පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, May 16, 2013

How to find matching spectacle - මුහුණට ගැළපෙන උපැසු යුවලක් තෝරා ගනිමු



උපැස් යුවලක් යමෙකු පළඳින්නේ සිය පෙනීමේ දුර්වලතාවයන් මග හරවා ගැනීම සඳහාය. උපැස් නිර්මාණය කරන ලද්දේ ද එම අරමුණිනි. අද ද එම අරමුණ වෙනස්ව නැත. නමුත් අතීතයේ සිට වර්තමානය දක්වා උපැස් නිර්මාණය කිරීමේ කාර්යය දෙස බැලීමේදී එහි සිදුවූ පරිණාමය අපට පැහැදිලිව පෙනෙන්නට තිබේ. එනම්  උපැස් යුවලකින් සිය දෑස්වල පෙනීම පමණක් නොව මුහුණේ පෙනුම ද වැඩි දියුණු කරගැනීමට භාවිත කරන බවයි. අතීතයේ උපැස් යුවලකින් මුහුණට ඇතැම් විට අලංකාරයක් ගෙන දුන්නේ නැත. අතැම් අවස්ථාවලදී උපැස් පැළඳීමෙන් මුහුණේ පෙනුම විකෘති වූ අවස්ථාවන් ද තිබිණි. නමුත් වර්තමානය වන විට උපැස් නිර්මාණකරුවන් එම ගැටළු සියල්ල සාර්ථකව බිඳ දමා ඇති බැව් පෙනේ. එය කෙතරම් ද යත් වර්තමානයේ උපැස් යුවලක් නිර්මාණය කිරීමේ දී එහි රාමුව සඳහා සැළකිය යුතු තරම් මුදලක් ගෙවන්නට සිදුවේ. රාමුවේ අලංකාරය වැඩිවත්ම එහි වටිනාකම ද ඉහළ යයි. ඇතැම්විට උපැස් යුවලේ අත්‍යවශ්‍යම අංගය වන කාචවලට ඒ තරම් මුදලක් වැය නොවිය හැකිය. තත්වය මෙසේ නම් මෙසේ සැළකිය යුතු තරම් මුදලක් වැය කර නිර්මාණය කරගන්නා උපැස් යුවලක රාමුව අප මුහුණට ගැළපෙන පරිදි සකස් කරගැනීමට අප වගබලා ගතයුතුය. නොඑසේ නම් එය අපගේ මුදල් අපතේ යැවීමක් විය හැකිය. ඒ සඳහා ඔබට යම්කිසි මගපෙන්වීමක් ලබාදීම මෙහි අරමුණ වූයේ එබැවිනි. 

උපැස් යුවලක් සඳහා රාමුවක් නිර්මාණය කරගැනීමේදී පහත සඳහන් මූලික කරුණු සිහියේ තබාගත යුතුය. 


1. රාමුවේ ඉහළ කෙළවර ඔබගේ ඇහිබැමිවලටට වඩා ඉහළට නොයා යුතුය.
2. රාමුවේ යට කෙළවර ඔබගේ මුහුණේ ස්පර්ශ නොවිය යුතුය. ඔබ සිනාසෙන විට රාමුවේ යට කෙළවර මුහුණේ සුපර්ශ වී ඔබට අපහසුතාවයක් නොදැනෙන බවට ඔබ වගබලාගත යුතුය.
3. මුහුණේ කම්මුල්වල පළලට වඩා රාමුවේ පළල වැඩි නොවිය යුතුය.
රාමුවක් නිර්මාණය කරගැනීමේදී පිළිපැදිය යුතු මූලික කරුණ මේවා වන අතර ඊට අමතරව සැළකිල්ලට ගතයුත්ු තවත් විශේෂ කරුණක් ද තිබේ. ඒ ඔබගේ මුහුණේ හැඩයයි. රාමුවක් පිළියෙල කරගැනීමේදී එය ඔබගේ මුහුණේ හැඩයට ද ගැළපෙන්නක්වීම ද අත්‍යවශ්‍යම කරුණකි. ඔබ ඒ පිළිබඳ සැළකිල්ලක් නොදැක්වීමෙන් සිදුවන්නේ මුහුණේ පෙනුම විකෘතිතාවයකට පත්වීමයි. 


සාමාන්‍යයෙන් මුහුණේ හැඩය වර්ග හතකට බෙදා තිබේ. ඒවා නම් දියමන්ති (diamond), හදවත් ( heart), පිරමීඩ (pyramid), ඕවාලාකාර (oval), සෘජුකෝණාශ්‍රාකාර (rectangular), වටකුරු ( round) හෝ හතරැස් (square) වශයෙනි.


ඔබගේ මුහුණේ හැඩයට නිවැරදි ලෙසටම ගැළපෙන රාමුවක් තෝරාගැනීමේදී ඔබ අනුගමනය කළ යුතු කරුණ තුනක් තිබේ. 


1. රාමුවේ හැඩය මුහුණේ හැඩය හා ගැළපිය යුතුය.
2. රාමුවේ ප්‍රමාණය මුහුණේ හැඩය සමග සමානුපාතිකව ගැළපිය යුතුය.
3. රාමුව මගින් ඔබගේ මුහුණේ කැපී පෙනෙන ලක්ෂණ ඇත්නම්, ඒවා තවත් තියුණු ලෙස ගෙනහැර දැක්විය යුතුය. උදාහරණයක් ගතහොත් ඔබගේ දෑස් දුඹුරු පැහැ නම්, රාමුව ද දුඹුරු පැහැයට සමීප විය යුතුය.  


උපැස් යුවලක පෙනුම වඩාත් අලංකාර කර ගැනීම සඳහා ද අනුගමනය කළ යුතු කරුණු කිහිපයකි. 


1. රාමුව ඔබගේ මුහුණේ හැඩය, ලක්ෂණ හා වර්ණය සමග සෑම අතින්ම ගැළපිය යුතුය.
2. රාමුව මුහුණට හොඳින් සවිවී තිබිය යුතුය.
3. ඒවා ඔබගේ ජීවන ශෛලිය හා හොඳින් ගැළපිය යුතුය.
4. ඇතැම් වෛද්‍ය උපදෙස් ගැළපෙන්නේ ඇතැම් රාමු සඳහා පමණි. එබැවින් එය පිළිබඳවත් සැළකිලිමත් විය යුතුය.
5. රාමු නිර්මාණය කරන්නට විවිධ ද්‍රව්‍ය යොදාගැනේ. එබැවින් ඔබගේ මුහුණට ගැළපෙන ද්‍රව්‍ය තෝරාගැනීමට ඔබ වගබලා ගතයුතුය.
අපි දැන් මුහුණේ හැඩයට ගැළපෙන රාමුව කෙසේ විය යුතුදැයි සොයි බලමු.

  
1. ඕවාලාකාර හැඩය


මෙහිදී ඇත්තේ වටකුරු නළලක් හා නිකටකි. මුහුණ පළලට වඩා දිගින් යුක්තය. නළල හකුවලට වඩා පළලින් යුක්තය. මුහුණු හැඩ මෙය හොඳම හැඩයක් බැව් සාමාන්‍ය පිළිගැනීමයි. මන්ද මෙහි වඩාත් සමබර ලක්ෂණ පවතින නිසාය. ඕවාලාකර බව සමබරව තබාගන්නට නම් රාමුවේ පළල ඔබගේ මුහුණේ පළලින් වැඩිම ස්ථානය හා සමවීම හෝ එයට වඩා තරමක් පළලවීම හෝ සිදුවිය යුතුය. 



2. සෘජුකෝණාශ්‍ර හැඩය 



නළල පුළුල්ය. කම්මුල් සෘජුව, දිගට පිහිටා තිබේ. නහය ඇතැම්විට දිගින් යුක්තය. නිකට ද හතරැස් හැඩයෙන් යුක් වේ. මෙවැනි දිගටි මුහුණක් සඳහා ගැළපෙන්නේ තරමක් උසින් යුක්ත රාමුවකි. එවිට මුහුණ කෙටි ස්වභාවයකින් පෙන්නුම් කරයි. මෙවැනි මුහුණක නහය ද දිගින් යුක්තවිය හැකි නිසා රාමු දෙක සම්බන්ධ කරනා කොටස තරමක් පහළට වන්නට යෙදිය යුතුය. එවිට නහයේ දිගු බව අඩුවේ. 


3. හදවත් හැඩය 




නළල පුළුල්ය. මුහුණ පහළ අතට පටු වෙමින් අවසානයේ පටු වටකුරු නිකටකින් කෙළවර වේ. මෙවැනි මුහුණක ඉහළ කොටසේ ඇති පුළුල් බව අඩුකොට පෙනෙන ස්වභාවයේ රාමවුක් නිර්මාණය කරගැනීමෙන් මුහුණට අලංකාරයක් ගෙන දෙයි. මේ සඳහා රාමුවේ පහළ කොටසේ පුළුල් බවින් වැඩිවන සේ නිර්මාණය කළ යුතුය. රාමුව ලා පැහැයෙන් යුක්ත විය යුතුය. රාමු රහිත උපැස් යුවලක් ද මෙවැනි මුහුණකට ගැළපේ. 


4. හතරැස් මුහුණ 




නළල පුළුල්ය. හකු දිගින් යුක්තවන අතර නිකට  ද හතගර් ස්වභාවයෙන් යුක්තය. මුහුණේ පළල හා උස එක ස්වභාවයකින් යුක්තවේ. මෙවැනි මුහුණක් සඳහා අවශ්‍ය වන්නේ මුහුණ දිගටි ස්වභාවයක් පෙන්නුම් කරන්නා වූ රාමුවකි. එබැවින් රාමුව පළලින් හැකි තාක් අඩුකළ යුතුය. 


5. දියමන්ති හැඩය  




නළල පටුය. කම්මුල්වල ඇති අස්ථි පළලින් යුක්තය. නිකට පටුය. මෙය තරමක් කලාතුරකින් දකින්නට ලැබෙන මුහුණු හැඩයකි. මෙවැනි මුහුණකට අවශ්‍යවන්නේ ඇස් හොඳින් පෙන්නුම් කරනා මෙන්ම පුළුල් කම්මුල් අස්ථි, පටු ස්වභාවයෙන් පෙන්නුම් කරන්නා වූ රාමුවකි. මේ සඳහා රාමුවේ ඇහි බැම දෙසට වන්නට ඇති කොටස තරමක් ඝනකමින් වැඩිවන සේ නිර්මාණය කළ යුතුය. 


6. වටකුරු හැඩය



මෙවැනි මුහුණක කම්මුල් පිරිපුන්ය. නිකට වටකුරුය. පළල හා උස සමානුපාතිකව සමානබවින් යුක්ත වේ.  මෙවැනි මුහුණක පෙනුම වැඩිවන්නේ එය දිගින් වැඩි ස්වභාවයකින් පෙනෙන විටය. මේ සඳහා පහළට පටුවන සේ තනන ලද රාමුවක් වඩා හොඳින් ගැළපේ. රාමු දෙක සම්බන්ධ කරනා කොටස හැකිතාක් සිහින්ව නොපෙනෙන තරමට තිබිය යුතුය. රාමුව පළලින් වැඩිවන සේ නිර්මාණය කිරීම ද මෙවැනි මුහුණකට ගැළපේ. 


7. පිරමීඩ හැඩය 



 

නළල පටුය. නිකට ප්‍රදේශයට යත්ම මුහුණේ හැඩය පුළුල් වේ. මෙවැනි මුහුණකට අලංකාරයක් එක්වන්නේ මුහුණේ ඉහළ කොටස් පුළුල්ව පෙනෙන විටය. අධික වර්ණ සහිත උපැස් රාමුවලින් මෙම ප්‍රතිඵලය ලබාගත හැකිය.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න