පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, May 25, 2013

Cha Chun Soo in Dong Yi - අභීත දියණි හි චෙන් සෝ


කොරියානු ටෙලි නාට්‍යයක් වන ‛දොංග් යි’ හෙවත් ‛අභීත දියණී’ මේ වන විට අප රටේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති බැව් රහසක් නොවේ. කොරියානු නාට්‍ය ජනප්‍රිය වීමේ වාසනාව මෙයට ද යහමින් ලැබී ඇති බැව් පෙනේ. නාට්‍යයක් හෝ චිත්‍රපටයක් ජනප්‍රියත්වයට පත්වෙමින් පවතින විට එහි පෙනී සිටින නළු නිළියන් පිළිබඳ විස්තර සොයා බලන්නට ප්‍රේක්ෂකයන් තුළ ඇතිවන්නේ ද නොමද කැමැත්තකි. ඒ නිසාම අප විටින් විට මෙහි ප්‍රධාන  චරිත පිළිබඳ අලුත්ම තොරතුරු ඉදිරිපත් කළෙමු. නාට්‍යය කෙරෙහි ප්‍රේක්ෂකයන් තව තවත් ආකර්ෂණය වන විට ඔවුහු මෙහි සෙසු චරිත පිළිබඳව සොයා බලන්නට ද කැමැත්තකින් පසුවන බැව් පෙනේ. ප්‍රධාන චරිත නොවූවද නාට්‍යය ඉදිරියට ගෙන යන්නට මෙවැනි චරිතවලින් ලැබෙන පිටිවහල විශාල නිසා ප්‍රෙක්ෂකයෝ එවැනි චරිතවලට ද කැමැත්තකින් පසුවෙති. එබැවින් අද අපි ඉදිරිපත් කරන්නට සැරසෙන්නේ ද ප්‍රේක්ෂක ආදරය දිනාගත් සෙසු චරිතයක් පිළිබඳව හා ඔහු සමග අන්තර්ජාලය ඔස්සේ කරන ලද කෙටි පිළිසඳරකි.
‛අභීත දියණි’ ඔබගේ ද ජනප්‍රිය ටෙලිනාට්‍යක් නම් එහි ඔබ දකින චා චුන්-සූ චරිතය ඔබට මතක ඇතිවාට සැකයක් නැත. මේ චරිතය නිරූපණය කරන්නේ ‛බේ සූ බින්’ ය. ඔහු කොරියාවේ මෙන්ම චීනයේ හා ජපානයේ ද එකසේ ජනප්‍රිය තරුවකි. සියල්ලට පෙර අපි මුළින්ම මේ චරිතයේ ඓතිහාසික පසුබිම පිළිබඳව මඳක් කතාකරමු.
‛අභීත දියණි’ ටෙලි නාට්‍යයයේ බේ සූ බින් නිරූපනය කරනා චා චුන්-සූ යනු ගුමාගී නම් රහස් අසිපත් සංවිධානයක නායකයෙකි. දහවල් කාලයේ දී රජවාසලේ නිල මළසිරුරු පරීක්ෂතවරයා වන ඔහු රාත්‍රී කාලයේදී සිදුකරනු ලබන්නේ දූෂණ වංචා සිදුකරනා රාජය නිලධාරීන්ට මරණය පත්කොට සමාජය පවිත්‍රකිරීමය. ඔහු කුලයෙන් ඉතා පහත් තත්වයක සිටිය ද කඩු ශිල්පය අතින් පරතෙරටම ගිය අයෙකි. මෙම ගුමාගී නම් රහස් සංවිධානය ආරම්භ කරනු ලබන්නේ දොංග් යි හේ පියා වන අතර, ඔහු චා චුන්-සූ ව දැඩිව විශ්වාස කළ බැවින්, ඔහු ලාබාල වුවත් එම සංවිධානයේ නායකත්වයට පත්කරයි. ඔහු දොංග් යි ගේ සොයුරාගේ සමීතම මිතුරකු ද විය. දොංග් යි ගේ පියා සහ සොයුරා මරණයට පත්වන අවස්ථාවේ දී දොංග් යි ගේ ආරක්ෂාව භාර දෙන්නේ චා චුන්සූ ටය. ඔහු එය නොපිරිහෙළා ඉටුකරන අතර කිසිදා ඉටුකරගත නොහැකි වුව ද ඔහු දොංග් යි ට ආදරය කරන්නට ද පටන්ගනී. ඔහු සිය මුළු ජීවිත කාලය මුළුල්ලේම ඇයට ආදරය කරයි.
අභීත දියණියහි මෙම රහස් සටන්කරුවාගේ චරිතය ඔබ හමුවට ගෙන එන බේ සූ-බින් 1976 දෙසැම්බර් 9 වැනිදා ධනු ලග්නයෙන් උපත ලද්දෙකි. වෘත්තියෙන් නළුවෙකි. ප්‍රෙක්ෂකයන් ඔහුව සනී බේ යන ආදර නාමයෙන් ද හඳුන්වනු ලබයි. ඔහු තමා රංගනයෙන් දායක වූ ‛බ්‍රිලියන්ට් ලෙගසි’, ‛ටෙම්ප්ටේෂන් ඔෆ් ඒන්ජල්’, සහ ‛ඩොන්ග් යි’ හෙවත් අප දන්නා පරිදි ‛අභීත දියණි’ හි චරිත නිරූපනය කිරීමෙන් ජනප්‍රිය නළුවෙක් බවට පත්විය. ඔහු ටෙලිනාට්‍යවලට අමතරව ‛ද වේ-මන් ඔෆ් ද වයිට් පෝර්සිලේන්’, ‛ට්වෙන්ට් සික්ස් යියර්ස්’ සහ ‛මායි රටීමා’ යන සිනමාපටවලට ද රංගනයෙන් දායකවී තිබේ.
ටෙලිනාට්‍යය හා චිත්‍රපට හැරුණු විට ඔහු වේදිකා නාට්‍යවලද පෙනී සිට ඇති අතර සම්මාන ද කිහිපයක්ම ලබාගැනීමට සමත්විය.

බේ සූ-බින්  සමග අන්තර්ජාලය ඔස්සේ අපි කතා කළෙමු.

ඔබ මෙතෙක් කරන ලද සියල්ලම  පාහේ ඉතා ඥානවන්ත හා බුද්ධිය හොඳින් මෙහෙයවන පුද්ගලයන් පිළිබඳ චරිතයි. ශ්‍රී ලංකාවේ දැනට විකාශන වන දොන්ග් යි (අභීත දියණී) හි ඔබ නිරූපනය කරන්නේ දක්ෂ කඩු ශිල්පියකුගේ චරිතයක්. අනෙක් නාට්‍ය අප දැක නැතත් ඒවායේ තොරතුරු අන්තර්ජාලයෙන් දැක තිබෙනවා. ඔබ් මේවා හිතාමතාම තෝරාගත් ඒවාද?
නැහැ කොහෙත්ම නැහැ. මේ සියලු චරිත මට ලැබුණු ඒවායි. ඇත්තම කිව්වොත් මට දැන් මේ එකම විදියේ චරිතවල රඟපෑම එපාවෙලා තියෙන්නේ.
අන්තර්ජාලයේ විවිධ තැන්වල පළවී තිබුණු තොරතුරු අනුව ඔබට ගෙවුණු වසර සෑහෙන කාර්යබහුල කාලයක්. ඒ කියන්නේ ඔබ එක දිගට රංගන කටයුතුවල නිරතවී ඇති බවයි. ඔබ ඉවක්බවක් නැතිව හැම චරිතයම භාරගන්නා බවයි තැනින් තැනින් ආරංචි වන්නේ. මේ ගැන ඔබ පවසන්නේ කුමක්ද?
මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නට නම් අපට ලැබෙන හැම චරිතයම වාගේ රඟ පෑ යුතුයි. සොයා බලන්නට අවශ්‍යකරන්නේ ඒවා අයහපත් ඒවා ද කියාය. චරිතයේ ගැටළුවක් නැත්නම් රඟපෑමේ ද ගැටළුවක් නැහැ. ඇත්තේනම් පසුගිය වසර මට බොහෝ අත්දැකීම් ලබාදුන් වසරක්. මට උපරිම වශයෙන්  කළ හැක්කේ කුමක්ද යන්න අවබෝධ කරගන්නට මට අවශ්‍යයි. ඒ වෙනුවෙන් මම හැකිතාක් චරිත නිරූපනය කළ යුතුයි. හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. රසිකයින් ඒවාට ඇලුම්කරන්නේ එක් එක් මට්ටමින්. ඒත ඇත්තම කියනවා නම් මට සතුට ලැබෙන විදියේ චරිතයක් තවමත් ලැබී නැහැ.
ඉවක්බවක් නැතිව චරිත තෝරාගැනීමෙන් ඔබ මේ ක්ෂේත්‍රය තුළ අතරමංවේ යැයි සිතෙන්නේ නැද්ද?
මම හිතන්නේ ඇයි මම මේ වෘත්තියේම යෙදී ඉන්නේ කියලයි. ඒ වෙනුවෙන් මම කළ යුත්තේ කුමක්ද කියලත් මම හිතුවා. ඉතිං මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න නම් හැකිතාක් රඟපෑම හැර වෙන දෙයක් ඉතිරිවෙලා නැහැ. ඇත්තටම මට ඕන මේ රැල්ලත් එක්ක ඉදිරියට යන්න මිසක් එයට එරෙහිවන්නට නොවෙයි.
ඔබ චරිත තෝරාගැනීමේදී යම්කිසි මිණුම් දණ්ඩක් අනුගමනය කරනවාද?
මම හිතන්නේ මෙච්චරයි. මම ඒ චරිතය කළොත් ඒක කොහොම එකක් වෙයි ද කියලා විතරයි. මම මගේ චරිතය අවබෝධකර ගන්නට උත්සාහ ගන්නවා. මම මෙතෙක් රඟපෑ කැමතිම චරිතය විදියට දකින්නේ ‛බ්‍රිලියන්ට් ලෙගසි’ හි ජෙන්-සේ ගේ චරිතයයි.
ඔබ මිනිසුන් අතර ගැවසෙන්න කැමතිද? ඔබ කැමත් අනෙක් දේවල් මොනවද?
මම කැමති තනිව ඉන්නත් කැමතියි. ඒත් මිනිසුන් අතර සිටීමෙන් මම ලොකු සතුටක් ලබනවා. මිතුරන් ඇතිකරගන්නටත් මගේ ලොකු කැමැතතක් තියෙනවා. සංගීතයටත් මම ඉතා කැමතියි.

ඉතිහාස කතාවට අනුව දොංග් යි ගේ ආරක්ෂාව ඇගේ පියා සහ සොහොයුරා භාර දෙන්නේ චා චුන්-සූ ටය. ඔහු පසුකාලයේ දොංග් යි ට ආදරය කරන්නට පටන්ගනී. නමුත් එය සපලවන ආදරයක් නොවේ. එයට හේතුව සුක්ජොන්ග් රජු දොංග් යිට ආදරය කොට ඇය සිය අන්තඃපුරයට එක්කරගන්නා බැවිනි. නමුත් හැන් බේ සුන් බී සිය ජීවිත තාලය පුරාම දොංග් යි ට ආදරය කරයි. මෑතකදී එක් සඟරාවක් වෙනුවෙන් ‛ලව් ඇක්චුවලි’ නමින් කළ ඡායාරූප පෙළ සඳහා පෙම්වතුන් ලෙස චා චුන්-සූ ට පණ දුන් බේ සූ බින් සහ දොංග් යි ට පණ දුන් හැන් හ්යෝ ජූ පෙනී සිටියහ. මාධ්‍ය මගින් මෙය හඳුන්වාදුන්නේ ඉතිහාසය පුරා එක්වන්නට නොහැකි වූ පෙම්වතුන් එක්කළ අවස්ථාවක් ලෙසිනි.
දොංග් යි ගේ කතාව, එසේත් නැත්නම් අභීත දියණි ජපානයේද අතිශය ජනාදරයට පත්වූ ටෙලි නාට්‍යයකි. එය එතරම් ජනප්‍රිය වන්නට හේතු වූයේ ජපානය තුළ මෙම ටෙලි නාට්‍යය පිළිබඳ ප්‍රචාරණ වැඩසටහන් බෙහෝමයක් දියක් කෙරුණු නිසාය. මෙම ප්‍රචාරණ වැඩසටහන් සියල්ලට පෙම්වතුන් යුවලක් ලෙසින් එක්ව සිටියේ බේ සූ බින් සහ දොංග් යි ලෙස පෙනී සිටිනා හැන් හ්යෝ ජූ ය. ඔවුන් නිතර නිතර යුවලක් ලෙස සිටිනා බැව් මාධ්‍ය මගින් හා දූෂමාන ආරංචි පතුරුවන වෙබ් අඩවිවගද කිහිපවරක් පළවී තිබිණි.
වසර 8ක් පුරා තමන් ආදරය කළ පෙම්වතිය තමා අතහැර ගිය බවයි ඔහු එක් අවස්ථාවකදී මාධ්‍යයකට පවසා තිබිණි. තමාට වසර දෙකක් පමණ ලාබාල වියෙහි ඇය පසුවන බව පමණක් ප්‍රකාශ කළ ඔහු ඇයගේ නම හෙළිකිරීමෙන් වැළකී සිටියේය. එහෙත් ඇය ව්‍යාපාරික කාන්තාවක බව පමණක් ඔහු පවසා තිබිණි. තමාගේ වෘත්තිය අතිශය කාර්යබහුල් නිසා සිය පෙම්වතිය හමුවන්නට යාම නිතර අතපසුවීම ඔහුත් ඇයත් අතර දුරස්බවක් ඇති කරන්නට හේතු වූ බව ඔහු පවසයි. අනෙක් අතට ඇගේ ව්‍යාපාරික වැඩකටයුතු නිසා ඇයද කාර්ය බහුල තත්වයක පසුවූ බව ඔහු මාධ්‍යයට පවසා තිබිණි.    අවසානයේ සිදුවූයේ ආදරය අහිමිවීම පමණක් යැයි ඔහු ප්‍රකාශ කර සිටියේය. ඔහු තවමත් ඒ පිළිබඳ පසුවන්නේ දැඩි සෝකයකින් බවත් පවසා තිබිණි.
මෑතකදී රඟපෑ ‛ෂයිනින්ග් ඉන්හෙරිටනස්’ නම් රූපවාහිනි මාළා නාටකය නිසා බේ සූ බින් අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති බැව් පෙනේ. එබැවින් ඔහු පිළිබඳ මාධ්‍ය නිතර ඇස ගසාගෙන සිටී. මේ නිසාම ඔහු පිළිබඳ රසවත් පුවතක් මාධ්‍යවලට හසුවිය.
ඔහු දිනක් සිය මිතුරන් කිහිප දෙනෙකු සමඟ මුහුදු වෙරළට පැමිණි අවස්ථාවක බීමතින් සිටි කාන්තාවක් පැමිණ ඔහුව සිපගෙන තිබේ. සිපගන්නා අතරේ ඇය පවසා ඇත්තේ ‛ෂයිනින් ඉන්හෙරිටන්ස්’ කියාය.  මේ සිදුවීමෙන් ඔහු අපහසුතාවයකට පත්වුවත් පසුව ඔහු පැවසූයේ මත්පැන් පානය කොට සිහිය තරමක් විකල්ව ගිය අයෙකුට පවා තමාව හඳුනාගැනීමට හැකිවීම ගැන තමා ඉතාමත් සතුටට පත්වන බවයි.
ඔහුගේ රංගන කෞශල්‍යය වෙනුවෙන් ඔහු කොරියාවේදී මෙන් වෙනත් රටවල ද පැවැත්වූ සම්මාන උළෙලවලදී ඔහු සම්මාන කිහිපයක්ම දිනාගන්නට ද සමත්විය.






1 comment:

  1. Actually good explanation ! I've been searching cha chun soo 's real history in the mean ttime i found this article ! Thank you 👍

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න