පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, April 9, 2015

දෙමළ අලුත් අවුරුද්ද - Tamil New Year


කුරුළු නදින් පරිසරය පිරෙන, ගස්වැල් මලින් ඵලින් බර වන ඒ භාග්‍යමත් මාසය නැවත උදා වී තිබේ. සියලු දෙනා තුළම පාහේ නැවුම් උද්‍යෝගයක් ඇති වී තිබේ. ඒ තව නොබෝ දිනකින් උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය නිසාය. සිංහලයන් වන අප අවුරුදු උළෙල පවත්වන ආකාරය පිළිබඳ බොහෝ කරුණු දැන සිටිය ද, දෙමළ ජනතාව මේ සඳහා සූදානම් වන ආකාරය, ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ආදිය පිළිබඳ බොහෝ දෙනෙකුට එතරම් අවබෝධයක් නැත. අප දකින්නේ අලුත් අවුරුදු දිනයේ රූපවාහිනි සජීව විකාශන ඔස්සේ දෙමළ ජනතාව අලුත් අවුරුදු උළෙල පවත්වන ආකාරය පමණි. ඉන් ඔබ්බට අප ඒ පිළිබඳ සොයා බලන්නේ නැත. නමුත් අප දකින දෙයට වඩා, එය පසුපස අප නොදන්නා දෑ බොහොමයක් තිබේ. අප රට පුරා දෙමළ ජනතාව විසිරී පැතිරී සිටියත් අප්‍රේල් මාසයේ උදාවන අලුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් සමරන්නට පෙළඹෙන්නේ බොහෝ විට දෙමළ බහුතරයක් වෙසෙන උතුරු පළාතේය. ඊට අමතරව කෙළඹ වැනි වැනි නාගරික දෙමළ ජනතාව ද මෙය සමරති. වතුකරයේ මෙය එතරම් උත්වශ්‍රීයකින් දැකිය නොහැකිය. 

අප රටේ සිංහල ජනතාව සමඟ දෙමළ ජනතාව ද එකම දිනයේ අලුත් අවුරුද්ද සමරනු ලැබුව ද හින්දු චාරිත්‍ර වාරිත්‍ර හා විශ්වාසයන් පිළිබඳ සළකා බැලීමේදී පෙනී යන්නේ අප රටින් බැහැර සමස්ථ ලෝකය පුරා විසිරී සිටින දෙමළ ජනතාව මෙය සැමරීමේදී යම් යම් වෙනස්කම් ඇති බවය. අප රටේ සිංහල ජනතාවට හා දෙමළ ජනතාවට අලුත් අවුරුදු දිනය සැමරිය යුතු දිනය නියම කරන්නේ නැකැත් කමිටුව වුව ද තමිල්නාඩුවේ සහ සෙසු රටවල සිටින දෙමළ ජනතාවට මෙය සැමරීම සඳහා නිශ්චිත දිනයක් පවතී. ඔවුන් එය සමරන්නේ අප්‍රේල් 14 වැනිදාය. 

නිරායන ජ්‍යෝතිෂ සිද්ධාන්තය අනුව වසන්ත විෂුවය උදාවන්නේ ග්‍රෙගෝරියන් දින දර්ශනයේ අප්‍රේල් 14 වැනිදාය. ජාත්‍යන්තර දෙමළ දිනදර්ශනයේ හා තමිල්නාඩු දිනදර්ශනයේ මෙය රජයේ නිවාඩු දිනයකි. නිවර්තන කලාපයට වසන්ත විෂුවය උදාවන කාල පරාසය වන්නේ මාර්තු 22 අවට සමයයි. මෙම දිනයට පෘථිවි අක්ෂයේ වූ අංශක 23ක දෝලනය එකතු කිරීමෙන් හින්දු ක්‍රමයට අනුව නිරායන මේෂ සංක්‍රාන්තිය ගණනය කරනු ලබයි. එනම් සූර්යයා මීන රාශියේ සිට යළි මේෂ රාශියට සිදුවන සංක්‍රාන්තියයි. සිංහල අලුත් අවුරුද්දේ සිද්ධාන්තය ද මෙයම වුවත් වෙනස වන්නේ එය උදාවන දවස වසරින් වසර වෙනස් වීමය. මෙය අප්‍රේල් 12 - 14 දක්වා වූ දින තුන අතර පවතී.  සිංහල ජනතාව අලුත් අවුරුදු උත්සවයේ විවිධ අංග දින කිහිපයක් තිස්සේම පවත්වනු ලැබුව ද දෙමළ ජනතාව මෙය එක් දිනක් තුළ අවසන් කරති. 

සිංහලයන්ගේ සේම දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන්නේ අප්‍රේල් ය. හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ්‍රහ්මයා විශ්වය මවා ඇත්තේ ද ‛සත්‍යයුග’ නම් වූ යුගය ආරම්භ වන්නේ ද මෙම මාසයේදීය. මෙම මාසය දෙමළ බසින් ‛පුත්තන්ඩු’, ‛වරුද පයිරප්පු’  හෝ ‛චිත්තරයි තිරු-නාල්’ යන නමින් හඳුන්වනු ලබයි. ‛පුත්තන්ඩු වාස්තුකල්’හෝ ‛ඉනිය තමිල් පුත්තන්ඩු නල්ලවාස්තුක්කල්’ යැයි පවසමින් දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේදී එකිනෙකාට සුබ පතති. ඉන්දියාවේ ඇසෑම්, බටහිර බෙංගාලය, කේරලය, මනිපුර්, මිතිලා, ඔඩිෂා, ත්‍රිපුර ආදී ප්‍රාන්තවලද මෙම දිනයේ අලුත් අවුරුද්ද සැමරේ. සිංහල ජනතාව අලුත් අවුරුද්ද සැමරීමේදී ජ්‍යෝතිෂ සිද්ධාන්ත අකුරටම පිළිපදිති. එබැවින් මෙය ‛නැකැත් කෙළිය’ නමින් ද හඳුන්වනු ලැබේ. දෙමළ ජනතාව අතර ද මෙහි වෙනසක් නැත. දෙමළ ජනතාව අතර අතීතයේ සිට පැවති සිරිතක් වන්නේ අලුත් අවුරුදු දිනයේදී පවුලේ වැඩිහිටියකු හෝ නැකැත්කරුවකු විසින් ඉදිරි මාස 12 සඳහා සිය පවුලට අයත් පලාපල කථනයක් සිදුකිරීමය. 

අලුත් අවුරුදු දිනයේ අලුයමින් අවදිවන දෙමළ පවුලක මාතාව පවුලේ සාමාජිකයන්ගේ  දෑස් වසා සුබ දසුනක් ඇති ස්ථානයකට රැගෙන යාම සිදුකරනු ලබයි. ඒ බොහෝ විට නිවසේ ඇති දේව ප්‍රතිමාවන් වේ. ඊට අමතරව රන් ආභරණ, පලතුරු ආදිය ද පෙන්වනු ලබයි. කැඩපතකින් මුහුණ පෙන්වීමෙන් ද සෞභාග්‍යය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි. 

මේ දිනයේදී දෙමළ නිවෙස්වලට ඇතුළුවන දොරටුව අසළ කාන්තාවන් විසින් ‛කෝලම්’ හෝ ‛රන්ගෝලි’ නමින් හඳුන්වනු ලබන වර්ණවත් රටාවලින් අලංකාර කරනු ලබයි. මෙම කෝලම් රටාවලට මැදින් ‛කුට්ටු විළක්කු’ නම් පහනක් තබනු ලබයි. ‛කන්නි’ නමින් හඳුන්වනු ලබන චාරිත්‍රයක් සිදුකිරීම ද මෙම දිනයේ දක්නට ලැබෙන්නකි. ‛කන්නි’ යන්නෙහි අරුත් වන්නේ ‛සුබ දසුන’ වැන්නකි. ඔවුන් මේ අවස්ථාවේදී රන් ආභරණ, පලතුරු, එළවලු, මල්, සහල් ආදිය දෙස බලති. එයින් සෞභාග්‍යය උදාවෙතැයි ඔවුහු විශ්වාස කරති. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල නිවෙස් දොරටුවෙහි මල් පිපුණු කොහොඹ අත්තක් සහ ගෙඩි සහිත අඹ අත්තක් හොඳින් පෙනෙන සේ එල්වා තැබේ. ඒවායෙන් සංකේතවත් වන්නේ සෞභාග්‍යයයි. බොහෝ දෙමළ ජනතාව අතර කොහොඹ අත්තට ලැබෙන්නේ සුවිශේෂත්වයකි. ආහාර තැබීමේදී ඒ අසළින් කොහොඹ අතු තැබීම, නිවෙස් සැරසීම සඳහා ඒවා යොදාගැනීම ආදිය දක්නට ලැබේ. කොහොඹවල ඇති සුවිශේෂී ඖෂධ ගුණය මෙන්ම මෙහි ඇති තිත්ත බව අලුත් අවුරුද්ද සමග මුසුකරගැනීම මගින් ජීවිතවල යම්කිසි යථාර්ථවාදී බවක් ද දෙමළ ජනතාව අපේක්ෂා කරති. දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේදී ලක්ෂ්මී දෙවඟනට සහ ගණ දෙවියන්ට විශේෂයෙන් වැඳුම් පිදුම් කරති. 

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව අලුත් අවුරුද්දේ ‛කාසි-විශේෂම්’ යනුවෙන් හඳුන්වන ගනුදෙනුවක් සිදුකරනු ලබයි. මෙය බොහෝ විට සිදුකෙරෙන්න්ෙ අවිවාහක තරුණ තරුණයින්, විශේෂයෙන් කුඩා දරුවන් සමග වන අතර එයින් බලාපොරොත්තුවන්නේ වාසනාවන්ත බවයි. එමෙන්ම නව කෘෂිකාර්මික වසරක් ඇරඹීම සංකේතවත් කිරීම සඳහා පස්පිඩැල්ලක් කැපීම සිදු කරයි. මෙය ‛ආර්පුඩු’ නමින් හැඳින්වේ. සිංහල ජනතාව මෙන්ම ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ද පුණ්‍ය කාලයක් තිබේ. එය ‛පුණ්‍ය කාලම්’ නම් වේ. එමෙන්ම දෙමළ ජනතාව ඖෂධ මිශ්‍ර ‛මරුති - නියර්’ නමින් හැඳින්වෙන ස්නානයක් සිදුකරයි. එයින් සෞඛ්‍ය සම්පන්න බව බලාපොරොත්තු වේ. 

4 comments:

  1. බොහෝම ස්තූතියි. 'දෙමළ' අවුරුද්ද ගැන බොහෝ තොරතුරු දැනගත්තා.. නැකත් හා වෙලාවල් ගැන විශ්වාසයක් නැති උනත් සංස්කෘතික අංගයක් විදියට මේ ඉවෙන්ට් එකට මං බොහෝම මනාපයි.

    මේ බ්ලොග් එකට පාර කියපු මධ්‍යස්ථ මතධාරීයාටත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමටත්, ඔබට මේ බ්ලොග් එක ගැන කිවූ මධ්‍යස්ථ මතධාරියාටත් ස්තූතියි.

      Delete
  2. Replies
    1. අදහස් දැක්වීම ගැන ඔබට බොහෝ ස්තූතියි

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න