පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, February 19, 2015

ලුකානිකොස් - මානව අයිතීන් වෙනුවෙන් දිවි කැප කළ සටන්කාර සුනඛයා - A tribute to Loukanikos, the legendary Greek riot dog



ප්‍රවෘත්තියක් ලෙස මෙහි වටිනාකම පැරණි වුවද මෙහි ඇති කරුණු කිසිවකුට හෝ ප්‍රයෝජනයක් වේ යැයි සිතෙන නිසා මෙය බ්ලොගයේ පළකිරීමට අදහස් කළෙමි.

මානව හිමිකම් පිළිබඳව අපි නිතර කතා කරන්නෙමු. ඒ ලොව උතුම්ම සත්වයා මිනිසා නිසා විය හැකිය. කෙසේ නමුත් මෑත ඉතිහාසය තුළ දී මිනිසාට මෙන්ම සෙසු සතුන්ට ද මේ මිහිතලයේ සම අයිතියක් ඇතැයි සත්ව හිමිකම් සංවිධාන විසින් මහත් ප්‍රයත්නයකින් යුක්තව ඒත්තු ගැන්වීමෙන් පසු දියුණු ලෝකය සත්ව හිමිකම් පිළිබඳව ද කතා බහ කරනු දක්නට හැකි විය. කෙසේ නමුත් මානව හිමිකම් වෙනුවෙන් මෙන්ම සත්ව හිමිකම් වෙනුවෙන් ද වීදි බැස උද්ඝෝෂණය කළ යුතු එකම සත්වයා මිනිසා පමණක් විය. සතුන් කිසිදා තම හිමිකම් වෙනුවෙන් වීදි බැස උද්ඝෝෂණය කරනු අප අසා නැත. නමුත් මානව හිමිකම් වෙනුවෙන් වීදි බැස මිනිසුන්ගේ සටනට උරදෙමින් ඉමහත් කැපවීමක් කළ, මුල් පෙළේ වීදි සටන් ප්‍රමුඛයෙකු වූ සුනඛ වීරයකු පිළිබඳව සඳහන් කළහොත් එම පුවතෙහි ඇත්තේ කිසියම් අපූර්වත්වයකි.

අධික රාජ්‍ය ණය බර පියවා ගැනීම පිණිස ග්‍රීක රජය ක්‍රියාත්මක කළ අසාධාරණ ආර්ථික ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය රට මත පැනවූ විවිධ නියමයන්ට එරෙහිව 2010 මැයි මාසයේදී එරට සාමාන්‍ය ජනතාව වීදි බසින්නට වූහ. මෙය වැඩි දිනක් ගතවන්නට පෙර මහා ජනතා රැල්ලක් බවට පත්විය. මේ පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ පුවත් පළවෙද්දී බොහෝ ඡායාරූප හා වීඩියෝ දර්ශනවල මේ උද්ඝෝෂණ මධ්‍යයේ නිතර දක්නට නොලැබෙන අමුතු ආකාරයේ සටන්කරුවකු ද සිටින බැව් පෙනෙන්නට තිබිණි. වැඩි දවසක් ගතවන්නට මත්තෙන් ජාත්‍යන්තර මාධ්‍ය මෙම ජනතා නැගී සිටීම පිළිබඳව පමණක් නොව උද්ඝෝෂකයන් මධ්‍යයේ සිටි මේ අමුත්තා හෙවත් සුනඛ සටන්කරුවා පිළිබඳව ද කතා බහ කරන්නට පටන්ගත්හ. මේ සුනඛයා සාමාන්‍ය ජනතාවගේ අරගල මර්දනයට පැමිණි පොලීසියට එරෙහිව දැඩිව සටන් වදිනු දක්නට හැකිවිය.



සැබැවින්ම මේ සුනඛයා කවරෙක්ද?

ඌ නමින් ලුකානිකොස්’ (Loukanikos) ය. මේ සුනඛයා  කුලවත්සුනඛ වංශිකයෙක් ද නොවේ. අප රටේ ව්‍යවහාරයට අනුව කිවහොත් නිකම්ම නිකම්ගම් බල්ලෙකි.  උපතේ සිටම මධ්‍යම ඇතන්ස් නගරයේ වීදි අතර අයාලේ ඇවිදිමින් සිටි මේ සුනඛයාට අරගලකරුවන් තැබූ නම වූයේ නිකිෆොරොස්ය. ජයග්‍රහණය රැගෙන එන්නායන්න එහි අරුත විය. තවත් පිරිසක් කැනෙලොස්නමින් ද ඌ හඳුන්වන්නට වූහ. ඒ 2008 වසරේ දී මිය ගිය තවත් සුනඛ උද්ඝෝෂකයකු සිහිවනු පිණිසය. නමුත් වඩාත් ප්‍රචලිත වූයේ මෙහි මුලින්ම සඳහන් කළ ලුකානිකොස් යන නමය. සොසේජස් කරලයන්න එහි අරුත විය. බොහෝ මාධ්‍යවල ලුකානිකොස් පිළිබඳව සඳහන්ව තිබුණේ  වැලි පැහැති සුනඛයාලෙසිනි.
ඇතන්ස් නුවර පැවැති මහජන උද්ඝෝෂණ අතරතුර මිනිසුන් සමඟ පෙරමුණේ සිටි ලුකානිකොස් ජාත්‍යන්තර මාධ්‍යයේ නිතර වාර්තා වුණු චරිතයක් විය. පොලීසිය විසින් උද්ඝෝෂකයන් වෙත එල්ල කළ දරුණු ප්‍රහාර අතරවාරයන්හිදී පවා මිනිසුන් අතැර නොයමින් මහත් ධෛර්යයයෙන් යුක්තව සටන් කරන ලුකානිකොස්ගේ රුව ලෝකයාට දැකගන්නට හැකිවිය. සිය උද්ඝෝෂක සඟයන්ගේ සැබෑ සතුරා වන පොලීසිය පැහැදිලිව හඳුනාගෙන ඔවුනට එරෙහිව තර්ජනාත්මක විරෝධය පාන්නට ලුකානිකොස් කිසිදු විටෙක පසුබට වූයේ නැත. උද්ඝෝෂකයන් ද සිය සුනඛ සගයා පිළිබඳ නිරන්තර සැළකිල්ලක් දක්වනු පෙනෙන්නට තිබිණි. බීබීසී, සීඑන්එන්, අල් ජසීරා සහ තවත් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍යවල සුලබ මාතෘකාවක් වූයේ ලුකානිකොස් ය. ජාත්‍යන්තර ටයිම්සඟරාව 2011 වසරේ ලොව ප්‍රබලතම පුද්ගලයන් 100 දෙනා අතරට ලුකානිකොස්ව ද තෝරාගෙන තිබිණි. ලුකානිකොස් වෙනුවෙන් ෆේස්බුක් පිටුවක් ඇති අතර මේ ලිපිය ලියන මොහොත වන විට එයට ලයික්හෙවත් කැමැත්ත පළ කරන අවස්ථා 48,436ක් ලැබී තිබිණි.


උද්ඝෝෂණ අතරතුරේ පොලීසියට එරෙහිව අරගල කරනවාට අමතරව ලුකානිකොස් කළ තවත් සුවිශේෂීතම මෙහෙවරක් වූයේ පොලීසිය විසින් උද්ඝෝෂකයන්ට එරෙහිව එල්ල කරනු ලබන කඳුළු ගෑස් බෝම්බ සිය මුවින් ඩැහැගෙන ගොස් වෙනත් තැනකට දැමීමය. මේ නිසා ඌ කඳුළු ගෑස් හා වෙනත් විෂ වායුවලට බෙහෙවින් නිරාවරණය වි තිබිණි. ඇතැම් උද්ඝේෂණ අවස්ථාවලදී ලුකානිකොස්ගේ දෑස් ජලයෙන් පොඟවා සෝදා දමන්නට ද උද්ඝෝෂකයන් ක්‍රියාකරනු දක්නට හැකිවිය.



කාලයක් තිස්සේ මෙසේ කඳුළු ගෑස්වලට නිරාවරණය වීම හා පොලීසියෙන්  එල්ල වූ දරුණු පාපහරවල් නිසා නිසා ලුකානිකොස් නිතර අසනීප විය. කෙසේ මුත් ඌ 2012 වසර දක්වාම අඛණ්ඩව විවිධ උද්ඝෝෂණ සඳහා සක්‍රියව දායක වනු දක්නට ලැබිණ. නමුත් අසනීප තත්වය පිළිබඳ සළකා බැලූ ලුකානිකොස්ට ආදරය කරන්නෝ ඌ එක් පවුලක රැකවරණයට පත්කරන්නට අදහස් කළහ. මේ අයුරින් ඌ නම හෙළිකරන්නට අකැමැති පවුලක සාමාජිකයන්ගේ රැකවරණයෙහි ජීවත්වන්නට පටන් ගත්තේය. සාමාන්‍යයෙන් සුනඛයකු වසර පහළොවක් පමණ ජීවත් වුව ද ලුකානිකොස්ගේ දුර්වල සෞඛ්‍ය තත්වය නිසා ඌට එතරම් කාලයක් මිනිසුන් අතර රැඳී සිටින්නට වරම් ලැබුණේ නැත. 2014 ඔක්තෝබර් 9 වැනිදා සිය අවසන් සමයේ ස්වාමියාගේ උකුළෙහිම ලුකානිකොස් අවසන් හුස්ම හෙළූ බැව් ප්‍රවෘත්ති ඔස්සේ ප්‍රචාරය විණි. ඒ වන විට ලුකානිකොස් දස හැවිරිදි වියෙහි පසුවිය.

මේ පුවතින් ඉමහත් සංවේගයට පත් ලුකානිකොස්ට ආදරය කළ දහස් ගණනක් දෙනා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිය ශෝකය ලියා තබන්නට උත්සුක වූහ.


ලුකානිකොස් වීර සුනඛයාගේ සිරුර ග්‍රීසියේ ඇතන්ස්හි කඳු ගැටයක් මත ගසක සෙවණේ මිහිදන් කරනු ලැබිණි. ලුකානිකොස් උද්ඝෝෂණය කළේ තමාට කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නොවේ. ඒ වසර දහස් ගණනක් තිස්සේ මිනිසා හා සුනඛයා අතර පවතින ශුද්ධ වූ මිත්‍රත්වයේ නාමයෙනි. මිනිසුන් අතරෙහි වූ සිය මිතුරන් හා සතුරන් හඳුනාගන්නට ලුකානිකොස්ට අපූරු ඉවක් තිබිණි. අතීතයේ ද මිනිසුන් වෙනුවෙන් මෙවැනි කැපකිරීම් කළ උදාර සුනඛයෝ සිටියහ. අනාගතයේද බිහිවනු ඇත. එසේ බිහිවන සුනඛයන් අතර ගම්බද පෙළපතට අයත් සාමාන්‍ය සුනඛයෝ ද ඕනෑ තරම් සිටිය හැක. ඒ කෙසේ හෝ ලොව දියුණු මිනිසුන් සත්ව අයිතීන් වෙනුවෙන් කතා කරන්නට පෙළඹෙන යුගයක මානව අයිතීන් වෙනුවෙන් උදාර මෙහෙවරක් කොට තම දිවිය ද කැප කළ  ලුකානිකොස් පිළිබඳ මතකය මිනිස් හදවත් තුළ සදානුස්මරණීය වනු නිසැකය. 



4 comments:

  1. මං මීට කලිං ලුකො ගැන අහල තිෙයනව.... ඒත් ටයිම් සගරාවෙ කතාවයි ලුකො මැරුණයි කියල නං දැනං උන්ෙන නෑ

    ReplyDelete
    Replies
    1. එහෙනම් පරණ සිද්ධියක් වුණත් මේකට ලිව්වා කියලා ප්‍රයෝජනයක් නැත්තේම නැහැ වගේ.

      Delete
  2. හෙට අනිද්දා ලංකාවට අාවානම් තවත් වැඩ හෝ ගාලා තියේවි....... ෂුවර් වසරේ පුද්ගලයා (අා...... නෑ බල්ලා) වුණ හැකියි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක ඇත්ත. ඒක ඇත්ත.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න