පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, May 16, 2013

History has closed door to Dong Yi - සැබෑ දොන්ග් යී බිසවගේ තතු ඉතිහාසයෙන් සඟවා තබලා



අභීත දියණි’ය මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ටෙලි නාට්‍යයක් ලෙස ශීඝ්‍රයෙන් ඉදිරියට එමින් පවතී. මෙය බොහෝ දෙනෙක් ඉතා කැමැත්තෙන් නරඹන ටෙලි නාට්‍යය වුවද ඇතැමුන් අසන්නේ සැබැවින්ම මෙම චරිත කොරියානු ඉතිහාසයේ මෙලෙසම ජීවත්ව තිබේද යන්නය. එහිදී එය සත්‍ය පුරාවෘත්තයක් ඇසුරින් නිපදවූ එකක් බව හා එහි කතානායක සුක්ජොන්ග් රජුගේත් දොන්ග් යී බිසවගේත් සොහොන් ස්මාරක අද පවා දක්නට ඇතැයි අප කීවොත් ඔබට එය විශ්වාස කළ හැකිද ? විශේෂයෙන් සුක්ජොන්ග් වැනි රජවරුන් පිළිබඳව කොරියානු ඉතිහාස ‍පොත්වල බොහෝ තොරතුරු ලියැවී තිබේ. නමුත් දොන්ග් යී වැනි රජුගේ අන්තඃපුර බිසෝවරුන් පිළිබඳ මෙසේ ඉතිහාසයේ ලියැවී තිබේද ? ලියැවී ඇත්නම් ඒවා කෙතරම් දුරට සත්‍යය ද මේ සත්‍ය ඉතිහාස කරුණු ටෙලි නාට්‍යය සමග කෙතරම් සැසඳේද වැනි කරුණු බොහෝ දෙනෙකුට ගැටලුවක් වී තිබේ. විශේෂයෙන් මෙම ටෙලි නාට්‍යයේ අප දකින ප්‍රධාන චරිතය වූ දොන්ග් යි පිළිබඳ සැබෑ ඓතිහාසික තොරතුරු මොනවාදැයි බොහෝ අය විමසති. 

ඓතිහාසික ප්‍රවෘත්තිය අනුව දොන්ග් යී මුලින්ම රජ මැදුරට පැමිණෙන්නේ ජලය ගෙන එන සේවිකාවක ලෙසිනි. ඇය සේවය කරන්නේ ඉන්හියොන් බිසවටය. එක් දිනක් ඇය ඉන්හියොන් බිසවගේ කුටියේ සිට ඇයට නිරෝගී සුව පතමින් ප්‍රාර්ථනාවක් කරන හඬ එතැනින් ගමන් කරමින් සිටිනා සුක්ජොන්ග් රජුට හදිසියේම වාගේ ඇසෙයි. දොන්ග් යී ගේ මෙම කරුණාවන්ත, දයාවන්ත බව පිළිබඳ රජුගේ සිත පැහැදෙයි.
වර්ෂ 1693, එනම් සුක්ජොන්ග් රජුගේ රාජ්‍ය කාලයෙන් දහනව වැනි වසරේ සිව්වැනි චන්ද්‍ර මාසයේදී ඇය සුක්ජොන්ග් රජුගේ අන්තඃපුරයට එක් වෙයි. ඒ අන්තඃපුර බිසෝවරු අතරින් සුක්-වොන් නමින් හැඳින්වෙන සිව්වැනි ස්ථානයට පත්කරමිනි. වර්ෂ 1694, එනම් සුක්ජොන්ග් රජුගේ විසි වැනි රාජ්‍ය වර්ෂයේදී දොන්ග් යී සු-යි යන ස්ථානයට උසස්වීමක් ලබයි. සු-යි යනු අන්තඃපුර බිසෝවරු අතරින් දෙවැනි තැනය. ඒ පසුකාලයේ යිඔන්ග්ජෝ ලෙසින් රජවන යිවොනින්ග් කුමරු ඉපදීමෙන් පසුවය.

වර්ෂ 1695 දී ඇයව නැවත ග්වි-ඉන් තත්ත්වයට උසස් කරනු ලබයි. මෙනමින් හැඳින්වෙන්නේ අන්තඃපුර බිසෝවරුන් අතරින් පළමු ශ්‍රේණියේ දෙවැනි ස්ථානයයි. 1699 දී ඇය බින් තත්ත්වයට උසස් කරනු ලබයි. එනම් අන්තඃපුර බිසෝවරුන් අතරින් පළමු ශ්‍රේණියේ පළමු ස්ථානයයි. මෙහිදී ඇයට ‘සුක්’ යන ගෞරව නාමයද පුද කරයි. අර්ථය ‘පිවිතුරු’ යන්නය. ඇය 1718 වසරේ, එනම් සුක්ජොන්ග් රජුගේ රාජ්‍ය වර්ෂයෙන් 44 වැනි වසරේ තෙවැනි චන්ද්‍ර මාසයේ නවවැනි දින මෙලොව හැර යයි. මරණින් පසු ඇයට හ්වැග්යිඔන්ග් ආර්යාව යන නාමය පුදකරනු ලබයි.

මේ සඳහන් කළේ දොන්ග් යී පිළිබඳ කොරියානු ඉතිහාසයෙන් හමුවන තොරතුරුවලින් හෙළිවන ඇගේ ජීවිත කතාවයි. මීට අමතරව තවත් බොහෝ දෙනකු විමසන දෙයක් වන්නේ අභීත දියණිය හි අප දකින ආකාරයේ දීර්ඝ කාලීන ආදර කතාවක් දොන්ග් යී හා සුක්ජොන්ග් රජු අතර පැවැතියේද යන්නය. කොරියානු රජ වංශය හා ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේදී කිව හැක්කේ සැබැවින්ම එවැන්නක් පැහැදිලිව හෙළිකරගත හැකි මූලාශ්‍ර කිසිවක් හමුනොවන බවය. ඊට හේතුව ඉතිහාස ‍පොත්පත්වල දොන්ග් යී පිළිබඳ හමුවන්නේ ඉතාමත් අල්ප තොරතුරු වීමය. ඇය පිළිබඳව ඓතිහාසිකව පැවැසිය හැක්කේ අප ඉහතින් සඳහන් කළ තොරතුරු පමණි. ඇගේ පුතු වන යිඔන්ග්ජෝ රජු වසර පනස් දෙකක් කොරියාව පාලනය කළ  බවත් ඉතිහාසයේ සඳහන්ය. වැඩිම කලක් එහි පාලනය ගෙනගිය රජු වන්නේ ද ඔහුය.
දොන්ග් යී පිළිබඳ ද ඉතිහාස ‍පොතපතෙහි වැඩි විස්තරයක් සඳහන් නොවන්නට එකම හේතුවනම් ඇය කම්කරු පවුලකින් රජමැදුරට පැමිණි යුවතියක නිසාය. අනෙක කොරියානු රාජවංශයේ දොන්ග් යී ජීවත් වූ ජොසියොන් යුගයේ වැඩි වශයෙන් ලියන්නට උත්සාහ දරා ඇත්තේ රජවරු පිළිබඳ පමණක් බැව් පෙනේ. නමුත් යම් අවස්ථාවක අන්තඃපුර බිසවක් පැමිණියේ ඉහළ සමාජ පන්තියකින් නම් ඔවුන් පිළිබඳ සියලු විස්තර ඉතිහාස ‍පොත පතෙහි සඳහන්කොට තිබිම ද සැළකිය යුතු කරුණකි. කෙසේ මුත් දොන්ග් යී පැමිණියේ කම්කරු පවුලකින් බැවින් ඇයගේ තොරතුරු වාර්තා නොකිරීම වර්තමානයට සිදු වූ අසාධාරණයකි. ඇයගේ පසුබිම පිළිබඳ ලිවීම හිතාමතාම අතහැර දමා ඇති බැව් පැහැදිලිය. සුක්ජොන්ග් රජුගේ අනෙක් අන්තඃපුර බිසෝවරුන්ට වඩා දොන්ග් යි පිළිබඳ විස්තර ලියැවී ඇත්තේද කෙටියෙනි. අනෙක දොන්ග් යී යනු ඇයගේ සැබෑ නම නොවන බැව් ද සොයාගෙන තිබේ. එහෙත් ඇගේ සැබෑ නම කුමක්ද යන්න පිළිබඳව ද කිසිදු තැනක සඳහනක් නොමැත. ඇය හඳුන්වා ඇත්තේ සුක්බින් නමිනි. එය ඇයගේ බිසෝ තනතුරේ නමයි. ඒ කෙසේ හෝ සුක්ජොන්ග් රජුගේ සේම අන්තඃපුර බිසෝවරුන්ගේ සොහොන් කොත් ද අදත් නිරුපද්‍රිතව තිබේ. දොන්ග් යී ගේ දේහය ද එහි ඇතැයි විශ්වාස කෙරේ. 
එබැවින් කිවහැකි දෙය වන්නේ අභීත දියණිය නාට්‍යය යනු සත්‍ය ඓතිහාසික පසුබිමක් තුළින් බිහි වූ ප්‍රබන්ධයක් පමණක් බවය. එම නාට්‍යයේ ඔබ දකින දෙය සැබැවින්ම ඉතිහාසයේ සිදු වූ දෙයම ද යන්න තහවුරු කරගන්නට කිසිදු සාධකයක් නොමැත. නමුදු ඒ සම්බන්ධ ජනප්‍රවාදගත කතා තිර නාටකය සඳහා ඉවහල් කර ගන්නට ඇත. ඇතැම්විට රජු සහ දොන්ග් යී අතර ආදරයක් පවතින්නට ද ඇත. 
නමුත් නාට්‍යයේ එන ඇතැම් ජවනිකා සත්‍ය වශයෙන් පිළිගැනීමට කිසිදු සාක්ෂියක් නැත. උදාහරණයක් ගතහොත් රජු යැන්ග්බැන් නමින් වෙස්වළාගෙන දොන්ග් යි සමග පිටතට ගොස් කමින් බොමින් තානායමක කාලය ගතකිරීම සඳහන් කළ හැකිය. මෙය ටෙලි නාට්‍ය රස ගැන්වීම පිණිස කතා රචකයා යොදන උපාය විය හැක. මේ සමයේ පැවැති දැඩි කොන්ෆියුසියානු නීති පද්ධතිය තුළ ගැහැනු පිරිමි අතර සම්බන්ධතා දැඩි විනයක් සහිතව පවත්වාගෙන යා යුතු විය. මෙම නාට්‍යයේ දැක්වෙන ආකාරයට නිදහසේ එලෙස කාලය ගතකිරීම සඳහා එම නීති පද්ධතිය තුළ ඉඩක් නොමැති විය. නමුත් දොන්ග් යී ගේ පුතු වන යිඔන්ග්ජෝ මෙලෙස රහසේ වෙස්වළාගෙන පිටතට ගොස් සාමාන්‍ය මිනිසුන් ජීවත් වූ ආකාරය දැකබලා පැමිණි බවට කරුණු ඉතිහාසයෙන් හමුවේ. සුක්ජොන්ග් රජු ද මෙසේ කළ බව දැක්වෙන දර්ශන අභීත දියණිය සඳහා ඇතුළු කරන්නට අදහස ගන්නට ඇත්තේ මෙයින් බැව් පෙනේ. යිඔන්ග්ජෝ රජු මෙසේ කරන්නට ඇත්තේ ඇතැම්විට සිය මව කම්කරු පන්තියට අයත් කාන්තාවක් නිසා වන්නට පුළුවන. යිඔන්ග්ජෝ රජු ඉහළ හා පහළ සමාජ පන්ති අතර නිදහසේ විවාහ කටයුතු සිදුකරන්නට හැකිවන සේ නීතිරීති වෙනස් කළ බැව් ද පෙනෙන්නට තිබේ. මේ අනුව බලන කල කොරියානු ඉතිහාසය තුළ දොන්ග් යී ජීවත් වුවද ඒ අභීත දියණිය තුළින් ඔබ අප දකින දොන්ග් යී හුදු සත්‍යයක් හෝ හුදු කල්පිතයක් නොවන චරිතයක් බව කිව යුතුය.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න