පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, July 23, 2021

ගැමුණු අයියේ, ඔබට සුබ ගමන්


ගැමුණු අයියා සදහටම අපෙන් සමුඅරන් බව මම දැනගත්තේ මගේ මිතුරකු වන නදුන් (නදුන් අමන්ද මනමේන්ද්‍රආරච්චි) ගෙන්. ඒ දැනගත්තු මොහොතේ මගේ හිත අවුරුදු ගණනාවක් ආපස්සට දුවගෙන ගියා. අවුරුදු ගණනාවක්, හරියටම කිව්වොත් අවුරුදු 29 ක්. 


මම ඔහුව අඳුනගත්තේ 1992 අවුරුද්දේ. සුමති පුවත්පත් ප්‍රධාන කර්තෘ බන්දුල පද්මකුමාර මහත්මයා අලුතින් පටන් ගන්න පත්තරේකට (ඒ අවුරුද්දේ අන්තිමට පටන් ගත්තු සමුදුර. ඒ ගැන මම දැනට කාලයකට කලින් ලියපු පෝස්ට් එකක් මෙතනින් බලන්න පුළුවන්) අලුත් අය ගන්නවා කියන ආරංචියට ගිය වෙලාවේ, මම සුමති එකේම නතර වුණා. 


සමුදුර පටන් ගන්න කල් මම ‘අරලිය’ පත්තරේට ලිව්වා. ඒක යොවුන් කාන්තා පත්තරයක්. එහි කර්තෘ වුණේ ප්‍රදීප්කුමාර බාලසූරිය. නිදහස් මාධ්‍යවේදීන් විදියට පත්තරේට ලියන අය නිතර ඇවිත් යනවා. මේ යන එන අය කෙනෙක් ප්‍රදීප් අයියාට ලිපි ගෙනැත් දෙනවා. ප්‍රථමාධාර ලිපි පෙළක් සහ විදෙස් කතාව අරන් එන උස මහත කෙනෙක් මම නිතර දැක්කා. ඒ තමයි ගැමුණු රත්නායක. වැඩි දවසක් යන්න කලින් ඔහු ‘ගැමුණු අයියා’ බවට පත් වුණා. පාසලෙන් ඉවත් වුණු අලුත පත්තරේ වැඩට ආපු මට පරිවර්තන කටයුතු ගැන මහ ලොකු දැනුමක් තිබුණේ නැහැ. කොහොම වුනත් මමත් අරලියට විදෙස් කතා ලියන්න පටන් ගත්තා. මට වඩා ජ්‍යෙෂ්ඨයකු ලියමින් සිටි විශේෂාංගයක් මැදට හාල්මැස්සෙක් වගේ මම පැන්නාම සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨයන්ට තරහ ගියත් ගැමුණු අයියා කළේ මගේ තියෙන අඩුපාඩු පෙන්නලා දෙමින් ඒවා නිවැරදි කරගන්න උදව් කරපු එක.


මෙහෙම ඉන්නකොට 1991 අවුරුද්දේ අග ‘සමුදුර’ පටන් ගත්තා. මම එහි ස්ථිර කාර්ය මණ්ඩලයට සම්බන්ධ වුණා. ගැමුණු අයියා ‘සමුදුරේ’ ද ස්ථිර ලේඛකයෙක් වුණා.


මෙහෙම කාලය ගෙවිලා ගිහින් 1994 දී ‘ලක්බිම’ පටන් ගත්තා. මම සරසවියට යන්න ඕනෑ නිසා ස්ථිර කාර්ය මණ්ඩලයෙන් ඉවත්වෙලා නිදහස් ලේඛකයෙක් විදියට පත්තරවලට ලියන්න පටන් ගත්තා. ගැමුණු අයියා ස්ථිර සාමාජිකයෙක් විදියට ‘ලක්බිමට’ සම්බන්ධ වුණා.


කාලයක් පත්තරවලට ලියන එකේ ඈත්වෙලා සිටි මම නැවත 2013 දි විතර නැවත ලියන්න පටන් ගත්තා. ඒ අතරේ තමයි දවසක් මට දුරකතන ඇමතුමක් ආවේ.


“මචං මම ගැමුණු. ලක්බිමේ රිද්ම එක කරන්නේ දැන් මම. මොනව හරි ලියපංකෝ මේකට.”


එහෙම තමයි කිව්වේ. ඊට පස්සේ මම රිද්මට ලියන්න පටන් ගත්තා. 


ගැමුණු අයියා ඊට පස්සේ ‘මව්බිම’ට ගියා. මම දිගටම ‘ලක්බිම’ට ලිව්වා. හිතවත්කම ඈත් නොවුනත් නිතර කෙරෙන කතාබහ අඩු වෙලා ගියා.


සෑහෙන කාලෙකින් ඔහු ගැන තොරතුරක් ආරංචි වුණේ නැහැ. නදුන් අද කියද්දි තමයි දැනගත්තේ ගැමුණු අයියා අවුරුද්දක් විතර පිළිකාවකින් දුක් වින්ද බව.


ජීවිතේ හැටි එහෙමයි.


හිතවත්තු වෙන්වෙනවා. 


ප්‍රියයයන්ගෙන් වෙන්වීම දුකක්. ඒත් එක වළක්වන්න බැහැ.


ඉතින් ගැමුණු අයියේ, ඔබට සුබ ගමන්.


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න