පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, November 30, 2014

සුමින්දගේ චක්කරං කොටුව සහ ලංකා පොකුණ ගැන මට හිතෙන දේවල් - Lanka Pokuna and Chakkaran Kotuwa, Poems by a Suminda Gunarathna


සුමින්ද කියන්නේ ඇහැලියගොඩ කණිෂ්ටෙට යන කාලේ ඉඳන්ම දැනගෙන හිටිය, ඇහැලියගොඩ මැදි මහ විදුහලේ සාමාන්‍ය පෙළ පංතිවලදි ළඟ යාලුවෙක් වුණු තවමත් යාලුවෙක් විදිහට ඉන්න යාලුවෙක්.  පුනරුක්ති දෝෂයක් හරි වෙන මොකක් හරි අවුලක් හරි මේ වාක්‍යයේ තියෙනවා. එහෙම වුණත් ඒක වෙනස් කරන්න ඕන නැහැ. සුමින්ද කියලා මම මේ කියන්නේ සුමින්ද කේ. (කිත්සිරි) ගුණරත්න ගැන. සුමින්ද ඉස්සර ඉඳන්ම කවි ලිව්වා. දැනුත් කවි ලියනවා. පළවෙනි කවි පොත ‛චක්කරං කොටුව’ කියලා ප්‍රකාශයට පත් කරපු උත්සවේ තිබුණේ ඇහැලියගොඩ මහජන පුස්තකාලේ වගේ තමයි මතක. ඒකට එන්න කියලා මටත් කිව්වා. ඒත් මට ඒකට යන්න වුණේ නැහැ. මට කවි ලියන්න බැරි වුණත් කවි විඳින්න පුලුවන්.  ඉතිං මම ඒ පොත ඒ කාලෙම ගත්තා. පස්සේ දවසක මම ඒක යාලුවෙකුට දුන්නා. ඒත් මට ඒක ආපිට ලැබුණේ නැහැ. ඉතිං මෙහෙම ඉන්න කොට සුමින්දගේ අලුත්ම කවි පොත, ‛ලංකා පොකුණ’ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ මට මතක විදිහට කොළඹ ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේදී අපේ අතට දුන්නා. මම එදා ‛ලංකා පොකුණ’ එක්ක ‛චක්කරං කොටුව’ ත් ගත්තා. මේ පොත් දෙක මෙහෙම ගෙදර තියෙන අතරේ සුමින්ද ළඟදි දවසක කතා කරලා කිව්වා ‛ලංකා පොකුණ’ දෙවැනි වතාවටත් ප්‍රකාශයට පත් කළා, ඒ උත්සවයත් අර කලින් තැනම තියෙනවා එන්න කියලා. ආරියවංශ රණවීර, ඩබ්ලිව්. ඒ. අබේසිංහ, නන්දන වීරසිංහ වගේ තවත් බොහෝ සුප්‍රකට කවීන් මෙතැනට ඇවිත් හිටියා. නොදන්න හුඟක් දේවල් දැනගන්න ලැබෙනවා මේ වගේ තැන්වලට ගියාම. 

මට කවි විචාර ලියන්න දැනුමක් නැහැ. ඒත් තමන්ගේ හිතවතෙක් කවි ලියන කොට ඒක ගැන කාට හරි කියන්න තියෙනවා නම් හොඳයි. ඉතිං මට හිතුණා මගේ බ්ලොග් එකේ සුමින්දගේ කවි ගැන මොනව හරි ලියන්න. මේවා විචාර නෙවෙයි. මගේ යාලුවෙක්ගේ හෘද සංවේදී නිර්මාණ ගැන මට හිතෙන දේවල් ලිවීමක්. 





‛චක්කරං කොටුව’ මුළින්ම මා ළඟ තිබුණු පොතේ පිටකවරේ තිබුණේ පොඩි දරුවෙක් ඇඳපු චිත්‍රයක්. සුමින්ද නාට්‍යවලට සම්බන්ධව වැඩ කළ නිසා වේදිකාවේ තිරය ඇරෙන වැහෙන එක් සංකේතවත් කරන්න ඒ පොතේ මුලටත් අගටත් කලු පාට පිටු දෙකක් දාලා තිබුණා. හැබැයි අලුත් ‛චක්කරං කොටුව’ පෙනුම වෙනස්. කොහොම වුණත් ඒ පොතේ කවි සෑහෙන ගණනකට මම කැමතියි. පිරිනැමීම වුණත් අලුත් විදිහක්. ඒක මෙන්න මෙහෙමයි 





පිදුම

“වැඩක් කරනකොට
ලකයක් ඇතුව කරපං”
තාත්තා මට කිව්වා

“අනේ ... පුතේ ...
පරෙස්සමින්”
අම්මා කියනවා ඇහුණා ...

මම උපන්නේ, ඉස්කෝලේ ගියේ, හැදුනේ වැඩුනේ ඇහැලියගොඩ වුණත් දැන් ඉන්නේ ගමේ නෙවෙයි. සුමින්ද කවි ලියන කොට ස්ථාන නාම, ග්‍රාම නාම හැම එකක්ම වගේ අරන් තියෙන්නේ ගමෙන්මයි. ඉතිං ඒ කවිත් එක්ක මට අතීතයට යන්න පුලුවන්. අතීත කාමයට අකැමති කවුද? මිනිස්සු ගම හොයාගෙන යනවා කියලා යන්නෙත් අතීතයට තියෙන කැමැත්තට නේ. ‛චක්කරං කොටුවේ’ ‛පාවර’ කියන කවියේ එක තැනක මෙහෙම තියෙනවා. 



‛කිරි මුට්ටිය ඇඟ පුරාම ඉහිරවගෙන 

ගඟ පහළින් ආපු කොක්කු 

අඹන්ඔළුවේ කන්දේ හැපිලා නොපෙනී යද්දි 

කුඩ රෙදි මහ තටු විදන් 

සට . . සට . . සට . . 
වවුල් නැටුම් හඬ ඇහෙද්දි 
තෙතබරියං රට්ටම් දැක 
හෝ හපුට්ටෝ ඉංජෙක්සන් කටු විදිද්දි 
තාත්තාගේ හඬ ඇහුණා . . .’ 

ඔන්න මම ඒ කවියත් එක්ක අතීතයට ගියා. අඹන්ඔළුව පන්සල මතක් වෙනවා. පරණ පන්සලක් වගේ තමයි මතක. පරණ උමගක් තියෙන්නේ ඒ පන්සලේ ද මංදා. ඒක නම් මට හරියට මතක නැහැ. ඒ එක්කම හෝ හපුට්ටෝ. ඒ නම මම දැන් ඉන්න බොරලැස්ස පැත්තට ආගන්තුකයි. ‛රට්ටම’ කියලා දවසක් කියපු වෙලාවක අපේ නෝනා කිව්වා “රට්ටම නෙවෙයි අනේ තට්ටම තට්ටම” කියලා. ඒත් මේ කවියේ ‛රට්ටම’ කියලා තියෙන නිසා මම දන්නවා මම කියපු වචනෙත් වරදක් නැහැ කියලා. 


‛ඔබයි මමයි’ කවිය නම් සිංදුවකට හොඳයි කියලා මට හිතෙනවා. මම දන්නේ නැහැ ඒක සිංදුවක් වෙලාද කියලා. සුමින්දට ඒ ගැන අදහසක් පහළ වුණේ නැත්ද මංදා. මම ඒ කවිය මෙහෙම දාන්නම්. 



‛නටුවෙන් ගිලිහුණු මලක් වගේ 

කටුවෙන් රිදවුණු අතක් වගේ 

සුසුමින් පාවුණු සිතක් වගේ 

කඳුළින් නෑවුණු නෙතක් වගේ 

මම ආවා . . . 
මම ආවා . . . 
සංසාරේ මම ආවා 

නටුවෙන් ගිලිහුණු මල දෝතට ගෙන 
කටුවෙන් රිදවුණු අත සුවපත් කර 
 සුසුමින් පාවුණු සිත තුරුලට ගෙන 
කඳුළින් නෑවුණු නෙත කඳුළැලි පිස 
ඔබ ආවා . . . 
ඔබ ආවා . . . 
සංසාරේ ඔබ ආවා’ 

ඇහැලියගොඩ අපේ ගේ ඉස්සරහ ඉස්සර රබර් වත්තක් තිබුණා. දන්දෙනියේ සමූපකාරයට අපි යන්න පුරුදුවෙලා හිටියේ මේ රබර් වත්ත මැදින්. රබර් වත්තේ හැම තැනම එක එක අතට පොඩි අඩිපාරවල් තිබුණා. ගමේ මිනිස්සු එකම තැනින් හැමදාම යනකොට මේ විදහට අඩි පාරවල් හැදිලා තියෙනවා කියලා දවසක් අම්ම කිව්වා. මට ඒ කතාව මතක වෙනවා සුමින්දගේ ‛පිරිසිදු ආතාගේ කතන්දරයක්’ කියන කවියෙන්. ඒ කවිය මෙහෙමයි 



‛වරෙං මගේ මුනුපුරේ 

කතාවක් කියඤ්ඤං . . . 



එකෝමත් එක කාලේ 

මේ ලෝකේ . . . 
පාරවල් තිබුණේ නෑ . . . 

එකතු වී සේරෝම 
එකම අතකට යද්දි . . . 
මතු වුණා නොවැ 
මහ පොලොවෙන් පාරවල්’ 

ඉතිං මේ රබර් වත්ත ඉස්සර තිබුණු අපේ ගෙදරට සුමින්ද ඇවිත් එක එක් දේවල් මාත් එක්ක කතා කරන්න පුරුදු වෙලා හිටියා. හැබැයි ඉතිං මම කළේ අහගෙන ඉන්න එක. මොකද ඒ කියන දේවල්වලට හරි හරියට කියන්න දේවල් මා ළඟ නොතිබුණු නිසා.

සාමාන්‍ය පෙල පංතියේදි අපට ඉස්කෝලේ විද්‍යාව ඉගැන්නුවේ පේමරත්න කියලා අපේ ගෙවල් ළඟ හිටි සර් කෙනෙක්. මේ සර් අපට ‛ප්‍රජනනය’ පාඩම කරන්න පටන් ගත්තේ, 


කිසිම කෙනෙක් අනවශ්‍ය ප්‍රශ්න එහෙම අහනවා නෙවෙයි ඔන්න” 


කියලයි. ඉතිං අපි ඇහුවෙම සර්ට අනවශ්‍ය, ඒත් අපට අවශ්‍ය ප්‍රශ්නම තමයි. හැබැයි සුමින්ද අපට වඩා මේ පාඩම ඉගෙන ගනිද්දි සුන්දර අත්දැකීමක් ලබන්න ඇති කියලා හිතෙනවා. මොකද සුමින්දගේ ‛ප්‍රජනන’ කවියෙ හැටියට මේ පාඩම කරලා තියෙන්නේ අලුත විවාහ වුණු ගුරුතුමියක්. 






සුමින්දගේ තව කවි පොත් තියෙනවා. ඒ ‛ඇහැළී’ සහ ‛නා රජ සහ වේ රජ’. හැබැයි මට ඒවා කියවන්න ලැබිලා නෑ. ඒ නිසා මම ‛ලංකා පොකුණ’ ගැන මොනව හරි ලියන්න හිතුවා. මොකද මේ ලියවිල්ල දිග වැඩි වුණොත් කවුරුවත් කියවන එකක් නැති වෙයි කියලා හිතෙන නිසා.


‛ලංකා පොකුණ’ පොතේ කවි ‛චක්කරං කොටුවේ’ කවිවලට වඩා වෙනස් වගේ දැනෙනවා. මොකද ‛චක්කරං කොටුව’ ලියන කාලේ සුමින්ද තනිකඩ. ඒත් ‛ලංකා පොකුණ’ ට එනකොට ඔහු විවාහ වෙලා. අලුත් ජීවිත අත්දැකීම් මේ පොතට එකුවෙලා නිසා මට මෙහෙම හිතෙනවා වෙන්නත් පුලුවන්. ‛නළු වෙසින්’ කවිය මේ අලුත් ජීවිත අත්දැකීම එක්ක ලියැවුණු එකක් කියලා කිව්වොත් මම හිතන්නේ මම හරි. ඒක දිග වැඩි නිසා ටයිප් කරන්න කම්මැලි. පස්සේ දවසක් ස්කෑන් කරලා දාන්නම්. ‛ශිෂ්ටාචාරයේ වාටිය’ කවියටත් මම කැමතියි. ඒ ගැන බොහෝ දෙනක් විචාරය කරපු ආන්දෝලනාත්මක කවියක්. අර ඉස්කෝලෙක ගෑනු දරුවකුගේ ගවුමේ වැටිය ලිහා දමාපු නිසා ඒ දැරිවිගේ මන්ත්‍රී තාත්තා ගුරුතුමියව දණගස්සපු අසම්ජ්ජාති වැඩේ තමයි කවියෙන් කියන්නේ. 


‛ලංකා පොකුණ’ කවිය කියවන කොට මට එක පාරට මතක් ජපුර සරසවියේ මෙඩිකල් සෙන්ටර් එක පැත්තේ කැලේට යට වෙලා තිබුණු ලංකාව හැඩේ පොකුණ. ඒත් ඒක වැරදියි කියලා හිතුනේ ‛ලංකා පොකුණ’ දෙවැනි කියවීම දා ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහත්තයා නිසා. පේරාදෙනිය මල් වත්තෙත් ලංකා පොකුණක් තියෙනවා කියලා මතක වුණේ එදා තමයි. 


ලංකා පොකුණේ ‛ගිනිකූරකට’ කියන කවිය මට හිතට ඇල්ලුව කවිවලින් එකක්. 


බුදුන් දෙවියන්
පිණිස කැපවූ
කවර පහනක්
දැල්වුව ද ඔබ
ඉටි, සඳුන්, තෙල්
සුවඳකට පෙර
දැනෙන්නේ මට
වෙඩි බෙහෙත් ගඳ

‛අල්ලාහුවක්බර්’ කවියත් මාව අතීතතයට අරන් යන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි ඒ කාලේ ඇහැලියගොඩ ටවුමේ පල්ලියෙන් මේ සද්දේ එනකොටත් අපි කියන්නේ, “අන්න පල්ලිය කෑ ගහනවා” කියලා. ඒ කාලේ මේ හඬ ගැන අපි අමුතු විදිහට නොසිතුවත් මුස්ලිම් සමාජයේම ඉන්න ඇතැම් අයගේ අන්තවාදී කියලා හිතෙන ක්‍රියා නිසා සිංහල සමාජයත් මුස්ලිම් සමාජයත් දැන් ඉන්නේ ටිකක් ඈත්වෙලා. ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒත් ඒක දැන් ලොකේ පුරාම පැතිරිලා යන භයානක තත්වයක්. 


අලුත් ඉංග්‍රීසි වචනයක් හම්බ වුණාම ඉස්සර නම් මම මා ළඟ තිබුණු මලලසේකර ශබ්දකෝෂයේ ඒ වචනය නැත්නම්, ගැළපෙන තැනක ඒ වචනය මම අතින්ම ලියා ගන්නවා. ‛ප්‍රතිමාරය’ කවිය මට මේ වගේ අලුත් වචනයක් හොයලා දුන්නා. හැබැයි ඒක ශබ්දකෝෂයේ තියෙනවා. ඒ තමයි 
Die-back  කියන එක. විශාල ගසක් ඉහළ සිට පහළට මියයාම තමයි ‛ප්‍රතිමාරය’ කියන්නේ. ඒක මට අලුත් වචනයක්. 

අපේ අම්මගේ ගම කුරුවිට නිසා එහේ ගියාම කුරු ගඟේ නානවා. ‛සියඹලාගස්දලුව’ කියන තැන තමයි අපි නාන්න පුරුදු වෙලා හිටියේ. ‛තාම කුරු ගඟ ගලනවා’ කවිය කියන්නේ වෙන කතාවක් වුණත් මට ඒ කාලේ මේ එක්ක මතක් වුණා. 


ඉතිං දැන් නම් මේක දිග වැඩි වුණා. තව කවි තියෙනවා. හැම කවියම මෙතැන දාන්නත් බැහැ නේ. මේක කියවන ඔබ කවිවලට කැමති නම් සුමින්දගේ පොත් අරන් කියවන්න. මේ සුමින්දගේ කවි ගැන විචාරයක් කියලා හිතන්න එපා. විචාරය වාගේ ලොකු වැඩක් කරන්න මට සාහිත්‍ය දැනුමක් නැහැ. මේක පුංචි කාලේ ඉඳන් දැන අඳුනගෙන හිටි යාළුවෙක්ගේ හොඳ වැඩක්, හපන් වැඩක් ගැන මට ඇතිවුණු සතුට නිසා ලියැවුණු දෙයක්. මේක පත්තරයක නම් කවදාවත් පළකරන්නේ නැහැ. ඒත් මේ මගේ බ්ලොග් එක නිසා මේක පළකරන්නේ මමමයි. ඉතිං, යාළුවා ඔබේ කවි ජීවිතයට සුබ පතනවා. ආයේ කවි පොතක් ලිව්වොත් අමතක නොකර මටත් මතක් කරපං මචං!



 

2 comments:

  1. බොහොම හොඳට ලියලා තියනවා. ඔය මහප්ප්‍රාණ කැටයම නැතිවාට , මේ අපි වගේ හූදී ජන සත්තුන්ට මේ හොඳටම ඇති.

    මසුරන් කවි ටික. මාත් කවි ලියනවට වඩා රසවිඳින්න දන්නවා. පොඩි යෝජනාවක් කරන්නද? අර e-book සයිට් එකක් ඇරියා නේද the bookhub.lk කියල . ඔයාගෙ යාලුවට කියනවද ඒකටන් ඔය පොත් දාන්ට කියලා. එහෙම උනොත් නම් අනිවා ගන්නවා

    ReplyDelete
    Replies
    1. අදහසට සහ යෝජනාව ස්තූති වේවා! බලමු ඒ යෝජනාව සුමින්දට දාලා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න