පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, October 16, 2020

The Secret - දෙවැනි කොටස - රහස හෙළිවෙයි


 The Secret - දෙවැනි කොටස

රහස හෙළිවෙයි

 

ජීවිතය ජයගන්නට හේතුවන රහස ගැන දැන සිටි පුද්ගලයන් ගැන මේ කෘතියෙහි දැක්වෙනවා. පහත කියැවෙන්නේ ඔවුන් ගැනයි.

බොබ් ප්‍රොක්ටර්

දාර්ශනිකයෙක්. කතුවරයෙක්. පෞද්ගලික පුහුණුකරුවෙක්.

ජීවිතයේ රහස්වලින් පිරි මේ කෘතිය ඔබට අවශ්‍ය ඕනෑම දෙයක්, එනම් සතුට, නීරෝගී බව ධනය ළඟාකොට දෙනවා.

------

ආචාර්ය ජෝ විටාලි

පාරභෞතික විද්‍යාඥයෙක්. අලෙවිකරණ විශේෂඥයෙක්. කතුවරයෙක්.

ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගන්නට, කරන්නට හෝ ඕනෑම කෙනෙකු වන්නට අවශ්‍ය කරන හැකියාව ඔබ තුළම තිබෙනවා.

 ------

ජෝන් ආසරෆ්

ව්‍යාපාරිකයෙක්. මුදල් ඉපැයීමේ විශේෂඥයෙක්.

ඔබ ජීවත් වන්නට කැමැති කුමනාකාර නිවසකද? ඔබට කෝටිපතියක වන්නට අවශ්‍යද? ඔබ කැමැති කුමනාකාර ව්‍යාපාරයක හිමිකරුවකු වීමටද? ඔබට තවත් සාර්ථක වන්නට අවශ්‍යද? ඔබට සැබවින්ම අවශ්‍ය කුමක්ද?

අප තෝරා ගන්නා ඕනෑම දෙයක් අපට හිමි කර ගත හැකියි. එය කෙතරම් විශාල ද යන්න සැලකිය යුතු දෙයක් නොවේ.

------

වෛද්‍ය ජෝන් ඩිමාර්ටිනි

දාර්ශනිකයෙක්. සන්ධි රෝග චිකිත්සකයෙක්. පුද්ගලයන්ව පෞරුෂාත්මකව වෙනස් කරන්නට සමත් විශේෂඥයෙක්.

ජීවිතයේ ශ්‍රේෂ්ඨතම රහස මෙයයි.

------

වෛද්‍ය ඩෙනිස් වේට්ලි

මනෝවිද්‍යාඥයෙක් සහ සිත තුළ ඇති සැඟවුණු, තවමත් හඳුනා නොගත් හැකියාවන් ඉස්මතු කරගන්නට උපදෙස් දෙන  පුද්ගලයෙක්.

ජීවිතයේ රහස හිමිව තිබූ අතීතයේ සිටි ශ්‍රේෂ්ඨයන්ට අවශ්‍ය වූයේ බලය තබාගෙන සිටිනවා විනා බලය බෙදා හදා ගැනීම නොවෙයි. ඔවුන් ජනතාවට ජීවිතයේ රහස ලබා දුන්නේ නැහැ. ජනතාව කළේ තමා සේවය කරනා තැනට ගොස් සේවය කොට ආපසු පැමිණීමයි. ඔවුන් නිරතව සිටියේ නීරස රැකියාවලයි. ජීවිතයේ රහස පැවතියේ කිහිප දෙනෙකු අතර පමණයි.

ඉතිහාසය මුළුල්ලේ ම බොහෝ දෙනෙක් ජීවිතයේ රහස පිළිබඳ තොරතුරු සෙවීමේ කැමැත්තකින් පසු වූණා. එමෙන්ම මේ දැනුම ලොව පුරා පැතිරවීමට ක්‍රමයක් සොයා ගත් අය ද බොහෝ දෙනෙක් සිටිනවා.

------

මයිකල් බර්නාඞ් බෙක්විත්

ජාත්‍යන්තර ආධ්‍යාත්මික මධ්‍යස්ථානයක් වූ අගාපේ ආයතනයේ ආරම්භකයා.

මිනිසුන්ගේ ජීවිතයේ සිදු වූ බොහෝ ආශ්චර්යයන් මම සියැසින් දැක තිබෙනවා.   

------

ජැක් කෑන්ෆීල්ඩ්

කතුවරයෙක්, ගුරුවරයෙක්, ජීවන පුහුණුකරුවෙක්. අභිප්‍රේරණ දේශකයෙක්.

මේ සියලු දේ සිදු වූයේ ජීවිතයේ රහස භාවිත කිරීම දැන සිටි නිසයි.

------ 






බොබ් ප්‍රොක්ටර්

මේ තරම් පවසන ජීවිතයේ රහස කුමක්දැයි  ඔබ සිතනවා  විය හැකියි. කුමක්ද මේ රහස?’ මා එය තේරුම් ගත්තේ මේ විදිහටයි.

අපි එක් අපිරිමිත බලයකින් වැඩ කරනවා. අප, අපටම මග පෙන්වා ගන්නේ එකම ආකාරයක ධර්මතාවන්ගෙන්ගෙන්. විශ්වයේ ස්වභාවික ධර්මතාවන් අතිශය නිවැරදියි. එබැවින් අපට අභ්‍යවකාශ යානයක් ගොඩනැංවීමේ දුෂ්කරතාවක් පැන නගින්නේ නැහැ. අපට මිනිසුන් සඳට යැවිය හැකියි. ගොඩ බසිනා කාලය තත්පරයෙන් ඉතා කුඩා කොටසක් දක්වා ගණනය කළ හැකියි.

ඔබ සිටින්නේ ශ්‍රී ලංකාවේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ, ලන්ඩනයේ හෝ කොතැනක වුව ද අප සියලු දෙනා වැඩ කරන්නේ එක් බලයකින්. එක් ධර්මතාවකින්. එය අන් කිසිවක් නොවෙයි. එයයි ආකර්ෂණ ධර්මතාවය!ජීවිතයේ රහස නම් ආකර්ෂණ ධර්මතාවයයි!

ජීවිතයට පැමිණෙන සෑම දෙයක්ම ජීවිතය සමග ඇලෙයි.  සිතේ පවතින රූප අනුසාරයෙන් ඒවා ඔබ සමග බැඳෙයි. ඒ ඔබ සිතනා දෙය යි. ඔබේ සිතේ පවතින්නේ කුමක්ද,  එය සමග ඔබ බැඳෙයි.

------ 

ඔබේ සෑම සිතුවිල්ලක්ම සැබෑවක්. එනම් බලවේගයක්.

ප්‍රෙන්ටයිස් මුල්ෆෝර්ඞ් (1834 - 1891)

------ 

මෙතෙක් ලොව ජීවත් වූ සියලු ශ්‍රේෂ්ඨයන් පවසා ඇත්තේ විශ්වයේ පවතින මහත් බලසම්පන්නම ධර්මතාව වන්නේ ආකර්ෂණය බවයි.  

විලියම් ශේක්ස්පියර්, රොබට් බ්‍රවුනිංන්ග් සහ විලියම් බ්ලෙක් වැනි කිවියෝ සිය කාව්‍යයන් තුළින් මෙය පෙන්වා තියෙනවා. ලුඩ්විග් වෑන් බීතෝවන් වැනි සංගීතඥයෝ එය සිය සංගීත නිර්මාණයන් තුළින් ඇසෙන්නට සලස්වා තිබෙනවා. ලියනාර්ඩෝ ඩාවින්සි, වැනි සිත්තම්කරුවෝ සිය සිත්තම් තුළින් එය නිරූපණය කොට තිබෙනවා. සොක්‍රටීස්, ප්ලේටෝ, රැල්ෆ් වැල්ඩෝ ඉමර්සන්, පයිතගරස්, සර් ෆ්‍රැන්සිස් බේකන්, සර් අයිසැක් නිව්ටන්, ජොනතන් වොල්ෆැන්ග් වොන් ගෝතේ සහ වික්ටර් හියුගෝ වැනි චින්තකයෝ සිය ලේඛනයන් සහ ඉගැන්නුම් තුළින් මෙය බෙදා හදා ගත්තා. ඔවුනගේ නාමයන් අමරණීයයි. ඔවුන් පිළිබඳ ප්‍රවාදයන් සියවස් ගණනක් තිස්සේ සුරැකී පැවතුණා.     

බුදු දහම, හින්දු දහම, කිතු දහම, යුදෙව් දහම සහ ඉස්ලාමය වැනි ආගම් ද, ඉපැරණි බැබිලෝනියාව සහ ඊජිප්තුව වැනි පැරණි ශිෂ්ටාචාරයන් ද සිය ආගමික ලේඛන තුළින් මෙය ලෝකය හමුවේ තබා තිබෙනවා. අප පසු කොට පැමිණි සියවස් ගණනාවක් මුළුල්ලේ ම ලියැවුණු බොහෝ ලේඛන තුළින් මේ ධර්මතාව ගැන තොරතුරු දකින්නට පුළුවන්. ක්‍රිස්තු පූර්ව 3000 තරම් ඈත කාලයකට අයත් ගල් පුවරුවකින් ද මෙය හමු වී තිබෙනවා. මේ රහස පිළිබඳ සොයා ගන්නට කැමැත්තෙන් සිටින අය වෙනුවෙන් එය මේ .තරම් කාලයක් ආරක්ෂිත ව පැවතුණා.  

මේ ධර්මතාවයේ උපත සිදු වුණේ ලෝකයේ ආරම්භයත් සමගයි. ලෝකය පවතින තාක් කල් ය එසේම පවතීවි.

විශ්වයේ පරිපූර්ණ ක්‍රියාකාරීත්වය,  ජීවිතයේ සියලු අංග සහ ජීවිතයේ ඔබ අත්දකින්නා වූ සෑම දෙයක්ම තීරණය වන්නේ මේ ධර්මතාවයෙන්. ඔබ කවුරුන් වුවත්, ඔබ කොතැනක සිටියත්, ඔබගේ සියලු  අත්දැකීම් හැඩ ගස්වන්නේ ආකර්ෂණ ධර්මතාවයයි. මේ ප්‍රබල ධර්මතාව සෑම දෙයක්ම සිදු කරන්නේ සිතිවිලි ඔස්සේයි. ආකර්ෂණ ධර්මතාව ක්‍රියාවට නංවන්නේ ඔබමයි.  ඔබ එය සිදුකරන්නේ ඔබේ සිතිවිලි තුළින්.

සමස්ත පද්ධතිය රඳා පවතින ශ්‍රේෂ්ඨ සහ නිවැරදිතම ධර්මතාවය මෙයයියනුවෙන් වර්ෂ 1912 දී චාර්ල්ස් හානෙල් මෙය විස්තර කොට තිබෙනවා.

------                

බොබ් ප්‍රොක්ටර්

ඥානවන්ත මිනිස්සු මෙය සෑම විටම දැන සිටියා. පැරණි බැබිලෝනියන්වරුන් දෙසට හැරෙන්න. ඔවුන් සෑම විටම මෙය දැන සිටියා. ඔවුන් කුඩා මිනිස් කණ්ඩායමක්.

පැරණි බැබිලෝනියන්වරුන් සහ ඔවුන්ගේ සෞභාග්‍යමත් වූ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරය පිළිබඳ විද්වතුන් බොහෝ දේ ලියා තිබෙනවා. පැරණි ලෝකයේ පුදුම සතෙන් එකක් වූ බැබිලෝනියාවේ එල්ලෙන උයන නිර්මාණය කරන්නට අවශ්‍ය තාක්ෂණය ඔවුන් දැන සිටියා. විශ්ව ධර්මතාවය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය හා භාවිතය තුළින් ඔවුහු ඉතිහාසයේ සිටි ධනවත්ම ජාතියක් බවට පත් වුණා.

------ 

බොබ් ප්‍රොක්ටර්

ලෝකයේ සමස්ත ධනයෙන් 96%ක්ම උපයා ගනු ලබන්නේ ලෝක ජනගහනයෙන් 1%ක් පමණ පිරිසක්. එය අහම්බයෙන් සිදුවන්නක් යැයි ඔබ සිතනවා විය හැකියි. කෙසේ නමුත් එය සැලසුම් වී ඇත්තේ ඒ ආකාරයටයි. ඔවුන් යමක් තේරුම් ගෙන තිබෙනවා. ඒ ඔවුන් ජීවිතයේ රහස අවබෝධ කොට ගැනීමයි. මේ විස්තරය කියවාගෙන යන ඔබටත් ඒ රහස අවබෝධ කරගන්නට නිසැකවම හැකියාව ලැබේවි.

සිය ජීවිත ධනයෙන් ආඪ්‍ය කරගත් බොහෝ දෙනෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ සඳහා යොදාගෙන තිබුණේ මේ අපූර්ව රහස යි. ඔවුන් සිතුවේ තමන්ගේ අතමිට යහමින් පිරී තිබිය යුතුය යන්න ගැන පමණයි. වෙනත් පරස්පර විරෝධී සිතිවිල්ලකට සිතට පැමිණෙන්නට ඔවුන් ඉඩ දුන්නේ නැහැ. ඔවුන් සෑම විටම සිතුවේ ධනය පිළිබඳව පමණයි. ඔවුන් දැන සිටියේ ද ධනය පිළිබඳ පමණයි. ඔවුන්ගේ සිතෙහි අන් කිසිවක් තිබුණේ නැහැ. ඔවුන් ඒ පිළිබඳ දැනුවත් ව සිටියද, නොදැනුවත්ව සිටිය ද, ඔවුන්ගේ මූලික සිතිවිල්ල වූයේ ධනය යි. ඔවුන් කරා ධනය රැගෙන ආවේ ඒ සිතිවිල්ලයි. ආකර්ෂණ ධර්මතාවය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයටයි.

ජීවිතයේ රහස සහ ආකර්ෂණ ධර්මතාවය ක්‍රියාත්මක වන ආකාරය පෙන්වීම සඳහා කදිම නිදසුනක් මෙසේ සඳහන් කළ හැකියි. බොහෝ ධනය ඇතිව සිට ඒ සියල්ල අහිමිව, පසුව නැවතත් කෙටි කාලයක් තුළ මහත් ධනයක් නැවත උපයාගත් මිනිසුන් පිළිබඳ ඔබ අසා ඇතිවාට සැක නැහැ. මෙවැනි සිදුවීම්වල දී එම පුද්ගලයන් දැනුවත් ව හෝ නොදැනුවත්ව ඔවුන් තුළ තිබුණු ප්‍රධාන සිතිවිල්ල වී ඇත්තේ ධනය පමණයි. ඔවුන් සියලු දේ පසෙක ලා ධනය උපයා ගත්තේ ඒ ආකාරයටයි. ධනය අහිමිවීමේ බියකරු සිතිවිල්ල, සිතට ඇතුළු වන්නට ඔවුන් ඉඩ දුන්නේ නැහැ. ඔවුන්ගේ සිතෙහි ඇති ප්‍රධාන සිතිවිල්ල බවට පත් කර ගත්තේ ධනයයි. ඔවුන් සතුව සියල්ල අහිමිව ගියේ  ධනය පිළිබඳ වූ සිතිවිල්ල පහතට වැටී ධනය අහිමි වීම පිළිබඳ සිතිවිල්ල ඉහළට පැමිණීම නිසයි. සියල්ල අහිමි වූ විට අහිමි වීම පිළිබඳ බය ඔවුන් කෙරෙන් දුරස් වී ගියා. ඉන් පසු ධනය පිළිබඳ ඔවුන්ගේ සිතිවිල්ල නැවත ඉහළට පැමිණියා.  ධනය නැවත ඔවුන් කරා පැමිණියේ මේ නිසයි.

ඔවුන් කවුරුන් වුව ද ආකර්ෂණ ධර්මතාව ඔවුන්ගේ සිතිවිලිවලට ප්‍රතිචාර දැක්වූයේ ඒ ආකාරයටයි.



The Secret 1 වැනි කොටස

The Secret - 3 වැනි කොටස


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න