පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, May 5, 2013

Characters in Abheetha Diyani Drama - අභීත දියණි හි ප්‍රධාන චරිත කිහිපයක් ගැන කතා කරමු




කොරියානු ටෙලි නාට්‍යයක් වූ අභීත දියණි මේ වන විට අප රටේ සෙසු ටෙලි නාට්‍ය අතර ඉහළින් වැජඹෙනන්ට තරම් ජනප්‍රසාදයක් හිමිකොටගෙන ඇති බැව් පෙනේ. ඒ මේ ටෙලි නාට්‍යය නිසාම ප්‍රමාද නොවී නිවෙසට යන්නට උත්සාහ කරනා බොහෝ දෙනෙක් මගතොටදී හමුවන බැවිනි. අප කීප අවස්ථාවකදීම මෙම ටෙලිනාට්‍යය පිළිබඳවත්, එහි ප්‍රධාන චරිත හා ඒවා නිරූපනය කරන ශිල්පීන් හා ශිල්පිනියන් පිළිබඳවත් කතා බහ කළෙමු. අද ද අප කතා කරන්නට සූදානම්වන්නේ මෙම නාට්‍යයේ අප දකින තවත් ප්‍රධාන චරිත කිහිපයක් හා ඒවා මවන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් තිදෙනෙක් පිළිබඳවය. අභීත දියණිය හෙවත් ඩොන්ග් යි සහ සුක්ජොන්ග් රජු හැරුණු විට මෙම ඓතිහාසික කතාවේ දක්නට ලැබෙන ප්‍රේක්ෂකයින්ගේ අවධානය යොමුවුණු චරිත තුනක් ලෙස මොවුන්ව හඳුන්වා දිය හැකිය. ඔබ අභීත දියණි ටෙලිනාට්‍යයේ ප්‍රේක්ෂකයෙක් නම් නම සඳහන් කළ සැනින් එම චරිතවලට සම්බන්ධ සියලු දෙය ඔබට මතක් වනවා නොඅනුමානය. 
අප මුළින්ම කතාබහ කරන්නට සැරසෙන්නේ  බලයෙන් පහවීමකින් අසාධාරණයට ලක්වන ඉන්හියොන් රැජින සහ එම චරිතය නිරූපනය කරන්නා වූ පාර්ක් හා සුන් පිළිබඳවය. අප මඳක් ඉන්හියොන් රැජින පිළිබඳ ඉතිහාසය දෙසට හැරෙමු. 

පසුකාලීනව මරණයට පත්වන්නා වූ චරිතයක් වන ඉන්හියොන් රැජිනගේ මරණයෙන් පසු ඇය ලබන නම කරමක් දීර්ඝ බැව් පෙනේ. අප එම නමින්ම කතාව ආරම්භ කිරීම අගනේ යැයි සිතෙන තරමට එය දිගින් යුක්තය. එය ‛හ්ෙ‍යාග්යෙඔන්ග් සුක්සියොන්ග් ජැන්ග්සුන් වොන්හ්වා උයිඔල් ජියොන්ග්මොන්ක් ඉන්හියොන් වන්ග්හු’ ය. 

සුක්ජොන්ජ් රජුගේ දෙවැනි බිසව ලෙස 1681 දී ඔහුගේ අන්තඃපුරයට සම්බන්ධවන විට ඇය 14 වැනි වියෙහි පසුවූවාය. 1688 සුක්ජොන්ජ් රජුගේ තෙවැනි බිසව වූ ජැන්ග් ඔක්-ජියොන්ග් හට පුතකු ලද විට රාජ උරුමය පිළිබඳ විශාල අර්බුදයක් රජමාලිගාවේ ඇති විය. සුක්ජොන්ජ් රජුට අවශ්‍ය වූයේ සිය වැඩිමහල්ම පුතුට රජ උරුමය ලබාදී ජැන්ග් බිසව අන්තඃපුරයේ ඉහළම තැනට ගෙන එන්නටය. එවිට ඇය දෙවැනි වන්නේ අග බිසවට පමණි.  නමුත් මාලිගාවේම සිටි නොරොන් නම් කණ්ඩායම මෙයට එරෙහිව හඬ නැගූහ.   ඔවුන් පක්ෂව වැඩකටයුතු කළේ ඉන්හියොන් බිසවටය. මේ පිළිබඳ කෝපයට පවත්වන සුක්ජොන්ජ් රජු මෙම කණ්ඩායමේ බොහෝ දෙනෙක් මරණයට පත්කරන අතර ඉතිරි අය පිටුවහල් කර දැමුවේය. මෙම පිටුවහල් කණ්ඩායමට ඉන්හියොන් බිසව සහ ඇගේ පවුලේ පිරිස ද ඇතුළත් විය. නමුත් තමන් කළ දෙය පිළිබඳව පසුව කම්පාවට පත්වන සුක්ජොන්ජ් රජු 1894 දී ඉන්හියොන් බිසව යළිත් මාලිගාවට කැඳවා අගමෙහෙසිය බවට පත්කරගනී. ජෑන්ග් බිසව ඉන්හියොන්ගේ යටතේ තබයි. 1701 දී 34 හැවිරිදි ඉන්හියොන් බිසව අභිරහස් රෝගයකින් මරණයට පත්වෙයි. පසුව සුක්ජොන්ග් රජු විසින් සොයා ගැනුනේ ඇයට ජෑන්ග් බිසව විසින් වස දී ඇති බවය. මෙයින් කෝපයට පත්වන රජු ජෑන්ග් බිසවට මරණ දඬුවම ලබාදෙයි. 

මේ ඉන්හියොන් රැජිනගේ චරිතය පිළිබඳ කෙටි හැඳින්වීමක් පමණි. ඔබ අභීත දියණි ටෙලිනාට්‍යයේ ප්‍රේක්ෂකයෙක් නම් මේ පිළිබඳව තවත් බොහෝ තොරතුරු දන්නා බවට සැකයන් නැත. ඉන්හියොන් රැජිනගේ චරිතය නිරූපණය කරන්නේ පාර්ක් හා-සුන් ය. 1987 ඔක්තෝබර් 22 වැනිදා උපත ලද ඇය සෙ.මී. 165ක් උසින් යුක්ත වෙයි. තුලා ලග්නය හිමි ඇය කිලෝ ග්‍රූම් 45ක් බරින් යුක්තය. පාර්ක් හා සුන්ගේ මුල්ම රංගනය දක්නට ලැබෙන්නේ 2005 දී ‛ලව් නීඩ්ස් මිරකල් ’ නම් ටෙලි නාට්‍යයෙනි. ඩොන්ග් යි හෙවත් අප දන්නා පරිදි අභීත දියණි ටෙලි නාට්‍යයේ ඉන්හියොන් බිසවගේ චරිතයට ජීවය දීමෙන් පසු ඇය කොරියාවේ පමණක් නොව මෙම ටෙලිනාට්‍යය විකාශනය වූ සෑම රටකම ඇය ආදරණීය තාරකාවක් බවට පත්වූවාය. ඉන්පසුව ඇයට බොහෝ ටෙලිනාට්‍යවලට මෙන්ම චිත්‍රපටවලට ද ඇරයුම් ලැබිණි.   ඇගේ මුල්ම චිත්‍රපට වන්නේ ‛ද ලාස්ට් බ්ලොසම්’, ‛චෑම්ප්’, ‛ක්ලිනික්’ ය. ඇය කොරියාවේ තවත් ප්‍රසිද්ධ රංගන ශිල්පියකු වූ රියු ඩුක් - හ්වාන් සමග දීර්ඝ කාලයක් තිස්සේ පෙම් සබඳතාවයක් පවත්වන බවට දූෂමාන ආරංචි පැතිර පවතින අතර ඔවුන් දෙදෙනාම එය ප්‍රතික්ෂේප කොට තිබිණි. නමුත් ඔවුන් දෙදෙනා එකට ගමන් බිමන් යන ආකාරය ඡායාරූප ගතකොට අන්තර්ජාලයේ පළකොට තිබිණි. නමුත් ඔවුන් දෙදෙනාම නිල වශයෙන් මේ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කොට නැත. 

2010 වසරේදී අභීත දියණිය ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් ‛එම්.බී.සී. නාට්‍ය සම්මාන උළෙලේදී’ හොඳම නිළියට හිමි සම්මානය හිමිවිය. ඉන්පසුවද ඇයට සම්මාන කිහිපයක්ම හිමි විය. 
අභීත දියණිය ටෙලිනාට්‍යයේ දක්නට ලැබෙන තවත් චරිතයක් වන්නේ ඉන්හියොන් බිසවට වස දුන්නේ සුක්ජොන්ග් රජු විසින් මරණ දඬුවම ලබාදෙන්නා වූ ජැන්ග් හුයි-බින්ය. ඇය ජැන්ග් ඔක්-ජියොන්ග් යනුවෙන්ද හැඳින්වේ. ඇගේ චරිතයට පණ පොවන්නේ තවත් ජනප්‍රිය කොරියානු නිළියක වන ලී සෝ-යිවොන් ය. අපි ඇය පිළිබඳ කතා කරන්නට පෙර අභීත දියණිය හි ඇය අප හමුවේ දිගහරින චරිතයේ ඓතිහාසික කතාව පිළිබඳ මඳක් මතකය අවදි කරමු. 
වර්ෂ 1866 දී ඇය සිය මිත්තණියක සමග රජවාසලට පැමිණි අවස්ථාවේ දී සුක්ජොන්ග් රජු ඇය දැක සිය අන්තඃපුරයට එක් කරගනී. රජු විසින් ඇයව අන්තඃපුරයේ 8 වැනි තැනට උසස්කරනු ලබයි. ඇයට පුතකු ලැබුණු පසු 1688 දී රජු විසින් ඇයට අන්තඃපුරයේ දෙවැනි තැන ලබාදෙයි. අනාගතයේදී රජවන ග්යෙඔන්ග්ජොන්ග් ඇයගේ මේ පුත්‍රයාය. ඇයට තවත් පුතකු සිටි මුත් ඔහු පිළිබඳ පැහැදිලි සඳහනක් නැත. පසුය ඉන්හියොන් බිසවගේ  පැමිණීමත් සමග ඇයට හිමිවන්නේ තෙවැනි ස්ථානයයි. ඉන්හියොන් බිසවට වස දී මරණයට පත්කිරීමේ වරදට සුක්ජොන්ග් රජු විසින් ඇයට මරණ දඬුවම ලබාදෙන විට ඇය 42 වැනි වියෙහි පසුවූවාය. ඇය බලයට දැක්වූ තණ්හාව පිළිබඳ කොරියාව මුළුල්ලේම විවිධ ජනකතා අසන්නට ලැබේ. නමුත් මරණයෙන් පසුව ඇයව අනතඃපුරයේ බිසවුන් අතර ශ්‍රේෂ්ඨ තැනකට පත්කළ බව ඉතිහාසයේ සඳහන් වේ. 

අභීත දියණි ටෙලි නාට්‍යයේ මෙම චරිතයට පණ පොවන්නේ ලී සෝ යුන් ය. 1982 අප්‍රේල් 16 වැනිදා මේෂ ලග්නයෙන් දකුණු කොරියාවේදී උපත ලද ඇය වෘත්තියෙන් රංගන ශිල්පිනියකි. ඇයගේ මුල්ම රංගනය ‛අන්ටෝඩ් ස්කැන්ඩල්’ ය. එය 2003 දී තිරගත වූ චිත්‍රපටයකි. ඇය කොරියානු ටෙලිනාට්‍ය කිහිපයකම දුෂ්ට චරිත රඟපා තිබේ. මේ අතුරින් අතිශය කතාබහට ලක්වූයේ අභීත දියණිය හි ඇය රංගනයෙන් දායක වුණු ජැන්ග් හුයි-බින් බිසවගේ චරිතයයි. දුෂ්ට චරිතවලින් මිදුණු චරිතයක් ලෙස ඇය මුළින්ම රංගනයෙන් දායක වන්නේ හාස්‍යජනක ටෙලිනාට්‍යක් වන ‛වයි ඩිඩ් යූ කම් ටු අවර්  හවුස්’ හි ය. ඇය එහි ප්‍රේමනීය චරිතයක් නිරූපනය කරයි. 

කොරියාවේ ඇය වඩාත් ජනප්‍රසාදය දිනාගෙන ඇත්තේ ටෙලිනාට්‍ය නිළියකට වඩා සිනමා නිළියක ලෙසය. ඇය රංගනයෙන් දායක වූ ‛ෆෙදර්ස් ඉන් ද වින්ඩ්’ චිත්‍රපටය එහි ඉහළ විචාරක ප්‍රතිචාර ලැබූවකි. ඇය විනෝදාංශයක් ලෙස නර්තනයෙහි යෙදෙන්නීය. වර්ෂ 2007 දී ඇය ජෙචියොන් අන්තර්ජාතික සංගීත හා සිනමා උළෙලේ තානාපතිවරිය ලෙස ද තෝරාගනු ලැබිණි. ඇය කොරියානු ජාතික කලා සරසවියේ අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වුවද කාර්යබහුලත්වය අධික වීම නිසා උපාධිය ලබාගැනීමට වසරකට පෙරාතුව ඇයට සරසවි අධ්‍යාපනයෙන් ඉවත්වන්නට සිදුවිය. සිය රංගන කාර්යයන් වෙනුවෙන් සම්මාන ද කිහිපයක්ම ලැබී තිබේ. ඇය කොරියාවේ ජනප්‍රිය නළුවකු වන ජූ වැන් සමග ආදර සබඳතාවයක් පවත්වාගෙන යන බවට පසුගිය කාලය පුරාම කොරියානු මාධ්‍යවල පළවූ නමුත් ඔවුන් දෙදෙනාම ඒ පිළිබඳව තවමත් කිසිවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කොට නැත. 

අභීත දියණිය ටෙලිනාට්‍යයේ ඔබ දකින තවත් ජනප්‍රිය චරිතයක් වන්නේ චා චුන්-සූ ය. මෙම චරිතයට පණ පොවන්නේ බේ සූ-බින් ය. අපි අභීත දියණිය ටෙලිනාට්‍යයේ එන චා චුන්-සූ ගේ චරිතය ඓතිහාසික පසුබිම පිළිබඳව මඳක් කතා කරමු. 

ඔහු හැන්යෑන්ග් ගුමාගී නම් රහස් අසිපත් සංවිධානයේ නව නායකයාය. ඔහුගේ දිවා කාලයේ එක් රාජකාරියක නිරතවූ අතර රාත්‍රි කාලයේදී තවත් රාජකාරියක නිරත විය. දිවාකාලයේදී ඔහු කළේ මළසිරුරු පරීක්ෂාව වූ අතර රාත්‍රි කාලයේදී සිදුකළේ රජයේ වැරදි නිවැරදි කිරීමය. එනම් වැරදි සිදුකරනා රාජ්‍ය නිලධාරීන්ට දඬුවම්කිරීම හෝ මරාදැමීමය. ඔහු කුලයෙන්  අඩු පුද්ගලයෙකු ලෙස සැළකුණ ද උගත්බවින් හා කඩු හරඹ අතින් ඉතා ඉහළ තැනක පසුවූවෙකි. අභීත දියණිය වූ ඩොන්ග් යි ගේ පියා විසින් ඔහුව දැඩිව විශ්වාස කරනු ලැබිණි. ඔහු මෙම රහස් සංවිධිනයේ ලාබාලතම සාමාජිකයා වූ අතර අභීත දියණියගේ සොහොයුරා වූ ඩොන්ග්ජුගේ සමීපතම මිතුරකු ද විය. අභීත දියණිගේ පියා හා සොයුරා මරණයට ලක්කරන අවස්ථාවේ ඇයගේ රැකවරණය සළසන්නැයි ඔවුන් ඉල්ලන්නේ ඔහුගෙනි. පසුව ඔහු සිය ජීවිත කාලය පුරාම අභීත දියණිය වූ ඩොන්ග් යි ගේ රැකවරණය වෙනුවෙන් ක්‍රියාකරයි. ඩොන්ග් යි ගේ පියාගේ මරණයෙන් පසුව එම රහස් සංවිධානයේ නව නායකයා වන්නේ ඔහුය. ඩොන්ග් යි කුඩා කාලයේදී ඔහුට පැවසූ දෙයක් ඔහු සදාකල් සිය මතකයේ තබාගෙන් සිටියේය. “මම ලොකුවුණාම චුන්සූ එක්ක විවාහ වෙනවා” ඩොන්ග් යි එසේ පවසා තිබිණි. ඔහු සිය මුළු ජීවිත කාලය මුළුල්ලේම ඩොන්ග් යි ට ආදරය කළේය. 

අභීත දියණියහි මෙම රහස් සටන්කරුවාගේ චරිතය ඔබ හමුවට ගෙන එන්නේ  බේ සූ-බින් ය. 1976 දෙසැම්බර් 9 වැනිදා ධනු ලග්නයෙන් උපත ලද ඔහු වෘත්තියෙන් නළුවෙකි. ප්‍රෙක්ෂකයන් ඔහුව සනී බේ යන ආදර නාමයෙන් ද හඳුන්වනු ලබයි. ඔහු තමා රංගනයෙන් දායක වූ ‛බ්‍රිලියන්ට් ලෙගසි’, ‛ටෙම්ප්ටේෂන් ඔෆ් ඒන්ජල්’, සහ ‛ඩොන්ග් යි’ හෙවත් අප දන්නා පරිදි අභීත දියණි හි චරිත නිරූපනය කිරීමෙන් ජනප්‍රිය නළුවෙක් බවට පත්විය. ඔහු ටෙලිනාට්‍යවලට අමතරව ‛ද වේ-මන් ඔෆ් ද වයිට් පෝර්සිලේන්’, ‛ට්වෙන්ට් සික්ස් යියර්ස්’ සහ ‛මායි රටීමා’ යන සිනමාපටවලට ද රංගනයෙන් දායකවී තිබේ. 

මෑතකදී ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශකොට සිටියේ වසර 8ක් පුරා තමන් ආදරය කළ පෙම්වතිය තමා අතහැර ගිය බවයි. ඇයගේ නම සඳහන් නොකළ අතර තමාට වඩා වසර දෙකක් ලාබාල ඇය ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව පවසා තිබිණි. තමා රංගන වැඩකටයුතු නිසා කාර්යබහුල වීමත්, ඇය සිය ව්‍යාපාරික කටයුතු නිසා කාර්යබහුල වීමත් නිසා හමුවන්නට ලැබුණු අවස්ථා අඩුවූ බව ඔහු පැවසූයේය. ආදරය කෙළවරවන්නට දෙදෙනාගේම පමණ ඉක්මවූ කාර්යබහුලත්වය හේතුවූ බව ඔහු මාධය හමුවේ ප්‍රකාශකළේය. ඔහු තවමත් ඒ පිළිබඳ පසුවන්නේ දැඩි සෝකයකින් බවත් පවසා තිබිණි. 

 ටෙලිනාට්‍යය හා චිත්‍රපට හැරුණු විට ඔහු වේදිකා නාට්‍යවලද පෙනී සිට ඇති අතර සම්මාන ද කිහිපයක්ම ලබාගැනීමට සමත්විය. 



No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න