පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, August 18, 2023

ඡායාරූප, සම්මාන සහ මනුස්සකම - Humanity in an Award, Camparison between Vulrure & Little Girl and and the Terror of the War


කුසගින්නේ මිරිකෙමින් සිටින කුඩා දැරියක සහ ඇය කුසගින්නේ මිය ගිය පසු ඇගේ සිරුර අනුභව කරන්නට බලා සිටින ගිජුළිහිණියක සිටින ඡායාරූපයක්
1990 ගණන්වල ලොව පුරා ඉතා වේගයෙන් පැතිර ගියේ ය. එම ඡායාරූපය ගනු ලැබුවේ 1993/94 සමයේ සුඩානයේ පැවති දරුණු සාගතයේ දී දකුණු ඇමරිකානු පුවත්පත් ඡායාරූප ශිල්පියකු වූ කෙවින් කාටර් විසින් වූ අතර මේ ‘අපූර්ව’ ඡායාරූපය වෙනුවෙන් ඔහු පුලිට්සර් සම්මානය ද දිනා ගත්තේ ය.
 

කෙවින් කාටර් තමා ලද මේ ජයග්‍රහණය පිළිබඳ සතුටු වූයේ ය. උදම් ඇනුවේ ය. ලෝකයේ ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති නාලිකා ඔස්සේ ඔහුගේ මේ ‘විශිෂ්ට ගණයේ ඡායාරූප දක්ෂතාව’ සමරනු ලැබිණි. නමුත් තමා හිමි කරගත්තේ යැයි උදම් අනමින් සිටි මේ ජයග්‍රහණය සහ කීර්තිය සමරන්නට ඔහු මාස කිහිපයකට වඩා ජීවත් වූයේ නැත. මහත් මානසික පීඩාවකින් පෙළෙන්නට පටන් ගත් ඔහු වැඩි දවසක් ගතවන්නට පෙර සියදිවි නසා ගත්තේ ය. 

කෙවින් කාටර්


කෙවින් කාටර්ගේ මානසික පීඩාකාරී තත්ත්වය පටන් ගැනුණේ a phone-in නම් වැඩසටහනෙන් අනතුරුව ය. මේ වැඩසටහනට දුරකතන ඇමතුමක් ලැබුණු අතර ඡායාරූපයේ සිටින මේ දැරියට සිදුවූයේ කුමක්දැයි ඇමතුම ගත් පුද්ගලයා ඇසුවේ ය. 

පින්තූරය ගත්තට පස්සේ මට ඒ ගැන හොයන්න තරම් වෙලාවක් තිබුණේ නෑ. මම ගුවන්යානය අල්ලා ගන්න සිහියෙන් හිටියේ.” ඔහු කිසිදු සැලකිල්ලකින් තොරව පිළිතුරු දුන්නේ ය. 

ඇමතුම ගත් පුද්ගලයා එවිට මෙසේ පැවසුවේ ය. 

මම ඔබට මේ නිකම් කියන්නේ, එදා එතන ගිජුලිහිණියො දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ළඟ කැමරාවක් තිබුණා.” 

ඔහු මේ කියමන ගැන ඉන්පසුව දිගින් දිගටම සිතන්නට පටන් ගත්තේ ය. එය ඔහු තුළ දැඩි මානසික පීඩාකාරී තත්ත්වයක් ඇති කළ අතර අවසානයේ ඔහු සියදිවි නසා ගත්තේ ය. ඔහු මේ දැරිය දෑතට ගෙන, ඇය සෙමින් සෙමින් ළඟා වෙමින් සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සැපයුම් මධ්‍යස්ථානයට හෝ වෙනත් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන්නට මොහොතක් හෝ සිතුවා නම් කෙවින් කාටර් අද වන විටත් ජීවතුන් අතර සිටින්නට ඉඩ තිබුණි. ඔහු මේ වන විට වඩාත් ප්‍රසිද්ධ, ආදරණීය පුද්ගලයකු බවට පත්වන්නටත් ඉඩ තිබිණි. 

කනගාටුවට කරුණ නම් අද ලොව පුරාම සිදුවන්නේ මෙයයි. ලෝකය අද ආත්මාර්ථකාමීබව සහ අනුන්ගේ විපතේ දී සතුටු වීම ඉහළින්ම සමරති. මේ දැරිය එතැනින් වෙනත් තැනකට රැගෙන යන්නට කෙවින් කාටර්හට හැකියාව තිබිණි. ඔහුට ඒ වෙනුවෙන් කිසිවක් වැය වන්නේ නැත. නමුත් ඔහු එසේ නොකළේ ය. අමානුෂිකත්වය එයයි. “ඔහුට සිය ඡායාරූපය ගන්නට තරම් වෙලාවක් තිබුණත්, දැරියගේ ජීවිතය බේරාගන්නට කාලයක් තිබුණේ නැත.” 




ඊළඟට අප දකින්නේ මේ මේ ලෝක ප්‍රකට ඡායාරූපය පවසන්නේ එයට ඉඳුරාම වෙනස් කතාවකි.

1972 ජූනි 8 වැනි දා දකුණු  වියට්නාමය විසින් උතුරු වියට්නාමයට නාපාම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලදී. මෙයට හසු වූ මිනිසුන්ගේ රෙදිවලට ගිනි ඇවිලී ඒවා පිළිස්සී ගියේය. මේ ඡායාරූපයේ සිටින ෆැන් ත් කිම් ෆුක් දැරිය ද මේ ඉරණමටම මුහුණ දුන් අතර ඇය ඇඳුම් උනා දමා දිව යන්නට පටන් ගත්තා ය. සිරුර පිළිස්සීම නිසා ඇති වූ වේදනාවෙන් ඇය කෑ ගැසුවා ය. මේ අවස්ථාවේ එතැන සිටි, ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවය වෙනුවෙන් සේවය කළ 21 හැවිරිදි වියට්නාම් ජාතික ඡායාරූප ශිල්පියකු වූ නික් වුට් විසින් මෙය සිය කැමරාවේ සටහන් කර ගත්තේ ය.


නික් වුට්


කෙවින් කාටර් සහ නික් වුට් අතර වෙනස මතු වන්නේ මෙතැන ය. කෙවින් කාටර් සිය ඡායාරූපය ගෙන එම දැරියට ඊළඟට වන්නේ කුමක්දැයි සිතන්නට පවා කාලයක් නොමැතිවා සේ ගුවන් යානය අල්ලා ගන්නට යුහුසුළු වූවා වුවත්, නික් වුට් කළේ මේ දැරිය ද ඇතුළුව අනෙක් දරුවන් සියලු දෙනා සයිගොන් හි පිහිටි බාර්ස්කි රෝහල කරා රැගෙන යාම ය. මේ දැරිය මාස 14 ක් රෝහලේ ගත කොට, චර්ම බද්ධයන් ඇතුළු ශල්‍යකර්ම 17 කට ලක් වී , සුව අතට හැරීමෙන් පසු නැවත නිවාස කරා යන්නට හැකියාව ලැබිණි. 

නිරුවත්ව දිව යන මේ දැරියගේ ඡායාරූපය මුලින්ම ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධ දෙගෙඩියාවක් ඇසෝසියේටඩ් ප්‍රෙස් සේවයට පැවතිය ද කෙසේ හෝ එය ප්‍රසිද්ධ කෙරිණි. ‘යුද්ධයේ භීෂණය’ මැනවින් පෙන්නුම් කරන ඡායාරූපයක් ලෙස අර්ථ දැක්වුණු මෙය ද පුලිට්සර් සම්මානයෙන් පුදනු ලැබිණි. නමුත් කෙවින් කාටර්ගේ පුලිසට්සර් සම්මානය තුළ ගැබ් නොවුණු මිනිස්කම් පිළිබඳ සම්මාන ය නික් වුට් ගේ ඡායාරූපය තුළින් අපට දකින්නට හැකි ය. 

මේ අනුව, අප තේරුම්ගත යුත්තේ ජිවිතයේ අරමුණ වන්නේ හදවත් ආදරණීයව ස්පර්ශ කිරීම සහ වෙනස් කිරීම බව ය. ඉතින් ඔබත් ගිජුලිහිණියක් ද? අප කුමක් කළ ද, එම අවස්ථාවෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක් වුව ද, මනුෂ්‍යත්වය මතුවන්නට ඉඩ හැරිය යුතු ය. අප කරන සෑම ක්‍රියාවක දී ම අන්‍යයන් පිළිබඳ සිතිය යුතු ය. මනුෂ්‍යත්වය වෙනුවෙන් අපට කළ හැක්කේ කුමක් ද යන්න පිළිබඳ කල්පනා කළ යුතු ය. කෙනෙකුට පිහිට වී කඳුළු පිසදා හරින්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලිය යුතු ය. අප දැනුම, ධනය, දක්ෂතා හෝ තරාතිරම් ආදිය පවා සොයා ගෙන යද්දී, ඒවා මිනිසුන්ගේ සහ සමාජයේ යහපත සඳහා පුළුල් වශයෙන් යොදා ගන්නේ කෙසේදැයි සිතිය යුතු ය. 

ෆැන් ත් කිම් ෆුක් සහ ඡායාරූප ශිල්පී නික් වුට්. මෙවන් ආදරණීය අත්දැකීමක් ලබන්නට තරම් කෙවින් කාටර් වාසනාවන්ත වූයේ නැත. 


අද ලෝකය පුරා දරිද්‍රතාව බොහෝ සෙයින් පැතිර යයි. පිහිටක් අවැසි අයට පිහිට වන්නට තරම් ඔබ ශක්තිමත් නම්, ඔවුන්ට ආශීර්වාදයක් වන්න.  ඔබගේ පරිත්‍යාගයන් යනු ඔබට හිමි වුණු දිව්‍යමය ආශීර්වාද, තිළිණ සහ ප්‍රසාදයන් පසසන්නට ඔබට ලැබුණු අවස්ථාවක් බව සෑමවිටම මතකයේ තබා ගන්න. එබැවින්, අප අතර සිටින දිළින්දන්ට, අසරණයන්ට, වැන්දඹුවන්ට සහ දුර්වලයන්ට අප සෑමවිටම පිහිට වීම ඉතා අගනා දෙයකි. කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ තවත් කෙවින් කාටර් කෙනෙක් බවට පත්නොවන්නැයි කියා ය. 

මතක තබා ගන්න. අප සිදුකරන සෑම දෙයක් තුළම මනුෂ්‍යත්වය නොමැති නම් මනුෂ්‍යන් වන අප කිසිදා මනුෂ්‍යයන් වන්නේ නැත.

 

 

4 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න