පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, December 21, 2014

නැන්දණිය හා විවාහ වුණු සිරිලක රජු - වසභ - King Vasabha who married his Aunt

රාධා - ක්‍රිෂ්ණා


සුභ - යස කතාව ගැන අහපු නැති කෙනෙක් නැතිව ඇති. අර දොරටුපාළ සෙල්ලම කරන්න ගිහින් යසලාලක තිස්ස රජතුමාට රජකම නැතිවුණු කතාවත්, දොරටුපාලයෙක් වුණු සුභ රජ වුණු කතාවත් ගැනයි මම මේ කියන්නේ. මෙහෙම රජකම ලබාගත්තු සුභ රජතුමාටත් දෙයියනේ කියල රජකම කරගෙන ඉන්න වුණේ නැහැ. ක්‍රි.ව. 66 දී ඔහුව පරදවා වසභ රජු ලංකාවේ රජකම ගත්තා. මේ වසභ රජතුමා ගැනත් නොකියාම බැරි හරි අපූරු කතාවක් තියෙනවා. 

යම්කිසි දවසක ‛වසභ’ නම් තැනැත්තෙක් තමාව මරා දමා රජකම ලබාගන්නා බවට අද කාලේ වගේම ඒ කාලයේ හිටපු දෛවඥයෙක් අනාගත වාක්‍යයක් කිව්වා. මේක අහපු වෙලාවේ ඉඳන්ම සුභ රජතුමාට හරියට කන්න පුළුවන් වුණෙත් නැහැ. නින්ද ගියෙත් නැහැ. ‛වසභ’ කියලා නම තියෙන හැම කෙනෙක්ම හොය හොයා මරාදමන්න පටන් ගත්තා. 

සුභ රජුගේ සෙන්පතියාගේ බෑණාගේ නම වුණෙත් ‛වසභ’. තමන්ගේ බෑණා වුණත් රජ අණට පිටුපාන්න බැරි නිසා මේ සෙන්පතියා වසභව රජමාලිගාවට කැටිව යන්න තීරණය කළා. වසභ තමාට සිදුවන්නට යන ඉරණම ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. නමුත් සෙන්පතියාගේ බිරිඳ, ‛පොත්ථා’ මේ බව දැන සිටියා. තමන්ගේ බෑණාට සිදුවන්නට යන ඉරණම ගැන ඇයට ඇතිවුණේ කම්පාවක්. වසභව මරණයෙන් ගළවාගන්නට ඇය උපක්‍රමයක් යොදුවා. සිය සැමියාගේ බුලත් විට මල්ල ඇය එදා පිළියෙලකොට දුන්නේ ද්‍රව්‍ය කිහිපයක් අඩුවෙන්. 

උදේම සෙන්පතියා සහ වසභ රජ මාලිගාවට යන්න පිටත් වුණා. අතරමගදි සෙන්පතියා බුලත් විට කන්නට සූදානම් වුණා. බුලත්විට ද්‍රව්‍ය කිහිපයක් අඩු බව ඔහු දැනගත්තේ එවිටයි. එතරම් දුරක් ගමන් කොට නොතිබුණු නිසා බුලත් විටට අවශ්‍ය ඉතිරි ද්‍රව්‍ය ඉක්මණින්ම නිවසට ගොස් රැගෙන එන්නැයි පවසා සෙන්පතියා වසභව යළි නිවසට පිටත් කළා. 

සෙන්පතියාගේ බිරිඳ වන පොත්ථා හෙවත් වසභගේ නැන්දණිය ඔහුගේ මේ පැමිණීම අපෙක්ෂාවෙනුයි සිටියේ. ඇය වසභට සියලු තොරතුරු ඒ අවස්ථාවේදී පවසා සිටියා. වහාම දුර පළාතකට පළාගොස් ජීවිතය බේරාගන්නා ලෙස පවසා ඔහු අතට කහවණු දහසක් ද දුන්නා. 

පළාගිය වසභ මහා විහාරවාසී භික්ෂූණ් වහන්සේලාගේ සහාය ද ලබාගෙන බලවත් වී කැරැල්ලක් ගැසුවා. මෙහිදී ඇතිවුණු ගැටුමෙන් සුභ රජු වගේම රජුගේ සෙන්පතියා හෙවත් වසභගේ මාමණ්ඩිය ද මිය ගියා. අවසානයේ දෛවඥයා පැවසූ පරිදි වසභ රජකමට පැමිණියා.

තමාගේ පණ බේරාගැනීමට උදව් කළ සිය මාමණ්ඩියගේ බිරිඳ වූ පොත්ථා කණවැන්දුම් වුණා. මේ පිළිබඳ සංවේගයක් පහළ කරගත් වසභ රජු ඇයව විවාහ කරගන්නට තීරණය කළා. 

සිය නැන්දණිය විවාහ කරගත් රජකු පිළිබඳ අප රටේ ඉතිහාසයෙන් හමුවන එකම උදාහරණය මෙය බව සැළකෙනවා. මේ අවස්ථාවේදී මෙය සමාන හින්දු දේව කතාවක් ද නොකියාම බැහැ. ඒ තමයි රාධා - ක්‍රිෂ්ණා ප්‍රේම වෘතාන්තය. ඒ කතාව අනුව ක්‍රිෂ්ණාගේ පෙම්වතිය වන රාධා නෑකමට ඔහුගේ නැන්දණිය බව බව තමයි දේව පුරාණයෙන් සොයාගන්නට ලැබෙන තොරතුරුවලට අනුව දැනගන්නට ලැබෙන්නේ.

7 comments:

  1. මොකද නිරංජන්‍ට උදේම මේවා මතක් වුනේ.....

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද? විස්තරයක් හොයා ගත්තා. දැම්මා.

      Delete
  2. නිරංජන් මෙහෙම කතාවක් දැන් තමයි දැනගත්තේ................... ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඒ වගේ කතා තමයි මම හොයලා ලියන්න බැලුවේ.

      Delete
  3. ඕවා මොනවාද? දැනුත් ඉන්නේ ඇන්ටිලා සොයන කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි. බලද්දි ඒ කාලේ මේ කාලේ කියලා වෙනසක් නැහැ.

      Delete
  4. තමන්ට නෑදෑකමින් පුංචි අම්මා වෙන කාන්තාවක් සමග විවාහ වුන දෙසපාලුවෙක් වයඹ පළාතේ ඉන්නවා. කවුරුත් දන්න සුප්‍රසිද්ධ නමක්.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න