔහු ගැන වාර්තා චිත්‍රපටයක් සහ Yao: A Life in TwoWorlds නමින් ඔහුගේ ජීවන චරිතය සහිත කෘතියක් ද පළ වී තිබෙනවා. 

පැසි පන්දු ලෝලීන් අතර ඔහු ඒ ආකාරයෙන් ජනප්‍රියත්වයට පත්වුණත් සෙසු ලෝකයා ඔහුගේ මුහුණ දැකගත්තේ සමාජ ජාලා වෙබ් අඩවිවලින් කීවොත් නිවැරදියි. විවිධ උපහාසාත්මක අදහස් ඇති කොමෙන්ටුසඳහා යාඕ මිංග්ගේ මේ මුහුණ සහ සිනහව යොදාගත් අවස්ථා ගණන මෙතෙකැයි කියන්නට බැහැ. ඇත්තටම පැසිපන්දු ක්‍රීඩකයකු වුණු ඔහු ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවිවල ජනප්‍රිය මුහුණක් වුණේ කොහොමද? ඒ මෙන්න මෙහෙමයි. 

2009 අවුරුද්දේ මැයි මාසයේ එක්තරා දිනයක යෝ මිංග් එක්තරා ක්‍රීඩා සම්මේලනයක ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වුණා. ඒ ඔවුන් එක්තරා තරගයක් ජයග්‍රහණයක් කළ අවස්ථාවක්. මේ අවස්ථාවේදී යාඕ මින්ග් මෙයට  පෙර අවස්ථාවක මුහුණ දුන් හාස්‍යජනක සිදුවීමක් පිළිබඳ එතැන සිටි ඔහුගේ හිතවතා විස්තර කරමින් සිටියා. ඔහුට මෙන්ම යාඕ මින්ටත් මෙම හාස්‍යජනක සිදුවීම සිනහව පාලනය කරගත නොහැකි එකක් බවයි පෙනෙන්නට තිබුණේ. යාඕ මින්ග් මෙසේ සිනහසෙද්දී අප කවුරුත් දැක ඇති සමාජ ජාල වෙබ් අඩවි හරහා පැතිරුණු ඒ අපුරු සිනහව සහිත මුහුණ මතුවුණා. 

පහළින් තියෙන්නේ එහි වීඩියෝ දර්ශනයයි.




ඒ අවස්ථාවේ එතැන සිටි සිටි ඩවුන්ලෝයන අනවර්ත නාමයෙන් පෙනී සිටි එක්තරා චිත්‍ර ශිල්පියකු විසින් එය අප දකින ආකාරයට ප්‍රතිනිර්මාණය කළා. ඔහු එම මුහුණ මුළින්ම ප්‍රසිද්ධියට පත් කළේ ෆේස්බුක් අඩවියේ නම් නෙවෙයි. අපේ රටේ නැතත් ඇමරිකා එක්සත් ජනපදයේ ඉතා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් තිබෙනවා රෙඩ්ඩිට්නමින්. ඒ වෙබ් අඩවියටයි ඔහු මෙය මුළින්ම ලබාදුන්නේ. දිනය 2010 ජූලි 11 වැනිදා. මේ මුහුණ ප්‍රතිනිර්මාණය කරන්නට යොදාගත්තේ යාඕ මිංග් ගේ මුහුණ බව ඔහු එහි සඳහන් කොට තිබුණා. මෙම මුහුණ ඇතුළත් කාටූන් අයත්වන්නේ රේජ් කොමික්’ (Rage comic) කියන වර්ගයටයි. රේජ් කොමික්කියන්නේ යම් අදහසක්, ඉදිරිපත්කිරීම සඳහා කලින් සූදානම්කොට තබාගන්නා කාටූන්වලටයි. මුල් කාලයේ මේ මුහුණ ජනප්‍රියව පැවතුනේ සිනහවෙන ආසියානුවානමින්. 

යාඕ මින්ගේ ඒ අපූරු සිනහව සහිත මුහුණ මතු වූ ප්‍රවෘත්ති සාකච්ඡාව


පසුව 2010 සැප්තැම්බර් 13 වැනිදා මෙම මුහුණ යළිත් ඩම්බ් බිච්’ (Dumb Bitch) ලෙස නමි කරමින් රෙඩ්ඩිට්  අඩවියට එක්කොට තිබුණා. පසුව තවත් විවිධ නම් සඳහන් කරමින් මෙම පුහුණ සමාජ ජාල අතර ජනප්‍රිය වන්නට පටන් ගත්තා. 

වෙනත් පුද්ගලයන්ගේ මුහුණුවලින් නිර්මාණය කරන ලද රේජ් කොමික් කාටූන්

යාඕ මින්ගේ මෙම සිනහව වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ මුහුණට බද්ධ කොට සමාජජාල ගතකරන ආකාරය ද දැකගන්නට පුළුවන්. ඒ වගේම මේ සිනහව වෙනුවට වෙනත් ඉරියව් සහිත මුහුණු ද නිර්මාණය වී තිබෙනවා. සැබෑ පුද්ගලයකුගේ සිනහව සහිතව නිර්මාණය කළ අතිශය ජනප්‍රිය වූ රේජ් කොමික් කාටූනය මෙය වුවත්, එසේ නිර්මාණය වුණු එතරම් ජනප්‍රිය නැති ඒවා කිහිපයක් ද සමාජජාල ගතවී තිබෙනවා. ඇමරිකානු නළුවකු වන නීල් පැට්‍රික් හැරිස්, මිස්ටර් බීන්ගේ චරිතය නිරූපණය කරන රොවාන් ඇට්කින්සන්, ඇමරිකානු නළුවකු වන ටොබී මැග්වයර්, ජැකී චෑන් ආදීන්ගේ මුහුණවලින් ද මෙවැනි රේජ් කොමික් නිර්මාණය කොට තිබුණත් ඒවා මේ තරම් ජනප්‍රියත්වයට පත් වී නැහැ. 

කෙසේ නමුත් යාඕ මින්ග් මේ මුහුණට තරගයක් දිය හැකි වෙනත් මුහුණක් තවමත් සමාජ ජාල වෙබ් අඩවිවල නිර්මාණය වී නැහැ. ඒ නිසාම එය අනුකරණය කරන්නට ද ඇතැම් පුද්ගලයන් පෙළඹී සිටින බව සමාජ ජාල වෙබ් අඩවිවල පළවන ඡායාරූපවලින් පෙනෙන්නට තිබෙනවා.





8 comments:

  1. මරු! ඔය පැසිපන්දු කාරය නං දැකල තිබුන. නමුත් හිනාව මෑන්ගෙ කියල හිතුවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මෙයා කවුද කියලා හොය හොයා ඉන්න කොට තමයි හදිසියේ හොයාගත්තේ. හොයාගත්තු දේ අනෙක් අයත් එක්ක බෙදාගත්තහම නේ අගේ.

      Delete
  2. අන්තර්ජාලයේ භාවිතා වල මීම වලින් මගෙ ආසම මුහුණ ඕක. Bitch Please !

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත් ජනප්‍රියම මුහුණත් මේක තමයි

      Delete
  3. මමත් කලින් ඔය මිනිහව දැකලා තිබුනට ඕක වැඩිව විශ්වාස කලේ නෑ..සෝස් එකත් එක්කම දාපු එක හොදයි...

    ReplyDelete
    Replies
    1. මමත් මුල් කාලේ හිතුව් මේක නිකම්ම හදපු පින්තූරයක් විතරයි කියලයි

      Delete
  4. ඊට පස්සෙ ඔයිට වඩා සමානකම් තිබුනු තවත් එක්කෙනෙක්ව කොහේ හරි පෝස්ට් කරලා තියෙනවා මම දැක්ක.....

    ReplyDelete
    Replies
    1. කොහොම වුණත් මේ සිද්ධියට සම්බන්ධ හැබෑ පුද්ගලයා තමයි යාඕ මිංග් කියන්නේ. මේ ලින්කස්වලින් එක් තහවුරු කරගන්න පුලුවන්.

      http://tehmeme.wikia.com/wiki/Yao_Ming_Face
      http://knowyourmeme.com/memes/yao-ming-face-bitch-please

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න